විනිශ්චය - VIII

       මේ දක්වා ....

                                     ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. ඔහුට රාජකාරියක් පැවරී ඇත. එය නම් මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීමයි. එහෙත් ඔහු එය ක්‍රියාත්මක වීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. ඒ විනිශ්චයකරුගේ බිරිඳ හා මරණීය දණ්ඩනයට නියම වූ අය අතර වූ අනියම් සබඳතාව නිසා නඩු විභාගයේදී මැක්ග්‍රාත්ට සාධාරණය ඉටු නොවුනේය යන අදහසිනි. එහෙත් පසුව සැක පහලවන්නේ මරණයට පත් පුද්ගලයා අනියම් සබඳතාව ගැන දැනගත් නිසා මැක්ග්‍රාත් සිතාමතාම ඔහු මරාදැමුවේ ද යන්නයි. මේ නිසා අවිනිශ්චිත තත්ත්වයකට පත් වුවද නිවැරදි දේ සිදුවිය යුතුය යන අධිෂ්ඨානයේ ඔහු පසුවෙයි. මරණයට පත් පුද්ගලයා ඉඩම් හිමි ගවහිමියන්ගේ පාර්ශවයට අයත් වන අතර වරදකරු වූ අය අනවසර පදිංචිකරුවන් පිරිසකට අයත් වෙයි. ඒ හේතුවෙන් මරණයට පත් පුද්ගලයාගේ හා මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාගේ පාර්ශව අතර සිදුවීමට  නියමිත ගැටුමක් නවත්වා තවත් මරණ සිදුවීමේ අවදානම වළක්වාගැනීමේ අභියෝගයට ද ඔහු මුහුණ දෙයි. 


 

                                                        පරිච්ඡේදය - V

                                                  පළමුවැනි කොටස

හිස සිහින ලොවකට ද දෙනෙත් පොලවට ද යොමු කරගෙන සිටි බක් ඔහුගේ මග හරස් කරමින් සිටි කඳවුරෙහි පදිංචිකරුවන් සමූහය ඇඟෙහි හැපෙන තරම් ආසන්නයටම පැමිණෙන තෙක් නොදුටුවේය. ඔහු සිටිතැනම නතර විය. 

කඳවුරු භූමිය හා එය වටා පිහිටි රන් පැහැති කොළ පිරි කොට්න්වුඩ් ගස් පෙළ පසුපසින් පිහිටි අතර ඉදිරියෙන් වූයේ ගවගාල් සමූහයයි. මුහුණ පුරා වැවුන කලු රැවුලකින් යුත් තරබාරු මැක්ස් බ්‍රොක් කණ්ඩායමේ නායකයා බව පෙනෙන්නට තිබුණි. "ආණ්ඩුකාරයාගෙන් උත්තරයක් ලැබුනද?" ඔහු සැරපරුෂ ලෙස ඇසීය.

ඔහු කතාකළ ස්වරය බක් කෝප ගැන්වීය. උවමනාවටත් වඩා මිනිසුන් ගණනාවක් උවමනාවටත් වඩා වාර ගණනක් දැනටමත් කර ඇති පරිදි තවත් වරක් තවත් කෙනෙක් ඔහු රාජකාරිය කළයුතු ආකාරය ගැන ඔහුට කියා දෙන්නට සැරසෙයි.

බ්රොක්ට පිටුපසින් සිටි එක් අයෙක් "ඔය බැල්ලිගේ පුතා ටෙලිග්‍රෑම් එකක් යවන්නවත් නැතිව ඇති. වගකීමෙන් ගැලවෙන්න කටට ආවට කියනවා වෙන්න ඇති." යයි කෑගැසීය. 

"ඒක ඇත්ත ද?" බ්රොක් පෙර කතාකළ රළු ස්වරයෙන්ම ඇසීය. 

බක් කෝප ගැන්වී සිටියේය. රාජකාරිය කරන හැටි ඔහුට කියාදෙන්නට තැත්කිරීම එකකි. බොරු කියන්නේ යයි චෝදනා කිරීම ඊටත් එහා ගිය දෙයකි. "මම තමුසෙටයි තමුසෙගෙ යාළුවන්ටයි කියන්න ඕනෑ යකාට පලයල්ලා! කියලයි. ඒත් මම එහෙම කියන්නෙ නෑ. තවම නෑ. මම ටෙලිග්‍රෑම් එකක් යැව්වා. දෙවෙනියට එකක් අද උදේ යැව්වා ආණ්ඩුකාරයාගේ ලේකම්ට මෙහෙට ඇවිල්ලා පෞද්ගලිකවම මැක්ග්‍රාත් මුණගැහිලා ආණ්ඩුකාරයා සම්බන්ධ කරගන්න බෑ කියලා කියන්න කියලා."

