විනිශ්චය - xxxi

  පටන්ගත්ත හැටි:

                                අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරිෆ් ඔවන් බක්ට මැක්ග්‍රාත් නම් පුද්ගලයාට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ රාජකාරිය පැවරී ඇත. මරණයට පත් වූ පුද්ගලයා ගවපට්ටි හිමියන්ගේ පාර්ශවයට අයත් වන අතර වරදකරු අනවසරයෙන් පැමිණ පදිංචි වූ කණ්ඩායමක සාමාජිකයෙකු වෙයි. මේ නිසා මෙය දෙපර්ශවයක් අතර ගැටුමක් බවට පත්වෙයි. බක් තීන්දුව වෙනස් කරගැනීමට වෙහෙසෙන්නේ තීන්දුව දුන් නඩුකාරයාගේ බිරිඳත් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාත් අතර අනියම් සබඳතාවක් පැවති බවත් තීන්දුව දෙන අවස්ථාවේ නඩුකාරයා ඒ බව දැන සිටි බවත් හෙළි වූ නිසා ය. වෙනත් නඩුකාරයෙකු ඉදිරියේ නඩුව නැවත අසා සාධාරණ බව පෙනෙන නඩු තීන්දුවක් ලබාගැනීම ෂෙරිෆ්ගේ අරමුණයි. එහෙත් එයට විිනිසුරු හන්ටර්ගෙන් හෝ ආණ්ඩුකාරයාගෙන් සහයක් නොලැබෙයි. මේ අතර ගවහිමියෝ  ෂෙරිෆ්ට එරෙහිව එන්නේ ඔහු මැක්ග්‍රාත් නිදහස් කරනු ඇත යන සැකය නිසා ය. අනවසර පදිංචිකරුවෝ ද ෂෙරිෆ් ගවහිමියන්ට පක්ෂපාතීව කටයුතු කරතැයි සිතා ඔහුට පහර දෙති. ගවහිමියන්ට පක්ෂපාතීව කටයුතු කරන තම සහය නිලධාරියා ඉවත් කරන බක් වෙනත් සහයකයින් දෙදෙනෙකු පත්කර ගත්ත ද ගවහිමියන්ගේ තර්ජන මැද ඔවුහු සේවයෙන් ඉවත් වෙති.  මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වී තුවාල ලබයි. පලාතේ සාමය රැකගැනීමට මැක්ග්‍රාත් වෙනත් සිරගෙයකට මාරුකිරීමට නඩුකාරයා කැමති කරගන්නා අතරතුර මැක්ග්‍රාත් බැලිමට තම බිරිඳ නැවතත් ගිය බව දැනගන්නා විනිසුරුවරයා බිරිඳ වෙඩිතබා ඝාතනය කරයි. ඔහු ද සිරගත කිරීමට ෂෙරිෆ්ට සිදුවෙයි. මැක්ග්‍රාත් ගවහිමියන්ට නොදැනී වෙනත් සිරගෙදරකට මාරු කිරීමට සැලසුම් කරන බක් එයට අනවසර පදිංචිකරුවන්ගේ සහය ලබාගැනීමට වෙහෙසෙයි. 

 

                                              

                                               පරිච්ඡේදය 20 

                                                 පළමු කොටස


                                                     (අනුග්‍රහය google image-FX) 

බක්ට දැන් කරන්නට ඉතිරිව ඇත්තේ එකක් පමණකි. මැක්ග්‍රාත්ට තුවක්කුව දෙන්නට පෙර ජෙනීට කරුණු පැහැදිළි කරදීමට උත්සාහ කිරීමයි. ඇයට වදින්නට ඉඩ ඇති නිසා ඔහුට වෙඩිතබන්නට ද බැරිය. සිදුව ඇති තුවාල වල හැටියට මැක්ග්‍රාත් පසුපස එලවා යන්නට හෝ ඔහු පාලනය කරන්නට ශක්තියක් බක්ට නැත. මැක්ග්‍රාත්ගේ දෙඅත් පසුපසට කර මාංචු දමා තිබුන ද බිම ඉඳගෙන දෙපා ඒ අතරින් රිංගවීමෙන් දෑත් ඉදිරියට ගැනීම එතරම් අසීරු කරුණක් නොවේ.

