විනිශ්චය - XII

 



 පරිච්ඡේදය 7 - දෙවන කොටස

ග්‍ර්‍රියර් හා ඔහුගේ පුත්‍රයා රාත්තල් සියයක පමණ බරට පස් පිරවූ ගෝනියක් පඩිපෙළ දිගේ ඉහලට ගෙනගොස් අගුල්දොර මත තබා නැවත පහළට පැමිණියහ.  "ඔන්න බලාගන්න." ආඩම්බරයෙන් පැවසූ ග්‍රියර් ලීයෙන් සැදූ ලීවරයක් අල්ලා තමා දෙසට ඇද්දේය. අගුලුදොර පහතට වැටී ඒත් සමගම ගෝනිය එතුළින් බිම පතිත විය. ඉන් නැගුන ශබ්දයෙන් කුතුහළය ඇවිස්සුන නගරවැසියන් කිහිපදෙනෙක් පෝරකය වටා එක්රැස් වූහ. ජේසන් ආයෙත් කරන්න බලන්න. එක් අයෙක් පැවසීය. ජේසන් හා ඔහුගේ පුත්‍රයා කැමැත්තෙන්ම ගෝනිය ඔසවාගෙන පඩිපෙල දිගේ උඩට ගොස් එය නැවතත් අගලුදොර මත තබා ආපසු පහළට පැමිණියහ. ජේසන් ග්‍රියර් යළිත් ලීවරය ඇද්දේ ගෝනිය අගුලුදොර තුලින් බිම පතිත වීමට ඉඩ සලසමිනි. 

"කෝ තොණ්ඩුව?" කිසිවෙකු විමසීය. 

ජේසන් උරහිස් හැකිළීය. බක් දෙස බැලූ ඔහු යළිත් එම ප්‍රශ්නයම අසා සිටියේය. "අලුගෝසුවා උදේ එනකොට අරගෙන එයි." බක් පැවසීය. 

"ගැටේ හරියටම දාන්න දන්නේ එයා විතරක් වෙන්න ඇති." 

එය අනුමත කරන ලීලාවෙන් බක් හිස වැනීය. රැස්ව සිටි නගරවැසියන් තුළ තිබූ කුතුහළය අමානුෂික බවක් පෙන්නුම් කළ ද අපාචේ ජන්ක්ෂන් ප්‍රාන්තයෙහි මීට පෙර ප්‍රසිද්ධියේ එල්ලා මැරීමක් සිදුව නොමැති හෙයින් එය ස්වභාවික තත්ත්වයකැයි ඔහුට සිතිණ. එසේ වුවද එතැන සිටියෙකු යළිත් අගුල්දොර ක්‍රියාත්මක කරන ලෙස ජේසන් ග්‍රියර්ගෙන් ඉල්ලා සිටියත්  ඔහු හිස සලා එය ප්‍රතික්ෂේප කළේය. "දෙපාරක් ඇති. අප දන්නවා ඒක වැඩ කරනවා කියලා. එච්චරයි අපට දැනගන්න ඕනැ උනේ." 

"ඕනැ ඔට්ටුවක් අල්ලන්නම්. ඒ සද්දෙ ඇහෙන කොට මැක්ග්‍රාත් වෙවුලනවා ඇති." බක් "හ්ම්" යයි පිළිතුරු දී ආපසු සිරගෙදර දෙසට ඇවිද එනවිට ග්‍රියර් හා ඔහුගේ පුත්‍රයා ද ඔහු පසුපසින් ආහ.

"ජේසන්, බිල යවන්න ප්‍රාන්ත කාර්යාලයට."

"මේක ගලවලා අයින් කරාට පස්සේ පුළුවන්."

උරහිස් හකුලා "කමක් නෑ." යි පැවසූ බක් සිරගෙදරට ඇතුළු විය. යළිත් වරක් ඔහු කාමරය තුළ එහා මෙහා ඇවිදින්නට පටන් ගත්තේ කම්පනයට පත්ව තිබූ මනස සන්සුන් කරගැනීමේ අදහසිනුත් ඔහුටම තේරුම්ගත නොහැකි සේ මතුවන අසහනකාරී හැඟීමේ වදයෙන් මිදීමට ඇති උවමනාවත් නිසා ය. 

