දෙවියොත් සාක්කි!

   පහත දැක්වෙන්නේ ඉන්දියානු විද්වතෙකු වූ ඒ.කේ. රාමනුජාන් විසින් රචිත කන්නඩ ජනකතා එකතුවක් වූ The Flowering Tree නම් කෘතියෙන් ගත් ජනකතා දෙකකි. ඔහු මේවා හැඳින්වූයේ කටින් කට පැවත ආ කතා (oral tales) ලෙසය. චිකාගෝ විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියක් ඉසිලූ ඔහු වාග්විද්‍යාඥයෙක්, භාෂා ශාස්ත්‍රඥයෙක් පමණක් නොව කවියෙක්, නාට්‍ය රචකයෙක් මෙන්ම ජනශ්‍රැති පර්යේෂකයෙක් ද විය. මෙම කෘතිය ඔහු හැඳින්වූයේ ඔහුගේ පැරණිම ව්‍යාපෘතිය ලෙසය. එලෙස ගත් විට එය ඔහුගේ අවසාන ව්‍යාපෘතිය ලෙස ද සැලකීමට සිදුවෙයි. ඒ 1929 උපන් ඔහු මෙම කෘතිය නිමවීමට පෙර 1993දී අභාවප්‍රාප්ත වන බැවිනි. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ප්‍රකාශනයක් ලෙස මෙම කෘතිය එළිදකින්නේ 1997දී ය.  

                         

1.                                             දෙගුණ වීම

එක ගමක හරිම දුප්පත් මිනිහෙකුයි එයාගේ බිරිඳයි ජීවත් උනා. ඔවුන් ජීවත් උනේ දර එකතු කරලා ඒවා  විකුණලයි. මිනිහට දවසක් ආසාවක් ඇති උනා මෙනේරි තෝසෙ කන්න. ඒත් ගෙදර මෙනේරි තිබුනේ නෑ. ඔහු හිතුවා කන්දෙ දෙවාලෙට ගිහින් දෙවියන්ට යාඥා කරලා මෙනේරි ටිකක් ඉල්ලා ගන්න. ඉතින් මේ මිනිහා කන්දෙ දේවාලෙට ගිහිල්ලා පුද පූජා පැවැත්තුවා. මේක බලා හිටපු දෙවියන් සතුටු වෙලා මිනිසා ඉදිරියේ පෙනී ඉඳලා ඇහුවා ඔබට මොනවද ඕනෑ කියලා.

"මට මෙනේරි ටිකක් ලැබෙන්න සලස්වන්න. වෙන මොකක්වත් එපා."

"හොඳයි, ගෙදර ගිහින් බලන්න. මෙනේරි තියේවි."

දෙවියෝ එහෙම කිව්වම මිනිහට හිතුනා තව ටිකක් ඉල්ලුව නම් හොඳයි කියලා.

"දෙවියනි, කරුණාකරලා මට දුන් මෙනේරි ප්‍රමාණය දෙගුණයක් කරන්න  පුළුවන්ද?"

"පුළුවන්, ගෙදර යන්න. ඔබේ මෙනේරි දෙගුණයක් වෙලා ඇති."

ඔහු ආපසු ගියාම ගෙදර තිබුණ ධාන්‍ය දමන බඳුන මෙනේරි වලින් පිරිලා තිබ්බා. මිනිහා ඒක තමන්ගේ බිරිඳට දීලා කිව්වා මේවා අඹරලා මට තෝසෙ හදලා දෙන්න කියලා.

ඇයත් ඒක අරගෙන කුල්ලට දැම්මා. එතකොටම මෙනේරි දෙගුණ උනා. ඒවා ඇඹරුම් ගලට දංලා අඹරන්න පටන් ගත්තා. අඹරන්න පටන් ගන්නකොටම ආයෙත් මෙනේරි දෙගුණ උනා. අඹරලා ඉවර වෙලා පිටි ටික කුල්ලට දානකොට නැවතත් පිටි දෙගුණ උනා.

පිටිවලට තෙල් දාලා මිශ්‍ර කරලා ඒකෙන් ටිකක් තාච්චියට දාලා තෝසයක් හදන්න ගත්තා. එකක් හදලා ඉවරවෙන කොට ඇයට තේරුනා දෙකක් හැදිලා තියනවා කියලා. අන්තිමට හදලා ඉවරකර ගන්න බැරි තරම් තෝසෙ හැදුනා.

