රට, වහල නැතිවෙනවද? ඇරල නැතිවෙනවද?

  

(ඡායාරූපය Tumblr වෙබ් අඩවියෙනි.)


වසර එකහමාරකට ආසන්න කාලයක් පුරා කෝවිඩ් ගැන බොහෝ දේ ලියැවී ඇත. විෂය පිළිබඳ විශේෂඥයින් මෙන්ම අප වැනි අවශේෂ ජනයා ද ඊට දායක වී ඇත. පසුගිය දිනවල මාතෘකාව වී තිබුනේ රට වැසිය යුතුද, නැද්ද යන කරුණයි. රජය අකමැත්තෙන් වුවද බර වැඩි පැත්තේ පීඩනයට නතුවී නාමික රට වැසීමකට පියවර ගත්තේය. ඊලඟට මතුවූ ප්‍රශ්නය වූයේ රට වැසීමේ කාලය දික් කරන්නේ ද යන්නය. එය ද වැඩි බර පැත්තට බරවී සතියකින් දිගු වී ඇත. එහෙත් රට වැසීම ඉල්ලා සිටි අයවත් අකමැත්තෙන්  හෝ එය දුන් ඇත්තන්වත් ඉන් පලක් වෙතැයි බලාපොරොත්තු නොවීම මෙහි ඇති උත්ප්‍රාසයයි.

පීඩනය එල්ලකල අය බලාපොරොත්තු වූයේ පූර්ණ රට වැසීමේ තත්ත්වයකි. එය ඉටු නොවීම නිසාම කෝවිඩ් වසංගතය පැතිරීම යහපත් අතට හැරීමක් ඔවුහු නොදකිති. රට වැසීම බලාත්මක කළ අය ද නොකර බැරිකමට කළ නිසා සුවිශේෂ වූ වෙනසක් අපේක්ෂා නොකරන අතරම රට විවෘත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරති.

මෙතැනදී පළමුව සිතා බැලිය යුත්තේ පූර්ණ වැසීමක් අවශ්‍ය ද නැද්ද යන්නට වඩා එවැන්නක් කළ හැකිද, නැද්ද යන්න බව මගේ හැඟීමයි. ඉන් අදහස් වන්නේ ආර්ථිකය නොවැටී පවත්වාගැනීම පිළිබඳ ජනප්‍රිය තර්කය නොව ප්‍රායෝගිකව එය කොතෙක් දුරට කළහැකි ද යන්නයි. ප්‍රධානම අභියෝගය වන්නේ ආහාර සම්පාදනයයි. ගෙවල්වල සිරවී සිටින ජනතාව සඳහා ආහාර ද්‍රව්‍ය නොකඩවා සැපයීමයි. එහෙත් වසර එකහමාරක පමණ අත්දැකීම් පෙන්වා දෙන්නේ එය ඉටු නොවන බලාපොරොත්තුවක් වී ඇති බවයි. ආර්ථික මධ්‍යස්ථාන වල එළවළු කුණුවන විට අවශේෂ පළාත් වල ජනයා ගිනි ගණන්වලට වත් එළවළු මිලදී ගත නොහැකිව සුසුම්ලති. ඒ අර්ධ රට වැසීමේ තත්ත්වයකදීය! (මෙය ලියන මොහොත වනවිට නුවරඑළියේ පෙයාර්ස් විකුනාගත නොහැකිව හරකුන්ට කන්නට දෙන පුවතක් කියවන්නට ලැබින.) වසර එකහමාරක් තිස්සේ සැලසුමක් හදාගත නොහැකි වූ මේ ගැටළුවට ඉදිරියේදී ද විසඳුමක් ලැබෙන්නේ නැති බව පැහැදිළිය. මේ දිනවල නොවැරදී දකින්නට ලැබෙන එකම ආහාර සම්පාදන මාර්ගය නම් චූංපාන් ලොරියපමණි.

 අනෙක් අතින් වැටුප් නොලබන එදිනෙදා කුළියට රැකියාවල යෙදෙන ජනයා මෙන්ම සුළු පරිමාණ ව්‍යාපාර කටයුතු වල යෙදෙන්නන් ගැන ද රජයට වගකීමක් ඇත. පූර්ණ රට වැසීමේ තත්ත්වයක් යටතේ ඔවුන්ගේ යැපීමට අදාළ වගකීම ගැනීමට තරම් ශක්තිමත් ආර්ථික මට්ටමක් හෝ සැලැස්මක් රජය සතුව නැත. පන්දහසේ දීමනාව දෙදහස දක්වා පසුබැසීම ඊට සාක්ෂි සපයයි. අවම වශයෙන් රට විවෘතව පවතින වීටදීවත්  පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි සැලැස්මක් අධ්‍යාපන ඇමතිවරුන් සතුව නොතිබූ බව සිහියට නගාගත් විට සැලසුම් ගැන  බලාපොරොත්තු තබාගැනීම කොතරම් දුරට නුවණක්කාර වැඩක්දැයි සිතාගැනීම අසීරු නැත.

