විනිශ්චය - I

දිගු කතාවක් කොටස් වශයෙන් බ්ලොග් අඩවිය තුළින් ඉදිරිපත් කිරීමට කලක සිට අදහසක් තිබුනත් මේ බ්ලොග් අඩවිය ඇරඹූ අරමුණ හා එය ගැලපේ ද යන්න ගැන සිතේ තිබුණේ සැකයකි. එනිසාම දිගු කතාවක් ඉදිරිපත් කිරීම සඳහා වෙනම බ්ලොගයක් ඇරඹීමට ද මුල පිරුවෙමි. එසේ වුවද  ඉදිරිපත් කරන්නට යන මෙම නවකතාව කියවූ විට එය මේ බ්ලොගය සඳහා වඩාත් උචිත වෙතැයි හැඟී ගිය බැවින් ඒ සඳහා මෙසේ මුල පුරමි. අවසානය දක්වාම කතාව ඉදිරිපත් කරන්නේද යන්න පාඨක අවධානය මත තීරණය වේ යයි සිතමි. දැන් කතාව දෙසට හැරෙමු.

මෙය Westerns නමින් හැඳින්වෙන ගොපළු කතා ගණයට අයත් වෙයි. එහෙත් එය විදුලි වේගයෙන් තම ඉන රැඳි පිස්තෝලය හැසිරවීමෙන් පීඩාවට පත් වන්නන්ට යුක්තිය ඉටුකර දෙන වීරයාගේ කතාවලින් වෙනස් වෙයි. මිනීමැරුම් චෝදනාවකට ලක් වුවකු අරබයා විනිශ්චයකරුවෙකු විසින් දෙනු ලබන තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ෂෙරීෆ්වරයෙකුගේ හෘද සාක්ෂිය හා එම තීන්දුව ගැටෙන ආකාරයත් නිවැරදි යයි ඔහුට දැනෙන දේ ඉටු කිරීමට ඔහු දරණ උත්සාහයත් මේ කතාවට තේමා වෙයි. ෂෙරීෆ්වරයාට බලය ඇත්තේ උසාවිය දෙන තීන්දුව ක්‍රියාත්මක වන තැනට වග බලා ගැනිම මිස එය ප්‍රශ්න කිරීම හෝ වෙනස් කිරීමට තැත් කිරීම නොවේ. එහෙත් සම්ප්‍රදායට විරුද්ධව, තමාට හැකි පමණින් වරද නිවැරදි කිරීමට හා එසේ කිරීමෙන් විශාල ලේ වැගිරීමට ඇති ඉඩකඩ වලක්වාලිමට  ඔහු දරණ උත්සාහය තුළින් එළිදකින ඔහුගේ චරිතයේ ස්වභාවය මා සිත් ගත්තේ අද වුවද නීතිය වූ අවනිතිය ඉදිරියේ අසරණ වන මෙවන් චරිත අප සමාජයේ කලාතුරකින් හෝ හමුවන නිසාය. පොත The Trial At Apache Junction ය. ලේඛකයා Lewis B. Patten ය. 




                                                   පරිච්ඡේදය I 
                                                පළමු කොටස

        ෂෙරීෆ් ඕවන් බක් නින්දට යන විට අළුයම හතර වී තිබිණ. නැගෙනහිර ක්ෂිතිජයේ රෝස පැහැති සිතුවම් ඇඳෙන විට අළුයම පහට සුපුරුදු ලෙස ඔහු යළි අවදි විය. නිදිමත ගතියෙන්ම පරුෂ වචනයක් මුවින් පිටකළ ඔහු තම කාර්යාලීය කාමරයේ තිබූ කුඩා ඇඳ මතින් නැගී සිය නිරුවත් දෙපා පොළව මත තැබීය.

