කරවල කන්දොස්කිරියාව

   
         

 "ආ ජුවන් අයියෙ බොහොම කාලෙකට පස්සෙ දැක්ක." 

"ඔව්, රාළහාමි, මම මේ වැස්සවත් නොබලා එළිබැස්සෙ බේතක් හොයාගන්න ඕනැ වෙලයි. කොල්ල දැන් තුන් වෙලකින් බත් ඇටයක් කටේ තිබ්බෙ නැහැ." 

"එහෙනම් කොල්ලට පණුගාය වෙන්ඩ ඇති. මොනවද බේත දැක්ක දුටු තැනක ඇත්නම් මටත් පුළුවන්නෙ හොයාගන්ඩ ඔත්තුවක් දෙන්න?"

"අනේ, මන්ද රාළහාමි. දැන් ඒවත් කළුනික වගේ තමයි." 

"හැබෑට ජුවන් අයියේ මොනවද, මොනවද?"

"කටට දිවට රහ ඇතිව කන්ඩ පුළුවන් කරෝල කෑල්ලක්." 

"දෙයියෝ සාක්කි දැන් එහෙනම් කරෝලත් බේතක් වෙලා."

 "ඔව් රාළහාමි මේ එදා වේල හොයාගන්ඩ නැති අපට මස් මාලු බිත්තර කොයින්ද? හැම් බේකන් කොයින්ද? පරම්පරා ගණනාවක ඉඳලා කටට දිවට හුරු වෙච්ච කරෝල කෑල්ලටත් තට්ටුවුනා වගෙයි." 

"ජුවන් අයියෙ ඒන නම් මටත් එහෙම තමයි..බත් ටික කන්ඩ ගියාම කරවල කෑල්ලක් නැත්නම් ඒක හරියට ලෙඩක් වගෙයි." 

"දැන් හැදෙන කෙල්ලන්ට කොල්ලන්ට නම් මස් මාළු බිත්තර හොඳට ඇඟට අල්ලනවා. පරණ අයට ජාඩි හොද්දක් විතර ඒව කොහෙ."

"ඉතින් රාළහාම් මේ අරුමැක්කෙ යන්නෙ, රාජකාරියකට වත්ද?" 

"මම යන්නෙත් ජුවන් අයිය යන පාරෙම තමයි. සමූපකාර කඩේට කරවල ගෙනාවයි කියල ආරංචියක් තියනව. මොනවද මෙලහටත් කුරුල්ල මිටෙන් ඇරිය වාගෙ ඇති කොහෙන් ගියාද නැතුව." 

"කුරුල්ල මිටෙන් ඇරියොත් රාලහාමි, ඉගිලෙන්නෙ අහසෙ කාටත් පේන්ඩ. සමූපකාර කඩේට එන කරෝල හොඳ හොඳ හරිය මිටිය ලෙහුව ගමන් අහුමුළු අස්සෙ රිංගන එකනෙ වැරැද්ද." 

"ඒක නම් එහෙම තමයි ජුවන් අයියෙ. දුප්පත් අපි උඹලට තමයි කොහෙන් ගියත් ඔලුව උස්සන්ඩ බැරි." 

"සමූපකාරවලට එන කරෝල හොඳයි වෙල් පෝරවලට." 

"ඒ උනත් මම ගිය සුමානෙ නම් ගෙනාව හොඳ මෝර කරෝල ටිකක් සමූපකාරෙන්." 

"අපොයි ඔය රාලහාමි කියන කරෝල තමයි අපේ අන්දිරිස රාත්තලක් ගෙනත් වේලක් කාල ඉතුරුව කොහිල වළේ පෑගුවයි කිව්වෙ." 

"එහෙනම් මිනිහට අහුවෙලා නැහැ හොඳ මිටියෙන්. කොයි එක උනත් අදත් ගිහින් බලමුකො ජුවන් අයියෙ." 

මේ විදියට ඔවුන් දෙදෙනාත් කඩයට යන තුරු කතා කෙළේ අද රටේ කොතැනත් පවතින කන්දොස්කිරියාව ගැන ය. ඔවුන් කඩයට ලඟා වෙද්දී මිදුලේ සීමාව ද ඉක්මවා පෝලිම දිග් ගැස්සී තිබුනේ ය. 

