විනිශ්චය - XI

 

මේ දක්වා ....

                                     ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. ඔහුට රාජකාරියක් පැවරී ඇත. එය නම් මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීමයි. එහෙත් ඔහු එය ක්‍රියාත්මක වීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. ඒ විනිශ්චයකරුගේ බිරිඳ හා මරණීය දණ්ඩනයට නියම වූ අය අතර වූ අනියම් සබඳතාව නිසා නඩු විභාගයේදී මැක්ග්‍රාත්ට සාධාරණය ඉටු නොවුනේය යන අදහසිනි. එහෙත් පසුව සැක පහලවන්නේ මරණයට පත් පුද්ගලයා අනියම් සබඳතාව ගැන දැනගත් නිසා මැක්ග්‍රාත් සිතාමතාම ඔහු මරාදැමුවේ ද යන්නයි. මේ නිසා අවිනිශ්චිත තත්ත්වයකට පත් වුවද නිවැරදි දේ සිදුවිය යුතුය යන අධිෂ්ඨානයේ ඔහු පසුවෙයි. මරණයට පත් පුද්ගලයා ඉඩම් හිමි ගවහිමියන්ගේ පාර්ශවයට අයත් වන අතර වරදකරු වූ අය අනවසර පදිංචිකරුවන් පිරිසකට අයත් වෙයි. ඒ හේතුවෙන් මරණයට පත් පුද්ගලයාගේ හා මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාගේ පාර්ශව අතර සිදුවීමට  නියමිත ගැටුමක් නවත්වා තවත් මරණ සිදුවීමේ අවදානම වළක්වාගැනීමේ අභියෝගයට ද ඔහු මුහුණ දෙයි. මේ අතර කෝපයට පත් අනවසර පදිංචිකරුවෝ ඔහුට පහර දෙති.  මැක්ග්‍රාත් හා සබඳකම් පැවැත්වූ කාන්තාවන්ට ද ඔහු බැලීමට අවශ්‍ය වෙයි. 





                              පරිච්ඡේදය 7 - පළමු කොටස

ඩියැක් ෆොස්ටර් පිටව ගොස් විනාඩි දහයක් යන්නටත් පෙර ඉදිරිපස දොර සෙමින් විවෘත කළ ජෙනී කාල්සන් බියපත් ලෙස පෙනී සිටියාය. තම මේසය අසල කෝපයෙන් එල්ලාගත් මුහුණින් සිටි බක් හිස ඔසවා බැලීය. ඔහුගේ මුහුණෙහි වූ කෝපාවිෂ්ට පෙනුමින් බියට පත් ඇය ඇතුලට නොපැමිණ දොරකඩම නතර වූවාය. 

ඇයගේ අතෙහි ආවරණයකින් වැසූ බඳුනක් තිබිණ. නැගී සිටි බක් ඉදිරියට පැමිණ ඇය පිටුපසින් වූ දොර වසා දැමීය. ඔහුට ඇපල් කේක් එකෙහි මිහිරි සුවඳ දැනෙන්නට විය. මිනිසෙකු වැදගැම්මකට නැතිව යන්නට යන්නට ඔහු වෙනුවෙන් කැපවෙන ගැහැණු ද වැඩිවන්නේය යන නුරුස්නා සහගත සිතුවිල්ල ඔහුගේ සිතට නැගින. 

ජෙනී කොතරම් බියට පත්ව සිටියේද යත්  ඔහු ඇය දිරිගන්වන සුලු සිනාවක් මුවට නගාගත්තේය. ඔහුගේ සිනාවෙන් ධෛර්යමත් වූ ජෙනී, "මම ජොනීට ඇපල් කේක් එකක් හැදුවා. ඒක එයාට දෙන්න පුළුවන් ද?" යනුවෙන් යටහත්පහත් ලෙස විමසුවාය. 

එක් වරම අනතුරු ඇඟවීමේ සීනුවක් බක්ගේ සිත තුල නින්නාද දුන්නේය. "පුළුවන් වෙයි. ඒත් ඕක ඉස්සරලා අර මේසය උඩ තියන්නකෝ." ඔහු පිළිතුරු දුන්නේය. ජෙනීගේ අත් කොතරම් තදින් වෙව්ලුවේද යත් කාමරය හරහා මේසය වෙත ගිය ඇය අතින් ඇපල් කේක් එක නොවැටුනා පමණි. කේක් එක මේසය මත තැබූ ඇය ඒ අසල රැඳුනේ ඉගිලෙන්නට පියාපත් විදහාගත් කිරිල්ලියක මෙනි. 