ඇයගේ ස්වාමිපුරුෂයාට කියලා නිම කරගන්න බැරි තරම් සන්තෝසයි. ඔහු එක තෝසයක් අතට ගත්තා. එකක් ගත්තට තමන්ගේ අතේ දෙකක් තියනවා කියලා ඔහුට තේරුනේ එකක් කටේ දාගත්තට පස්සෙයි.. එකක් කටට අරන් කන්න පටන් ගත්තම එකක් අතේ තියෙද්දි තව එකක් කටේ තියනවා කියලා දැනුනා. මේ මනුස්සයා හරිම සතුටින් කාගෙන කාගෙන ගියා. කොච්චර කෑවද කියනව නම් බඩ පිරිලා පිරිලා තවත් ඉඩ නැතිව ගියාට පස්සෙත් කෑවා. එහෙම කනකොට බඩ ලොකුවෙලා ඉදිමිලා පුපුරලා ගිහිල්ලා මිනිහා මැරුණා. 

සොහොන් පිටියට මළමිනිය කරේ තියගෙන අරන් යන්න මිනිසුන් හතරදෙනෙක් ආවා. මිනිය කරේ තියාගෙන ගිහිල්ලා සොහොන් පිටියේ වැළලුවා විතරයි මිනිය අරන් ගිය අයට තේරුනා එයාලගේ කරේ තව මිනියක් තියනවා කියලා. ඒ මිනිය ඒගොල්ල තව හතරදෙනෙකුගේ කරේ තිබ්බා. එතකොට මිනිය කරට ගත්ත මිනිසුන්ට දැනුනා තවත් මිනියක් තමන්ගේ කරේ තියනවා කියලා. මේ විදියට මිනී වළලන්න වළලන්න මිනිස්සුන්ගේ කරට මිනී එන්න පටන් ගත්තා. අවසානෙදි ගමේ හිටිය හැම හතරදෙනෙකුගේම කරේ මිනිය ගානේ තිබුනා. 

කරගන්න දෙයක් නැතිව අසරණ උන ගමේ මිනිස්සුන්ට දෙවියන් සිහි උනා. එතකොටම දෙවියෝ බලනකොට දෙවියන්ට තේරුනා තමන් දීපු වරය නිසා වෙලා තිබුන අලකලංචිය. දෙවියෝ වහාම තමන් දීපු වරය ආපසු ගත්තා. වරය ආපසු ගන්නකොටම මෙච්චර වෙලා සිද්දවෙලා තිබ්බ හැම දෙයක්ම ආපහු වෙනස්වෙලා කලින් තිබ්බ විදිහටම  මොකක්වත් උනේ නෑ වගේ තිබුණා. 


                                            2. ලේලිගෙ නුවණ

එක නැන්දම්මා කෙනෙක් හිටියා හරිම නපුරු. ඇය තමන්ගේ ලේලිට කිසිම නිදහසක් දුන්නෙ නෑ. ගෙදරදොර වැඩ, ගවගාළ පිරිසිදු කරන එක, ලිඳෙන් වතුර අදින එක වගේ සියළුම වැඩ ලේලිට කියලා තමයි කරගත්තෙ. මේ ඔක්කොම වැඩ කරලා ඉවර වෙනකොට හොඳටම හවස් වෙලා. එතකොට අම්මයි පුතයි උයලා තියන කෑම කාලා ලේලිට තියන්නේ ඉතුරුවෙච්ච කෑමයි පිළුනු උන බතුයි විතරයි. යන්තමට හරි ඒ ගැන කංකෙඳිරි ගෑවොත් නැන්දම්මා කොසුමිටෙන් ලේලිගෙ ඔලුවට ගුටි වරුසාවක් දෙනවා. බැරි වෙලාවත් ඇඬුවොත් එහෙම "පට්ට බැල්ලි, මූසලී, අපේ ගෙදර කඳුළු වලින්ම හෝදලා කාලකණ්ණි කරන්නද හදන්නෙ? වේස ගෑනි." කියලා කුණු බැනුම් වලින් නාවනවා. පුතා මීක් නැතිව ඔලුව පාත් කරගෙන ඉන්නවා. 

මේ ගෙදර පිටුපස්සෙ හොඳ සරුවට හැදුන පතෝල වැලක් තිබුනා. දිගට මහතට හැදුන පතෝල කරල් මේ වැලේ එල්ලිලා තිබුනා. මේක දකින හැමෝගෙම කටට කෙල ඉනුවා.  හොඳින් පැහුනට පස්සෙ නැන්දම්මා පතෝල වලින් රසට කෑමක් හදලා පුතත් එක්ක කාලා ලේලිට ඉතුරු කරලා තිබ්බේ ඉඳුල් ටිකක් විතරයි. මෙහෙම දවස් කීපයක්ම ඉතුරු වෙච්ච ඉඳුල් කෑම කාලා බාගෙට හාමත් වෙලා හිටිය ලේලිට බඩ පිරෙන්න පතෝල වලින් හදපු කෑම කන්න ආසාවක් ඇති උනා. 