බක් බොරු කියන්නේ යයි පෙරදී චෝදනා කළ තැනැත්තා යළිත් කතා කළේය. "ඔය බොරු කියන්නේ. මම ඕන ඔට්ටුවක් අල්ලන්නම් අපි විදුලි පණිවුඩ කන්තෝරුවට ගියොත් බලාගන්න පුළුවන් වෙයි කිසිම පණිවුඩයක් යවලා නෑ කියලා, අද උදේ හරි, වෙන ඕන වෙලාවක හරි."

බක් කෙලින්ම ඔහුගේ මුහුණ දෙස බැලීය. "ඉස්සරහට ඇවිල්ලා මගේ මූණට කියනවා ඕක."

මිනිසා පසුබට වුවද දැන් හැමෝම ඉදිරියේ කතා කර ඇති හෙයින් කියූ දේ වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය. නැතිනම් මිතුරන් අතර ලැජ්ජාවට පත්වීමට සිදුවේ. සෙනග අතරින් සෙමින් එළියට ආ ඔහු බක් සිටි තැනට පැමිණ අඩි හයක් පමණ දුරින් නතර විය.

බක් සරදම් ස්වරයක් ආරූඬ කරගෙන කතා කළේය. "තව කිට්ටුවට, ලඟටම ඇවිල්ලා කියනවා මට බොරුකාරයා කියලා."

බොහෝ ගොවියන් මෙන්ම වැඩුන, ශක්තිමත් සිරුරකින් යුතු වූ ඔහු ඩේල් ගුස්මාන් ය. නිහඬවම බක් දෙසට පියවර දෙකක් ඉදිරියට පැමිණි ඔහුට බක්, "හරි, දැන් කියන්න තියන දෙයක් කියනවා." යයි පැවසීය. 

ගුස්මාන් මදක් ගොරෝසු, කලබලකාරී ස්වරයකින්, "තමුසේ පට්ටපල් බොරුකාරයෙක්! තමුසේ ආණ්ඩුකාරයාට කිසිම පණිවුඩයක් යැව්වේ නෑ." යි කෑගැසීය.

බොරුකාරයා යන වචනය බක් තුළ කැකෑරෙමින් තිබූ අසහනකාරී සිතුවිලි සියල්ල සැනෙකින් පුපුරුවා හැරියේය. කිසිවක් නොසිතාම ඔහු දකුණත මිට මොලවා එල්ල කළ දැඩි ප්‍රහාරය ගුස්මාන්ගේ මුහුණ මැදටම පතිත වූයේ ඔහුගේ නහය ඉදුනු තක්කාලි ගෙඩියක් මෙන් චප්ප කරමිනි. ඉහිරී ගිය ලේ බිඳු ගුස්මාන්ගේ මුහුණෙහි ද බක්ගේ ඇඟෙහි ද දෙදෙනා අතර බිම ද පතිත විය. පසුපසට විසිවී බිම ඉන්දවුනු ගුස්මාන්ගේ අත ඉබේටම ගියේ පොඩි වී ලේ ගලන නහය වෙත ය.

"දැන් අයින් වෙනවා මට යන්න ඉඩ දීලා, හැමෝම." සැරපරුෂ ලෙස උස්හඬින් පැවසූ බක් ගුස්මාන් පසුකොට ජනයා අතරින් ඉදිරියට ඇදුනේ බලහත්කාරයෙන් ඔවුන් දෙපසට තල්ලු කරමිනි. එහෙත් අඩක්වත් දුර යන්නට පෙර තමන් කරගත්තේ මෝඩකමක් බව ඔහු තේරුම් ගත්තේය. කෝපයෙන් යුතුව ඔවුන් දෙපසට තල්ලු කරන්නට කරන්නට ඔවුහු ද ඔහුට ඉඩ නොදී සිටියහ. 

මේ නගරවැසියන් නොව ගොවියෝ ය. වසර ගණනාවක සිට දුෂ්කර වූ ද වෙහෙසකර වූ ද වැඩෙහි යෙදීමෙන් දරදඬු බවට පත්වූවෝ වෙති. ශක්තිමත් ජවසම්පන්න සිරුරුවලින් යුත් ඔවුහු පසුබසින්නට කැමති වූවෝ නොවූහ. ඔවුන් මැදින් තුනෙන් දෙකක් තරම් දුරක්වත් යන්නට පෙර ඔවුහු ඉඩදිම නවතා බක්ට නැවතීමට සිදුවන සේ කඩාගෙන යා නොහැකි ශක්තිමත් බාධකයක් ඇතිකළහ.  