එසේ නම් විකල්පය රට විවෘතව තබාගැනීමද? එයට පිළිතුරක් සැපයීමට ඒ සඳහා සපුරා ගතයුතු කොන්දේසි ද විමසා බැලිය යුතුය. පිළිතුර ඉතා සරලය. අවශ්‍ය වන්නේ සමාජ දුරස්තභාවය පවත්වා ගෙන සෞඛ්‍යාරක්ෂිතව සමාජයෙහි හැසිරීමය. සරල සේ පෙනුනද එය ක්‍රියාවට නැංවීම සිතන තරම් සරල නොවේ.

පළමුව අපගේ අවධානයට යොමු වියයුත්තේ කෝවිඩ් පාලනයට වඩාත්ම වැදගත් සාධකය වන සමාජ දුරස්තභාවය පවත්වා ගැනීම හා මූලික සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් පිළිබඳ සමාජයේ ප්‍රතිචාරයයි. ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් යමක් පැවසීම අවශ්‍ය නොවන්නේ පාරේ ගමන් කරන්නන්ට මුඛ ආවරණ පැළඳවීම සඳහා පොලිස් නිලධාරීන් දරන වෙහෙස දිනපතාම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපට දර්ශනය වන බැවිනි. මීට අමතරව ආසාදිතයින්ගේ කෙල ප්‍රහාර වලට ලක්වූ සෞඛ්‍ය නිලධාරීන් ද එන්නත් පෝලිමේ තෙරපීමට භාජනය වී රෝහල් ගත වූ අය මෙන්ම ගුටිබැට හුවමාරු කරගන්නා අය ද සුලබ දසුන් වී ඇති බව සිහියට නගාගත් විට දුරස්තභාවය පිළිබඳව සමාජ සංවේදීතාව ගැන අවබෝධයක් ලබාගැනීම අසීරු නැත. ඊටම බලය ඇත්තන් ප්‍රසිද්ධියේ ද නැත්තන් හොර රහසේ ද රඟ දක්වන මගුල් ගෙවල්, කොටහළු ගෙවල් හා අවමංගල උත්සව ද එකතු කළවිට චිත්‍රය සම්පූර්ණ වේ. වෛද්‍ය විශේෂඥයින් කෙතරම් බණ කිව්වද ජනතාවගෙන් කොටසකට හෝ එවැන්නක අවශ්‍යතාව නොවැටහේ නම් මෙය සාර්ථක කරගත හැකි ව්‍යායාමයක් නොවේ.     

දෙවනුව පොදු ප්‍රවාහන පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. සාමාන්‍ය තත්ත්වය යටතේ වුවද එය පැවතියේ ඉතා දුර්වල මට්ටමකය. කෝවිඩ් ව්‍යාප්තියත් සමගම අත්‍යවශ්‍ය වූ සමාජ දුරස්තභාවය පවත්වා ගනිමින් අවම වශයෙන් අත්‍යවශ්‍ය සේවාවල නිරත වන අය ප්‍රවාහනය කිරීමට තරම්වත් ප්‍රමාණවත් ශක්තියක් එය සතු නොවීය. ප්‍රතිඵලය වූයේ දැඩි අවදානමක් දරාගෙන රාජකාරියෙහි යෙදුන රෝහල් කාර්ය මණ්ඩලයට පවා  දොරටුවලින් උතුරා යන ජනයා සහිත බස්වලින් හා දුම්රිය වලින් සිය ගමනාගමන පහසුකම් සපුරා ගන්නට සිදු වීමය. වෙහෙසකර බවේ උපරිමයට ගිය සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට මින් විඳීමට සිදුවන පීඩනය ගැන මෙන්ම ඉන් අවදානමකට ලක්වෙන සෙසූ මගී ජනයා ගැන ද සෞඛ්‍ය බලධාරීන්ට හෝ ගමනාගමන බලධාරීන්ට වගේවගක් නැත. රාජ්‍ය හා පුද්ගලික අංශ වල සේවයෙහි යෙදෙන අනෙකුත් ජනතාවට ද තම ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට සිදුව තිබෙන්නේ ද ඊට වඩා වෙනස් ආකාරයකට නොවේ. විසඳුම නම් ප්‍රවාහන පද්ධතිය සමාජ දුරස්තබව පවත්වාගෙන ගමන්බිමන් කළහැකි තරමට වර්ධනය කිරීමය. එහෙත් එය වසංගත කාලයක තබා සාමාන්‍ය තත්ත්වයකදීවත් (ආයෝජනය කිරීමට මුදල් තිබුනත්) කෙටි කළකින් කළහැකි කාර්යයක් නොවේ. දිගු කලකින් වුවත් එය නොකෙරෙන බව ද අපි දනිමු.