     

"බලන්ඩකො රාලහාමි කොතන ගියත් එක වගේම නෙ පෝලිම." 

"කරෝල ගෙනත් ඇති. ඒ හින්ද තමයි අද පෝලිම මේ තරම් දිග."

"අද නම් දවාලට කන්ඩ කරෝල කාලක් ගන්ඩ පුළුවන් වෙන එකක් නැහැ." 

කතාවෙන් බහෙන් ජුවන් අයියා පෝලිමේ හැත්තෑ අටවෙනි අංකය පිරවූයේ ය. රාලහාමි කඩේ පිලිකන්න ඔස්සේ ගොස් කාටත් නො පෙනෙන සේ කඩය තුළට වැදුනේ ය. 

"ඇයි රාලහාමිට මොකද පෝලිමේ නීතිය නැත්තේ" යි ජුවන් අයියා තමාගෙන් ම ප්‍රශ්න කරමින් පෝලිමේ තෙරපි තෙරපී "බැරි එකෝ පහලින් අටෝ" ප්‍රතිපත්තිය රැක්කේය. 

පෝලිමේ හුන් සියලු දෙනාගේ ම ඇහැට විද්ද රාලහාමි මුදලාලිත් සමග සොල්දර තට්ටුවට නැංගේ ය. 

"රාලහාමි මේක තමයි තියන ඉස්තරම් ම එක. තව තෝර ටිකක් නම් තියනව. ඒක තව එලියටවත් ගත්තෙ නැහැ. කොහෙද මේ හැත්තගෙන් බේරුණැ හැකියැ. හෙට අනිද්ද බලමු. දැනට මේක ගෙනියන්ඩ. මේකෙන් තුනහමාරක් ගන්ඩ. වරල් ඇට කටු නැතිව කිරල දෙන්නම් එකයි විස්ස ගානෙ."

"හොඳයි, මම දැන් මේක ගෙනියන එක තමුසෙලට හොඳත් නැහැ. මට හොඳත් නැහැ. මම ගිහින් කොල්ලව එවන්නම්. අර තෝරවලිනුත් තුන හමාරක් තියන්ඩ." 

රාලහාමි පස්සා දොරින්ම එලියට බැස්සේ ය. 

"කෝ රාලහාමි කරෝල?" 

"අනේ, ජුවන් අයියෙ කන්ඩ පුළුවන් එකක් ගෙනත් නැහැ. මං නිකම් රස්තියාදු උනා" යි කී රාලහාමි යන්ට ගියේ ය. 

"මොකද ඕයි කරෝල බාගයක් ගන්ඩ දැන් කූරියො කී දෙනෙක් ඇවිස්සුව ද?"

"ඉන්නවකො ටිකක්, අපි මේව ගෙනියන්නෙ බල්ලන්ඩ දමා ගහන්ඩයැ. සල්ලිත් දීල ගන්න එක ගන්ඩ එපායැ කන්ඩ පුළුවන් එකක්." 

"මොනවද පෙසක්කෙ මේ කූරියගෙ කපල විකුනන්නෙ. එහෙම ම කිරන්නම්." 

:නැහැ, නැහැ, මට ඕනෑ කරවල කාලයි." 

"කෝ එහෙනම් කපල දෙන්ඩ." 

"අපොයි මේකෙන් අරික්කාලක්ම කටුනෙ. මොනවද කන්ඩ ඉතුරු වෙන්නෙ හෝදල ගත්තම?"

"ඔය ඇට කටු අපි දමාපුව ද?" 

"කොහොම ද මේ කරෝල රාත්තලක් රුපියලක් වෙන්නෙ ළමය. මේ බෝඩ් ලෑල්ලෙ තියෙන්නෙ ශත හැටයි කියල." 

"ඒ ඉස්සර තොගේ. මේ ඊයෙ ගෙනාපුව." 

"අපොයි මුදලාලි, මේකෙ වරලයි ඔලුවයි ගිහාම කරෝල බාගයක් නැහැ නෙ." 

"තමුසෙල වගේ ඔලු නැති මිනිස්සු හිටියට, ඔලු නැති මාලු මූදෙ නෑ ඕයි." 

