විනිශ්චය - XIII

        මේ දක්වා:

     ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවෙයි. 

                            


                                         පරිච්ඡේදය 8 - දෙවන කොටස 

    කුඩා වුවද සිරකූඩුව තුළ තිබූ සීමිත ඉඩ අනුව එය මාරාන්තික ප්‍රතිඵල ගෙනදිය හැකිය. එල්ල වූ දරුණු පා පහරින් හුස්ම ගත නොහැකිව හුස්මක් ගෙන පපුව පුරවා ගන්නට දඟලමින්, යකඩ කූරු අසලින් ඉවතට තල්ලු වී එහා මෙහා විසිවෙමින් කාමරය හරහා ඉදිරියට පැන්නේ මැක්ග්‍රාත්ට පෙර රිවෝල්වරය අතට ගැනීමේ නිෂ්ඵල වෑයමක යෙදෙමිනි. කිසිදු අනතුරක් නොවී බළලෙකු මෙන් කඩිසරව ඇඳ මත පෙරළුන මැක්ග්‍රාත් රිවෝල්වරය අතට ගෙන ආපසු පෙරලෙන අතර කොකා ඇද ඉලක්කය ගත්තේය.  

    ක්ෂණිකව පහත් වී බිම දිගා වෙනවා හැරෙන්නට බක්ට කරන්නට වෙන දෙයක් නොවීය.එසැනින් තුවක්කුව හඬදුන්නේ අප්‍රසන්න ගඳක් ද සමග දුම් පහරක් එහි කටින් නිකුත් කරමිනි. එසේ වුවද සිටගෙන සිටින අයෙකුගේ පපුව මට්ටමින් ඇදී ගිය උණ්ඩය ඔහුගේ හිසට උඩින් අනතුරක්  නොකර පියාඹා ගොස් සිරකූඩුවේ යකඩ කූරක වැදී සීනුවක ගෙඩිය එහි කඳේ වැදී නගන හඬ මෙන් ශබ්දයක් නගා ගලින් සැදුන බිත්තියෙහි වැදුනේය. 

    තුවාළ ලබා, හුස්ම ගැනීමට දඟලමින් පොලව මත වැතිර සිටි බක්ට ඔහු කොතරම් අසරණ, බලාපොරොත්තු විරහිත තත්ත්වයකට පත්ව ඇත්දැයි හොඳින්ම අවබෝධ විය. මැක්ග්‍රාත් කිසිදු බාධාවකින් තොරව, නොසැලී ඔහුට ඉහලින් රිවෝල්වරය අතින් ගෙන නැගී සිටියේය. ඔහුට තිබුනේ කොකා ගස්සා බක්ගේ සාක්කුවෙන් යතුර ගෙන පිටව යාම පමණි. එහෙත් තමන් පිළිගැනීමට අකමැති කිසිම දෙයකට හිස පහත් කර යටත්වීම බක්ගේ ස්වභාවය නොවේ. ඔහු මැක්ග්‍රාත්ගේ දෑස හා රිවෝල්වරය රැඳි අත දෙස බලාගෙන හිස ඔසවමින් ඉදිරියට බඩගාන්නට විය. 