ඔවුන්ට කරුණු පහදා දී යන්නට ඉඩ ලබාගන්නට හැකියාවක් තිබුනා විය හැකිය. තමන් නීතිය නියෝජනය කරන නියෝජිතයා බව පෙන්වා ඒ දෙයම කරගන්නට ඉඩ තිබුනා ද විය හැකිය. එහෙත් ඔහු තුළ වූ හිතුවක්කාර ගතිලක්ෂණයට දැඩි සේ ඇවිස්සූ තිබූ කෝපය ද එකතු වීය. 

ඉදිරියෙන්ම සිටි පුද්ගලයාගේ මුහුණට මිට මොලවා වේගවත් පහරක් එල්ල කළ ඔහු, "යකාට පලයව්, මට යන්ඩ ඉඩ දීලා." යි ගර්ජනා කළේය. පසුපස්සට වීසි වී ගිය මිනිසා නොවැටී බේරුනේ ඔහුට පිටුපසින් සිටියවුන් අල්ලාගත් නිසා ය. එක්වරම රැස්ව සිටි විසිපහක් තිහක් පමණ වූ පිරිසෙන් විරෝධය දක්වන සුළු ඝෝෂාවක් පැන නැගුනි. මිට මොලවා එල්ල කරන ලද දැඩි පහරක් ඔහුගේ දකුණු කන මත පතිත වූයේ හිස අනෙක් පසට කඩාවැටී ඔහුට කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයකට පත්කරමිනි. තවත් පහරක් සිරුරේ මැද ප්‍රදේශයට වැදී වේදනාවේ ධාරා මුළු සිරුර පුරාම පතුරුවාලීය. තුන්වැනි පහරක් ගෙල ප්‍රදේශයට වැදුනේ ක්ෂණිකව ගෙල හිරකර හුස්ම ගැනීම ද අපහසු කරමිනි. 

 ඔහු කරගත්තේ කොතරම් බරපතල වැරැද්දක් දැයි මේ මොහොත ඔහුට තේරුම් කර දුන්නේය. පාලනය කරගත නුහුනු කෝපය ඔහුගේ ගරුත්වය ද රැකගෙන බේරීගත නොහැකි තැනකට ඔහු පත්කර ඇත්තේය. කෙසේ වුවද මේ අවස්ථාවේ බක් වදවෙන්නේ ගරුත්වය රැකගැනීම ගැන නොව ඔහු බිම ඇදවැටීමට පෙර එක් පහරක් හෝ එල්ල කිරීමට සෑම මිනිසෙකුම උමතුවෙන් මෙන් පොරකමින්  පතිත කරන ගුටිබැට වර්ෂාව ගැන ය. 

ඔහුට රිවෝල්වරය එළියට ගැනීමට හැකියාව තිබිණ. මොහොතක් ඔහු ඒ ගැන සිත යොමුකළ ද එසැනින්ම ඔහු එය බැහැර කළේය. මේ කලබැගෑනිය අවසන් වනවිට කවුරුන් හෝ මෙහි මැරී වැටී සිටිනු දකින්නට ඔහුට අවශ්‍ය නොවීය. රිවෝල්වරය එළියට ගත්තොත් සිදුවන්නේ එයයි. 

ඒ වෙනුවට සෑම දෙසින්ම පහර පිට පහර වදිද්දී ඔහු සිය දෙපයට තමා සතුව තිබූ සියළුම ශක්තිය යොදා ඉදිරියට පැන සිය බාහු බලය යොදා යන මග හරස් කරගෙන සිටි මිනිස් සමූහයා දෙපසට තල්ලු කරන්නට උත්සාහ ගත්තේය. 

ඔහු කළේ ඔවුන් බලාපොරොත්තු නොවූ දෙයකි. ඔවුන් බලාපොරොත්තු වූයේ ඔහු ඇදවැටෙතැයි කියාය. මිනිසුන් හය හත්දෙනෙක් දෙපසට තල්ලු කරදැමීමට සමත් වූ ඔහු සැනෙකින් ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී සිටියේය.

දැන් වුවද ඔවුන්ගෙන් මිදී පලායන්නට ඔහුට ඉඩ තිබුණි. එහෙත් තවමත් ඔහුගේ හිතුවක්කාර ස්වභාවය ඔහුගෙන් පලාගොස් තිබුනේ නැත. ඔහුට දුවන්නට අවශ්‍ය නොවීය. එහෙත් ඔවුන්ගෙන් ගැලවීගෙන සිටින්නට බලාපොරොත්තු වන්නේ නම් පිටදී සිටගැනීම සඳහා ශක්තිමත් දෙයක් අවශ්‍ය ය. ඔහු මරාදමන්නට අදහසක් ඔවුන් තුළ නොතිබෙනවා වන්නට පුළුවන් වුවද ආවේගශීලීව ඔවුන් කරන පහරදීම නොනැවැත්වුවහොත් අවසානයේ සිදුවන්නේ එයයි. 