එක දවසක් ලේලිය කුණු දාන භාජනයත් අතේ අරන් නැන්දම්මා ලඟට ඇවිල්ලා කතා කළේ හරිම කලබලෙන්. "මොකද උඹ නරිදෙනක් වගේ මොරදෙන්නේ? මොකද උඹට වෙලා තියෙන්නේ?" නැන්දම්මා බෙරිහන් දුන්නා. 

"මට ලොකු නැන්ද බැඳපු මාමා හම්බ උනා. එයා කිව්වා නැන්දට සනීප නෑ, නැන්දම්මව දකින්න ආසයි කියනවා කියලා. හොඳටම අමාරුයි, නැන්දම්මා එනකල් පණ අල්ලාගෙන ඉන්නේ" කියලත් කිව්වා. 

"අයියෝ මගේ අක්කා මැරෙන්න යනවා, අනේ, අක්කට මොකද උනේ?" කියමින් නැන්දම්මා අඬමින් පපුවට ගහගන්න පටන් ගත්තා. ඊලඟට ලේලිට කතා කළා. "වරෙන්, මේ පතෝල මාළුව හැඳිගාලා උයලා තියපං මං ගිහිල්ලා අක්කා බලලා එන්නං." කියලා ගෙදරින් පිට උනා. 

ලේලිට ඉවසුම් නැතිව ගියා. ඇය පතෝල වැඩියෙන් දාලා මාළුව හදලා තවත් මාළුපිනිත් හදලා ස්වාමිපුරුෂයාට කෑම එකක් බෙදලා දුන්නා. ඊට පස්සෙ කෑම ඔක්කොම ලොකු මුට්ටියකට දාලා ඉනේ තියාගෙන ගෙයින් එළියට ගියෙ හරියට වතුර ගේන්න යන විදියට. ඇය කෙළින්ම ගියේ කාලි දේවතාවියගෙ දේවාලෙට. ඇතුලෙ කවුරුවත් හිටියෙ නෑ. දොර වහලා බිම ඉඳගත්ත ලේලි අර කෑම හැලියම එක හුස්මට කන්න පටන් ගත්තා. මේ දිහා බලා හිටිය කාලි දේවතාවිය ලේලිගේ කෑමේ වේගය හා ප්‍රමාණය ගැන කොයිතරම් පුදුම උනාද කිව්වොත් ඇඟිල්ල කටේ ගහගෙන ඒ දිහා බලන් හිටියා. ලේලිට මේ මොකක්වත් ගැන සිහි කල්පනාවක් නැතිව හිතේ හැටියට කාලා, උගුර පාදලා සන්තෝසෙන් හිස් භාජනයක් අරගෙන පොකුණ ලඟට ගිහල්ලා ඒක හෝදලා වතුර එකකුත් අරගෙන ගෙදර ගියා.

වතුර මුට්ටියත් අරන් ගෙදර යනකොට ඇතුල්වෙන දොර වහලා තිබ්බා. නැන්දම්මත් ඇවිල්ලා හිටියා. ඇය දොරට තට්ටු කරා. දොර ඇරියේ තරහින් පුපුර පුපුර හිටපු නැන්දම්මා. ඇස් දෙකින් හරියට ගිනිපුපුරු විසිවෙනවා වාගේ. ඇය අතේ දිග කෝටුවක් තිබ්බා. ඒ කෝටුවෙන් ලේලියගේ පිටට පහර පිට පහර ගහන්න පටන්  ගත්තා. "වේසිගෙ කෙල්ල, තෝ කොච්චර කල් බලා හිටියද මාව මෙහෙම රවටන්න? මී හරකියක් වාගේ පතෝල හැලියම බඩජහරි කමට ගිලලා දැම්මා, තෝ වේස බැල්ලි!" මෙහෙම බෙරිහන් දෙන ගමන් කෝටුවෙන්  පාරවල් වැලක් පිටට එල්ලකරා. ස්වාමිපුරුෂයා ගෙදර ආවම මිනිහත් මේ දඬුවම් දීමට එකතු උනා. 

මේ අතර ගම පුරාම රාවයක් ගිහිල්ලා කාලි දේවතාවිය ඇඟිල්ල කටේ ගහගෙන ඉන්නවා කියලා. රටේ වෙනත් පලාත් වලිනුත් මිනිස්සු ආවා මේ හාස්කම බලන්න. එක එක්කෙනා මේක ගැන විවිධ අනාවැකි කිව්වා. හැමෝම බයවෙලා වෙව්ලන්න පටන්ගත්තා මේක අසුබ ලකුණක්, ගමට විපතක් වෙන්න යන්නේ කියලා. ගම්මු ගම පුරාම පුද පූජා, යාතුකර්ම කරන්න පටන් ගත්තා. 