    මැක්ග්‍රාත් රිවෝල්වරයේ කොකා ඇද ප්‍රවේශමෙන් ඉලක්කය ගත්තේය. ඒ ක්ෂණයෙහි බක්ගේ හැකිළී තිබූ පෙනහළු වෙත සුලං ධාරාවක් ඇදී ඇවිත් පිරී ගියේ නව ජීවයක් ලැබුනාක් මෙනි. වෙඩි පහරින් ගැලවෙන්නේ කෙසේදැයි ඔහු නොදැන සිටියත් එයින් නොමැරී බේරෙන්නට ඉඩක් හදාගන්නට පුළුවන් විය යුතුය. මැක්ග්‍රාත්ගේ ඇඟිල්ල කොකා මත තද වෙද්දී ඔහුගේ අතෙහි මාංශ පේශි තදවෙනු බක්ට පෙනින. එසැනින් ඔහු සිටි තැනින් පසෙකට පැන්නේය. ඔහු සිටියේ දෙඅත් හා එක් දනහිසක් මත අඩක් එසවී තම ජීවිතය බිලිගැනීමට තැත් දරන මිනිසා වෙත පැනීමට වෙර දරමිනි. දැන් ඉවතට පැන රෝල් වී යද්දී යළිත් ඔහු බිම දිගාවී කිසිවක් කරගත නොහැකි ඉරියව්වකට පත්ව සිටියේය. මැක්ග්‍රාත්ට තවත් වරක් වරදින්නට ඉඩ ඇති වුවද රිවෝල්වරයේ උණ්ඩ පහක් තිබේ. ඔහුට ඒ පහම වරදින්නට ඉඩක් නැත.

    බක්ගේ වම් කකුලේ දණහිසත් උකුලත් අතර පෙදෙසට යමක් වැදුනේ පොල්ලකින් වැර යොදා එල්ල කළ පහරක් මෙනි. එහෙත් ඒ වැදුනේ කුමක්ද යන්න ඔහු හොඳින්ම දැන සිටියේය. ඉන් ඔහුට වේදනාවක් නොදැනුනි. දැනුනේ හිරි වැටුනාක් බඳු හැඟීමකි. එවිටම ආශ්චර්යයකින් මෙන් ඔහුගේ අත සිරකුටියේ මුල්ලක තබා තිබූ සිරකරුවන්ට වැසිකිලි යාම සඳහා තබා තිබූ භාජනයේ වැදුනේය. නැගිට ගැනීමට බැරිව උඩුබැල්ලෙන් වැටී සිටි ඔහු වෙත ඊලඟට එල්ලවන වෙඩි පහර නිසැකවම ඔහුගේ ජීවිතය අවසන් කිරීමට නියමිතව තිබුණි. අත ගැටුන වැසිකිළි බඳුන දෑතින්ම ඔසවා ගත් ඔහු හැකි වෙර යොදා කුටිය හරහා මැක්ග්‍රාත් වෙත දමා ගැසීය. භාජනයෙහි පියන ගැලවී එහි තුළ වූ මළමූත්‍ර  දුර්ඝන්ධය විහිදුවමින් බක් හා මැක්ග්‍රාත් අතර බිම විසිර ගියේය. එහෙත් බරැති පිඟන් මැටි බඳුන හරියටම මැක්ග්‍රාත්ගේ මුහුණ මත පතිත විය. රිවෝල්වරය පත්තු වුවද වැසිකිළි බඳුන ඉන් බලාපොරොත්තු වූ කාර්යය ඉටුකර තිබුණි. වෙඩි පහර සිවිලිම වෙත එල්ල වී වැසිකිළි බඳුනේ ඉතිරිව තිබූ මළමූත්‍ර වලින් නැහැවුනු මැක්ග්‍රාත් පස්සට විසිවී ගල්ගැසී නතර විය. 

    බක්ට මෙයින් ක්ෂණයක විරාමයක් ලැබිණ. වහා නැගී සිටගත් ඔහු සිරකුටිය හරහා මැක්ග්‍රාත් දෙසට පැන්නේය. වැසිකිළි භාජනයෙන් විසිරුනු අපද්‍රව්‍යවලින් පෙනීම බොඳ වී, එවන් ජරාවකින් නැහැවීම නිසා කෝපයෙන් වියරුව ගිය සිතින් රිවෝල්වරය යළිත් පහත් කළ මැක්ග්‍රාත් ඉලක්කය ගන්නටවත් කල් නොගෙන කොකා ගැස්සීය. එනිසාම බක්ගේ ජීව්තය බේරිණ. මැක්ග්‍රාත් වෙත වහා සමීප වූ බක් ඔහු කූඩුවේ යකඩ කූරුවල වදින සේ තල්ලු කර දෑතින්ම මැක්ග්‍රාත්ගේ දකුණතේ මැණික්කටුව පෙදෙසින් ග්‍රහණයට ගෙන සිරුරේ ඉතිරිව තිබූ සියළු වැර යොදා අනුකම්පා විරහිත ලෙස ඇඹරීය.  වේදනාවෙන් මරහඬ දුන් මැක්ග්‍රාත් අතින් රිවෝල්වරය අතහැරී සිරකුටියේ බිම පතිත විය. 