"ජෙනී?" බක් හඬතැලුවේය. "එයාට ආයුධයක් දෙන්න එපා! ඒකෙන් වෙන්නේ එයා මැරෙන එකයි." එහෙත් එසේ කෑගසද්දීම ඔහු ප්‍රමාද වැඩි බව ඔහුට වැටහිණ. මැක්ග්‍රාත් තුවක්කුව උදුරාගෙන ජෙනී පසෙකට තල්ලු කර දමද්දී ඇය වේදනාවෙන් හා  බලාපොරොත්තු නොවූ සිදුවීමෙන් පුදුමයට පත්ව  කෑගසන හඬ බක්ට ඇසින. තවමත් බලාපොරොත්තු අතහැර දමන්නට අකමැති වූ බක් මොරදුන්නේය."මැක්ග්‍රාත්! ඔබට තියෙන එකම අවස්ථාව කැනන් සිටි වලට යන එකයි. මම නොකරත් හරක් බලන උන්ට ඔබ අහුඋනොත් එල්ලලා මරණවා."  

එහෙත් මැක්ග්‍රාත් ඒවන විටත් දුවන්නට පටන්ගෙන ඉවර ය. ඔහු පටු මාවත දිගේ දුවගියේ අසුන් බැඳි කරත්තය නවතා තිබූ තුවක්කු කම්හල දෙසට ය. බක් ද නොන්ඩි ගසමින් කකුල දවාලන වේදනාව ද යටපත් කරගනිමින් ඔහු පසුපස ලුහුබැඳ ගියේය. 

එක්වරම විරුද්ධ පසින් තුවක්කුවකින් නැගෙන ගිණිපුළිඟු දර්ශනය විය. බක්ගේ හිසට ඉහලින් උණ්ඩයක් පියාඹා ගියේ එය සුළඟ කපාගෙන යන ශබ්දය ද සමග ය. ශබ්දය තමන්ගේ සිතෙහි මැවුන දෙයක් යයි ඔහු තමාටම තහවුරු කරගන්නට තතනද්දී එසැනින් රිවෝල්වරයක් හඬ නැගුවේය. ඩියැක් ෆොස්ටර් නොඉවසිලිමත් හඬින් කෑගැසුවේය. "මිනිහා විදිය දිගේ උඩහට යනවා. නවත්වනවා ඕකව! මැරෙන්න තියනවා බැල්ලිගෙ පුතාට!"

අශ්ව කරත්තය තිබුනේ වෙඩි උණ්ඩ ගමන් කරන මාවතේ ය. එලන් ද කරත්තය අසල සිටින බවට බක්ට කිසිදු සැකයක් නැත. කැරකී ආසසු හැරුන බක් තුවක්කුවෙන් එක් වෙඩිල්ලක් තැබුවේ ඩියැක් හා ඔහුගේ මිතුරන්ට නොවදින තරම් ඉහලිනුත් වෙඩි පහරේ බියගන්වනසුලු හඬ ඔවුන්ගේ හිස්වලට ආසන්නයෙන් දැනෙන අයුරිනුත් යන ලෙසින් ය. 

ඩියැක්ගේ උපාය දැන් ඔහුට තේරුම් ගියේය. ඩියැක් උවමනාවෙන්ම ගවහිමියන් කින්කේඩ් හා ඔහුගේ සහචර කඳවුරු වැසියන් පසුපස යැවූයේ ඔවුන් මෙතැනින් ඉවත්කර තැබීමේ අරමුණින්  යුතුව ය. බක්ගේ උපක්‍රමයට මුහුණ දෙන්නට ඔහුම නැවතුනේ බක්ගේ සිතුවිළි වැඩ කරන ආකාරය ඔහු හොඳින්ම අවබෝධ කරගෙන ඇති නිසා ය. 

