විනිශ්චය xiv

                                                        පරිච්ඡේදය 9 

(රූපය Copilot AI වෙතින්)

    සිරගෙදරට ආ බක් කළ පළමු කාර්යය වූයේ සිරකරුවන් රඳවන කුටි වෙතට නොන්ඩි ගසමින් ගොස් රිවෝල්වරය හා පිහිය අහුලා ගැනීමයි. ඔහුගේ කකුලත් අතත් දෙකම වේදනා ගෙනදුන් අතර ඔහු සිටියේ කෝපසහගත සිතකිනි. "ජේසු තුමන්ගේ නාමෙට මගේ අතට මොකද වෙන්නේ? මොකක්වත් ප්‍රතිකාරයක් කරන්නැද්ද?" යනුවෙන් මැක්ග්‍රාත් කෙඳිරිලි හඬින් පවසද්දී කෝපය පිටවන දෙනෙතින් ඔහු දෙස ඔරවා බැලූ බක්ගේ පිළිතුර එළියට පැන්නේ ගෙරවිලි හඬකිනි. "මට ඕනැ විදියට කරන්න දෙනවනං උඹව එල්ලන්නෙ ඔය ඉන්න විදියටමයි. මගේ කකුල? මගේ අත? ඒවට කොහොමද දැනෙන්නෙ කියලා තමුසෙට හිතෙන්නෙ නැද්ද?"

"මේ ගඳට මොකද කරන්නේ? මට දැනෙන්නේ මම වැසිකිලි වලක ඉන්නවා වාගේ." 
"එතන තමයි උඹට ගැළපෙන තැන, බැල්ලිගෙ පුතා!" 
"එතකොට මේක මෙහෙමම තියන්නද හදන්නේ?"
"ඇයි? තමුසෙගෙ යාළු ගෑනු එයි කියලා බයද?"
"ඇයි නැත්තේ? අනිත් එක මම හෙට මැරෙනවා නම් මට අයිතියක් තියනවා ඒ වෙනකං පිරිසිදුව ඉන්න." 
"දොස්තර එනවා ඔය අත හදන්න. ඊට පස්සෙ එක අතකිින් හරි ඔය තියන ජරාව සුද්ධ කරගන්න ඕනෑ." බක් නුරුස්නා ස්වරයකින් කීය. 
"මට එහෙම බල කරන්න බෑනෙ." 
"එහෙනම් ඉතින් තමුසෙගෙම ජරාගොඩේ ලැගගෙන ඉන්නවා ඉතිරිවෙලා තියන පැය ගණන."

තම බිඳුන අත ප්‍රවේශමින් දණහිස හරහා තබාගත් මැක්ග්‍රාත් කෝපය විහිදෙන දෙනෙතින් බක් දෙස බැලීය. එය දුටු බක් "මං දිහා ඔහොම බලන්න දෙයක් නෑ. තමුසෙනේ මේක පටන් ගත්තේ." යි පැවසීය. 
"බේරිලා යන්න උත්සාහ කළාට මනුස්සයෙකුට දොස් කියන්න  පුළුවන් ද?"  
"මොකද බැරි? ඉඩලීන්, ජෙනී වගේ ගෑනු තමුන්ට ආයුධ ගෙන්නගන්න පාවිච්චි කරනකොට." 
    ආපසු කාර්යාල කාමරය වෙත ගිය ඔහු බාල්දි දෙකක් ද රැගෙන වතුර පයිප්පය වෙත ගොස් ඒ දෙකම පුරවාගෙන පැමිණ රෙදි කඩමලු කිහිපයක් හා සබන් ද සමග සිරකුටි වෙත විවෘත වන කොරිඩෝවේ දොර අසල තැබීය.
 
    පිටතට ඇරෙන දොර විවෘත වී වෛද්‍යවරයා ඇතුල් විය. ඔහු ද කැටුව මැක්ග්‍රාත්ගේ සිරකුටිය වෙත ගිය බක් දොර විවෘත කොට වෛද්‍යවරයාට ඇතුල්වන්නට සැලැස්වීය. ඔහු කළ පළමු කාර්යය වූයේ ලවුඩ්නම්  (මද්‍යසාරවලට අබිං මිශ්‍ර කර තැනූ වේදනා  නාශකයක්) ස්වල්පයක් මැක්ග්‍රාත්ට දීමයි. "ලවුඩ්නම්වලින් වේදනාව ටිකක් අඩුවෙයි. ඒත් සම්පූර්ණයෙන් නෙවෙයි. ඒ හින්දා හිත තදකරගෙන දත්මිටි කාගෙන ඉන්නවා."
 