    දුඟදින් හුස්ම හිරවී දරාගත නොහැකි පිළිකුළින් යුතුව ඔහු මැක්ග්‍රාත් තමාගෙන් ඉවතට තල්ලුකර දැමීය. නිකල් ආලේපිත රිවෝල්වරය වෙත පියවරක් තැබූ ඔහු තුවාල වූ කකුලට බරවීම නිසා බිම පතිත නොවී බේරුනේ යන්තමිනි. එසේ වුවද රිවෝල්වරය වෙත ගිය ඔහු එයට දැඩි පා පහරක් දුන්නේය. එය යකඩ කූරු අතරින් කොරිඩෝව වෙත විසි වී මැක්ග්‍රාත් යකඩ කූරු අතරින් අත පෙව්වද ලඟා විය නොහැකි තරම් දුරක නතර විය. 

    ඔහු යළිත් මැක්ග්‍රාත් දෙසට හැරුනේය. සියල්ල නිමාවකට පත්ව ඇතැයි බක්ට සිතුනත් ඒ සිතුවිල්ල වැරදි බව ඔහුට පෙනිණ. ගිනි අවිය මැක්ග්‍රාත්ට හොර රහසේ ලබාදෙන්නට ඇත්තේ ඉඩලීන් හන්ටර් ය. පිහිය රහසින් සඟවාගෙන එන්නට ඇත්තේ ජෙනී ය. මුළුතැන් ගෙයක පාවිච්චි කරන සාමාන්‍ය පිහියක් වුවත් එය හොඳින් මුවහත ඇති අනතුරුදායක අවියකි. රිවෝල්වරය එළියට විසි නොකර ලඟ තබාගත්තා නම් හොඳ යයි සිතුන ද දැන් ප්‍රමාද වැඩිය. කලව පෙදෙසට වැදුන වෙඩිල්ල නිසා තදින් ලේ වහනය වෙයි. අනවසර පදිංචිකරුවන් වෙතින් එල්ල වූ ප්‍රහාරය නිසා අඩියක් ඔසවා අඩියක් තබන මොහොතක් පාසා සිරුරේ සෑම මාංශ පේශියක්ම වේදනා ගෙනදෙයි. දෙදෙනම නිරායුධව සිටියද ඔහුට මැක්ග්‍රාත් හා හැප්පෙන්නට නුපුළුවන. 

    එහෙත් ඔහුට දැන් මැක්ග්‍රාත්ට මුහුණ දීමට සිදුව ඇත. රිවෝල්වරයෙන් කරන්නට උත්සාහ කළ ලෙසම පිහියෙන් හෝ තමා මරා දැමීමට  මැක්ග්‍රාත් පසුබට නොවන බව ද ඔහු දැන සිටියේය. ඔහුට කළහැකි එක් දෙයක් ඇත. මැක්ග්‍රාත්ට ඔහු වෙත එන්නට ඉඩහරින්නට පුළුවන. ඉන් තත්ත්වය මදක් සමබර විය හැක්කේ එවිට ඔහුට තුවාළ වූ කකුලට බර වීමෙන් වැළකී සිටිය හැකි බැවිණි. ඔහුට කළහැකි තවත් දෙයක් ඇත. මැක්ග්‍රාත් සරදමට ලක්කර කෝපයට පත් කිරීමෙන් ඔහු නොසැලකිලිමත් හා අපරීක්ෂාකාරී ලෙස හැසිරීමට පෙළඹවිය හැකිය. එවිට යන්තමින් හෝ වාසිසහගත බවක් උදාකර ගතහැකිය. 