"කව්රු හරි දේවාලය කිළිටි කරලා තියනවා. ඒකයි දේවතාවිය අතින් කට වහගෙන ඉන්නේ. දෙවියන්ට තරහ ගිහිල්ලා. මීට පස්සේ අපට වැසි ලැබෙන එකක් නෑ. ගමේ අයට දරුඵල පිහිටන එකක් නෑ." මෙහෙම කියපු ගමේ මිනිස්සු බය බිරාන්ත වෙලා බලාගෙන හිටියා. ඔවුන් උත්සවයක් පවත්වලා එළුවො බිලි දීලා පුද පූජා පැවැත්තුවා. ඒත් දේවතාවිය ඒ කිසි දෙයකින් සතුටට පත් උන බවක් පෙනුනෙ නෑ. ඇඟිල්ල කටින් අහකට ගත්තෙ නෑ. ඒ නිසා ගමේ වැඩිහිටියෝ කතාවෙලා ගම පුරාම ප්‍රචාරයක් ඇරියා දෙවියන්ගේ කටෙන් අත අහකට ගන්න සලස්වන්න පුළුවන් කෙනෙකුට ලොකු තෑග්ගක් දෙනවා කියලා.ඒත් කවුරුවත් ඉදිරිපත් උනේ නෑ. 

මේ ඔක්කොම අහගෙන හිටිය ලේලි දවසක් නැන්දම්මා ලඟට ගිහිල්ලා කිව්වා, "නැන්දම්මේ ගමේ වැඩිහිටියන්ට කියන්න කාලිගෙ කටින් අත අයින් කරවන්න අපට පුළුවන් කියලා. මම දන්නවා ඒක කරන හැටි." 

මුලින් නැන්දම්මට හොඳටම කේන්ති ගියා. "මෝඩි, මට ගමට මූණ දෙන්න බැරි කරන්නයි මේකි හදන්නෙ. දෙවියන්ගේ වරමක් තියන ගෑනියෙක් වගේ ලොකු වැඩ කරන්න කතාව. කාටවත් බැරි එක උඹ කරන්නෙ කොහොමද? කරයි හරියට!" ඇය අවඥා සහගත ලෙස කටත් ඇද කරලා කිව්වා. ඒත් ලේලිත් අතෑරියේ නෑ. අන්තිමේදී නැන්දම්මත් හිතුවා කවුරුවත් දන්නැති දෙයක් මේ ගෑනි දන්නවා ඇති කියලා. 

නියමිත දිනයෙදි ලේලි දේවාලෙට ගියේ කොසු මිටකුයි කුණු පිරිච්ච බාස්කට් එකකුයි අරගෙන. එතැනට ආපු ඔක්කොම එළියට දාලා ඇතුළට ගිහිල්ලා දොර වහගත්තු ඇය කාලි අම්මා ඉස්සරහට ගිහිල්ලා කුණු බාස්කට් එක පිලිමේ ඉස්සරහින් තියලා කොහු මිට අතට අරගෙන කාලිගේ මූණට දික්කරලා අභියෝග කළා. "ඊර්ෂ්‍යාකාර ගෑනි, මම පතෝල වෑංජනේ කෑවම උඹට මොකද? උඹේ ඇස් පිච්චෙන්නෙ මොකටද? ඉල්ලුවා නම් ටිකක් දෙනවනෙ. උඹේ මූණ පිච්චෙන්න ඕනෑ, කම්මුල් ඉදිමිලා පැලෙන්න ඕනෑ, ඇස් ගිලිලා පොට්ට වෙන්න ඕනෑ, කටෙන් අත අහකට ගන්නවද නැද්ද දැන්මම? නැත්තං මේ සියඹලා කොහුමිටෙන් මම උඹට තලන්නෙ!"

උත්තරයක් ලැබුනෙ නෑ. ලේලිට දැන් හොඳටම තරහ ඇවිත්. එයත් හරියට කාලි අම්මා වගේම නපුරු පාටට පෙනුනේ. එයා පිලිමෙ ලඟට ගිහිල්ලා සියඹලා කොහුමිටෙන් කාලි අම්මගේ මූණට පාර කිහිපයක් ගැහුවා. කාලිට කෙඳිරිගෑවිලා "අයියෝ!" කියලා කෑගැස්සුනා. අත කටෙන් අහකට ගත්තා. පිලිමේ කලින් තිබුනා වගේම උනා. කොස්සත් කුණු බාල්දියත් ගත්තු ලේලි එලියට ඇවිල්ලා කාලිගේ අත කටින් අයින් කළා කියලා කෙලින්ම ගෙදර ගියා. 