බක් කේක් එක වසා තිබූ තිරිඟු පිටි මල්ලක රෙද්දකින් තැනූ පිඟන් පිසිනය ඉවත් කළේය. රන්වන් දුඹුරු පැහැයෙන් දිස් වූ කේක් එකින් රසය දනවන සුවඳක් හමා ආවේය. පුලුස්සන ලද කේක් එකක් තුළ සඟවා ආයුධයක් සිරකරුවෙකුට ලබාදීම නිරන්තරයෙන් යොදාගත් ප්‍රකට උපක්‍රමයකි. එසේ වුවද මෙම කේක් එක තුළ ආයුධයක් සඟවා නැතැයි යන අවදානම ගන්නට බක්ගේ සූදානමක් නොවීය. කුඩා සාක්කු පිහිය එළියට ගත් ඔහු එයින් මතුපිට කබල සිදුරු කරන්නට පටන් ගත්තේ එසේ කරන සෑම අවස්ථාවකදීම පිහිය මදක් කරකවමිනි.

හුස්ම ඉහලට ගත් ජෙනී හඬන්නට වූවාය. "මැක්ග්‍රාත් හිරගෙයින් එළියට ගන්න කැමති හුඟදෙනෙක් ඉන්නවා. ඔබත් එයින් එක්කෙනෙක්. මම තහවුරු කරගන්න ඕනෑ ඔබ මැක්ග්‍රාත්ට දෙන්න ආයුධයක් සඟවලා නෑ කියලා." බක් පැවසීය. එලෙස පවසත්ම ඔහුගේ මතකයට ආවේ ඉඩලීන් හන්ටර්ට කිසිදු පරීක්ෂාවකින් තොරව, ඇඳුම් අතර ආයුධයක් සඟවාගෙන් ඇත්දැයි නොසොයාම ජොනී බැලීමට තමන් ඉඩ දුන් බවයි. 

ජෙනී වැලපෙන්නට වූවාය. "ඔබ ඒක විනාශ කරනවා. ජොනී ඕක ගන්න කැමති වෙන එකක්වත් නෑ ඔහොම විනාශ කළහම." සිතට දැනුන වරදකාරී හැඟීමත් සමග බක් හෑරීම නවතා ජෙනී දෙස බැල්මක් හෙලුවේය. කඳුළු වැල් ඇයගේ මුහුණ දිගේ ගලායමින් තිබුණි. වෙව්ලමින් සිටි ඇයගේ ශෝකී, අනාථ, අසරණ පෙනුම කොතෙක් ද යත් තවදුරටත් ඇයගේ සිත පෑරෙන ලෙස ක්‍රියාකිරීමට බක්ට නොහැකි විය. කේක් එක වසා තිබූ පිඟන් පිසිනයෙන් පිහිය පිසදමා  සාක්කුවෙහි රුවාගත් ඔහු "හරි, ගෙනිහිල්ලා මිනිහට දෙන්න පුළුවන්." යයි පැවසීය. 

දෑස් ඔසවා නොබැලූ ඇය වෙව්ලන දෑතින් කේක් එක අතට ගත්තාය. ඇයට පෙර කාමරය හරහා ගිය ඔහු සිරකුටිවලට පිවිසෙන දොරටුව විවෘත කළේය. පෙරදී දැනුන වරදකාරී හැඟීම  තවමත් ඔහුගේ  සිත පහුරුගාමින් තිබෙද්දීම විවෘත කරන ලද දොර එලෙසම තියෙන්නට හැර ඔහු ජොනී මැක්ග්‍රාත් හා ජෙනී දෙදෙනාම පෙනෙන පරිදි සිටගත්තේය. 