    "දැන් නම් තමුසෙගෙ බෙල්ල වටේ තොණ්ඩුව දාන්න ලැබෙන එක ගැන පුදුම සතුටක් දැනෙන්නේ. ටිකකට ඉස්සර එල්ලුම් ගහේ අගුල්දොර පරීක්ෂා කරන සද්දෙ ඇහුනද? රාත්තල් සියයක් බර වැලි ගෝනියක් තියලා අගුල ගස්සලා බැලුවේ. මට මැවිලා පේනවා තමුසෙත් ඒ වගේ දොර අස්සෙන් පහලට වැටෙන හැටි, බැල්ලිගෙ පුතා! උඹ තුන්හතර සැරයක් දඟලයි, මූණ දම් පාටට හැරෙයි, එච්චරයි. තමුසේ මැරෙනවා. තමුසෙගෙ යාළු ගෑනු ටික නම් තමුසෙට එච්චර කැමති වෙන එකක් නෑ ඊට පස්සෙ." 

    ඔහුගේ සමච්චල් කිරීම ඔහුට අවශ්‍ය ප්‍රතිඵලය ලබාදුන්නේය. මැක්ග්‍රාත්ගේ මුහුණ විකෘති වී මෙතෙක් වේලා ඔහු හොඳින් සඟවාගෙන සිටි දෙයක් එලියට ආවේය. ඔහු බෙහෙවින් නොසන්සුන් බවට පත්ව සිටියේය. නොසන්සුන් වීමටත් වඩා දැඩි ලෙස බියට පත්ව සිටියේය. සිරකුටියෙහි වාඩිවී අල්ලපු ඉඩමෙන් ඇසෙන මිටියෙන් ගසන පහරවලට හා කියතින් ඉරන ශබ්දවලට  සවන්දෙමින්, ඒ ලී තරප්පු පෙළ නැග ඉහල වේදිකාවේ සිටගෙන අළුගෝසුවා ඔහුගේ බෙල්ලට තොණ්ඩුව දමා හිස හා දෙඇස කලු රෙදිකඩකින් වසාලන අයුරු කෙසේ දරාගත හැකි වේදැයි සිතමින් ඔහු පැය ගණනාවක් ගතකර තිබුණි. 

    කුලප්පු කරන ලද මැක්ග්‍රාත් කෝපාග්නියෙන් දැවෙමින් පහර දෙන්නට කුටිය හරහා  පැනගෙන ආවේ මුහුණ දීමට සිදුවිය හැකි අවදානමක් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වමිනි. මැක්ග්‍රාත්ගේ ප්‍රහාරක පිම්ම පිළිගැනීමට මෙන් බක් දෙපා පොලව මත තරයේ තබාගෙන මදක් නැමී බලා සිට අවසන් මොහොතේ එක්වරම තුවාළ වූ කකුල ඔසවා අනෙක් කකුලට බර වැටෙන සේ  පසෙකට වී මැක්ග්‍රාත් මගහැරියේය. බක් එය කොතරම් ක්ෂණිකව සිදුකළේද යත් මැක්ග්‍රාත්ට තම එල්ලය වෙනස් කරන්නට හෝ නවතින්නට හෝ ඉඩක් නොවීය. දකුණතින් ගත් පිහියත් සමගම ඔහු බක් අසලින්ම යකඩ කූරුවල හැපුනේ අත තිබූ පිහියෙන් බක්ගේ අතද සීරීමකට ලක්කරමිනි. 