සිද්ධ වෙච්ච දෙයින් මුළු ගමම කැළඹිලා ගියා. හැමෝම දේවාලෙට දිව්වා වෙලා තියන දෙය ඇත්තමද කියලා දැක ගන්න. ඒ ගොල්ලන්ට තමන්ගේ ඇස් දෙක පවා විශ්වාස කරන්න බැරුව ගියා. හැමෝම ඇය වර්ණනා කළේ ඇයට මේ විශ්මයජනක බලය ලැබුනේ ඇය ඉතා හොඳින් පතිවෘතාව ආරක්ෂා කරපු නිසා කියලයි. ගමේ අය ලේලිට වටිනා තෑගි ගොඩක් දුන්නා. 

මේ වැඩේ නිසා නැන්දම්මා හොඳටම බය උනා. එයා හිතුවා ලේලිට අද්භූත බලයක් තියනවා කියලා. අවුරුදු ගානක් ඇයට සැලකූ නපුරු විදිහ නිසා ඇය තමන්ගෙන් පලිගනියි කියලා බය උනා. "මේ ගෑනිට තියන මැජික් බලයෙන් මොනවා කරයිද කව්ද දන්නේ?" කියලමයි හිතුවේ.

එක අමාවක පෝය තියන කරුවල දවසක අම්මයි පුතයි රහසින් කතා කරමින් හිටියා.  "පුතා, මේ ගෑනි කාලි අම්මවත් බය කරලා අත කටෙන් අහකට ගන්න සැලැස්සුවා. අපිට නපුරක් නොකර නිකං ඉන්නේ නෑ. අපි මේකිට ගහලා තියනවා, බඩගින්නේ තියලා තියනවා, පුළුවන් තරම් වද දීලා තියනවා. අපෙන් පලිගනියි. අපිව නැති කරලා දායි. අපි දැං මොකද කරන්නේ?" අම්මා පුතාගෙන් ඇහුවා. 

"මට නං මුකුත් හිතාගන්න බෑ. අම්ම කියන්න බලන්න." බියගුලු පුතා කිව්වා. 

"ගෑනි නිදාගෙන ඉන්නේ. අපි මෙයා නිදි පැදුරෙම ඔතලා ගමෙන් එහා තියන පිටියට ගෙනිහිල්ලා ඒකෙ තියන වලට දාලා පුච්චමු. මම ඔයාට ලස්සන මනමාලියක් ගෙනත් දෙන්නම්." අම්මා කිව්වා. 

"හරි, අපි දැන්මම කරමු." පුතා කැමති උනා. දෙන්නා එකතු වෙලා ඉක්මනට අර ගෑනුකෙනාගේ කට බැඳලා නිදාගෙන හිටපු එකේම රෝල් කරලා එතුවා. ලේලිට තේරුනා මේ දෙන්නා කරන්න යන්නේ නපුරක් තමයි කියලා. ඒත් හිතට ධෛර්යය අරන් නිශ්ශබ්දව  හිටියා. ඔවුන් ඇය ගමෙන් පිටත තිබුන පිටියෙ වලට අරන් ගිහිල්ලා පඳුුරක් පිටුපස හැංගුවා ගිනි අවුලුවන්න දර ටිකක් හොයාගන්නකං. දෙන්නා ගියා විතරයි ලේලිය රෝල්වෙලා තමා වටේ එතිලා තිබුන පැදුර බුරුල් කරගෙන එළියට ආවා. අත්දෙක බැඳලා තිබුන ලණුව ඇදලා කඩාගත්තා. කටට ඔබලා තිබුන මුකවාඩම අහකට දාලා ලඟ තිබුන ලීකොට කැල්ලක් පැදුරෙ ඔතලා ටිකක් ඈතින් තිබුන නුග ගහකට නැගලා අතු අස්සෙ හැංගුනා. 

අම්මයි පුතයි කඩිමුඩියේ ඇවිල්ලා කෝටු කෑලි, වේලිච්ච අතු, කොට කෑලි අර රෝල් කරලා තිබුන පැදුරට උඩින් දාලා  ගිනි ඇවුලුවා. ඊට උඩින් වේලුන පිදුරුත් දැම්මා. ගින්න හොඳට ඇවිලිලා පැතිරෙනවා දෙන්නා පැත්තකට වෙලා බලා හිටියා. ඇවිලෙන්න දාපු දර කෑලිවල ගැට පුපුරන සද්දෙ ඇහෙන කොට අන්න, ඇටකටු පුපුරනවා කියලා කිව්වා. පැදුරෙන් එතිලා තිබ්බ කොට කෑල්ලට ගිනි ඇවිලෙද්දී ඒකෙ ගැට පිපුරුවේ හරියට තුවක්කුවකින් උණ්ඩ පිටවෙනවා වාගේ. අම්මයි පුතයි සතුටට පත්උනා මිනියක් ආදාහනය කරද්දී හිස්කබල පුපුරනවා වාගේ ගින්නට අහුඋන ගැහැනියගේ හිස්කබල පිපිරුනා කියලා. මේ වෙනකොට එළිවෙන්නත් කිව්ටුයි. දෙන්නත් එක්ක ගෙදර ගියා. 