    ඔහුට දරාගන්නට සිදුව ඇති වේදනාව නිසා මැක්ග්‍රාත් මරාදැමීමට තරම් කෝපයක් සිතෙහි තිබුන ද මැක්ග්‍රාත් වේදනාවෙන් නගන කෙඳිරිලි අසා සිටින්නට තරම් ශක්තියක් බක්ට නොවීය. සිරකුටියෙහි දොර අගුළු දැමූ බක් "ඩොක්ටර්, ඉවරඋනාම මට කතාකරන්න." යයි පවසා  සිරකුටි වෙතට පිවිසෙන දොර ද වසා දමා කාර්යාලයට ගියේය. 

    ශක්තියෙන් තොර සිහින් දොරක් වූ එයින් මැක්ග්‍රාත් වේදනාවෙන් නගන හඬ නවතාලිය නොහැකි විය. එසේ වුවද අඩු තරමින් ඔහුට මැක්ග්‍රාත්ගේ මුහුණ දැකීමෙන් තොරව, ජරා ගඳින් වැළකී සිටිය හැකිය. පයිප්පය පුරවා පත්තුකරගත් ඔහු නොන්ඩි ගසමින් ජනේලය ඉදිරියෙන් එහා මෙහා ඇවිදින්නට වූයේ ඉඳහිට වීදිය දෙසට ද ඇස යොමු කරමිනි. 

    ඔහුට ගැටළුවකට මුහුණදීමට සිදුව ඇත. එය බරපතල එකකි. එය ඔහු පිළිගත්තේය. එහෙත් ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබිණ. හන්ටර් විනිසුරුවරයා දී ඇති අසාධාරණ තීන්දුව විසින් ඔහු කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයකට පත්කර  ඇත. අනවසර පදිංචිකරුවෝ ඔහුට පහර දුන්හ. අනවසර පදිංචිකරුවන් මෙන්ම වැඩමූලිකයෙකු ලෙස ගැලොවේගේ සේවය ලබාගත් ආර්ච් නෝත්කොට් ප්‍රමුඛ ප්‍රධාන ගවපට්ටි හිමියෝ ද ඔහුට බලපෑම් කරමින් සිටිති. 

    දැන් ඔහුගේ සිරගෙදර වැසිකිළියක් මෙන් දුගඳින් පිරී ඇත. ඔහුගේ කකුලත් අතත් දෙකම තුවාල ලබා ඇත. ගත වෙලාගෙන ඇති වේදනාව විසින් ඔහු කොයිතරම් දුරට ඉක්මනින් කෝපයට පත්වන නුරුස්නා සහගත සිතුවිළිවලින් පිරි අයෙකු බවට පත්කර ඇති ද යත් කෝපය පුපුරා එළියට පැනීම සඳහා කවුරුන් හෝ පැමිණ ඔහුට කරදර වන අයුරින් හැසිරෙන්නේ නම් මැනව යි සිතිණ.

     මුන් ඔක්කොටම හෙන ගහන්ඩ! මේ නම් ෂෙරිෆ්වරයෙකු විසින් දරාගත යුතු දේවල් නොවේ. මෙම තනතුරට ඉදිරිපත්වන විට එය කඩදාසි මත  අත්සන් තබා කකුල් දෙක මේසය මත තබාගෙන සිටිය හැකි විදියේ පහසු එකක් නොවන බව දැන සිටියේය. අපරාධ සිදුවන බව මෙන්ම ඔහුට ඒ අපරාධකරුවන් පසුපස යන්නට ද සිදුවන බව ද ඔහු දැන සිටියේය. එහෙත් මෙවැනි අවුලක් ඔහු කිසිසේත්ම බලාපොරොත්තු උනේ නැත. දොස්තර කෑගසන ශබ්දය ඇසුන බක් කොරිඩෝව දිගේ සිරකුටිය වෙත ගොස් දොර ඇර දොස්තරට එළියට එන්නට ඉඩ සැලසුවේය. මැක්ග්‍රාත්ගේ මුහුණ වේදනාවෙන් සුදුමැලි වී තිබුන ද ඔහුගේ අත පතුරු තබා වෙලුම්පටිවලින් වෙලා පපුව හරහා උරමාවක ආධාරයෙන් එල්ලා තිබුණි. "සරල බිඳුමක්. වෙලාව ලැබුනොත් හොඳින්ම සුවවෙයි." දොස්තර කීය. 