 ඔහුගේ පාද ශරීරයේ සෙසූ අංගෝපාංග මෙන්ම විශාල හා කෘෂ වූ අතර පා ඇඟිලිවල නිය කපා ඉවත් කළ යුතු ගානට වැවී තිබිණ. සිය මුහුණ මත හා හිසකෙස් තුළින් ඇඟිලි දිවැවූ ඔහු වෙහෙසකර බවක් පෙන්වමින් නැගී සිටියේය. මේ තමයි අන්තිම දවස. ඔහුගේ සිතට නැගින. හෙට මේ වෙලාව වන විට ගලින් සැදුන හිරගෙදර අසල පිහිටි හිස් පිට්ටනියේ ඔහු සිටගෙන සිටිනු ඇත. ජොනී මැක්ග්‍රාත් ගෙල වටා දැමුන ලණුවක් සහිතව හිරු නැගෙන තෙක් එහි ඉදිවුන එල්ලුම් ගස මත සිටගෙන සිටිනු ඇත. 

බක් තිස්පස් හැවිරිදි විය. විවාහ වී සිටියේ නැත. හේතුව මේ වන තෙක්ම ඔහු තම පාලනයට යටත් තරගැනීමට තැත් නොකල ගැහැණියක් හමු නොවීම ය. එහෙත් අවසානයේදී ඔහු දැන් සිටින විදියටම ඔහුට කැමති බව පෙනෙන ගැහැණියක මුණගැසී ඇත. මේ වනතෙක් විවාහ යෝජනාව ඉදිරිපත් කිරීම කල්දැම්මේ මේ කාළකණ්ණි රාජකාරිය අවසානයකට පැමිණෙන තෙක් ය. 

කාමරය මැද තිබූ චීනචට්ටි ලෝහයෙන් තැනුන ගිනි උඳුනේ දොර විවෘත කළ ඔහු එහි තිබූ අළු එලියට ගසා දමා පුවත්පත් පිටු කිහිපයක් ගුලිකොට ඇතුළට දැමීය. සිය පිහියෙන් දර ලීයක් රැස්සේ පතුරු ටික ඒ මතට වැටෙන ලෙසට ය. ඉන්පසු තවත් දර කැබලි කිහිපයක් උඩින් දමා ගිනිකූරක් පත්තු කොට ඇතුළට විසිකොට කඩදාසියට ගිනි ඇවිලෙන තෙක් බලා සිට උඳුනේ දොර වසා දැම්මේය. 

ඊයේ සෑදූ කෝපිවලින් බාගයක් පමණ තවමත් ඉතිරිව තිබූ කෝපි බඳුන අතට ගත් ඔහු එය බුර බුරා ඇවිලෙන උඳුන මත තබා මේස් හා බූට් සපත්තු කුට්ටම පැළඳ ඉවත් කරන ලද අළු හිරගෙදර පිටුපස තිබූ පටු මාවතෙහි ඇති අළු දමන වල වෙත රැගෙන ගියේය. 

ආපසු පැමිණ මුහුණ සෝදන බේසමට සීතල වතුර වත්කර මුහුණ සෝදා රැවුල කපා හිස පීරාගෙන අළුත් කමිසයක් ඇඳගත්තේය. ඔහු මේ සියල්ල කර අවසන් වනවිට බඳුනෙහි වූ කෝපි රත්වී තිබිණ. කෝප්පයකට කෝපි ස්වල්පයක් වත්කර ගෙන ඔහු තම මේසය වෙත පැමිණ අසුන් ගත්තේය. 

ජොනී මැක්ග්‍රාත් රඳවා සිටි සිරකුටියෙන් කිසිදු ශබ්දයක් අසන්නට නොලැබිණ. බොහෝ විට මැක්ග්‍රාත් ද නිදිවර්ජිතව රාත්‍රිය ගතකර  නින්දට යන්නට ඇත්තේඅළුයම් කාලයේ ය. 

බක්ගේ කන් ඉබේටම මෙන් යොමු උනේ මිටියෙන් පහර දෙන හා කියතෙන් ඉරන ශබ්ද ඇසෙන්නේ ද බලන්නටය. ජේසන් ග්‍රියර් හා ඔහුගේ පුත් ජෙසී අද එල්ලුම් ගස සාදා නිම කරනු ඇත. බක් යට බැනියම් සාක්කුවෙහි නිතර රැගෙන යන රිදී ඔරලෝසු කොපුවෙහි පියන ඇර වෙලාව බැලීය. තවමත් හය වීමට විනාඩි විස්සක් පමණ තිබිණ. ග්‍රියර් වැඩ පටන්ගන්නේ ඒ වෙලාවටය. 

බක්ට අනුව නම් එක් පුද්ගලයෙකු  එල්ලා ඒ සමගම ගලවා විසිකරන්නට එල්ලුම් ගසක් සැදීම කිසිම වැඩක් නැති නාස්තිකාරී ක්‍රියාවකි. මැක්ග්‍රාත් කැනන් සිටි වෙත යවා එහි බන්ධනාගාරයේදී මරණීය දණ්ඩනය පනවන්නට තිබ්බා නම් වඩාත් හොඳ වුවත් විනිශ්චයකාර හන්ටර් එයට විරුද්ධ විය. විරුද්ධත්වයට හේතුව බක් දැනසිටියත් එය හන්ටර්ගේ මුහුණටම චෝදනා කළහැකි විදියේ හේතුවක් නොවීය.  

ඔහුගේ සිතුවිලි එලන් ඩ්රූ වෙත යොමු විය. හෙට නොව අනිද්දා ඔහු ඇගේ කැමැත්ත අසන්නට තීරණය කරගෙන සිටියේය. ඇය කැමති වුවහොත් (අකමැති නොවන බවට කිසිම සැකයක් නැතත්) එදිනම විවාහ වී සතියකට හෝ දෙකකට අපාචේ ජන්ක්ෂන් වෙතින් බැහැරව සිටීම ඔහුගේ අදහස විය. ෂෙරිෆ්ගේ රාජකාරි තාවකාලිකව ඔහුගේ සහායක ඩියැක් ෆොස්ටර් වෙත බාරදිය හැකිය. 

හිරගෙදර අසල හිස් පිට්ටනිය දෙසින් මිටියකින් පහරදෙන හඬක් නැගෙනු අසා ඔහු ඔරලෝසුව දෙස බැලීය. පුදුම වන්නට කරුණක් නැත. වෙලාව හරියටම හය වී ඇත. කාර්යාලය සිර කුටිවලින් වෙන් කරන දොර පිටුපසින් ජොනී මැක්ග්‍රාත් බෙරිහන් දෙනු ඇසිණ. "ෂෙරීෆ්?"

කෝප්පයකට කෝපි පුරවාගත් ඔහු සිර කුටි වෙත යා හැකි දොර විවෘත කොට මැක්ග්‍රාත් වෙත ගොස් යකඩ කූරු අතරින් කෝපි කෝප්පය දුන්නේය. කෝප්පය ගනිද්දී මැක්ග්‍රාත්ගේ අත කොතරම් වෙව්ලුවේද යත් කෝපිවලින් කොටසක් බිම ඉහිරිණ. 

මැක්ග්‍රාත්ගේ වයස විසිතුනකි. රත් පැහැයට හුරු හිසකේ, පැල්ලම් ඉහිරුන සම හා ග්‍රීෂ්ම සෘතුවේ නිල් පැහැයෙන් යුත් දෑසකින් හෙබි ඔහු කඩවසම් තරුණයෙකු විය. එසේ වුවත් ඔහුගේ මුහුණෙහි වූ සෙල්ලක්කාර සිනාව මැකී ගොස් ඇස් යට කළු වී තිබිණ. දින කිහිපයකින් රැවුල කපා නොතිබූ ඔහුගේ මුහුණ රත් පැහැති රැවුල් කොටවලින් වැසී තිබිණ. "ඇණ ගහන සද්දෙට මට ඇහැරුනා." ඔහු පැවසීය. 