කොපමණ වේලාවක් සක්මන් කළේ දැයි නිශ්චිත නැතත් එය විනාඩි පහලවක් හෝ විස්සක් පමණ වන්නට ඇතැයි ඔහුට සිතිණ. ඔහු කල්පනා ලෝකයෙන් මිදුනේ අල්ලපු වැටෙහි වූ හිස් ඉඩමෙහි සිටි ළමයින් නැගූ ඝෝෂාවෙනි. ඔහු වීදියට ගොස් බැලූ විට දක්නට ලැබුනේ නගරයෙහි  ගැහැණු හා පිරිමි දෙපසටම අයත් ළමුන් දහදොලොස් දෙනෙක් පෝරකය මත සෙල්ලම් කරමින් සිටින අයුරු ය. ළමුන් දෙදෙනෙකු අගුලුදොර අරින්නට වෑයම් කරමින් සිටියද එය බරින් වැඩි නිසා සාර්ථක වූයේ නැත. ෂෙරිෆ් දුටු ළමෝ කඩිමුඩියේ පඩිපෙළ දිගේ පහලට දුවන විට නොවැටී බේරුනේ යන්තමිනි. "පළයල්ලා යන්න. ඕක පැත්ත පලාතේ ඉන්න එපා. ආයෙ ආවොත් දෙන්නේ පස්සපැත්තවල් රත්වෙන්න." බක් මොරදුන්නේය.  

ළමෝ විසිර ගියහ. සිහින් සිනාවක් මුවට නගාගත් බක් ආපසු සිරගෙදරට ඇතුළු විය. ඔහු උවමනාවෙන්ම කෑමොර දුන්නේ ඔවුන් පෝරකයෙන් ඇත්කර තබන්නට අවශ්‍ය වූ නිසාය. වැදගත්ම දේ නම් එය භයානක ය. ළමයෙකු එයින් වැටෙන්නට ඉඩ තිබුණි. අනෙත් කරුණ නම් පෝරකය යනු පුද්ගලයෙකු මරන්නට නිමැවූ අප්‍රසන්න දෙයක් මිස ළමයින්ට සෙල්ලම් කරන්නට සුදුසු තැනක් නොවීමයි. 

බක් අකමැත්තෙන් මෙන් තම කැරකෙන පුටුවට බරදී අපහසුවෙන් මෙන් පාද මේසය මතට ගෙන ආවේය. තව ටිකකින් ඔහුට ජොනී මැක්ග්‍රාත් හා ඔහුගේ සිරකුටිය පරීක්ෂා කිරීමට තිබේ. එහෙත් තවමත් එයට වෙලාව නොවේ. 

සාක්කුවෙන් පයිප්පය එළියට ගත් ඔහු එය උවමනාවෙන් හා ප්‍රවේශමින් තදකරමින් පුරවා ගිනිකූරක් ගසා එය පත්තු කරගත්තේය. වරින්වර පයිප්පය උරමින්  ඔහු ටික වේලාවක් නිශ්චලව සිටියේය. එහෙත් වැඩි වේලාවක් නිසලව වාඩි වී සිටිය නොහැකි වූ ඔහු සෝදන බේසම සවිකර ඇති ස්ථානයට ගොස් එයට උඩින් සවිකර ඇති කණ්ණාඩියට එබී බැලුවේය. එක් ඇසකට යටින් වූ පෙදෙස විශාල ලෙස ඉදිමී නොතිබුනත්  කළුපැහැ ගැන්වී  තිබිණ. නාසය රත්පැහැ ගැන්වී තිබූ අතර තැන් තුනක පහර වැදුන තැන්වල කැපුම් තුවාල සඳහා ප්ලාස්ටර් අලවා තිබුණි. ඉලඇට තිබෙන පෙදෙස ද කලහය වූ අවස්ථාවේ තිබුණාට වඩා වේදනා ගෙනදුන්නේය.

කණ්ණාඩිය ලඟින් ඉවත් වූ ඔහු ජනේලය අසලට ගියේ බෙල්ල හා උරහිස සම්බන්ධ වන තැනින් නැගුන වේදනාව මුහුණින් පෙන්වමිනි. මුලින් ඔහුට උරහිස් ඇටය කැඩී ඇතැයි සිතුනද මේ වනවිට එය එසේ නොවන බව වැටහී තිබිණ. කැඩී තිබුනා නම් ඔහුට දැනෙන වේදනාව මෙසේ දරාසිටින්නට  පුළුවන් එකක් නොවන බව ඔහු දැන සිටියේය. ඒ ගැන සිතද්දී ඔහුට සහනයක් දැනුනේ එසේ වූවා නම් කැඩුන උරහිස් ඇටයකුත් සමග ඔහුට කරන්නට ඇති කටයුතු කරගෙන යන්නට ලැබෙන්නේ නැති නිසා ය. 