ගිය පණවත් ඇදල ගන්න ඉඟුරු යුෂය දෙමු බලන්න කීවා සේ ඊලඟට ඇත්තේ එන්නත්කරණයේ පිහිටයි. කෝවිඩ් එන්නතින් ඇතිකරන ප්‍රතිශක්තිය නිසා වසංගතයේ ව්‍යාප්තිය සියයට සියයක් වලක්වාගත නොහැකි වුවත් පැතිරීම බොහෝ දුරට පාලනයටත් මරණ සංඛ්‍යාව අඩු කරගැනීමටත් එය ඉවහල්වන බව එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක වූ රටවල අත්දැකීම් වලින් පෙනීගියත් එයද දැන් අභියෝගයට ලක්වී ඇති බව පෙනීයන්නේ කෝවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද වලට එන්නත් දක්වන ප්‍රතිරෝධය දුර්වල වී වෛරසයේ පැතිරීම නැවතත් වේගවත් වී ඇතිබව පෙනී යන නිසාය. මේ ප්‍රවනතාවත් සමගම අපට ඇති තවත් විකල්පයක් ගිලිහී යයි. එය නම් සාමූහික ප්‍රතිශක්තියයි. රෝගය සමාජයේ වැඩි දෙනෙකු අතර පැතිරයාමෙන් ස්වභාවිකව ඇතිවන ප්‍රතිශක්තිය නිසා වෛරසයේ පැතිරීම දුර්වල වෙතැයි තවදුරටත් බලාපොරොත්තු තබාගැනීම නුවණට හුරු වැඩක් නොවේ. මක් නිසාද යත් වෛරසයේ නව ප්‍රභේද අළුතින් බිහිවෙමින් පවතින බැවිනි.

කෝවිඩ් වසංගතය පාලනය කිරීමට ගතහැකි පියවර එකක්වත් හරියන්නේ නැත්නම් ඊලඟට කරන්නේ කුමක්ද? එකක් නම් දැං යන විදිහටම යන්නට දී ඉතිරි වෙන එවුන් ටික කවදා හෝ රට හරිමගට ගනී යයි හිත හදාගැනීමය. එසේ නැත්නම් කෝවිඩ් වෛරසයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගන්නා තෙක් සෞඛ්‍යාරක්ෂිත පුරුදු හා සමාජ දුරස්තභාවය පිළිබඳ නිර්ණායක අකුරටම පිළිපදිමින් ජීවත්වීමට හුරුවීමය. අකුරටම කියන විට අදහස් කෙරෙන්නේ දුරස්තභාවය නොරැකෙන්නේ නම් හා සෞඛ්‍යාරක්ෂක පහසුකම් සලසා නැතිනම් සුපිරි වෙළඳසැල තුලට, කඩයට, පොළට හා රැකියා ස්ථානයට නොයෑමය. රැකියාවට යනවිට බස් රථයේ, දුම්රියේ දුරස්තභාවය පවත්වාගෙන් ගමන් කළ නොහැකි නම් ඉන් ගමන් කිරීම ප්‍රතික්ෂේප කිරීමය, රැකියාවට වුවත් නොයා සිටීමය. රැකියාවට ඒමට නම් කෝවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පහසුකම් සලසා දියයුතු බවට රජයට බල කිරීමට තරම් ශක්තියක් ඇතිකර ගැනීමය. පහසුකම් සලසා තිබියදීත් ඒවා පිළිනොපදින ජනතාව සමාජයෙන් ඈත් කිරීමය. එසේ කිරීමට තරම් දැනුවත්බවක්, විනයක් හා සංවිධානාත්මක බවක් ගොඩනගාගැනීමය. අපට එසේ කළහැකිද?

No comments:

Post a Comment