බක් කිසිවක් කීවේ නැත. කියන්නට තරම් දෙයක් තිබුණේ ද නැත. 

"කොච්චර වෙලා මං ඕක අහගෙන ඉන්න ඕනැද?" 

"මට කියන්න අමාරුයි."

"අර අවලම් විනිශ්චයකාරයා හොඳට දන්නවා මිනිහෙකුට වද දෙන හැටි."

"විනිශ්චයකාරයාගේ නෝනත් එක්ක සම්බන්ධකම් තියාගන්නෙ නැතිව ඉන්නනෙ තිබුනේ." බක්ගේ කටින් එළියට පැන්නේ තමන් කියන්නේ කුමක්දැයි තේරුම් යන්නටත් කළිනි. ඒත් සමගම ඔහු, "සමාවෙන්න. ආයෙත් ඕව ගැන කතාකරන එකේ තේරුමක් නෑනෙ." යි පැවසීය. 

"එහෙම කියන්නත් බෑ. ඒත් ඔබ හරි. හැබැයි ඉතින් මම විතරක් නෙමෙයි එහෙම කළේ. ඒ උනාට  එයත් එක්ක  ඉඳලා අහුඋනේ මං විතරයි." 

"එයා කියන්නේ නං එහෙම නෙමෙයි." 

"ඒකි බොරුකාරියක්. ඕකි............"මැක්ග්‍රාත් තම උරහිස් හැකිළවීය. "ඒ ගැන කතාකරන එකෙත් තේරුමක් නෑ." 

"උදේ කෑමට මොනවද ඕනෑ?"

මැක්ග්‍රාත් කලකිරුණු ස්වභාවයෙන් සිනාවක්  පෑවේය. "සිරකාරයාගේ අවසාන කෑම වේලද?" 

"නෑ. මේකට පස්සේ තව කෑම වේල් තුනක් තියනවා. මම හිතුවේ කන්න කැමති දෙයක් ගෙනත් දුන්නොත් හොඳයි කියලා." 

"පෑන්කේක්. බටරුයි පැණියි වැඩියෙන් දාලා."

"වෙන මොනවද?"

"සොසේජ්, කිරි." 

"මම දැන්මම අරන් එන්නම්." ජොනීගේ කෝප්පය අතට ගත් බක් නැවත කාර්යාලය වෙත පැමිණියේය. හොඳින් දොර අගුළු දැමූ ඔහු වීදියට පිවිස හෝටලය දෙසට ගමන් කළේය.

මේ වන විට හිරු නැගී හිරුගේ රන් පැහැ ආලෝකය කහ පැහැයෙන් උස්ව නැගුන කොට්න් වුඩ් ගස් මත පතිත වී තිබිණ. පෙනෙන මානයක වලාකුලක් නැති අහස නිල් පාටින් දිලුනේය. වියලි ස්වභාවයක් ගත් වාතයෙන් ලී පිලිස්සී නැගෙන ගන්ධය වහනය විය. බක්ට සිතුනේ  කවදා හෝ ඔහුට මිය යන්නට කාලය පැමිණි විට අවුරුද්දේ මේ කාලයේ නම් එය සිදු නොවිය යුතුය යන්නයි. 

ඒ වනවිටත් මිනිසුන් කිහිප දෙනෙක් හෝටලයේ කෑම ගන්නා කෑල්ලේ සිටිනු පෙනිණ. බක් වාඩි වූ පසු වේටර්වරිය රෝස් විජිල් කෝපි කෝප්පයක් ගෙනාවාය. ඔහු මැක්ග්‍රාත්ගේ උදෑසන කෑම වේල ඇනවුම් කර වේටර්වරිය කෑම බන්දේසිය රැගෙන එන තෙක් උණු කෝපි කෝප්පය තොල ගෑවේය. 

කිසිවෙකුත් ඔහු සමග කතා කළේ නැත. කිහිපදෙනෙක් ඔහු සිටින දෙස බැලුවද ඔවුන්ගේ ඇස් වෙත ඔහුගේ දෑස් යොමු වූ සැනින් ඔවුහු අහක බලා ගත්හ. 

