විනිශ්චය - IX

 


 මේ දක්වා ....

                                     ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. ඔහුට රාජකාරියක් පැවරී ඇත. එය නම් මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීමයි. එහෙත් ඔහු එය ක්‍රියාත්මක වීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. ඒ විනිශ්චයකරුගේ බිරිඳ හා මරණීය දණ්ඩනයට නියම වූ අය අතර වූ අනියම් සබඳතාව නිසා නඩු විභාගයේදී මැක්ග්‍රාත්ට සාධාරණය ඉටු නොවුනේය යන අදහසිනි. එහෙත් පසුව සැක පහලවන්නේ මරණයට පත් පුද්ගලයා අනියම් සබඳතාව ගැන දැනගත් නිසා මැක්ග්‍රාත් සිතාමතාම ඔහු මරාදැමුවේ ද යන්නයි. මේ නිසා අවිනිශ්චිත තත්ත්වයකට පත් වුවද නිවැරදි දේ සිදුවිය යුතුය යන අධිෂ්ඨානයේ ඔහු පසුවෙයි. මරණයට පත් පුද්ගලයා ඉඩම් හිමි ගවහිමියන්ගේ පාර්ශවයට අයත් වන අතර වරදකරු වූ අය අනවසර පදිංචිකරුවන් පිරිසකට අයත් වෙයි. ඒ හේතුවෙන් මරණයට පත් පුද්ගලයාගේ හා මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාගේ පාර්ශව අතර සිදුවීමට  නියමිත ගැටුමක් නවත්වා තවත් මරණ සිදුවීමේ අවදානම වළක්වාගැනීමේ අභියෝගයට ද ඔහු මුහුණ දෙයි. මේ අතර කෝපයට පත් අනවසර පදිංචිකරුවෝ ඔහුට පහර දෙති. 




                                                      පරිච්ඡේදය - V

                                                  දෙවැනි කොටස

එලන් ඔහු වෙත ලඟාවී ලේන්සුව ඇය අතට ගෙන මුහුණෙහි වූ ලේ පිසදැමීමේ කාර්යයෙහි යෙදුනාය. "කණගාටුයි. මම හිතනවා...."

"තමුසේ හිතනවා මේ වැඩේ හින්දා මම මැක්ග්‍රාත්ගේ වැඩේ ගැන කිසි වෙනසක් කරන එකක් නෑ කියලා. ඒකනෙ තමුසේ කියන්න හැදුවේ?" තවමත් බක්ගේ කටහඬෙහි තිබුනේ කෝපාවිෂ්ට සරදම් ස්වරූපයකි.

"මම අදහස් කළේ නෑ..." 

"කට වහගෙන ආපහු යනවා තමුසෙගේ කඳවුරටම. කවුරුහරි එක්ක කතාකරන්න ඕනැ නම් කතාකරනවා අර මෝඩ රැළට. තමුසේ දන්නවද මම ලඟ රිවෝල්වරයක් නොතිබුනානම් උන් මාව මරණවා කියලා?" 

"ඒගොල්ල එහෙම කරන එකක් නෑ..." කින්කේඩ් කීවේ එතරම් විශවාසයකින් නොවේ. ඔහු බලා සිටියේ ගොම ඉහිරුන බිම වැටී තිබූ වියගස දෙසය. එය අතින් ගෙන සිටි මිනිසාගේ ලේ එහි තැවරී තිබිණ. යමක් කියන්නට කටගත් ඔහු යළිත් සිය අදහස වෙනස්කරගෙන ආපසු හැරී ඉවත්ව ගියේය.

එලන් දයාබරිතව, කම්පාව දනවන ශබ්ද මුවින් නගමින් ඇඟිලි මෘදු ලෙස මෙහෙයවූවාය. බක් ඇයට තම මුහුණෙහි වූ ලේ පැල්ලම් ඉවත් කිරීමට ඉඩ හැරියේය. "ලැජ්ජා නැති මිනිස්සු. මේ නගරයේ සිද්ධ වෙන දේවල් ඔයාගෙ වැරැද්දෙන් වෙන දේවල් නෙවෙයිනේ. ඒකට මේ මිනිස්සු ඔයාට බැනලා හරියන්නේ නෑනේ." එලන් කෝපයෙන් පැවසුවාය. 

තවමත් රිවෝල්වරය අතෙහි තිබෙන බව තේරුම් ගිය බක් එය කොපුවෙහි රුවාගත්තේය. එලන් ඇයට හැකි පමණින් කාර්යය නිමකොට එතැනින් ඉවත්ව ලේ වැකුණු ලේන්සුව ආපසු දුන්නාය. "බරපතල තුවාල මොකවත් නෑ කියලා විශ්වාසද?" 

ඉතා පරිස්සමින් පපු ප්‍රදේශයේ ඉලඇට අතගා බැලූ ඔහු තවදුරටත් පරීක්ෂා කිරීමට මෙන් එක් පසෙක සිට අනෙක් පැත්තට නැමී බැලුවේය. වේදනාවක් දැනුන ද එය ඉලඇටයක් බිඳීගිය විට දැනෙන ආකාරයේ වේදනාවක් නොවේ. මීට පෙර ඔහු ඉලඇට බිඳීම්වලට ලක්වී ඇති නිසා එය දැනෙන ආකාරය දැන සිටියේය. 

ඔහු හිස දෙපසට සෙලවීය. "දවසකින් දෙකකින් හොඳවෙන ඒවා ඇරෙන්න වෙන දෙයක් නෑ." 

"මම ඔයත් එක්ක කාර්යාලය ලඟට යනකං එන්නම්." 

බක් එය අනුමත කරන අයුරින් හිස සැලීය. එලන් ඔහුව වත්තම් කරගන්නට මෙන් ඔහුගේ ඉන වටා අතක් යැවුවාය. නැවත ඉවතට ගැනීමට බැරිවන අයුරින් ඔහු අත අල්ලාගත්තේය. ඔහුගේ මුහුණ දෙස බැලූ ඇය ඔහු කුපිත කිරීමට මෙන් "ඒකෙනුත් වාසියක් ගත්තා නේද?" යනුවෙන් විමසුවාය. 

"එහෙම නොකලොක් මං මෝඩයෙක් නේ, නැද්ද?" ඔහු සිනාමුසුව ඇය දෙස බැලීය.

ඇගේ මුහුණෙහි යාන්තමට මෙන් ලජ්ජාශීලීබවක් දිස් වුවද ඇය අත ඉවතට ගැනීමට උත්සාහ නොකළාය. ඔවුහු වීදිය දිගේ සිරගෙදර තෙක් ඇවිද ගියේ ඔවුන් පසුකර යන්නන් කිහිපදෙනෙකුගේ අමුතු බැලුම්වලට ද ලක්වෙමිනි. බක් සිරගෙදර දොර අගුලු විවෘත කළ පසු එලන් ද ඔහු සමග ඇතුලට පැමිණියාය. "ඔයා ඔහොම වාඩිවෙන්න. මම වතුර භාජනේකුයි තුවායකුයි ගේන්නම්." 

ඔහු වේදනාව දරාගනිමින් අපහසුවෙන් කාර්යාලයේ කැරකෙන පුටුවේ ඉඳගත්තේය. ඔහුට ඉලඇට පෙදෙසෙහි මෙන්ම අත්වල ද වේදනාවක් දැනුනි. ඔහුගේ බෙල්ල හා වම් උරහිස සම්බන්ධ වන තැනට කෝටුවකින් හෝ මුගුරකින් එල්ලකරන ලද පහරක් වදින්නට ඇත. එහි අස්ථි කිසිවක් බිඳීමකට ලක්වී නැත්නම් හොඳ යයි ඔහුට සිතින. 

සීතල වතුර බඳුනක් රැගෙන ආ එලන් එය මේසය මත තැබුවාය. තුවායෙහි එක් කොනක් ජලයෙන් තෙත් කරගත් ඇය එයින් ඔහුගේ මුහුණ පිරිසිදු කර අනෙක් කොනින් තෙත මාත්තු කළාය. "තුවාලවලට දාන ප්ලාස්ටර් තියනවද?" 

මේසයෙහි ලාච්චුව විවෘත කළ ඔහු එයින් කලු, සුදු හා රෝස පැහැයෙන් යුත් කුඩා පැකට්ටු කිහිපයක් ගෙන ඇය අත තැබීය. කතුරක් ද එම ලාච්චුවෙහිම තිබුණි. ප්ලාස්ටර් කැබලි කිහිපයක් කපාගත් ඇය ඒවා ප්‍රවේශමින් ඔහුගේ මුහුණෙහි වූ කැපුම් තුවාල මත ඇලවූවාය. "මේවා ඇලවිලා හිටියි ද නැද්ද කියන්න බෑ. සමහර තැන්වලින් තවම ලේ ගලන එක නැවතිලා නෑ." 

බක් බිත්තියෙහි තිබූ ඔරලෝසුව දෙස බැලීය. වේලාව නමයයි තිහයි. හෙට මේ වේලාව වන විට සියල්ල අවසන් වී තිබෙන බව ඔහුගේ සිතට නැගින. හොඳින් හෝ නරකින් එය අවසන් වනු ඇත. 

වීදියට විවෘතවන දොර ඇරගෙන ඩියැක් ෆොස්ටර් ඇතුළු විය. ඒ සමගම වතුර බේසම අතට ගත් එලන් එය බඳුන් තබන ස්ථානය වෙත ගෙනගියාය. ජලය ලේවලින් රෝස පැහැ ගැන්වී තිබිණ. "මම යන්න ඕනෑ." ඇය කීවාය. "බේසම ඔතන තියලා යන්න. මම විසිකරන්නම්. ස්තූතියි." 

ඇය හිස ඔසවා කෙලින්ම ඔහුගේ දෑස දෙස බැලුවාය. වචන පණහකින්වත් කිව නොහැකි බොහෝ දේවල් එම එක බැල්මෙහි තිබුණි. කනස්සලුසහගත සිනාවක් ද සමග ඇය පිටතට පැමිණ දොර වසා දැමුවාය. 


  

                                                     පරිච්ඡේදය - VI

                                                  පළමුවැනි කොටස

උසින් ගත්විට ඩියැක් ෆොස්ටර් ඕවන් බක් හා සම මට්ටමෙහි විය. ශරීර ප්‍රමාණයෙන් ඕවන් බක්ට වඩා කුඩා බවක් පෙනුනද දෙදෙනාගේ බරෙහි පරතරය රාත්තල් පහකට වඩා අඩුවිය. ෆොස්ටර් ජිවිතයේ වැඩි කාලයක් ගතකර ඇත්තේ නොයෙකුත් ගවපාලන කණ්ඩායම්වල ගවයින් බලාගන්නා මිනිසුන් කරන වැඩ කරමිනි. ඒ හැම වැඩක්ම අශ්වයා පිටේ සිට කළ වැඩම නොවීය. වැටවල් සෑදීම හා පිළියම් කිරීම, සුලං මෝල් හැසිරවීම, ක්ෂේත්‍රයේ තෝරාගත් ස්ථානවලට ගවයින්ට ලෙවකෑම සඳහා ලුණු ගෙනගොස් දැමීම, ගොවිපළට අවශ්‍ය බඩු බාහිරාදිය නගරයේ සිට ප්‍රවාහනය කිරීම හා දර පැළීම වැනි ගොවිපළක කළයුතු  දහසකුත් එකක් දුෂ්කර වූ වැඩ රාශියක් කිරීමට තිබිණ.  ඔහුගේ සිරුර ශක්තිමත් මාංශ පේශි වලින් යුත් දැඩි බවක් පෙන්නුම් කළ අතර දත් කිහිපයක් අහිමි වූ මුඛයත් මුුහුණෙහි හා ඇඟිලි පුරුක්වල දක්නට ලැබුනු විවිධාකාර වූ ලපකැළැල් ද සාක්ෂි දැරූ පරිදි සටන්කිරීමෙහි මනා පලපුරුද්දක් ඇතියෙක් ද විය.