මැක්ග්‍රාත් යළි අල්ලාගත් තැනැත්තා වීමේ ගෞරවය හිමිකරගැනීමට ඔහුට අවශ්‍ය වී තිබේ. එහිදී බක්ට වෙඩි වැදුනහොත් ඔහුගෙන් සිදුවන කරදර  නිමාවක් වන අතර ඩියැක්ට හිමිකරගැනීමට අවශ්‍ය වී තිබෙන ෂෙරිෆ් පදවිය ද හිස්වන්නේය. 

මැක්ග්‍රාත් අල්ලාගැනීමට ලැබෙන්නේ නම් වෙඩි වදින මානයේ එලන් සිටීම ඔහුට ප්‍රශ්නයක් නොවේ. ජෙනී කාල්සන්ට කුමක් සිදුවුවද එයින් ද ඔහුට කමක් නැත.  

එසැනින් ඩියැක් හා ඔහුගේ මිතුරෝ බක්ගේ වෙඩිපහරට පිළිතුරු වෙඩිපහර එල්ල කළහ. පටු මාවතේ ඉහලට වන්නට වෙඩි වැදීමෙන් බියටපත් අසෙකුගේ කෑගැසීම ද ඌ නාස් ලණුවේ පාලනයෙන් ගැලවිමට දඟලන ශබ්දය ද අසන්නට ලැබුණි. ඔහුට කරන්නට හැකිවේ යයි සිතාගැනීමට ද බැරි තරම් වේගයකින් දිවගිය බක් පටුමගේ ඉහලට වන්නට වූ තුවක්කු කම්හල දෙසට පැනගත්තේය.  ඩියැක්ට කෙසේවත් ඔහු දැකගන්නට අවස්ථාවක් නැතිබව දැන සිටි බක් එහා මෙහා හැරෙමින් වංගු ගසමින් දුවන්නට උත්සාහ ගත්තේ නැත. ඔහු හැකිතාක් වැර යොදා කෑගැසුවේය.  "එලන්, ඔය අශ්ව කරත්තය පාරෙන් අයින් කරගන්න, ඉක්මනට!"

ඔහුට දැන් අශ්ව කරත්තය අඳුරු ඡායාවක් මෙන් පෙනේ. දැඩි සේ බියට පත්ව දඟලන අසුන් දෙදෙනා පාලනය කරගැනීමට සටන් කරමින් සිටින සෙවනැල්ලක් මෙන් හැඩයක්   අසුන මත  පෙනේ. අශ්වයින් දෙදෙනා එක ලෙස සටන් කරමින්, උඩ පනිමින්,  දෙපසට අදිමින්, බෝන් ලීයට හා තෝන් ලණුවලට පයින් ගසන ආකාරයට නම් වෙඩි වැදී තුවාල ලැබූ අශ්වයාට ඇත්තේ සීරුම් තුවාලයක් පමණක් විය යුතුය. 

මැක්ග්‍රාත් අශ්ව කරත්තයට නැගීමට ආසන්නව සිටියත් බක්ට වෙඩි තබන්නට හැකියාවක් නොතිබුනේ එලන්ට ද වැදීමට ඇති අවදානම නිසා ය. අශ්වයින්ට වෙඩි තැබිය යුතු යයි මොහොකතට සිතුන ද එසැනින්ම එය ද අතහැර දැමුවේ එලන්ට මුහුණ දීමට සිදුවිය හැකි අනතුරුදායක තත්වය නිසා ය. ඔහුට අශ්වයින් දෙදෙනාම එක වෙඩිල්ලකින් බිම දැමිය නොහැකි ය. අශ්වයින් දෙදෙනාම එකවර නොනැවැත්වුවහොත් උන් නැවැත්වීමට පෙර එලන්ට බරපතල ලෙස තුවාල සිදුකිරීමට පුළුවන. 