    එසැනින් ආපසු හැරුන බක් මැක්ග්‍රාත් මතට පැන්නේ වෘකයෙකු මෙනි. සිය දෙඅතින්ම මැක්ග්‍රාත්ගේ දකුණත ග්‍රහණයට ගත් ඔහු උපරිම වෙර යොදා අනුකම්පා විරහිතව ඇඹරීය. පිහියේ තලය ඔහුගේ වම් අත මත ගැඹුරු කැපුමක් ඇති කළද හිසේ සිට දෙපතුළ දක්වා වැසිකිළි බඳුනේ තිබූ ජරාවෙන් නැහැවී සිටි මැක්ග්‍රාත්ගේ ලිස්සන සුළු අතින් පිහිය ගිලිහී බිම පතිතව වීසි වී ගියේය.  දැඩි සේ කෝපාවිෂ්ටව, සිදු නොවිය යුතු දෙයක් සිදුවීමට ඉඩ හැරීම එනම් සිරකරු අතින් අනතුරකට පත් නොවිය යුතුව තිබියදී ඔහු අතින් දෙවරක්ම තුවාල ලැබීම පිළිබඳව තමා ගැනම කලකිරීමට පත්ව සිටි බක් මැක්ග්‍රාත්ගේ දකුණු අත අල්ලාගෙන සිටි එක අතක් වැලමිට දක්වා ගෙනගොස් අනෙක් අතින් මැණික්කටුව අල්ලා අත පහතට අදින ගමන් කකුලේ දණහිස ඔසවා අත ඒ මත තදින් වදින්නට සැලැස්වීය. මැක්ග්‍රාත්ගේ යටිබාහුවේ අස්ථිය බිඳී යනු ඔහුට ඇසිණ. දරාගත නොහැකි වේදනාවෙන් මරහඬ නැගූ මැක්ග්‍රාත් බක් අසලින් ඉවතට ඇදී කුටිය හරහා විසි වී ගොස් ඇඳ මතට ඇද වැටුනේ දෑස් පියවී, කටින් සෙම පෙරමින් විකෘති වූ මුහුණින් යුතුව ය. 

    පිළිකුලෙන් යුතුව ඔහු දෙස බැලූ බක්ට කියන්නට බොහෝ දේවල් තිබුන ද කිසිත් නොකියා පිහිය වෙත නොන්ඩි ගසමින් ගොස් එය අහුලාගෙන යකඩ කූරු අතරින් එළියට විසි කළේය. සාක්කුවට අත දැමූ ඔහු යතුර අතට ගෙන දොර විවෘත කර පිටතට පැමිණ දොර යළිත් ප්‍රවේශමින් අගුළු දැමීය. මැක්ග්‍රාත් තරම් වැසිකිළි භාජනයේ තිබූ අපද්‍රව්‍ය වලින් තෙමී නොසිටියත් වැසිකිළියක් මෙන් ගඳගසන්නට තරම් ප්‍රමාණයක් ඇඳුම් පුරා විසිර තිබුණේය. කාර්යාලයට පිවිසෙන දොර අසලට ගිය ඔහු සියලු ඇඳුම් ගලවා දමා කාර්යාලයට ඇතුළු වී අඩක් පමණ පිරී තිබූ වතුර බාල්දිය ගෙන නැවත සිරකුටි අතර වූ කොරිඩෝවට පිවිස බාල්දියෙහි වූ වතුර හිසට වත්කර වතුර සිරුර පුරා ගලාගෙන යන්නට සැලැස්වීය. තම සපත්තු කුට්ටම ද අතට ගෙන ඔහු නිරුවතින්ම කාර්යාලයට පිවිසියේ ඉන් පසුව ය. සේදීම සඳහා ගන්නා බේසම තබා ඇති මේසය අසල ඇනයක එල්ලූ පරණ කලිසමක් කිබුණි. එය ඇඳගත් ඔහු නොනැවතී ලේ ගලා යමින් තිබූ කකුල දෙස නොබලා සිටින්නට උත්සාහ කළේය. සපත්තු දෙක පැළඳගත් ඔහු දොර අසල වූ කෝට් එල්ලන රාමුවෙන් අතට ගත් බැටළුහම් කබාය ඇඳගෙන පිටතට පැමිණ සිරගෙදර දොර වසා දැමීය. 