වීදියේ ඉහල කෙළවර දෙස බැලූ ඔහුට අසුන් බැඳි කුඩා කරත්තයක් ද ඒ පසුපස අසුන් පිට එන මිනිසුන් දහදොලොස් දෙනෙක් ද දකින්නට ලැබුනේය. අශ්ව කරන්තය පදවාගෙන ආ තැනැත්තා රසල් ඇපල්ගේට්ය. ඔහුගේ බිරිඳ සූසන් ද ඔහු පසෙකින් වාඩි වී සිටියාය. ඇපල්ගේට් බෙහෙවින් තරබාරු වූ සද්දන්ත මිනිසෙකි. කෙසඟ කුඩා සිරුරකින් හෙබි සූසන්ට ඔහු ලඟින් වාඩිවෙන්නට තරම් ඉඩක් අසුනේ නොතිබුන තරම් විය. ඇපල්ගේට් ඔහුගේ පලල් වාටිය සහිත, දහදිය පැල්ලම් වැකුන, කිසිදු හැඩයකින් තොර වූ තොප්පිය පැළඳ සිටියේය. බක්ට එය කොතරම් දැක පුරුදු ද යත් ඔහුට සිතුනේ අඩු වශයෙන් අවුරුදු පහ හයක් වත් ඇපල්ගේට් එය දිනපතාම පළඳින්නට ඇති බවයි. 

ඇපල්ගේට් කරත්තය හෝටලය ඉදිරිපිට නැවැත්වූ විට තම ස්වාමිපුරුෂයාගේ හෝ වැඩකරුවෙකුගේ උදව්වක් නැතිවම කරත්තයෙන් බැස හෝටලය තුළට ගියාය. ඇපල්ගේට් අශ්ව කරත්තය ලෝංහෝන් බීමහල වෙත ගෙනගොස් නවත්වා තරබාරු සිරුර වාරු කරගෙන සෙමින් බැස අශ්වයින් බැඳ දැමීය. ඔහු හා පැමිණි අනෙකුත් මිනිසුන් ද ඒ දෙපස අශ්වයින් බැඳ දමා සියළුම දෙනා බීමහලට ඇතුළු වූහ. 

ගව හිමියන්ට හා ඔවුන්ගේ වැඩකරුවන්ට මත්පැන් පානය පටන් ගන්නට තවමත් වේලාසන වැඩිය යන සිතුවිල්ල බක්ගේ සිත තුළ රැව් දුන්නේය. බලාපොරොත්තු කඩ වූ විලසින් ඔහු යන්තමට උරහිස් හැකිලීය. ඔහුට වෙන කරන්නට දෙයක් නැත. ගවහිමියන් නගරයට ඇතුළුවීම නවතාලන්නට ඔහුට බලයක් නැත. ඔහුට කළ හැකි හා කළයුතු දේ නම් ආපසු ගොස් මැක්ග්‍රාත් හා ඔහුගේ සිරකුටිය පරීක්ෂාවට ලක් කිරීමයි. මින්පසු මැක්ග්‍රාත් බලන්නට තනිවම යන්නට හෝ ඔහුට කෑම ගෙනෙන්නට කිසිවකුට ඉඩ නොදීමට බක් සිතාගත්තේය. 

මැක්ග්‍රාත්ගේ කුටියෙහි යතුර අතට ගත් ඔහු යළිත් වරක් සිතාබලා එළියට යන දොර වෙත ගොස් එය ද අගුළු දැමීය. රිවෝල්වරය කොපුවෙන් ඉවතට ගත් ඔහු එය මේසය මත තබා සිරකුටි පෙලට ඇතුළුවන දොර දෙසට පිය නැගීය. 


                                           පරිච්ඡේදය 8 - පළමු කොටස

 



ජොනී මැක්ග්‍රාත් ජෙනීගෙන් ලැබුන කේක් එකෙහි ඉතිරිව තිබූ කොටස ද තම පසෙකින් තබාගෙන කුඩා ඇඳ මත ඉඳගෙන සිටියේය. මැක්ග්‍රාත්ට අතින්ගෙන කෑමට පහසුවන පිණිස ජෙනී එය කැබලි හයකට කපා තිබුණි. එසේ වුවද කියත් තලයක් හෝ පිහියක් ඇත්දැයි සෙවීම සඳහා බක් විසින් කරන ලද කූරුගෑම නිසා අතේ තවරා නොගෙන එය කෑම අපහසු දෙයක් විය. කේක් එකෙහි පිටපොත්තෙහි කොටස් ද මැද මොලොක් කැබලි ද බිම පුරා විසිරී තිබෙනු දැකගත හැකි විය. ජොනී ඇඟිලිවල තැවරී තිබූ ඇලෙන සුලු ඇපල් කැබලි කලිසමෙහි පිසදමමින් සිටියේය.