ඩියැක් හා ඔහුගේ මිතුරන් මේ වනවිට නොනවත්වා වෙඩිපහර වැලක් එල්ල කරමින් සිටියහ. එක් උණ්ඩයක් බක් සිටිතැන අසලම තිබූ වැටක ලී කැබැල්ලක් ගලවා දැමීය. තවත් එකක් කරත්තයට වැදී ලී පතුරු සැම  තැනකම විසුරුවාලීය. 

අශ්ව කරත්තය වෙත ආ මැක්ග්‍රාත් අසුන මතට පැන එලන් බිමට තල්ලු කර දමා තෝන් ලණුව අතට ගත් අයුරු දුටු බක් කෝපයෙන් වියරු වැටුනේය. 

පටු මාවත දිගේ  ධාවනය කිරීම සඳහා මැක්ග්‍රාත් අශ්ව කරත්තය හරවාගත් විට එලන් අසුන්ට පෑගීමේ බලවත් අනතුරකට මුහුණ පෑවාය. මොහොතකට මැක්ග්‍රාත් අමතක කළ බක් අශ්ව කරත්තයේ පිටුපස පැත්තට දිවගොස් ඉදිරියට නැමී එලන්ගේ අතකින් අල්ලාගත්තේය. 

තුවාල සිදුවීම නිසා හෝ බියට පත්වීම නිසා හෝ ඒ දෙකම නිසා ඇය කිසිම ශබ්දයක් නොනැගුවාය. බක් නැවත පසුපසට පැන දඟලමින් සිටි අසුන්ගේ කුරවලින් ඉවතට ඇය ඇද ගත්තේය. අළු දැමිමට ගලින් ඉදිකර තිබූ  වලක මුවාවෙහි ඇය තැබූ බක් එසැනින් නැවත ආපසු හැරුනේය. 

පටු මාවතේ ඈත කෙළවර වේගයෙන් දුවන අයගේ අඩි ශබ්ද ඇසින. ඩියැක් මහ හඬින් බෙරිහන් දුන්නේය. "මැක්ග්‍රාත්! යටත් වෙනවා, නැත්නම් මැරෙන්න ලෑස්ති වෙනවා!" 

මැක්ග්‍රාත්ට එය ඇසුන බවක් පෙනුනේ නැත. අශ්ව කරත්තය මත සිටගෙන සිටි ඔහු බියෙන් ත්‍රස්තව සිටි අසුන් දෙදෙන පාලනය කරගෙන ආපසු හරවා පටු විදිය දිගේ ඉහලට දැක්කීමට අනවරත අරගලයක නිරතව සිටියේය. 

බක්ට පියවර කිහිපයක් ගතහැකිව තිබූනේය. ඔහුට මැක්ග්‍රාත් මරාදැමිමට පුළුවන. එක් අශ්වයෙකුට හෝ දෙදෙනාටම වෙඩි තබා මැක්ග්‍රාත් පැනයාමට ගන්නා උත්සාහය වැලැක්වීමට පුළුවන. එසේත් නැත්නම්  ඩියැක් හා ඔහුගේ මිතුරන් අතින් ඔහු හෝ මැක්ග්‍රාත් මිය යාමට පෙර තුවක්කුව ඔවුන් දෙසට එල්ල කිරීමට පුළුවන.

 මේ එකක්වත් කිරීමට බක්ගේ කැමැත්තක් තිබුනේ නැත. දෙවියන්ගේ නාමයෙන් ඔහු කළේ මැක්ග්‍රාත් කැනන් සිටි හි බන්ධනාගාරයට ගෙනයාමට තීරණය කිරීමයි. ඔහු කරන්නට යන්නේද එයයි. මැක්ග්‍රාත් අශ්වයින් පාලනය කරගනිත්ම කරත්තයේ පසුපස තිබූ යකඩ අල්ලුවක් අල්ලාගත් බක් කරත්තයේ තට්ටුව මතට තුවක්කු විසි කර ඔහු ද තරත්තය මතට ඇදෙන්නට උත්සාහ කළේය. තුවක්කුව කරත්තය මතට වැටෙන ශබ්දය ඇසුන මැක්ග්‍රාත් හැරී බලන විට දුටුවේ කරත්තය මතට නගින්නට උත්සාහ ගන්නා බක් ය.