"අනේ, අගිදො මමත් ඊයෙ හාල්මැස්සො බාගයක් ගෙනිච්ච. හොද්ද මෙලෝ රහක් නෑ." 

"ළමයා උම්බලකට ගෙනාවෙ නැද්ද?" 

"මට පරිප්පු කාලක් දෙන්ඩ." 

"මේ අර ඇතුළෙ අමු මෝර කරෝල නේද. ඕක නම් ගෙනියන්ඩ එපා. වස කුණු රහක් එනවා." 

"මේ මගෙ තුන්ඩුවට බඩු දීල හිටිනව. ගෙදර ලෙඩෙක් ඉන්නව, කැඳ හදන්ඩ යන්න ඕනෑ." 

"මොකද, ඒ ඉස්සර උනේ, එනව පෝලිමේ." 

"ආයි අම්මේ, කණාවගෙ, සපත්තුවෙන් කකුල පෑගුව."

"සිසක්කෙ උඹේ තුන්ඩුවට මටත් සීනි රාත්තලක් අරන් දියන්." 

"ලැයිසො ඔය කරෝල රාත්තල කීයද?" 

"මේ ඔය බඩු ගත්ත අය යන්ඩ, මෙතන අනික් අයට ඉඩ දීල." 

"මට ඔය පරා කරෝල රාත්තලක් දෙන්ඩ." 

"ඉන්නවකො පොඩ්ඩක් මට අත් දෙකනෙ තියෙන්නෙ." 

"එනව පෝලිමේ." 

"කෙල්ලන්ගේ කඩේට නම් රොසක්කෙ සුදු රෙද්ද වගේ තෝර කරෝල ඇවිත් තියනවලු." 

"මෙහෙත් ඇති බං." 

"මොකද මෙහෙත් ඇති කිව්වෙ. ඒව අපිට කන්ඩ ද තියාගෙන." 

"රොඩු නැතිව හොඳට කිරල දෙනව අනුන්ට ගෙනියන එක." 

"කාට උනත් එක විදියට තමයි කිරන්නෙ."

මෙතෙක් වෙලා  පැවති පෝලිමේ පෙළපාලියෙන් ජුවන් අයියා ගේ වාරය පැමිණියේ ය. 

"මට මේ තෝරගෙන් කාලක් කිරල දෙන්ඩ." 

"මෙතන හරියට රාත්තලයි. ගෙදරකට දෙන්නෙත් එච්චරමයි. ගන්නව රාත්තලම." 

"තමුසෙ කියනව රාත්තලක් ගන්ඩ. කරෝල කාලට සල්ලි හොයාගත්තෙ කොල්ලගෙ කැටේ කඩල." 

"අපිට කියන්නෙ තමුසෙට හම්බ කරල දෙන්ඩ ද?" 

"නැහැ. සල්ලි තියන තරමට බඩු දෙන්ඩ කියල." 

"ඔව්, දැන් කාලක් ගෙනියනව. .තව සුමානෙකින් ඇවිත් ඉල්ලයි අනෙත් තුන් කාල." 

"ඇයි ඉතින් ගෙදරකට රාත්තලක් තියනව නම් අපේ පංගුව තියෙන්ඩ එපායැ." 

"තමුසෙ ගන්න කරෝලක් නැහැ. යනව යන්ඩ. දැන් කූරියො කීදෙනෙක් ඇවිස්සුව ද?" 

"අර යට මිටිය ලෙහ‍ෙනව බලන්ඩ."

"ඒකෙත් ඒවම තමයි. කරෝල කාලක් කිරන්ඩ මිටි තුන හතරක් ඇවිස්සුව මදැයි?"

"මෙන්න මේකෙන් කාලක් කපන්ඩ. කෝ බලන්ඩ කෝ බලන්න. අපොයි ඒකෙ ඇතුළ අමුයිනෙ."

"බලනව දැන් තුන් හතර දෙනෙකුට බඩු දෙන වෙලා ගියානෙ." 

"මේකෙන් කපනව බලන්ඩ. එපා එපා ඒක මුදුන් කටුවමයි." 

"තමුසෙ ගන්න කරෝලක් නැහැ. යනව යන්ඩ." 

"අර එහා කෑල්ල දෙනඩ බලන්ඩ. අපොයි බඩ තමයි. ඒ උනත් කමක් නැහැ. මේකෙන් කෑල්ලක් කපනව." 