ගවගාල් අතරින් දිවෙන් පටු මංතීරුවක් වෙත පැනගත් ඔහු පසුපස ඔවුහු වෘකයින් රංචුවක් මෙන් හඹා  එන්නට වූහ. මංතීරුව  අවසානයේ තාර ආලේප කරන ලද ශක්තිමත් දැව දඬුවලින් තැනූ වැටකි. එය සෘජු කෝණිකව තවත් වැටක් හා සම්බන්ධ වි තිබුණි.  ආපසු හැරී මේ මුල්ලට පිට දී සිටගත්තේ ඔහු එලවාගෙන පැමිණියවුන්ට මුහුණ දීමට සූදානමිනි.  

අඩි දහයකටත් අඩු දුරකින් ඔහුට ආසන්නයෙන්ම සිටි මිනිසා ඔහු ආපසු හැරෙනවාත් සමගම පහරදීමට පැන්නේය. බක් පාදයක් ඔසවා එල්ල කළ  පා පහර උදර ප්‍රදේශයෙහි වැදුන මිනිසා ඔහුට ආසන්නයෙන්ම පිටුපසින් ආ කිහිපදෙනා ද  පෙරලාගෙන ඇදවැටුනේය. ඔවුන් ශාපකරමින් දඟලද්දී ඊට උඩින් පැනගත් අනෙක් අය ඔහු වටකරගත්තේ මන්දකට හසුවූ කඳුකර සිංහයෙක් වටකරගත් බල්ලන් රෑනක් මෙනි. 

ඕවන් බක්ගේ සිහියට නැගුනේ සර්පයෙකු මරන්නට දැඟලූ කොල්ලන් රෑනකගේ කලබලයයි. මේ ඔහු  දැන හඳුනාගෙන සිටියේ යයි සිතා සිටි සාමකාමී ගොවියන් නොවේ. සෑම එකෙකුගේම අරමුණ වූයේ ඔහුට පහරක් එල්ල කිරීම, පයින් පහර දීම  හෝ අවශ්‍ය තරම් සමීප වීමට හැකිවුව හොත් දණිස්සෙන් හෝ ප්‍රහාරයක් එල්ල කිරීම ය. බක් මිට මොලවා එල්ල කළ දැඩි ප්‍රහාර ද අපතේ ගියේ නැත. ඒවාට සැමවිටම ඉලක්කයක් හමුවුවද අරගලය අසමාන එකක් විය. සමහරෙක් ගවගාලේ වැටෙන් කඩාගත් කෙටි පොලුවලින් සන්නද්ධ වී පැමිණෙන විට එය අවසන් විය හැක්කේ කෙසේද යන්න පැහැදිළි විය. 

බක් තවමත් සිය රිවෝල්වරය එළියට ගත්තේ නැත. එහෙත් ගෙවීගිය ද ශක්තිමත් වූ අශ්ව කරත්ත වියගසක් ඔසවාගත් මිනිසෙක් අනෙක් මිනිසුන් පෙරලාගෙන ඉදිරියට එනු දුටු විට එය තවදුරටත් ප්‍රමාද කළ නොහැකි බව ඔහුට තේරුම් ගියේය. එයින් එල්ලවන එක පහරකින් හිස්කබල කුඩුකිරීමට පුළුවන. ඔවුහු ලංවී ඔහු වටකරගෙන සිටියහ. පිටදී සිටි ගවගාලේ වැටට හේත්තු වී එක් අතකින් රිවෝල්වරය එළියට ගත් ඔහු අනෙක් අතින් වාරුගෙන පය ඔසවා ලඟින්ම සිටි මිනිසාගේ යටිබඩ පෙදෙසට වැරෙන්  පහරක් එල්ල කළේය. වේදනාවෙන් කෑගැසූ මිනිසා වහා පස්සට පැන්නේ ඔහුට පසුපසින් සිටියවුන් ද පස්සට තල්ලු කරමිනි. මේ අවකාශයෙන් ප්‍රයෝජන ගත් බක් රිවෝල්වරය ඔසවා අහසට වෙඩිල්ලක් තැබුවේය. 