තෝන් ලනුව වමතේ රඳවාගත් ඔහු ජෙනීගෙන් ලැබී තිබූ තුවක්කුව දකුනතින් ගෙන ආපසු කැරකුනේය. අසුන් දෙදෙන ඉදිරියට ඇදෙන්නට පටන් ගනිත්ම ඔහු වෙඩි තැබුවේය. උන්ඩය බක්ගේ පිට සූරාගෙන ඇදී ගියේ උණුසුම් ලේ දහරාවක් පිටතට විදිමිනි. 

පෙනෙන්නට තිබූනේ මැක්ග්‍රාත්ගේ තුවක්කුවෙන් නික්මුන ගිනි පුළිඟු ඩියැක් හා ඔහුගේ මිතුරන්ට වෙඩි තබන්නට ඉලක්කයක් ලබාදුන් බවයි. තිදෙනම ඔවුන්ට හැකිතරම් වේගයෙන් එකවර වෙඩිතැබීමට පටන් ගත්හ.

අශ්ව කරත්තයේ අසුන මත සිටි මැක්ග්‍රාත්ගේ හිස එක්වරම කඩාවැටුනේය. පාලනය ගිලිහුනු අසුන් දෙදෙන පටු මාවත දිගේ ඉහලට දුවන්නට පටන් ගත්හ. බක්  කරත්තයෙන් බිමට පැනගත්තේය. දුහුවිල්ලෙන් පිරි පොලව මත පතිත වූ ඔහු එතැන් සිට අඩි දහයක් දොළහක් රෝල් වී නතර විය. 

ඩියැක් ෆොස්ටර් හා ඔහු සමග සිටියවුන් තවමත් රයිෆල්වලින් වෙඩිපහර එල්ල කරමින් සිටියහ. වැටීමෙන් කම්පනයටත් දැඩි වේදනාවටත් පත්ව කෝපාවිෂ්ටව සිටි බක් කොපුවෙන් රිවෝල්වරය ඇදගෙන මාවතේ මුණින් දිගාවී වැතිර ඩියැක් හා ඔහු සමග සිටි අනෙකුත් මිනිසුන් වෙඩි තබද්දී නැගෙන ගිනිපුළිඟු ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. 

එක් මිනිසෙකු මරහඬ දෙන ශබ්දය ද තවකෙකු මුවින් ගෙරවිලි හඬක් නගා පසුව තවත් එක් වරක් කෙඳිරි ගෑ ශබ්දය ද ඔහුට ඇසුනි. තුන්වැන්නාට සටන එපා වීමෙන්දෝ ආපසු හැරී දිව ගියේය. ඔහුගේ අඩි ශබ්දය ඈතට ඇදී නෑසී ගියේය. 

බක්ගේ සිතට නැගුන පළමු සිතුවිල්ල වූයේ එලන් ය. දෙපාවලට බරදී අමාරුවෙන් නැගී සිටගත් ඔහු නොන්ඩි ගසමින් ආපසු එලන් නවතා ආ තැනට ගියේය. තවමත් ඇය අළු දමන වල අසල වකුටු වී සිටියාය. "ඔයාට තුවාලද?" ඔහු කනස්සලු ස්වභාවයකින් ඇසුවේය. 

"නෑ, මං හිතන්නේ." ඇය වෙව්ලන ඇඬුම්බර ස්වරයකින් පැවසුවාය. 

බක් හඬ නගා කතා කළේය. "ජෙනී? ඔබට කරදරයක් නැද්ද?"