"කරවල කාල අතට ගත් ජුවන් දෙතුන් විටක් එය නාසටය ලංකර ඉව අල්ලා බලා ඉක්මනින් ආපසු හැරුණේ දවාලට කන වේලාවත් ලංවූ හෙයිනි. අතරමගදී ඔහුට පියදාස හමු විය. 

"කොහෙද පියදාස යන්නෙ?" 

"රාලහාමි කරෝල වගයක් අරන් තියල ආවයි කිව්ව, සමූපකාර කඩේ. ඒක ගේන්ඩ යනවා."

                                                                ඇස්. ඒ. ඇසිලින් පෙරේරා

1962 පෙබරවාරි 12 නවයුගය සඟරාවෙන් උපුටාගන්නා ලදී.

 මේ කතාව කියවන විට අපට අපගේ කුඩා කාලය මතක් වෙයි. හැටේ හා හැත්තෑව දශකයේ අප රටෙහි තිබූ සුවිශේෂ ලක්ෂණයක් වූයේ දැඩි ලෙස සිමා කෙරුනු භාණ්ඩ ආනයනයයි. සමුපකාරය ශ්‍රී ලාංකිකයාගේ දිවියෙහි තීරණාත්මක ආයතනයක් විය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සමුපකාරය මත යැපෙන්නට සිදු වූ පුරවැසියාට ඒවායෙහි තිබූ නොයෙකුත් හොර මැර සටකපටකම්වලට මුහුණ දෙන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් විය. ඒ දෙස උපහාසාත්මකව හෙලන ලද බැල්මකි මේ කතාව. මෙය උපුටාගත් නවයුගය සඟරාව ලේක්හවුසියට අයත් වූ හෙයිනුත් එවකට පැවතියේ ශ්‍රීලනිප රජයක් වූ බැවිනුත් මෙවන් කතා එහි පළවීම අරුමයක් නොවේ. මෙහි දැක්වෙන ලේඛකයාගේ නම ද ආරූඬ එකක් වීමට ඇති ඉඩකඩ බොහෝ ය. එසේ වුවද මෙහි දැක්වෙන සිදුවීම් යතාර්ථයෙන් ඈත නොවේ. 

20 comments:

  1. අහා! කරවල, සමූපකාර කතාවක් .නියමයි. කියන්න දේ බොහොමයි. අමාරුවෙන් ඉන්නෙ, පහුවෙලා එඤ්ඤං.

    කෝවිඩ් වලින් පස්සෙ අදයි ගියේ පවුලේ ඩොකා මුනගැහෙන්න. අත් දෙකේ දෙපැත්තටම ඉන්ජෙක්සන් ගැහැව්වා. 😕

    ReplyDelete
  2. හෙහ්,හෙහ් "ඇස්. ඒ. ඇසිලින් පෙරේරා". 1962 ඇනෝ කෙනෙක්, ඇනෝ වුනත් වැදගත්, නිර්මාණාත්මක කෙනෙක්.

    මට තියෙන ප්‍රශ්ණෙ පෝලිම්, සමූපකාර ආවෙ නවසිය හැත්තෑවෙ සමගි-පෙරමුණු ආණ්ඩුවෙන් නේද? පැරණි වම අපට කලින්ම සමාජවාදය රස බලන්න අවස්ථාවක් දුන්න එක, එකාතකට හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. සමූපකාර ව්‍යාපාරය නම් 1906 විතර ඇරඹිලා තියෙන්නේ. ඔය සමුපකාර කඩ කියන එව්වා 1940 ගණන්වල පටන් අරන් තියෙන්නේ.

      Delete
    2. මමත් අහලා තිබ්බේ සමූපකාර සහ පෝලිම් 1970-1977 කියලා. බලන් යනකොට 1962 තිබිලා.මිනිස්සු ඒවායින් නිර්මාණත් කරලා. ඔය දෙපාරම ආණ්ඩු කරලා තියෙන්නේ සිරිමා මැතිනිය.

      Delete
    3. මමත් අහලා තිබ්බේ සමූපකාර සහ පෝලිම් 1970-1977 කියලා. බලන් යනකොට 1962 තිබිලා.මිනිස්සු ඒවායින් නිර්මාණත් කරලා. ඔය දෙපාරම ආණ්ඩු කරලා තියෙන්නේ සිරිමා මැතිනිය.