ඉක්මන් ගමනින් මැක්ග්‍රාත්ගේ සිරකුටිය වෙත ගිය ඇය බක්ට නොඇසුන යමක් කොඳුරා ඇයගේ මුහුණ යකඩ කූරුවලට තෙරපෙන සේ තබා ජොනීට ඇයගේ මුව සිපගැනීමට ඉඩදුන්නාය. ඉන්පසු ඇය දොරට යටින් කේක්එක කාමරයට තල්ලු කළාය. එය අතට ගත් ජොනී එයට ඇඟිල්ලක් ඔබා ඇඟිල්ල මුවෙහි තබා රස බලා එය කාමරයෙහි වූ බංකුව මත  තැබීය.

බක්ගේ සිතට දැනුන ආකාරයට නම් කේක් එක මොන විදිහට කැඩී බිඳී තිබුනත් මැක්ග්‍රාත්ට එය දැනුන බවක්වත් පෙනුනේ නැත. එහෙත් ජෙනී ඒ ගැන වද වූවාය. වඩා වැදගත් වන්නේ එයයි. බක් සිතීය. 

කෝපයට පත්වූ බක් තනිවම ජොනී මැක්ග්‍රාත්ට ශාප කළේය. ජෙනී කාල්සන් හෝ ඉඩලීන් හන්ටර් හෝ වෙනත් ඕනෑම ගැහැණියක ගැන ජොනීගේ කිසිදු බැඳීමක් තිබුනේ නැත. තමාගේ අවශ්‍යතාවට ඔහු ඔවුන් යොදාගත්තා පමණි. බක්ට කිසිසේත් තේරුම්ගත නොහැකි වූ  යම්කිසි හේතුවක් නිසා ඔව්හු සියළුදෙනම ඔහුට ආදරය කළා මෙන්ම ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඉදිරිපත් වූහ. "ඕනෑම දෙයක් කරයි."ඔහු යළිත් සිතීය. හිරගෙදරින් පැනගොස් අළුගෝසුවාගේ තොණ්ඩුවෙන් ගැලවීම සඳහා ඔවුන් ඔහුට ආයුධ හොරෙන් සැපයිම ද කරන්නට බැරිකමක් නැත. 

කර ඇත්තේ මෝඩකමක් බව බක්ට වැටහිණ. ඉතාම පහසුවෙන් රිවෝල්වරයක් සඟවාගෙන ගොස් ජොනීට දෙන්නට ඉඩලීන් හන්ටර්ට අවස්ථාව තිබිණ. ජෙනීගේ කේක් එක තුළ රිවෝල්වරයක් සඟවන්නට බැරි වුවද පිහිතලයක් හෝ කියත් තලයක් පහසුවෙන් ඒ තුළට දමන්නට ඇයට ඉඩ තිබුණි. කේක් තැටියෙහි පතුළෙහි අතුරා තැබූ විට කුඩා පිහියෙන්   කොපමණ හෑරුවත් කියත් තලයක් සොයාගන්නට ලැබෙන්නේ නැත.

ජෙනී පිටව ගිය පසුව ජොනී මැක්ග්‍රාත්ගේ සිරකුටියට ගොස් පරීක්ෂා කර බැලීමට ඔහු සිතාගත්තේය. රිවෝල්වරයක්, පිහියක් හෝ කියත් තලයක් ජොනී ලඟ තිබුනොත් ඔහු එයින් වැඩක් ගන්නට පෙර එය සොයාගෙන ඉවත් කරන්නට පුළුවන. 

එම තීරණයට එළඹි ඔහු සිරකුටි වෙතට පිවිසෙන දොර වසාදැමීය. ජොනී ඒ වනවිටත් කේක් එක කා අවසන් කර තිබුණි. එහි එවන් ආයුධයක් තිබුනේ වුවද දොර විවෘත කර තැබීමෙන් දැන් කිසිදු පලක් වන්නේ නැත. ජොනී මැක්ග්‍රාත් ගැන නොසැලකුවද ජෙනීගේ පෞද්ගලිකත්වයට ගරු කළයුතු යයි ඔහුට සිතිණ. 