ලේලිය ගහේ අතු අස්සේ ගුලිවෙලා හිටියා. රෑ හොරකමේ ගිය හොරු හතරදෙනෙක් මේ නුග ගහ යටට ඇවිල්ලා ඉඳගත්තා තමන් හොරකම් කළ දේවල් බෙදාගන්න. මොවුන් රන් ආභරණ, රත්තරන්, සල්ලි හොරකම් කරලා තිබුනා පොහොසතෙකුගේ මන්දිරයකින්. ඔවුන් ගහ යට වාඩිවෙනවත් එක්කම ටිකක් ඈතින් ගිනිගොඩක් ඇවිලෙනවා දැකලා එක්කෙනෙක් ගහට නැග්ගා කවුරුවත් ගිනිගොඩ ලඟ ඉන්නවද කියලා බලන්න. මිනිහා උඩට නැගලා ලේලිය එල්ලිලා හිටපු අත්ත ලඟටම ආවාම කවුරුහරි එතන ඉඳගෙන ඉන්නවා දැකලා හිමින් ඇහුවා "කව්ද ඔතන ඉන්නේ?" කියලා. ඇයත් බය නැතිව අත දිගුකරලා ඔහුගේ කට වහන ගමන් රහසින් කිව්වා "ශබ්ද කරන්න එපා, මම දේවතාවියක්. මම ආවේ හොඳ කඩවසම් පුරුෂයෙක් හොයාගෙන. ඔඔ ඔබ විවාහ කරගෙන ඔබට හීනෙන් වත් හිතාගන්න බැරි තරමට පොහොසත් කරනවා" කියලා. 

හොරාට මේ වෙච්ච දේ ගැන හිතාගන්න වත් බැරුව ගියා. ඔහු දැනුනේ දිව්‍යලෝකෙට ගිහිල්ලා ශ්‍රේෂ්ඨ සුදු ඇතා අහසින් බහිනවා දැක්කා වගේ. අත දිගු කරලා ඇයගේ අතින් අල්ලාගෙන ඇහුවා :ඔයා ඇත්තම කෙනෙක්ද?" කියලා. "හ්ම්ම්", කියලා උත්තර දුන්න ඈ හිමීට ඇගේ බුලත් මල්ල ඇදලා අරං හොරාට කොටසක් දීලා තමනුත් ටිකක් කටේ දමාගත්තා. ඔහු ඇයට කිට්ටු උනා ඇගේ මුහුණ ඉඹින්න. ඒත් ඇය මුහුණ අහකට හරවාගෙන කිව්වා "තේරෙන්නෙ නැද්ද? අපි තවම බැඳලා නෑනෙ. ඒත් ඔබට පුළුවන් බුලත් කොල කෑල්ලක් ඔබේ දිවෙන් මගේ කට ඇතුලේ තියන්න. ඔබේ කටින් මට කැව්වම මම ඔබේ විවාහක බිරිඳ උනා වගේම තමයි, එහෙම හොඳයි නේද?"

ඔහුට දැනුන සතුට කියලා නිමකරන්න බෑ. හපපු බුලත්කොල කෑල්ලක් එක්ක දිව එළියට දාලා ඇයගේ කට ළඟට ලංකළා. ඇය ක්ෂණිකව තමන්ගේ දත්වලින් දිවේ කෑල්ලක් කැඩිලා යන්නම හැපුවා. ඔහු දරාගන්න බැරි වේදනාවෙන් මරහඬ දීලා දඟලන කොට ගහ අතෑරිලා පහලට ඇදවැටුනා. ගහ යට හිටපු හොරු බය කොච්චර බය උනාද කියනවනං ඔලුව හැරුන අතේ දුවන්න ගත්තා. වැටුන මිනිසා දිව නැතිව කතා කරගන්න බැරිව කටින් ලේ වැක්කිරි, වැක්කිරි යටි ගිරියෙන් කෑගහමින් තමන්ගේ සඟයො පස්සෙන් දුවන්න පටන්ගත්තා. කටින් ලේ පෙරෙමින්, කෑගසමින් කවුද තමන් පස්සේ දුවගෙන එනවා දැකපු අනෙක් හොරු තවත් හයියෙන් දිව්වා. 

එළිය වැටුනහම ලේලිය ගහෙන් බැහැලා වටපිට බැලුවා. ගහ යට තිබුන රත්තරන්, ආභරණ, සල්ලි ගොඩ දැකලා පුදුම වෙලා ඉක්මනට ඒව ඔක්කොම පොදි බැඳගෙන ගෙදර ගිහින් දොරට තට්ටු කරලා කතා කරා. 