කෝපි කෝප්පය අවසන් වන විට රෝස් මැක්ග්‍රාත්ගේ කෑම බන්දේසිය ගෙනැවිත් තිබුණාය. ඒ වෙනුවෙන් අත්සනක් යෙදූ බක් නැගී සිට එයද රැගෙන පිටව ගියේය. කාර්යාලයේ දොර අගුල අරින තෙක් කෑම බන්දේසිය බිම තැබීමට ඔහුට සිදුවිය. 

ඇතුළු වූ පසුව බන්දේසිය මේසය මත තැබූ ඔහු බොළඳ වැඩක යෙදෙන්නාක් මෙන් හැඟීමකින් කෑම ආවරනය ඉවත් කර ගෑරුප්පුවක් ගෙන කෑමට අනිමින් පෑන්කේක් එහාමෙහා කර බැලීය. වෙනත් කිසිවක් හමු නොවුනද ප්‍රවේසම් වීම වඩා හොඳ යයි ඔහුට සිතිණ. රෝස් විජිල් ද ජොනී මැක්ග්‍රාත්ට වශී වූ කෙල්ලන් කිහිපදෙනාගෙන් එක් අයෙකි. එනිසාම ඔහුට පිහියක් හෝ කියත් තලයක් සඟවා එවීම සඳහා උත්සාහ කරන්නට බැරිකමක් නැත. 

මැක්ග්‍රාත් වෙත කෑම බන්දේසිය ගෙනගිය ඔහු එවිගසින් පිටතට පැමිණ දොර අගුළු දමා වීදියට පිවිස ඉක්මන් ගමනින් නගරයේ කෙළවරේ පිහිටි දුම්රිය ස්ථානය වෙත ඇවිද ගියේය. වේදිකාවට නැගුන ඔහුට උදෑසන දුම්රියේ නලා හඬ ඈතින් යන්තමට ඇසිණ. 

විදුලි පණිවුඩකරු රොස් ඈෂ්ෆර්ඩ් තම කැරකෙන පුටුව මත නින්දට වැටී සිටියේය. ඔහුගේ කොල පැහැති ඇස් ආවරණය පැත්තකට ඇලවී තිබිණ. "රොස්?" බක් ඔහුට කතා කළේය. ඈෂ්ෆර්ඩ් අවදි විය. "මොකක්වත් ආවද?" බක් විමසීය. හිස දෙපසට සෙලවූ ඈෂ්ෆර්ඩ් නැති බව ඇඟවීය. බක් අදහස් කරන්නේ ආණ්ඩුකාරවරයාගෙන් ලැබිය යුතු විදුලි පණිවිඩයක් බව ඔහු දැන සිටියේය. මැක්ග්‍රාත්ගේ තීන්දුව වෙනස් කරන ලෙස ඉල්ලා බක් දින කිහිපයකට පෙර ආණ්ඩුකාරවරයාට විදුලි පණිවිඩයක් යවා තිබුනේය. ආණ්ඩුකාරයාගේ ලේකම්වරියගෙන් ඉක්මන් පිළිතුරක් ලැබුනද ඉන් පැවසුනේ ආණ්ඩුකාරයා නගරයෙන් බැහැරව ඇති බවත් බක්ගේ පණිවුඩය ගැන ඔහු දැනුවත් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත්ය. 

"මුළු දවසක්ම එහෙම පිටින්ම තියනවනේ තව." ඈෂ්ෆර්ඩ් පැවසීය. "තව එකක් යවමු." පැවසූ බක් කහ පැහැති සටහන් පොත ගෙන පණිවිඩය කුරුටු ගා ඈෂ්ෆර්ඩ් වෙත තල්ලු කළේය. එය ලියා තිබුනේ ආණ්ඩුකාරයාගේ ලේකම්වරියටය. "ඔබ මෙහි පැමිණ ආණ්ඩුකාරවරයා සම්බන්ධ කරගත නොහැකි බව මැක්ග්‍රාත්ට දැනුම්දිය යුතු යයි මම යෝජනා කරමි. එල්ලුම්ගසේ ලණුව ඔහුගේ ගෙල වටා සිරවන විට ඔබගේ පැහැදිළි කිරීම ඔහුට සහනයක් ගෙනදෙනු ඇත." 