"මිනිහට එහෙම වෙලාවක් ලැබෙන්නෙ නෑ." අනුකම්පා විරහිත ලෙස පැවසූ බක් "ලොකු වේදනාවක් දැනෙන්නෙ නැති විදියට ඒක හැදුවද?" යළිත් විමසා සිටියේය. 
"ඔව්, මම මිනිහට හොඳ ලවුඩ්නම් වේලක් දුන්නා. මම තව ටිකක් දීලා යන්නම් පැය හතරකට සැරයක් විතර දෙන්න." 
    ආපසු කාර්යාලය වෙත ආ දොස්තර "ඒක ඇතුලෙ පුදුම ගඳක් තියෙන්නේ. මොකද උනේ?" යි විමසා සිටියේය. 
"මට පහරදෙන්න පැන්නා. ඉඩලීන් රිවෝල්වරයක් හොරෙන් ගෙනත් දීලා තියනවා. ජෙනී කාල්සන් කේක් එකක් ඇතුලේ හංගලා පිහියක් දීලා තියනවා. මගේ අතට අහුඋනේ වැසිකිළි භාජනය, දමලා ගැහුවා. ඒකෙන් තමයි මගේ ජීවිතය බේරුනේ." බක් පිළිතුරු දුන්නේය.  
"ජෙනී කාල්සන්! ඇයට අවුරුදු දහසයකට වැඩිය නෑනේ!"
"මැක්ග්‍රාත්ට වයසින් වැඩක් නෑ. මිනිහට අවුරුදු අට උනත් අසූව උනත් ගෑනියක් නම් ගෑනියක්ම තමයි." 
"මම දන්න විදියට නඩුව අහන්න ඉස්සරලා හන්ටර් නඩුකාරයා දැනගෙන හිටියා එයාගෙ බිරිඳ මැක්ග්‍රාත් එක්ක සම්බන්ධයක් තියනවා කියලා." 
බක් හිස සලා එය අනුමත කළේය. "ඒක තමයි එයා මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය දුන්නේ." 
    "ඒක වැරදියි. ඒත් මැක්ග්‍රාත්ට ඕනවට වැඩිය අනුකම්පා කරන්නත් එපා. අර නගරයේ උඩහ කෙළවරේ තියන ගස්ගොන්නෙ මිනිහා ඉඩලීන් එක්ක ඉන්නකොට ගැලොවේට අහුඋනා ගැලොවේ මැරෙන්න සතියකට විතර කලින්. මැක්ග්‍රාත් මිනිහව මැරුවේ කට වහන්න ඕනැ කමටමයි, මට හොඳටම විශ්වාසයි." 
"ඒත් නඩුවක් අහන්න ඕනෑ ඔය විදියට නෙමෙයි. හන්ටර් නඩුකාරයාට තිබ්බේ නඩුවෙන් අයින්වෙන්න." 
බක්  යළික් එය අනුමත කරන අයුරෙන් හිස සැලීය. "ඒත් එයා එහෙම කළේ නෑ. දැන් වෙලා තියන හැටියට වැඩකරන්න තමයි අපිට වෙලා තියෙන්නේ." 
"ඒ කියන්නේ හෙට මැක්ග්‍රාත්ව එල්ලලා මරණවා?"
 
    බක් උරහිස් හකුලා ප්‍රතිචාර දැක්වීය. "මම ඕකට ඔව් කියන්නෙත් නෑ, නෑ කියන්නෙත් නෑ. අනවසරයෙන් පදිංචි වෙලා ඉන්න අය කියනවා මිනිහව එල්ලන්න දෙන්නෙ නෑ කියලා. ගවහිමියෝ කියනවා මිනිහට බේරිලා යන්න දෙන්නෙ නෑ කියලා. මට නං හිතුනෙම ඉල්ලා අස්වීම බාරදීලා එලන් ඩ්රූත් එක්ක මෙහෙන් පිටවෙලා යන්න. එතකොට නඩුකාරයාට පුළුවන්නේ ප්‍රාන්ත කොමසාරිස්ලත් එක්ක මේක බේරගන්න." 
දොස්තර තියුණු බැල්මක් ඔහු වෙත එල්ල කළේය. “ඒත් ඔබ එහෙම කරන්නෙ නෑ."
බක් බලාපොරොත්තු සුන් වූ විලසින් උරහිස් හැකිලීය. "නෑ, මං එහෙම කරන්නෙ නෑ. මේක බාරගන්නකොට හොඳ නරක දෙකටම මුහුණ දෙන්නයි මං බාරගත්තේ."
 