අඩි පනහක් පමණ ඔබ්බෙන් ජෙනී එක්වරම පාලනය කරගත නොහැකි ලෙස ඉකිගසමින් වැළපෙන්නට වූවාය. "මම ගිහිල්ලා එයා ගැන බලන්නම්." එලන් පැවසුවාය. 

බක් ඇයට නැගී සිටින්නට අත දුන්නේය. ටික වේලාවකට පෙර ගවපල්ලන් ගිය දිසාවේ සිට මාවත දිගේ  එන  අසුන්ගේ කුර ගැටෙන හඬ ඔහුට අසන්නට ලැබිණ. මාවතේ තවත් ඈතට වන්නට කවුරුන් හෝ වේදනාවෙන් නැගූ කෙඳිරිලි හඬක් ඇසිණ. බොහෝවිට ඩියැක් හෝ ඔහුගේ මිතුරන්ගෙන්  කෙනෙකු වන්නට පුළුවන. පටු මාවතෙන්  වීදිය දෙසට හැරුන පසු අශ්ව කරත්තයේ හඬ නෑසී ගියේය. ඉදිරියෙන් එන අසෙකුගේ ඡායාවක් බක්ගේ ඇසට අසුවිය. පාර මැදට පියවර තැබූ ඔහු දෑත් දෙපසට දිගු කොට වනමින් ඔහුට හැකි උපරිම වෙර යොදා ඇඟේ ලේ කැටි ගැසෙන තරම් උස් හඬකින් කෑමොර දුන්නේය. 

 එක්වරම පිම්මක් පැන නතර වූ අශ්වයා භීතියෙන් මුසපත්ව ඉදිරි පාද උස්සා, පසු පාදවලින් සිටගෙන තිගැස්සීමට පත්ව සිටි අසරුවා බිම දැමුවේය. අශ්වයා කැරකී ආපසු හැරෙන්නට පෙර තෝන් ලනුව අල්ලාගත් බක් ඇඟේ වූ මුළු බර යොදා අශ්වයා නැවත උඩ පනින්නට ගත් උත්සාහය වැළැක්වීය. අශ්වයා පැන දුවන්නට උත්සාහ කළද සෑදලයේ අඟින් අල්ලාගැනීමට ඔහු සමත් විය. අශ්වයා මතට නැගී සෑදලය මත මද වේලාවක් රැඳුන බක් එක් කකුලක් පිටට උඩින් දමා නිසි පරිදි අසු මත ඉඳගත්තේය. 

බියෙන් ත්‍රස්තව සිටි අශ්වයා ඒ වනවිටත් පටු මාවත දිගේ අශ්ව කරත්තය ගිය දිසාවටම පිම්මේ දුවමින් සිටියේය. අශ්ව කරත්තයේ රෝදවලින් ද අශ්වයින්ගේ කුරවලින් ද ඇවිස්සුන දුහුවිල්ල බක්ගේ නහයට වැදුනේය. ඔහු පටු මාවතින් වීදියට කඩාවැදුනේය. අශ්වකරත්තය පෙනෙන්නට නොවීය. එහෙත් මෙම වීදියේ නිවෙස්වලින් හා කඩසාප්පුවලින් විහිදුන එළිය නිසා මද ආලෝකයක් තිබුණි. එම මන්ද ආලෝකයේ පිහිටෙන් අශ්ව කරත්තය විසින් අවුස්සන ලද තුනී දූවිලි වලාවක් දැකගැනීමට බක්ට හැකි විය.

4 comments:

  1. නියමයි. කතාව ලෙසටම ගලාගෙන යනවා. 👌💐

    ReplyDelete
  2. නියමයි. කතාව ලෙසටම ගලාගෙන යනවා. x

    ReplyDelete
    Replies
    1. නියමයි. කතාව ලෙසටම ගලාගෙන යනවා. x 2 (දෙක දාන්න බැරි වුනානේ

      Delete
  3. හුම්. ඊලඟ කොටහත් විගහට දාන්න

    ReplyDelete