"නැන්දම්මේ, නැන්දම්මේ ඉක්මනට දොර අරින්න." අකමැත්තෙන් වගේ බයෙන් සැකෙන් දොර ඇරපු නැන්දම්මගේ මූණ බයෙන් සුදුමැලි උනා. ඊයේ රෑ පුච්චලා දාපු ලේලි තමන් ඉස්සරහ හිනා වෙවී හිටගෙන ඉන්නවා දැකපු නැන්දම්මා කලන්තේ දාලා වැටුනා. ලේලි නැන්දම්මව ඇතුලට අරන් ගිහින් සීතල වතුර ටිකක් මූණට ඉහලා සිහිය ගත්තා. පුතා කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරිව පැත්තකට වෙලා හිටගෙන හිටියා. 

සිහිය ආවට පස්සේ  නැන්දම්මා ඇස්දෙක ඇරලා බැලුවා. "කොහොමද ........, කොහොමද උඹ.........? කතාකරගන්න බැරුව ගොත ගැහුනා. 

ලේලි කඩිමුඩියෙම පිළිතුරු දුන්නා. "මාව පිච්චුවට පස්සේ යමපල්ලො ඇවිත් මාව යම රජ්ජුරුවෝ ළඟට අරන් ගියා. යම රජ්ජුරුවන්ගේ ඇස්වලින් ගිනිදළු විහිදෙනවා හරියට අපේ දේවාලෙ ඉන්න කාලි දේවතාවියගේ ඇස්වලින් වගේ. මාව දැක්කා විතරයි එයා කිව්වා, “මෙයා ආපහු ගිහින්දාලා මෙයාගේ නැන්දම්මා අරන් වරෙල්ලා. එයා තමයි පවුකාරී." කියලා. "ගෙනල්ලා අපායේ යකඩ කපුටා ළඟට දාපල්ලා කෑලි කෑලි වලට ඉරල දාන්න. ඊට පස්සේ උණු තෙල් කටාරමේ බස්සපල්ලා." එහෙම කියලා යටිගිරියෙන් කෑගැහුවා. මම එකපාරටම යම රජ්ජුරුවන්ගේ කකුල්දෙක ළඟ වැටිලා කිව්වා "මගේ නැන්දම්මට එහෙම කරන්න එපා. එයා හොඳ ගෑණියෙක්. දෙන දඬුවමක් මට දෙන්න. මගේ නැන්දම්මා බේරන්න." කියලා. යම රජ්ජුරුවෝ සතුටින් හිනාවෙලා කිව්වා "හොඳයි මම උඹ කියන එක පිළිගන්නවා. දැන් උඹට යන්න පුළුවන්. හැබැයි උඹේ නැන්දම්මා උඹට ආයෙත් කරදර කළොත් මගේ යමපල්ලෝ එයාව මෙහාට ඇදගෙන එනවා. ඒගොල්ල හැමතිස්සෙම එයා ගැන ඇහැ ගහගෙන ඉන්නේ." කියලා. එහෙම කියලා මට මේ රත්තරන්, රන් ආභරණ, සල්ලි ඔක්කොම දීලා මාව ගෙදර එව්වා. 

නැන්දම්මා බයේ වෙව්ල, වෙව්ල පපුව ගැහි ගැහි පැනලා ලේලිව බදාගෙන ඉඹගත්තා. 

"අයියෝ, ඔයා තමයි මේ ගෙදර දේවතාවිය. ඔයා මාව යමපල්ලන්ගේ අඬුවලින් බේරාගත්තා. මීට පස්සේ මම වැඩ කරන්නේ ඔයා කියන හැටියට තමයි. මම ඔයාට කරපු හැමදේටම මට සමාව දෙන්න. ඔයා එහෙම කරනවා නේද, මගෙ රත්තරන් දුවේ?" කියලා නැන්දම්මා කිව්වේ ලේලිගේ නිකටෙන් අල්ලලා ආදරයෙන් හොල්ලන ගමන්. 

ලේලි තමයි ඊට පස්සේ ගෙදර ලොක්කා උනේ. ඇයගේ නැන්දම්මයි ස්වාමි පුරුෂයයි ඇය කියන හැටියට කළ නිසා හැමෝම සතුටින් ජීවත් උනා.