    කිසිවෙකුත් නොදකීනවා නම් හොඳය යන බලාපොරොත්තුව ඔහුගේ සිත යට තිබූ අතර කවුරුන් සමග හෝ කතා කරන්නට සිදුවනවාට වඩා නරකාදියට යාම වඩා හොඳය යන සිතුවිල්ල ද ඔහුගේ සිතට දැනින. අමාරුවෙන් නොන්ඩි ගසමින් ඔහු තමා ජීවත් වූ කුඩා නිවස බලා වීදිය දිගේ ඉහලට ගමන් කළේය. පිරිසිදු යට ඇඳුමක්, මේස් කුට්ටමක්, කලිසමක් හා කමිසයක් ගැනීමට පමණක් එහි රැඳුන ඔහු ඒ සියල්ල තුවායක ඔතාගෙන ගෙවල් පේළියේ ඉහල කෙළවර පිහිටි දොස්තර පර්කින්ස්ගේ නිවස බලා පිටත් විය. 

    ඇවිදින්නට සිදුවන දුර වැඩි වන්නට වන්නට සිතට නැගුන කෝපය ද වැඩි විය. ඒ මැක්ග්‍රාත් කෙරෙහි පමණක් නොව වැඩියෙන්ම තමා ගැනම ය. ඉඩලීන් හන්ටර් පරීක්ෂාවකට ලක් නොකර මැක්ග්‍රාත් මුණගැසීමට ඉඩදීම ගැන ඔහු ඊට වඩා කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබුණි. එහෙත් නඩුනාරයෙකුගේ භාර්යාවක් සිරකරුවෙකුට රිවෝල්වරයක් හොරෙන් ගෙනත් දේ යයි සිතන්නට පුළුවන් කාටද? අනෙක් අතට ඔහු ජෙනීගේ කේක් එක චප්ප කර හෝ පිහිය සොයාගත යුතුව තිබුණි.  

ඔහු මහ හඬක් නැගෙන සේ දොස්තරගේ දොරට තඩි බෑවේය. දොර විවෘත වී දොස්තර පෙනී සිටියේ, "හරි,හරි මම මේ ඉන්නවා." යනුවෙන් මෘදු ලෙස පිළිතුරු දෙමිනි. "මගේ කකුලේ වෙඩිල්ලකින් උන තුවාලයකුයි අතේ තදට කැපුනු තුවාලෙකුයි තියනවා. ඒකට ප්‍රතිකාරයක් කරන්න." බක් පැවසීය. දොස්තර පසෙකට වී බක්ට ඇතුළුවන්නට ඉඩ සැලසුවේ නහය හකුලුවාගෙන මුවට නැගුන මද සිනාවක් යටපත් කරන්නට උත්සාහයක් දරමිනි. "මට දැනගන්න ඕනෑ වැසිකිළියක් ඇතුලෙදි කොහොමද වෙඩි වැදුනේ කියලයි." 

"කට වහගෙන තමුන් ගන්න මුදලට අයිති වැඩේ කරනවා." බක් නුරුස්නා විලාසයෙන් පවසා දොස්තරගේ කාර්යාලයෙහි තිබූ සමින් නිමැවූ කවිච්චිය මත වාඩි විය. සපත්තු කුට්ටම, කලිසම හා බැටළු හම් කබාය ඉවත් කළ ඔහු දොස්තර ප්‍රතිකාර කිරීම අරඹන තුරු බලා සිටියේය.

