අහම්බෙන් මොහොතක

             

                           (ඡායාරූපය bsnscb.com වෙතින්)


කෙලි කවට සිනා කැටි පෙණ නගන සතුටු සාමීචි දිය දහර

මතක කොදෙව්වේ රැඳුනු එක් තැනක නැවතුන මොහොතක,

හිරිවැටී ගොළු වීය සිත, සැනින් මතුවූ මතකයෙන්.

කොපමණ කලකට පෙරද අප ගියේ ඉසව්වට!

වෙනස් වී ඇති හොඳටම, අපි වාගෙම.

හදවතේ සියළු තත් කම්පනය කළ මතකක්.

මගෙ විපිලිසර බවින් මිතුරු කැළ මවිත වුව,

කෙසේ දැනගන්නද එදා නාඳුනන්නන් වූ ඔවුන්,

නොගැලවෙන්නට සිත සවිවූ තැනක් බව එය?

කෙසේ සිතාගන්නද ඔවුන්, පිබිදුනේ මසිත තුළ

අද දකින තැන නොව, එදා තිබුන තැන බව?

අප විඳ දරා ගත් දේ නොව,

දුර ඈත අතීතේ දිනක තැන්හී හිඳ

හදපුරා විඳගත් ඔබගේ

චිත්තාකර්ෂණීය ලාලිත්‍යය බව.

නොනැවතී ගලා යන මතක සිතිවිලි දහර….,

කාලය ද වියපත්ව වෙනස් වී ඇති එදෙස,

එදා සිටි මිතුරු කැළ නොවේ අද මා වටා

සේ වුව නොවෙනස්වු නැවුම් වුවනත ඔබේ

නුහුරු නුපුරුදු මිහිරකින්

එදා විඳගත් සේම අද ද විඳිනෙමි සිතින්.

ඔබ කොහිද නොදන්නෙමි,

ඔබ වටා අද සිටින අයවුද නොදන්නෙමි.

හෙත් සිතනෙමි නිතර

මතකයේ රැඳුන දුර ඈත ඒ අවදියේ

සතුට උතුරා හැලෙන සිත වතින් පුබුදමින්

සිටිය ඔබම ද අදත් සිටින්නේ?

මා මෙන්ම ඔබත් ගොළු වී ඇතිද

අහම්බෙන් මොහොතක කියවුන විට මුවඟකින්

අප ආගිය තැනක්,

දැනුනේ අප පයට එහි පහස බොහෝ කලකට පෙර වුවද.

J. H. B. Peelගේ  At Odd Moments කවියෙහි ඡායානුවාදයකි.


1 comment: