විනිශ්චය - X

 

                         
         

                                                  පරිච්ඡේදය - VI

                                                  දෙවැනි කොටස

සිදුවීම් සිදුවන විදිය ගැන ඩියැක් එක්තරා ආකාරයකට තෘප්තියට පත්ව සිටියේය.  අවුරුදු දෙකකට පෙර ෂෙරිෆ්ගේ සහකාර තනතුරට පත්වූ දා සිට ඔහුට ෂෙරීෆ් තනතුරට පත්වීමට අවශ්‍යව තිබිණ. ගවයින් මේච්චල් කරනවාට වඩා ෂෙරීෆ් තනතුරේ රාජකාරි තිරීම බෙහෙවින් පහසු කරුණකි. ඩියැක්ට තවදුරටත් හීලෑ නැති, ප්‍රචණ්ඩ අශ්වයින් පිට යෑම අවශ්‍ය නොවී ය.

ඔහු බොහෝ ගණනක් සතුන් හීලෑ කර ඇති අතර ඒ නිසාම සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ද හානි සිදුවී ඇත. තවමත් ඔහුට අශ්වයින් පිටයාම කළ හැකි වුවත් ඒ අශ්වයා හීලෑව සිටින තාක් පමණි. අශ්වයා කුලප්පු වී කිහිපවරක් උඩපැන්නොත් සිරුර පුරා වේදනාව විහිදෙන්නේ පිහියෙන් අනිනවාක් මෙනි. 

මැක්ග්‍රාත්ගේ සිද්ධිය මතුවීමට පෙර ඕවන් බක්ගෙන් ෂෙරිෆ් තනතුර හිමිකර ගැනීම ගැන එතරම් බලාපොරොත්තුවක් ඔහු තුළ නොවී ය. ප්‍රාන්තය පුරා කවුරුත් බක්ට කැමැත්තෙන් සිටි අතර ඔහු කාර්යක්ෂම නිලධාරියෙක් විය. ෂෙරිෆ්වරයා තෝරාගැනීමේ ඡන්දයකදී තම සහකාර නිලධාරියා පරාජය කිරීම ඔහුට පහසු දෙයක් බව ඩියැක් දැන සිටියේය.

කෙසේ වුවද මැක්ග්‍රාත් එල්ලා මැරීමට පෙර බක්ට මිතුරන් බොහෝ දෙනෙකු අහිමි වනු ඇත. ඔහු එල්ලා මැරීම මෙහෙයවීම ප්‍රතික්ෂේප කළහොත් හෝ කුමන හෝ ආකාරයකින් එය වැළැක්වීමට තැත්කළ හොත් ප්‍රාන්තයේ ගවහිමියන් අතර ඔහුට තිබූ පිළිගැනීම අහිමිවනු ඇත. ඔවුන් යටතේ වැඩකරන්නන් යන්නේ ද එම පාරේම ය. ඔහු මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් ගංඉවුර දිගේ කඳවුරු බැඳ සිටින අනවසර පදිංචිකරුවන්ගේ ඡන්ද ඔහුට අහිමි වේ. ඒ හැරෙන්නට දැනටමත් ප්‍රාන්තයේ ඉඩම්වල පදිංච්ව සිටිය සියළුම කුඩා පරිමාන ගවහිමියන්ගේ හා ගොවියන්ගේ ඡන්ද ද ඔහුට අහිමිවනු ඇත. 

ඩියැක් ෆොස්ටර්ට පෙනීයන විදියට නම් බක් කුමක් කළ ද ඔහුට දිනන්නට බැරි ය. ඒ නිසාම ඔහුට සිතුනේ මැතිවරණ කාලය එනවිට ඕවන් බක් පරදවා ෂෙරිෆ් තනතුර දිනා ගැනීමට ඔහුට හොඳ අවස්ථාවක් තිබෙන බවයි. ඔහුට කරන්නට තිබෙන එකම දෙය නම් පැත්තකට වී ඉඳගෙන ෂෙරිෆ්ට අමාරු තීරණ සියල්ල ගන්නට ඉඩ දී (සැබැවින්ම එය ඔහුගේ රාජකාරියේ කොටසකි.) ඒ සඳහා එන දෝෂාරෝපණ ද ඔහුටම ගන්නට ඉඩ දීමයි. 

ඩියැක් සිරගෙදර පසුපස කොටසේ සිරකුටි තිබෙන පැත්තට ගොස් යකඩ කූරු අතරින් මැක්ග්‍රාත් දෙස බැලීය. "මොනව හරි ඕනද?" මැක්ග්‍රාත් හිස සෙලවීය. ඩියැක්ගේ අසාමාන්‍ය කරුණාව ගැන ඇති වූ සැකය ඔහුගේ ඉරියව් තුල දකින්නට හැකි විය. "මොන මගුලක් ද තමුසෙට වෙලා තියෙන්නේ? තමුසෙට පුළුවන්කමක් තිබුනා නම් මට එක් දවසක කාලයක්වත් දෙන්නේ නෑ." 

"හෙට උදේ එළිය වැටෙන වෙලාව ඔහේට කියන්න මට පුළුවන්." ඩියැක් පැවසීය. 

තම මුහුණේ වූ ඉරියව් ඩියැක්ට නොපෙනෙන සේ ඉවතට හැරුන මැක්ග්‍රාත්, "මට ඉන්න දීලා යනවා යන්න." යයි පැවසීය.

"හරි." පැවසූ ඩියැක් දොර වසා දමමින් කාර්යාලය වෙත පැමිණියේය. ඔහු තුළ මැක්ග්‍රාත්ට කිසිදු කැමැත්තක් නොතිබූ අතර මැක්ග්‍රාත් හෙට පෝරකය මත මියයනු දැකීම ඔහුට සතුට දනවන කරුණක් විය. ඔහු ඔහු පිළිබඳවම සිතා බැලුවේය. ඔහු මැක්ග්‍රාත්ට අකමැතිවන්නේ ඇයි? ඔහු මේ පුද්ගලයා හරිහැටි අඳුරන්නේ ද නැත. අවංකවම කියන්නේ නම් එක් කරුණක් වන්නේ දුටු පමණින් ගැහැණුන් ඔහු කෙරෙහි ආශක්ත වීමට තරම් ඔහු කඩවසම් වීමයි. ගැහැණියක් ඔහු අත මැටි පිඬක් කරගැනීමට ඔහුට කිරීමට තිබූ එකම දෙය නම් ඇය දෙස බලා සිනාසීම පමණි. 

අනෙක් අතින් ඩියැක් නිතරම ගැහැණුන් සමග ප්‍රශ්න ඇතිකරගත් අතර ඔහුගේ සබඳතා නිසි මිල ලැබුණ පසු ඕනෑම කෙනෙකු හා ඇඳට යාමට සූදානමින් සිටින සමාජ ශාලා හා ගණිකා නිවාසවල සිටින ගැහැණුන්ට සීමා විය. එනිසාම පහසුවෙන් ගැහැණුන් ආකර්ෂණය වන අයෙකු ගැන අප්‍රසන්න හැඟීමක් ඇතිවීම ස්වභාවික දෙයක් විය. 

ෂෙරිෆ්ගේ පුටුවේ වාඩිවූ ඔහු බූට්ස් දැමූ දෙපා මේසය මත තැබීය. මැක්ග්‍රාත් ගැන ඔහුට තිබුණේ අසංවිධිත හැඟීම් රැසකි. එක් අතකින් ඔහු මැක්ග්‍රාත් අප්‍රිය කළ අතර කාන්තාවන් අතර ඔහුට තිබූ පහසු ආකර්ණය ගැන ඊර්ෂ්‍යා කළේය. අනෙක් අතින් ආර්ච් නෝත්කොට්ගේ තණබිම මැද ගෙවත්තක අයිතියට හිමිකම් කීමට තරම් තිබූ හිතුවක්කාර එඩිතර බව අගය කළේය. එය මතක් වන විට ඔහුට තනිවම මද සිනාවක් පහල විය. ආර්ච් නෝත්කොට්ගේ තණබිම! නෝත්කොට්ගේ හිස ගිණි තියන්නට ඊට වඩා ඉක්මන් ක්‍රමයක් ඇත්නම් ඒ කුමක් දැයි ඔහුට සිතාගන්නටවත් බැරිවිය. 

ඔහු යළිත් වර්තමානයට පැමිණියේය. මෙතැන ඉඳගෙන අද ඇතිවී තිබෙන තත්ත්වයට මග පෑදූ සියළුම දේවල් මෙනෙහි කිරීමෙන් කිසිදු පලක් නොවේ. ඔහුට ෂෙරිෆ් තනතුර අත්‍යවශ්‍ය නම් කළ යුතුව තිබෙන්නේ වෙන්නට යන දේ හා වියහැකිව තිබෙන දේ ගැන සිතා ඒ අනුව උපාය සැලසුම් කිරීමයි. 

වීදියට පිවිසෙන දොර විවෘත වී ඔවන්  බක් ඇතුළු විය. ඩියැක් මේසය මතින් පාද ඉවතට ගෙන කෙලින් වාඩි විය. බක් තොප්පිය කෝට් එල්ලන රාමුවෙහි එල්ලා මේසය දෙසට පැමිණියේය. කැරකෙන පුටුවෙන් නැගී සිටි ඩියැක් ඔහු එලෙස කළේ බක් පැමිණි නිසා නොව කලින් සිතා සිටි ලෙසින් බව හැඟෙන සේ උදුන වෙත ගොස් කෝපි පෝච්චිය අතට ගත්තේය. එහි උනුසුම් කෝපි ස්වල්පයක් ඉතිරිව තිබිණ. කෝප්පයක් අතට ගත් ඔහු එය පුරවා ගත්තේය. 

"මම ගියාට පස්සේ කවුරුවත් ආවද?" බක් විමසීය. ඔහු පිරිසිදු කලිසමකින් හා කමිසයකින් සැරසී සිටියේය. ඔහුගේ එක් ඇසක් කලු පැහැ ගැන්වෙමින් තිබූ අතර නාසය සාමාන්‍ය ප්‍රමාණය මෙන් දෙගුනයක ප්‍රමාණයට ඉදිමී තිබුණි. 

ඩියැක් ෆොස්ටර් හිස සොලවා නැතැයි ඇඟවීය. 

"මැක්ග්‍රාත්ට මොකවත් ඕනද?" 

"නෑ කිව්වා."

බක් ඩියැක් ඉවත්ව ගිය කැරකෙන පුටුවේ වාඩි විය. "කැමති නම් දැන් යන්න පුළුවන්. හැබැයි පැයකට විතර සැරයක් මේ පැත්තෙ ඇවිත් බලන්න." ඔහු පැවසීය. 

ඇල්මැරුනු කෝපි කෝප්පය තොල ගාමින් ඔහු හිස සැලීය. "ආණ්ඩුකාරයාගෙන් උත්තරයක් ආවෙ නැත්නම් ඔබ මොකද කරන්න යන්නේ?" 

බක් යන්තමට මුහුණ රැලි කළේය. "මම තාම තීරණයක් අරගෙන නෑ." 

"තීරණයක් ගත්තේ නෑ කියන එකේ තේරුම මොකක්ද? ඔබට වෙන විකල්පයක් නෑනෙ." 

"හැමෝටම ගන්න විකල්පයක් තියනවා." බක්ගේ මුවින් පිටවිය. 

"ඔබ කියන්නේ උසාවියේ තීරණයට පිටින ගිහින් මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය දෙන එක ප්‍රතික්ෂේප කරනවා කියලද?"

"මම එහෙම කිව්වේ නෑනෙ." 

"ඔබ කිව්වේ තීරණය කරලා නෑ කියලා.  ඒක ඇරෙන්න මොකක්ද තීරණය කරන්න තියෙන්නේ? එක්කෝ උසාවිය තීන්දු කරපු දේ කරනවා නැත්නම් නොකර ඉන්නවා."

"කරන්න පුළුවන් දේ තව තියෙන්න පුළුවන්." 

"මොන වගේ ඒවද?"

බක් උරහිස හැකිලීය. ඔහු ප්‍රශ්නය මගහරින බව ඩියැක්ට වැටහින. පැහැදිළිවම ඔහු යමක් සිත යට සඟවාගෙන සිටී. පැහැදිළිවන තවත් දෙයක් නම් තම සහායක නිලධාරියා කෙරෙහි විශවාසය තැබීමට ඔහුගේ ඇති මැලිකමයි. එයින් පෙනීයන එකම දෙය නම් විශ්වාසයක් නැති කමය. 

"මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළොත් ඒක තමයි ඔබේ අවසානය. ඒක දන්නවා නේද?"

බක් ඩියැක් දෙස ඔරවා බැලීය. "මට උගන්නන්න එන්න එපා." 

"කවුරු හරි ඔබට උගන්නන්න ඕනෑ." තමා කරන්නේ බක් ඇවිස්සීමක් බව ඔහු දැන සිටියේය. යමක් කළයුතු යැයි කවුරුන් හෝ බක්ට බලකරන තරමට ඔහු එය  නොකර සිටීමට ඇති ඉඩ වැඩි බව ඔහු දැන සිටියේය. විශේෂයෙන් ඔහුගේ හෘදසාක්ෂිය යමක් ප්‍රතික්ෂේප කළයුතු යයි කියා සිටියොත් ඔහු කෙසේවත් එය නොකරන බව ද ඩියැක් දැන සිටියේය. 

කෝපි බී අවසන් කළ ඔහු කෝප්පය ආපසු තැබීය. "ඔබනේ ෂෙරිෆ්. මම සහායක විතරයි." ඔහු කීය. 

"මම කැමති තාක් කල් තමයි වැඩ කරන්නේ. මට ඕනැ වෙලාවක ඔබ අස්කරන්න පුළුවන්." 

"තරහ ගන්න උවමනාවක් නෑ. අස්කරන්න තරම් දෙයක් මම කරලා නෑනෙ."

"තාම නං නෑ." බක් පිළිතුරු දුන්නේය. 

වරක් ඔහු දෙස බැල්මක් හෙලූ ඩියැක් ඉක්මනින්ම ඉවත බලාගත්තේය. බක්ගේ මුහුණ රත්පැහැ ගැන්වී තිබුන අතර ඒ අනවසර පදිංචිකරුවන්ගේ පහරදීම් නිසාම නොවේ. ඔහු කෝපයට පත්ව සිටි බව මුහුණේ රත්පැහැයත් ඇස් දෙකෙහි වූ දීප්තියත් පෙන්නුම් කළේය. 

ඩියැක්ට දැනුන තෘප්තිමත් හැඟීම සිනා මුහුණකින් මතුපිටට ඒම වලක්වාගත් ඔහු ,මම ගිහිල්ලා ටික වෙලාවකින් එන්නම්." යයි පැවසීය. 

බක් එයට ප්‍රතිචාරයක් නොදැක්වීය. එළියට පැමිණි ඩියැක් සෙමින් දොර වසා දැමීය. ඔහු තමා ගැනම අතිශයින් සතුටට පත්ව සිටියේය. බක් කෝප ගැන්වීමට ඔහු සමත්ව සිටියේය. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකළ යුතුය යන බක්ගේ අධිෂ්ඨානය දැඩි කිරීමට ද ඔහු සමත් විය. 

ඩියැක් ෆොස්ටර් එක්  කරුණක් සහසුද්ධයෙන්ම දැන සිටියේය. හෙට හිරු නැගෙද්දී මරණීය දණ්ඩනය පැනවීම බක් ප්‍රතික්ෂේප කළහොත් හන්ටර් විනිශ්චයකාරයා එය ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුට අවස්ථාව ලබාදෙනු ඇත.බොහෝ දුරට බක් ෂෙරිෆ් තනතුරෙන් ඉවත් කොට ඩියැක් ෆොස්ටර් ඒ තනතුරට පත් කිරීමට ප්‍රාන්ත කොමසාරිස්වරු පියවර ගැනීමට  ඉඩ තිබේ. මද සිනාවක් මුවගට නගා ගත් ඔහු වීදිය හරහා ගොස් ලෝන්ග්හෝන් සමාජ ශාලාව දෙසට ගමන් කළේය.


   



 


 


         

 


    









13 comments:

  1. ලංකාවෙනම් වෙන්නෙ ඕකේ අනිත් පැත්ත...අධිකරණට ඉදිරිපත් කරන්නත් කලින් අයුධ හංගපු තැන් බලන්න එක්ක ගිහිල්ලා මරලා දානවා.

    ReplyDelete
    Replies
    1. වැඩි දෙනෙක් ඒ ක්‍රමය හරි කියවලා අනුමත කරනවනේ.

      Delete
    2. ටීවි ඇතුලු ප්‍රධාන ප්‍රවෘත්ති විකාසන වලින් ජහමනයට ඒ සිද්දි ගෙනියන හැටියට තමා. මාරම මැදහත් වාර්තාකරන... ලකේ පංකාවෙ තියෙන්නෙ

      Delete
  2. ප්ලොට් එක තීව්‍ර වෙනවා. ඔය වගේ පිටි පස්සෙන් පිහියෙන් අනින උන් තමා හරියට ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව්, මේ ගැටුම ඉදිරියේදී තීරණාත්මක වෙනවා.

      Delete
  3. ඔක්කොම කියෙව්වා. හා දැන්, පිටි පස්සෙන් පිහියෙන් අනින එකෙකුත් ඇවිල්ලා.👌🙏🤭

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මෙහෙ වගේම තමයි.

      Delete
  4. ඩියැක් ෆොස්ටර් හරිම කපටි මනුස්සයෙක් වගේ නේද? බක් ගිරේට අහුවුන පුවක වගේ වෙලා. ඉස්සරහට මොනාද වෙන්නේ කියලා මටනම් හිතාගන්න බෑ. ඉඳලාම බලමු නේ.

    ReplyDelete
    Replies
    1. කලින් ඉඟි කළොත් රසය නැතිව යනවනේ. ඉවසීමෙන් ඉමු.

      Delete
    2. ඔව් ඔව් එහෙම හොඳා. ලෙහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්නේ මක්කටෙයි නේ..හ්.

      Delete
  5. කතාවෙ වෙන පැත්තකුත් මතු වෙනව

    ReplyDelete