අද උදෑසන ඔහු වැඩට පැමිණියේ නමයයි තිහටය. මැක්ග්‍රාත් සිරගත කළදා සිට ඔහු සහ ෂෙරීෆ් මාරුවෙන් මාරුවට රාත්‍රිය ගතකළේ සිරගෙදර ය. අද ඔහු සිරගෙදර රාත්‍රිය ගතකළයුතු දවස ය. ඊයේ රාත්‍රිය සිරගෙදර නිදාගත්තේ බක් ය. 

එලන් ඩ්රූ දොරෙන් පිටව යනු බලාසිටි ඩියැක්ගේ මුවට තක්කඩි සිනාවක් නැගුනේය. ඇයගෙන් බක්ට ලැබුන බැල්ම ඔහුගේ ඇසට මගහැරුනේ නැත. "වෙන කවුරුවත් ඉස්සර වෙන්න කලින් අර නෝනව බැඳගන්න එක හොඳයි, බක්." ඔහුගේ මුවින්  පිටවිය. පිළිතුරු ලෙස බක්ගෙන් ඔහුට ලැබුනේ සුහද බවක් නොමැති ඔරවා බැලීමකි. ෆොස්ටර් තුළ කිසිදු අනර්ථකාරී හැඟීමක් නොතිබුන ද බක් එයින් කෝපගත්තේය. 

"ආණ්ඩුකාරයාගෙන් උත්තරයක් ලැබුනද?" ෆොස්ටර් ඇසීය. 

බක් කළේ හිස සෙලවීම ය. 

"ගියාද බලන්න? නැත්නම්  මම ගිහිල්ලා බලන්නද?"

"මම ගිහිල්ලා ආවේ. මම තව විදුලි පණිවුඩයක් ආණ්ඩුකාරයාගේ ලේකම්ට යැව්වා. මම එයාට කියලා ඇරියා මෙහෙට ඇවිල්ලා මැක්ග්‍රාත්ට පැහැදිළි කරලා දෙන්න කියලා ඇයි ආණ්ඩුකාරයාට පණිවුඩය දෙන්න බැරි කියලා." 

ෆොස්ටර් දත් පෙනෙන සේ සිනා නැගීය. "එයාට අද දවසටම ඒක ඇති."

"මම හිතන්නේ ගෑනි බොරු කියන්නේ. ආණ්ඩුකාරයා කාර්යාලයේ ඉන්නවා." 

"මිනිහා දන්නවා පාං පෙත්තේ කොයි පැත්තෙ ද බටර් ගාන්න ඕනෑ කියලා.  පිටිං ඇවිල්ලා පදිංචි උන අය නෙවෙයිනේ එයාව පත්කරගත්තේ. ඒ මිනිස්සු ඊලඟ සැරේ එයාව පත්කරන්නෙත් නෑ. මේක ගවපාලනය කරන පළාතක්. ඒක ඉස්සරහටත් එහෙමම තමයි තියෙන්නේ." 

බක් ඊට විරුද්ධව කතා නොකළ ද ඔහු එයට එකඟ නැති බව ඩියැක් ෆොස්ටර් දැන සිටියේය. ෂෙරීෆ් පැහැදිළිවම සිතන්නේ නඩු විභාගය සාධාරණව නොපැවැත්වුන බවයි. හන්ටර් විනිශ්චයකාරයා වරදේ තරමට ගැළපෙන ආකාරයේ දඬුවමක් මැක්ග්‍රාත්ට නියම කළ බවට ෂෙරීෆ් විශ්වාස කරන්නේ නැත. 