වෙඩි හඬ සියළුම දෙනා මොහොතකට නවතාලීය. "පලයල්ලා ඔක්කොම පස්සට. නැත්තං ඊලඟ එක තියන්නේ උඹලා ඉන්න දිහාට හරවලා." බක් මොරදුන්නේය. තර්ජනය ක්‍රියාත්මක වුවහොත් වෙඩි වැදීමේ අනතුරට ලක්වීමට ඉඩ ඇති  ඔහුට ආසන්නයෙන්ම සිටියවුන්  පසුබසින්නට උත්සාහ කළහ. "ඔය කිව්වට කරන්නේ නෑ. කොල්ලනේ, මිනිහා බොරුව කරන්නේ!" පසුපස සිටි මිනිසෙක් කෑගැසුවේය. පිටුපස සිටි මිනිසුන් ඉදිරියට තල්ලු වූයේ  ඉදිරියේ සිටියවුන්  පසුබසින්නට කළ උත්සාහයට අවහිර කරමිනි. 

පහරකෑමට ලක්ව ලේ ගලමින් තෝන්තු වී සිටි බක් කෑගැසුවේය. "ඔය මිනිහා එවනවා ඉස්සරහට එයාට කියන්න තියෙන්නෙ මොනවද බලන්න." කිසිවෙකු ශබ්ද නගා සිනාසුනේය. විහිලුවක් කරන්නට බක්ගේ කිසිදු අදහසක් තිබුණේ නැත.  ඔහුගේ මුහුණෙහි හෝ වේදනාවෙන් පිරුන සිරුරෙහි හෝ සිනා උපදවන්නට තරම් දෙයක් ඔහුට සෙනුනේ නැත. එසේ වුවද ඒ සිනහව මෙතෙක් ගොඩනැගී තිබූ පීඩනය බිඳ දැම්මේය. 

වැදුන පහරවලින් වේදනාවට හා කෝපයට පත්ව සිටි බක් බෙරිහන් දුන්නේය. "තව විනාඩි දෙකක් යනකොට මෙතන කවුරුහරි ඉතිරිවෙලා හිටියොත් ඒ හැම එකාගෙම ඔලු පලනවා." ඔහුට සමීපයෙන්ම සිටි අය වහා හිස් පහත් කරගත්තේ එසේ කිරීමෙන් ඔවුන් හඳුනාගැනීමෙන් වැළැක්වීමට මෙනි. බක් ඔවුන්ට යන්නට ඉඩ හැරියේය. ඔහු වේදනාවෙන් හා කෝපයෙන් පිරී සිටියත් මෙය මෙතැනින් අවසන්කර දමන්නට තිරණය කළේය. හිරගෙය අනවසර පදිංචිකරුවන්ගෙන් පුරවාගෙන දැනටමත් අවුල් වී තිබෙන තත්ත්වය තවදුරටත් අවුල් කරගන්නට ඔහු කැමති නොවීය. 

විනාඩි දෙකක් ගතවන්නටත් පෙර ඔවුන් සියල්ලම පිටව ගියහ. සාක්කුවෙන් ලේන්සුවක් ඇදගත් ඔහු තුවාල වී ලේ ගලමින් තිබූ මුඛය සීරුවෙන් පිසින්නට පටන්ගත්තේය. හිස ඔසවා බැලූ ඔහුට කින්කේඩ් ද ඔහු පිටපසින් එලන් ඩ්රූ ද දුවගෙන එනු දක්නට ලැබිණ. 

හඬ පිට නොවන සේ ඔහු ශාප කළේය. මේ සිටින විදියට එලන් ඔහු දකිනවාට ඔහුගේ කැමැත්තක් නැත. පලමුවෙන් සමීප වූයේ කින්කේඩ් ය. 

"තුවාලද?"

"නෑ, මම මේක හැමදාම කරනවා ව්‍යායාම ගන්න." ඔහු කෝපය මුසු වූ උපහාසාත්මක ස්වරයකින් කියා සිටියේය. 

  

 

    

 

  

 

  

 




    








       

                                            

6 comments:

  1. කියෙව්වා.+++++++++👌

    ReplyDelete
  2. අපූරු කොටසක් අදත්. ලස්සනයි
    ජයවේවා !!!

    ReplyDelete
  3. මරැ. වෙහෙසක දරල කරන මේ සුමට පරිවර්තනයට මගෙන් හදපිරි ස්තුතිය!

    ReplyDelete
  4. "නෑ, මම මේක හැමදාම කරනවා ව්‍යායාම ගන්න".
    අදත් නියමයි කතාව 😁. හම්මේ.... පොත් කියව කියව මෙහෙම ලියනවාට වෙනම සම්මානයක් දෙන්න ඕනෙ. 🥇

    ReplyDelete