ඔහුට දැන් ඔවුන්ගේ කතාබහ ඇහෙන්නේ නැත. බිත්තියෙහි වූ ඔරලෝසුව දෙස බැලූ ඔහුට වෙලාව දහයට ආසන්න වී ඇති බව පෙනිණ. දිගින් දිගටම උදාසීන ලෙස ඇදී යාමට නියමිත හෝරා ගණනාවක් ඔහු ඉදිරියෙහි තිබේ. ජොනී පෝරකයෙහි එල්ලා දමන තෙක් ආසන්න වශයෙන් එය පැය විස්සක පමණ ප්‍රමාණයකි.  අවශ්‍ය නම් ඔහු වෙනුවෙන් එය කිරීමට ඩියැක් ෆොස්ටර්ට පැවරිය හැකිය. එහෙත් එසේ කිරීමට ඔහුගේ බලාපොරොත්තුවක් නැත. ඒ ඩියැක් ගැන ඔහුට විශ්වාසය තැබිය නොහැකි  නිසා ය. මෙය අවසාන වූ වහාම ඩියැක් පහකොට ඔහුට විශ්වාසය තැබිය හැකි සහය නිලධාරියෙකු පත්කර ගැනීමට ඔහු අදිටන් කරගත්තේය. 

ටික වේලාවක් ඔහු ජනේලය ඉදිරිපිටින් එහා මෙහා ඇවිද්දේය. එක්වරම ඔහුගේ සිහියට නැගුනේ අල්ලපු වැටෙන් මෙතෙක් වේලා ඇසෙමින් තිබූ  පෝරකයට ඇණ ගසන ශබ්දය නැවතී ඇති බවයි. ඒ හැඟීම ඔහුගේ සිතට දැනුනාත් සමගම දොර විවෘත වී ජේසන් ග්‍රියර් හිස ඇතුලට දැම්මේය. "අපේ වැඩ ඉවරයි. ඇවිල්ලා බලනවද?" 

පෝරකය දෙස බැලීමට බක්ට උවමනාවක් නොතිබුනත් එය පරීක්ෂා කළයුතු බව ඔහු දැන සිටියේය. "විනාඩියක් ඉන්න." යයි පැවසූ ඔහු කාමරයෙහි අනෙක් පස පිහිටි සිරකුටි වෙතට පිවිසෙන දොර වෙත ගොස් එය විවෘත කළේය. "ජෙනී, වෙලාව හරි." 

නැවතත් යකඩ කූරු අතරින් ජොනී සිපගත් ඇය කොරිඩෝව දිගේ දොර දෙසට පැමිණ බියසුලු ඉරියව්වකින් බක්ට ස්තූති කොට ඉවත්ව ගියාය. වීදිය දිගේ ඇවිද ගිය ඇය දෙස බැලූ බක්ට ඇය පෝරකය දෙස බලා ඉවත බලාගනු පෙණින. නැවතත් අනතුරු ඇඟවීමේ සංඥාවක් ඔහුගේ සිත තුළ රැව් දුන්නේය. "හරි ජේසන්, අපි යමු." 

දොර අගුලු දැමූ ඔහු ජේසන් පසුපස අල්ලපු වැටෙහි වූ හිස් බිමට ගියේය. පෝරකය ඔහුගේ හිසටත් ඉහලින් කෝනාකාර හැඩයකින් අවලස්සන ලෙස නැගී සිටියේය. එහෙත් ජේසන් ග්‍රියර් ඒ ගැන ආඩම්බරයෙන් බලන බව පෙණින.  "මං හදපු මුල්ම එක, හැබැයි ලස්සනට වැඩ කරනවා."

"හරි, හරි. අපි බලමු." බක් පැවසීය.  

     

    







 


6 comments:

  1. ජොනී පැනල යයි කියලයි මට හිතෙන්නේ. බලමු ඊළඟ කොටස.

    ReplyDelete
    Replies
    1. පිළිතුර ඊලඟ කොටසින් ලැබෙනවා.

      Delete
  2. ++++++++. කියෙව්වා.👌

    ReplyDelete
  3. ඊළඟ කොටස මොනා වෙයිද ?
    // එක් වරම අනතුරු ඇඟවීමේ සීනුවක් බක්ගේ සිත තුල නින්නාද දුන්නේය. "//
    ලස්සන යෙදුමක්...
    ජයවේවා !!!

    ReplyDelete
  4. කියෙව්ව. ඊලඟ කොටස ඉක්මනට දාන්න

    ReplyDelete