තීන්දුව බලාපොරොත්තු නොවූ තරම් තද වැඩි බව ෆොස්ටර්ට ද පිළිගැනීමට සිදුවිය. හැමදෙනෙකුම සිතුවේ මැක්ග්‍රාත් අවුරුදු පහත් දහයත් අතර කාලයකට සිරගත කරනු ඇති බවයි.  එහෙත් ෆොස්ටර් නුරුස්නා හැඟීමෙන් කල්පනා කළේ විනිශ්චයකාරයාගේ බිරිඳ හා නොපැටලී සිටින්නට තරම් මොලයක් මැක්ග්‍රාත්ට තිබිය යුතුව තිබූ බවයි. 

ඔහු ඕවන් බක් දෙස උවමනාවෙන් බැලීය.  දින දෙක තුනක සිට, තීන්දුව ක්‍රියාත්මක කිරීම ලංවෙද්දී ඔහු තුළ අනියත සැකයක් ඇතිව තිබුනේ ෂෙරීෆ් එය ඉටුකිරීම මගහරිනු ඇති බවයි. උසාවිය විසින් දෙනු ලැබූ තීන්දුව ක්‍රියාත්මක කිරීමට අසමත් වීම ඔහු කෙසේ සාධාරණීකරනය කරනු ඇත්දැයි ෆොස්ටර් දැන සිටියේ නැත. එය එසේ වෙත්දැයි ඔහු නිශ්චිතව දැන සිටියේ ද නැත. ඔහු ඒ ගැන සැක කළා පමණි. 

"මම ගෙදර ගිහිල්ලා පිරිසිදු වෙලා එන්නම්." බක් කීය. 

"ඇත්තටම ඔබට මොකද උනේ?" 

"පිටිං පදිංචියට ආපු එවුන්. මම අත්අඩංගුවට ගත්ත නිසාත් හෙට පෝරකයට නංවන්නේ මම නිසාත් මැක්ග්‍රාත්ගේ ප්‍රශ්නවලට වරද පටවන්නේ මට."  

"උන් ඔබට හොඳටම පහර දීලා වගේ නේද?" ඩියැක් හොඳින් බලා සිටියේ දොර දෙසට යද්දී ෂෙරීෆ් ඇවිද ගිය වේදනාකාරී ඉරියව්ව දෙසයි. 

"එහෙම කරන්න තමයි ඔවුන් උත්සාහ කළේ." බක් දොර විවෘත කළ ද බාගෙට ආපසු හැරී, "මම කිව්වා ජෙනී කාල්සන්ට මැක්ග්‍රාත් බලන්න පුළුවන් කියලා. ඒ ඇරෙන්න වෙන කාටවත් එන්න දෙන්න එපා." යි පැවසීය. 

"හොඳයි." දොර වැසෙන දෙස බලා සිටි ඩියැක් කවුළුව වෙතට ගොස් ෂෙරීෆ් වේදනාවෙන් පෙළෙමින් ඔහුට දැනෙන වේදනාව පිටතට නොපෙනෙන සේ වීදිය දිගේ උඩහට ඇවිද යනු බලා සිටියේය.    

   

 

 

       

     







 

11 comments:

  1. තවත් කුතුහලයෙන් නිමවුනු කොටසක්.
    ජයවේවා !!!

    ReplyDelete
  2. ස්පෑම් එකේ වත් තිබුනෙ නම් නෑ!

    ReplyDelete
  3. "ඒකෙනුත් වාසියක් ගත්තා නේද?" හරි හරි කමක් නෑ ඕං ආයෙම කමෙන්ට් කලා. ලස්සනයි අදත් කතාව. දැන් එන්න එන්නම කියවන්න ආස කමක් දැනෙනවා.

    ReplyDelete
  4. පොඩ්ඩක් කියවන්න පහුවුන. වෙනද වගෙම... පරිවර්තනය හොදාා

    ReplyDelete