                                                                  *  *  *

පසු වදන

 කතා දෙකෙහිම දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ දෙවියන්ට එහි හිමි වී ඇති තැනය. මේ කතා තෝරා ගැනීමට හේතුවක් වූයේ ද එම කරුණයි. මේ කතා දෙකින්ම ජනකතාකරුවා අඟවන්නේ දෙවියන් යනු කිසිදු බලයක් හෝ බුද්ධියක් නැති සාමාන්‍ය ගැමියාටත් පහලින් සිටින ජීවියෙකු ලෙසයි. පළමු කතාවේ දෙවියන්ට තමන් කරන ලද වැරැද්ද වැටහෙන්නේ මළසිරුරු දෙගුන තෙගුන වී ගැමියන්ට දෙවියන් සිහි වූ පසුවයි. එමෙන්ම මහා බලගතු කාලී මෑණියන් නැන්දම්මාටත් බයෙන් හැකිලෙන ගැමි ගැහැණියකගෙන් කොසු පහර කා බියෙන් අත පහලට දමයි. එමෙන්ම ගසට නැගි හොරා ද ගහේ සිටින්නේ වෘක්ෂ දේවතාවියකැයි සිතා සොරාගත් වස්තුව පමණක් නොව දිව ද අහිමි කරගනී. නැවත ගෙදර එන ලේලිය අපායත් යම රජ්ජුරුවනුත් ගැන කියන සියළුම දේ නැන්දම්මාත් ස්වාමි පුරුෂයාත් විශ්වාස කරයි. මෙලෙස දේව සංකල්ප දෙසත් අන්ධ භක්තිය දෙසත් උපහාසාත්මකව බැලීමට ජනකතාකරුවා නිර්භය වී ඇති බව පෙනේ.     

       

   

  

  

     


 

 


12 comments:

  1. කතා දෙක වගේම, පසු වදනත් නියමයි. ඉන්දියාවේ පසුගාමී දේව ඇදහිලි ගැන තිබුන අදහස වෙනස් වුනා.

    ReplyDelete
    Replies
    1. මැත ඉතිහාසය තුල දේව ඇදහිල්ල නම් අපුලයි තමා. ඒත් බස්... ඈත වෛදික යුගයේ ඉතාම උසස් දර්ශනයක්, කලාවක් ඔවුන්ට තිබුණ.

      Delete
  2. කතා දෙකම මරැ.
    මම ඔය වාගෙ කතාවල දැක්ක පොදු ලක්ෂණයක් තමයි... දෙවියන් පවා වීර්යෙන් ජය ගන්න පුලුවන්, අලස කෙනා දිහා දෙවියොවත් බලන්නෙ නෑ කියන දේ ගම්‍ය වීම. එයින් අදහසක් එනව තමාම තමා තමන්ගෙ ඉදිරි තීරකයා වෙන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. මම දැකපු කවත් ලක්ෂණයක් තමයි ඒ අතීක කාලයේ උනත් තමන්ගේ දුර්වල තැන්වලට හිනා වීමට තරම් දැක්මක් ජනකතාකරුවාට තිබුනා කියන එක.

      Delete
  3. නියමයි. බසු ගේ අදහසට එකඟයි. අනික ඉන්දියාව තරම් දෙවියෝ වර්ග අදහන තව රටක් නැහැනේ. හැබැයි එවලින් කිසයම් පාඩමක් උගන්වනවා වගේ

    ReplyDelete
  4. පසුවදන තිබුන නිසා හොඳයි 🤓නැත්නම් නිකම්ම කතා 2ක් විතරයි🤥

    ReplyDelete
  5. ඇත්ත. ආර් කේ නාරායන් කියනවා, "මිනිසා තමන්ගේ ස්වරූපයට දෙවියන් මවාගෙන ඇත" කියලා...

    ReplyDelete
  6. මිනිසා හැමකලෙකම තමාට වඩා සුවිශෙෂී කෙනෙකු ඇතැයි යැයිද ඔහුට, ඇයට, ඌට හෝ එයට යටත්ව; අනුකූලව තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යෑමේ සතුටක් විඳ ඇත.
    හිතන්න ආතල් එකේ සතෙක් මරාගෙන; ගොවිතැනක් කරගෙන ගෑනියෙක් මිනිහෙක් අරං ඉන්න ඉඩ කඩ තියෙද්දී මොන මගුලකට ආගමක්, දෙයියෙක් අස්සට දාගත්තද කියලා!?

    ReplyDelete
  7. දිගු ලිපියක්. පසුව හෙමින් කියවලා බලන්නම් නිවාඩුවේ.
    ජයවේවා

    ReplyDelete
  8. කතා දෙක කියව්ව මරු.
    ඉන්දියාවයි දෙයියොයි කියන්නෙ අවියෝජනීය සංයෝගයක්.
    මේක මගෙ.රෝලෙ අප්ඩේට් වෙන්නෑ. ඇයි මංද

    ReplyDelete
    Replies
    1. සීමිත දැනීමක් තමා මටත් තියෙන්නේ. යමක් කියන්න අමාරුයි.

      Delete