බක් යතුර දොරගුලට දමනු හිස ඔසවා බැලූ ඔහුට පෙනුන ද බක් හිස්අතින් පැමිණ ඇති බව දුටුවිට ජොනීට සිදුවීමට යන දෙය තේරුම්ගත නොහැකි විය. මාව කොහෙට හරි ගෙනියන්නද යන්නේ? පිළිතුරක් නොදුන් බක් සිරකුටියට ඇතුළු වී නැවත ප්‍රවේශමෙන් දොර අගුළු දමා යතුර සාක්කුවෙහි දමාගත්තේය. "නැගිටලා හිටගන්නවා."ඔහු හඬ නැගීය. 

තවමත් කිසිත් තේරුම්ගත නොහැකි වූ මැක්ග්‍රාත් ලැබුන අණට කීකරු විය. "කකුල් දෙක ඈත් කරලා හිටගෙන අත් උස්සලා යකඩ කූරු අල්ලාගන්නවා." එවර නම් මැක්ග්‍රාත්ට සිදුවන්නට යන දෙය තේරුම්ගිය බවක් පෙණින. ඔහු යටහත්පහත් ලෙස නියෝගයට අවනත විය. බක්ගේ සිතට සහනයක් දැනින. ගැහැණුන් දෙදෙනාම හෝ එයින් එකියක් මැක්ග්‍රාත්ට රහසින් ආයුධයක් ගෙනත් දෙන්නට ඇතැයි සැක කළ ඔහු අනවශ්‍ය ලෙස කලබල වන නාකි ගැහැණියක් වැනි යයි ඔහුටම සිතුණි.  අතෙහි ආයුධයක් තිබුණේ නම් ඔහු මෙතරම් සාමකාමී ලෙස හැසිරෙන්නේ නැත. 

මැක්ග්‍රාත්ගේ පටු ඇඳ අසලට ගිය ඔහු කොට්ටය ගෙන බිමට විසිකළේය. ඇඳට අතුරා තිබූ බ්ලැන්කට්ටුවේ කෙළවරකින් අල්ලා පසෙකට ඇද දැමීය. මෙට්ටය ද ඇද දැමීමට එයට අත තැබූ ඔහුට මැක්ග්‍රාත් සිටින දෙසින් යාන්තමට මෙන් ඇසුන ශබ්දයක් නිසා හිස හරවා බැලීය. ඒ ක්ෂණයකින් මැක්ග්‍රාත් යකඩ කූරු අල්ලාගෙන සිටි අත් දෙකට වාරුගෙන සිරුර හා දෙපා උඩට ඔසවා හැකිතාක් වැරගෙන අඩි පහකටත් වඩා අඩු දුරකින් සිටි බක්ට දෙපයින් වේගවත් පහරක් එල්ල කළේය. 

මැක්ග්‍රාත්ගේ පාද දෙකම හරියටම බක්ගේ දකුණු පැත්තේ ඉලඇට මත පතිත වූයේ දැවැන්ත හුස්මක් ඔහුගේ මුවින් පිටකරමිනි. වේදනාව සිරුර පුරා සැනෙකින් විසිර ගියේ කිනිසි පහරක් වැදුනාක් මෙනි. පා පහරින් සිරකුටිය හරහා වීසි වී ගිය ඔහු අනෙක් පස තිබූ යකඩ කූරුවල වැදී ඇදවැටුනේය. මාරාන්තික විය හැකි වරදක් ඔහු අතින් සිදුවී ඇති බව ඔහුට වැටහිණ. මැක්ග්‍රාත්ගේ දෙඅත් බිත්තිය මත තබනවා වෙනුවට ඔහුට යකඩ කූරු ග්‍රහණය කරගැනීමට ඉඩ දුන්නේ ඔහුය. 

ඇඳ දෙසට පිම්මක් පැන්න මැක්ග්‍රාත් ඒ පිම්මෙන්ම ඇඳෙහි මෙට්ටය පසෙකට ඇද දැමීය. ඇඳෙහි ලෝහමය දුනු මත කාන්තාවන් පාවිච්චි කරන නැත්නම් සූදුකරුවන් තම කබායේ පැති සාක්කුවේ සඟවාගන්නා වර්ගයේ නිකල් ආලේපිත කුඩා රිවෝල්වරයක් තිබිණ. 

 

  





   

   

   

 







 


7 comments:

  1. හම්මෝ, වැඩේ හරි. කොච්ඡ්ර වුනත් මිනිස්සු රැස් වෙලා ඉද්දි කෙනෙක් පෝරකයට නංවල මරල දාන එක අමානුෂිකයි. ඉරානේ වගේ.

    ReplyDelete
  2. මේ අශ්වයෙක් හොරකම් කළත් ගහක එල්ලපු කාලෙනේ.

    ReplyDelete
  3. කියෙව්වා.
    ++++++++++++👌

    ReplyDelete
  4. වැඩේ හරි නෙ... බක්ට හබක් වෙන්ටයි යන්නෙ!

    ReplyDelete