එය කියවූ ඈෂ්ෆර්ඩ් ශබ්ද නොනැගෙන සේ උරුවම් බෑවේය. "එයාට මේක ටිකක් සැර වැඩියි." 

"එතකොට මැක්ග්‍රාත් ගැන මොකද කියන්නේ?" බක් කෝපයෙන් පැවසීය. ඇඟිලිවල තෙරපුමට ලක්වූ යතුරු ශබ්ද නගන්නට පටන් ගත්තේය. ආපසු හැරුන බක් පිටතට පැමිණ කෝප සහගත මුහුණින් යුතුව උදෑසන හිරු එළිය පතිත වන වේදිකාව මත සිටගෙන  පයිප්පයට දුම්කොල පුරවා එය දල්වා ගත්තේය. 

කෝපයෙන් යුතුව දුම් පිඹිමින් වීදිය දිගේ සිරගෙදර දෙසට ඔහු සෙමින් සෙමින් ආපසු ඇවිද ආවේ කලකිරුනු සිතකිනි. ගතයුතු යයි ඔහු දැන සිටි තීරණය ගැනීම මේ දක්වා මගහරිමින් සිටියද තව දුරටත් එය කල්දැමිය හැකි දෙයක් නොවේ. ප්‍රතිඵලය කුමක් වුවද එක් ස්ථාවරයක සිටින්නට ඔහුට සිදුවනු ඇත. 

පළමු පරිච්ඡේදයේ පළමු කොටසේ අවසානයයි මේ. ඉතිරි කොටස කියවන්නට තව දින හතකින් හමුවෙමු. 

  

    


             

      




9 comments:

  1. සුපිරි! දිගටම ලියන්න! මගේ හොඳම නව කථා පහ තෝරන්න කිව්වොත් ජැක් ෂේපර් ගේ "ෂේන්" එක පොතක්!

    ReplyDelete
  2. අහා! මේවා හෙමීට ආතල් එකේ, යක්කු ගස් නගින වෙලාවට කියවන්න ඕනෙ කතා.නියමයි. 🙏👌

    ReplyDelete
  3. දවස් හතක් ඉන්න එක තමයි අමාරු😒

    ReplyDelete
  4. ඉතා හොදයි , දිගටම ලියන්න - Mayya- https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  5. කතාවේ ටිකයි කියෙව්වේ. ඉතිරිය කියවන්න පසුවට එන්නම් හොදේ. දිගටම කියවන්න බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  6. මරැ. අගේට ලියල තියෙ ❤!.
    නිවීහැනහිල්ලෙ කියවන්නයි පස්සෙ තියාගත්තෙ මෙක.

    //අවසානය දක්වාම කතාව ඉදිරිපත් කරන්නේද යන්න පාඨක අවධානය මත තීරණය වේ යයි සිතමි. // එහෙම හිතනඩ එපා. දාන්න පටන්ගත්ත හන්ද දිගටම පල කරන්න.

    ReplyDelete
  7. ++++++++

    ඒක කාලයකදී මගෙ ෆේවරිට් පොත් ජේ ටී එඩ්සන්ගේ ෆ්ලෝටින් අවුට්ෆිට් සීරීස් එක.
    අනිත් එක Gilman ගේ Edge පොත්. Anti hero type.

    https://www.goodreads.com/series/41996-edge

    ReplyDelete
    Replies
    1. හ්ම්! මේ ප්‍රා.ජේ ලොක්කත් ඇවිත් ඉන්නෙ

      Delete