    වෛද්‍යවරයා තම බෑගය අතට ගත්තේය. "මැක්ග්‍රාත්ට ආයෙත් ප්‍රතිකාර අවශ්‍ය උනොත් මට කතාකරන්න. ඔබේ කකුලෙ හරි අතේ හරි වේදනාව වැඩි උනොත් කියන්න මම ඇවිල්ලා ලවුඩ්නම් ටිකක් දෙන්නම්." 
බක් එය ප්‍රතික්ෂේප කරන අයුරින් දෙපසට හිස සෙලවීය. "මේ වෙලාවෙ ඉඳලා හෙට උදෑසන වෙනකල් මම ඔලුව හොඳින් තියාගෙන ඉන්න ඕනෑ."

    වෛද්‍යවරයා ඉවත්ව ගිය පසු දොර අගුළු දැමූ බක් සිරකුටි වෙතට දිවෙන කොරිඩෝවේ දොර විවෘත කොට බාල්දි ඔසවාගෙන ගොස් මැක්ග්‍රාත් සිටින සිරකුටියේ දොර අසල තබා සිරකුටියේ දොර විවෘත කොට ඒවා ඇතුලෙන් තැබීය. "ඉඩලීන් කිව්වා හවස ආයෙත් තමුසෙව බලන්න එන්න ඕනැ කියලා. ඒ වෙනකොට මේ ජරාව සුද්ද කරලා ඉවරයක් කරන්න තමුසෙට පුළුවන් වෙයි නේද?" බක් කිසිදු ලජ්ජාවක් හෝ වරදක් කරන්නේය යන හැඟීමක සේයාවක් හෝ නොමැතිව බොරුව එළියට දැම්මේය. 
"මට බෑ. දෙයියන්ගේ නාමෙට පේන්නෙ නැද්ද මට එක අතයි තියෙන්න‍ෙ කියලා?"
"ඒකෙන් කරනවා. මැරෙන්න ඉස්සර එයාව බලාගන්න ඕනැ නම් ඉන්න තැන පිරිසිදු කරගන්න එක හොඳයි. මෙතැන ඌරු කොටුවක් වාගෙ ගඳ ගහනව නම් මම එයාට මෙතැනට එන්න දෙන්නෙ නෑ." බක් කර්කශ හඬින් පැවසීය.

    සිටි තැනින් නැගිට ඉදිරියට ආ මැක්ග්‍රාත් තම හොඳ අතින් බාල්දියක් ඔසවා මළමුත්‍ර ඉහිරී තිබූ සෑම තැනකම පාහේ  පැතිර යන පරිදි වතුර විසුරුවා හැරීය. පසුව අනෙක් බාල්දිය හා කඩමලු ඉතා අපහසුවෙන් අතට ගත් ඔහු අපවිත්‍රව තිබූ බිම පිරිසිදු කරන්නට පටන් ගත්තේය. පුටුවක් රැගෙන ආ බක් එය බිත්තියට හේත්තු කර එහි වාඩි වී බලා සිටියේය. මැක්ග්‍රාත් කෙරෙහි  ඔහුගේ සිතෙහි කිසිදු අනුකම්පාවක් ජනිත නොවීය. අනුකම්පා විරහිත පුද්ගලයෙකු වූ මැක්ග්‍රාත් බොහෝවිට සැලසුම් කොට කරන ලද මිනීමැරුමක වරදකරු වන්නට ඉඩ ඇත. ගැලවී පැන යාම සඳහා ඔහු අදත් මිනිසෙකු මරා දැමීමට සූදානම්ව සිටියේය. හොඳ හෝ නරක ඕනෑම ගැහැනියක ඔවුන් ගැන කිසිම බැඳීමක් නොමැතිව තම ප්‍රයෝජනය සඳහා යොදාගත්තේය. ඔහුට මරණීය දණ්ඩනය පැනවීමෙන් ලොවට කවර හෝ පාඩුවක් වන්නේ නැත. එසේ නම් අනවසර පදිංචිකරුවන් හෝ ගවපට්ටිකරුවන් ඔහු මරණයට පත්කිරීමට හෝ ඔහු ගලවාගැනීමට හෝ මරණයට පත්විය යුත්තේ ඇයි?