    අස්ථි හා මාංශ පේශි මනාව එක්වී සැදුන බක්ගේ  ශක්තිමත් සිරුරෙහි දුර්වල එල්ලා වැටෙන එක මස්පිඩුවක් හෝ දකින්නට නොවීය. ඇල්කොහොල් ඝන්ධයෙන් මුළු කාමරයම පිරී ගියේය. බක්ගේ මුහුණ වේදනාවෙන් විකෘති වී සුදුමැලි වෙද්දී දොස්තර වෙඩි වැදීමෙන් වූ තුවාළය හා ඒ අවට සමෙහි තෙත මාත්තු කොට උණ්ඩය ඇතුළු වූ හා පිට වූ තුවාල දෙකටම ඝන වැසුම් තබා වෙලුම් පටිවලින් ඇති තරම් තද කර වෙලුවේය. ඊලඟට අතෙහි තුවාළය ද ඇල්කොහොල් වලින් සෝදා මැහුම් හයක් යොදා වෙලුම් පටිවලින් එතීය. අවසානයේ, "මම උණුවතුර බාල්දියක් දෙන්නම්. නාන කාමරයට ගිහින් ඇඟ සෝදාගන්න. හැබැයි බැන්ඩේජ් කරලා තියන එක තැනක්වත් තෙමාගන්න එපා." යනුවෙන් පැවසූ ඔහු අල්ලපු කාමරයට වැදී නොපෙනී ගියේය. වේදනාව නිසා බක්ට හිස කරකැවෙනවාක් මෙන් දැනින. එසේ වුවද එක තුවාළයක්වත් බරපතල තත්ත්වයේ නොමැති බව දැනගැනීම සහනයට කරුණක් විය. වෙඩි උණ්ඩයෙන් පාදයේ අස්ථියට හානියක් වී තිබුනේ නැත. අත ද ක්‍රමයෙන් සුවපත් වනු ඇත. වාසනාවට තුවාළ වී තිබුනේ වම් අතය. 

 දොස්තරවරයා වතුර බාල්දිය රැගෙන ආ පසු එයද ගෙන නාන කාමරයට ගිය බක් හිසකෙස්වලින් පටන්ගෙන හිසේ සිට දෙපතුළ දක්වා හොඳින් සෝදා ගත්තේය. ඉන්පසු ගෙනැවිත් තිබූ පිරිසිදු ඇඳුම් ඇඳගෙන පිටතට පැමිණ දොස්තරගේ ගාස්තුව ගෙවා මැක්ග්‍රාත්ගේ බිඳුන අතට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණෙන දන්වා ආපසු සිරගෙදරට ගියේය. අත කැඩී තිබුන ද මැක්ග්‍රාත් ලවාම සිරකුටිය පිරිසිදු කරවීමට බක් සිතා ගත්තේය. හිත යටින් සිනාවක් නගා ගනිමින් ඔහු තීරණය කළේ  එය අවසන් වූ වහාම ඉඩලීන්ට මැක්ග්‍රාත් බැලීමට අවශ්‍ය වී ඇති බව පැවසීමට ය. එවිට ඔහු එය හොඳින් පිරිසිදු කරනු ඇත. 

එසේ වුවද ඔහු අදිටන් කරගත්තේ පිරිමි වුවත් ගැහැණු වුවත් මින්මතු කිසිවෙකුටවත් මැක්ග්‍රාත් බැලීමට ඉඩ නොදීමට ය.    

    

  

    












7 comments:

  1. +++++++++ කියෙව්වා..........

    ReplyDelete
  2. සුපිරි,,, ඔක්කොම ටික හිමිඉට කියවන්න ඕනේ..

    ReplyDelete
  3. කියෙව්වා👌🙏
    +++++++++++

    ReplyDelete
  4. නියමයි. පොඩි සෝදුපත් දෝෂ තියේ. හදල ගන්න බලමු.
    දිගටම ලියමු ❤

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ආපසු කියවලා තැන් කිහිපයක් සංශෝධනය කළා. දැන් හරි ඇති කියලා හිතනවා.

      Delete
  5. 👌👌👌🤞🤞

    ReplyDelete