      Delete
  3. ආ.. නේ ලස්සනයි ඒ කතාව නම්, ඇත්තටම මේ අපේ රටේ ඉස්සර විදිහ නේද? මොනා උනත් රසවත් කතාවක්. බොහොම ස්තුතියි. රස වින්දනයක් ලබා දුන්නාට.

    ReplyDelete
    Replies
    1. අපි පුංචි කාලේ පලතුරු ගැන කතාවක් ඇදිලා ආවොත් අපේ තාත්තා කියන්න පුරුදුවෙලා හිටියා මෙහෙම කතාවක්. "ඔයාලා දන්නෙ නෑ, ඉස්සර ඇපල් කියලා ජාතියක් තිබුණා. ඔය දැන් තියන පෙයාර්ස්වලට වැඩිය රහයි." ඒ 1970 දශකයේ මුල් භාගයේ.

      Delete
  4. ආ.. නේ ලස්සනයි ඒ කතාව නම්, ඇත්තටම මේ අපේ රටේ ඉස්සර විදිහ නේද? මොනා උනත් රසවත් කතාවක්. රාලහාමි තමයි හොඳටම කලේ නේ....ද ..
    බොහොම ස්තුතියි. රස වින්දනයක් ලබා දුන්නාට.

    ReplyDelete
  5. මරු කතාව . ලේක් හවුසිය ඒ කාලේ හොඳයිනේ . අර මුද්දර කාඩ් එක කොහෙන්ද හොයා ගත්තේ

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් හම්බ උනේ, වෙබ් එකේම තිිබිලා.

      Delete
    2. ආ.. . ඒක.. අම්බෝ.. ඒ කාලෙ ලංකාවෙත් තියෙන වැඩ නේද? ඒවාට කියන්නේ මුද්දර කාඩ් කියලා ද?

      Delete
  6. අප්පා පරණ නවයුගය පත්තර. තාත්තගෙයි මහප්පගෙයි පරණ පත්තර එකතුව එළියට ඇදගන හචිං යව යවා කියවපු අතීතේ මතක් වෙනවා. ආයෙ ඒ ටික එළියට ඇදගන කියවලා බයින්ඩ් කරන්න ඕන විනාස වෙන්න කලින්

    ReplyDelete
    Replies
    1. පත්තර නම් රැකගන්න බැරි උනා. තබාගැනීම හා සංරක්ෂණය අසීරුයිනේ. පත්තර කාණ්ඩයෙත් හොඳ ලිපි තිබුනා.

      Delete
  7. අප්පා පරණ නවයුගය පත්තර. ආයෙ තාත්තගෙ පරණ පත්තර මිටිය ඇදලා අරගන කියවන්න කාලෙ හරි කියා හිතුණා මේක කියවද්දි!

    ReplyDelete
  8. එකාතකට ලංකාවෙ මිනිස්සු ස්තූති කරන්න ඕනෙ පැරණි වමට සහ වමේ ආණ්ඩු වලට, සමාජවාදය කලින්ම රස බලන්න දුන්නට.

    නව පරපුර මේවා නොදන්න නිසා, මේ වගේ පැරණි ලිපි වැදගත්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පුර්ණ සමාජවාදයක් තිබ්බේ නැහැ බණේ කවදාවත්. මිශ්‍ර ආර්ථික ක්‍රමයක් තිබිල ට පස්සේ විවෘත ආර්ථිකයකට ගියා . හැබැයි ඒකත් ධනවාදී රටවල තියෙන එකම නෙමේ . ඒ කියන්නේ ක්‍රම දෙකම තමන් හදා ගත්ත ඒවා

      Delete
  9. කූපං කාඩ් එක මතකයි. චිත්ත රෙදි ලාම්පුතෙල් ගදයි, තැපැල් කන්තෝරුවේ බැංකු පොතෙත් සල්ලි දැම්මාම කූපං අලවනවා, කාටද මතක..

    ReplyDelete
    Replies
    1. අපිටත් තිබුනා එහෙම මුද්දර අලවපු ඉතිරි කිරීමේ පොත්.

      Delete