    අවසානයේ මැක්ග්‍රාත් සිරකුටිය පිරිසිදු කර නිම කළේය. එහෙත් කොරිඩෝව ඉතිරිව තිබිණ. බක් නැවත කාර්යාලයට ගොස් කානු දෙකේ තුවක්කුවට උණ්ඩ පුරවා එයද රැගෙන ආපසු පැමිණ මැක්ග්‍රාත්ගේ සිරකුටියෙහි දොර විවෘත කළේය. ආපසු ගොස් කලින් සිටි පුටුවේම වාඩි උනේය. පුටුව පසුපසට බරකොට බිත්තියට හේත්තු කරගත්තේය. උණ්ඩ පිරවූ කානු දෙකේ තුවක්කුව දණහිස් මත තබා ගත්තේය. "හරි, පටන් අරගෙන ඉවර කරනවා. හරියට වැඩේ කළොත් හවස් වෙනකොට ටිකක් වාතාශ්‍රය එන්න ඇරලා වේලෙන්න අරින්න පුළුවන්. එහෙම උනොත් ඉඩලීන්ට ගඳක් දැනෙන එකක් නෑ." 

    මැක්ග්‍රාත් ඔරවා බැලීය. බක් දත් පෙනෙන සේ විරිත්තා සිනා මුහුණත් පෑවේය. මැක්ග්‍රාත්ට රිදෙන බව දැනෙන විට ඔහුට දැනෙන වේදනාව අඩුවෙන්නාක් මෙන් ඔහුට දැනින. වැඩය අවසාන වන්නට ආසන්න වනවිට "වැඩේ හරියට කරනවා, මම තමුසෙට අළුත් ඇඳුම් ටිකක් ගෙනත් දෙන්නම්." යයි මැක්ග්‍රාත්ට පැවසීය. මැක්ග්‍රාත් තනි අතින් බිම අතුල්ලන වැඩේ දිගටම කරගෙන ගියේය. එය අසීරු කටයුත්තක් වුවද එය නිම කිරීමට ඔහුට හැකි විය. 

    ටික වේලාවකට හෝ ඉඳගෙන සිටීමට ලැබීම ගැන බක් සතුටට පත්විය. ඔහුගේ කකුල දරාගත නොහැකි තරම් කකියයි. අත ද එසේමය. උදේ එල්ල වූ ප්‍රහාරය නිසා පපුවේ ඉලඇට සහිත පැත්ත වණයක් මෙන් රිදුම් දෙයි. වැදුන පහරවල් නිසා හිස ද වේදනාවෙන් බර වී ඇත. ඔහු සිටියේ කෝපය උතුරා යන සිතකිනි. කෙටියෙන් කියනවා නම් අපායෙන් එළියට ආ යක්ෂයෙකු මෙන් ඔහු වෙත එන ඕනෑම කෙනෙකුගෙන් තරහ පිරිමහ ගැනීමට ඔහු සූදානම්ව සිටියේය. 

    ඔහුට සිතාගැනීමට නොහැකි උනේ මැක්ග්‍රාත් එල්ලා මැරීමට ඔහු මෙතරම් පසුබට වීමට හේතුව ය. මැක්ග්‍රාත් යනු හොඳ පුද්ගලයෙකු නොවේ. ඔහු ගැලොවේ මරාදැමූ අතර නොනැවැත්වුවහොත් යළි යළිත් මිනීමැරුම් කරනු ඇත. 


                                              * * *
    
    

         
      
    










 

                                                

4 comments:

  1. මාරු. මැක්ග්‍රාත් ගැන අපේ හිතේ ඇතිවුණු හොඳ හැඟීම මේ ටිකේ ඉවර කරලම දැම්ම

    ReplyDelete
    Replies
    1. ලේඛකයා අපිට ඉඩ දෙන්නෙ නෑ මැක්ග්‍රාත්ගෙ සිතුවිලි ඇතුලට යන්න. බක් හිතන හැටි විතරයි පාඨකයාට සම්මුඛ වෙන්නේ. එහෙම කරන්නෙම මැක්ග්‍රාත් ගැන අනුකම්පාවක් ඇතිවෙන එක වලක්වන්න.

      Delete
  2. කියෙව්වා.
    +++++++++++++👌🙏

    ReplyDelete