විනිශ්චය xxxii

   

                                           පරිච්ඡේදය 20 

                                                  දෙවන කොටස



වේගය වැඩිකිරීම සඳහා අශ්වයා පෙළඹවීමට අවශ්‍ය නොවූයේ දැඩි සේ බියට පත්ව සිටි ඌ එකම වේගයකින් පිම්මේ දුවමින් සිටි හෙයිනි. තවත් මංසන්ධියකින් හැරී ඉදිරියට ගිය බක්ට ඔහුට ඉදිරියෙන් පෙනෙන නොපෙනෙන මානයේ ඡායාවක් මෙන් ඇදෙන අශ්ව කරත්තය දිස්විය. අශ්වයාගේ කනට මුව තබා කෑගැසූ බක් අත තිබූ රිවෝල්වරයේ මිටින් උගේ තට්ටමට පහරක් එල්ල කළේය. ටිකෙන් ටික අශ්ව කරත්තයට සමීප වන්නට ඔහුට හැකිවිය. 

අශ්ව කරත්තය උතුරු දෙසට හැරී නගරයෙන් පිටතට දිවෙන මාර්ගය ඔස්සේ ගමන් කරන්නට විය. මේ වනවිට බක් හා කරත්තය අතර දුර වූයේ යාර විස්සක් තිහක් පමණි. කරත්තයේ ඉදිරිපස අසුනේ හරහට ඇදවැටී සිටි මැක්ග්‍රාත් ඔහුට දැන් දැකගැනීමට පුළුවන. මේ සියල්ලට මැදිව කලබලයට පත්ව සිටි බක්ගේ අශ්වයා දුවන වේගය වැඩිවී අශ්ව කරත්තයට සමීප වන්නට හැකිවිය. තවත් සැතපුම් කාලක් පමණ යද්දී කරත්තයේ අසුන් හා එක පෙළට වැටී තමා සිටි පැත්තේ සිටි අශ්වයාගේ කටකලියාවෙන් අල්ලාගන්නටත් බක් සමත් විය. 

අසුන් නවතාගන්නට හැකි වූයේ තවත් යාර සියයක් පමණ ගියාට පසුව ය. අශ්ව කරත්තය නවතාගනිත්ම නගරය වෙත දිවෙන මාර්ගයේ ගල් මත අසුන් රැසකගේ කුර ගැටෙන ශබ්දය බක්ට ඇසුනේය. අසු පිටින් බිමට බැසගත් ඔහු කටින් පෙන දමමින්, වෙව්ලමින් සිටි කරත්තයේ බැඳි අසුන් සන්සුන් වනසේ කතාකොට මැක්ග්‍රාත් සිටි තැනට ගියේය. මැක්ග්‍රාත් සිටින්නේ සුලු තුවාල ලබා හෝ කම්පනය පත්වි නම් හෝ ඔහු එල්ලා මරනු ලැබීමෙන් බේරාගන්නට ගවහිමියන් හා දැන් මෙතැනදීම සටන් කරන්නට සිදුවනු ඇත. 

එහෙත් මැක්ග්‍රාත් මියගොස් සිටියේය. බක් ඔහුගේ පපුවට අත තබා යම් ගැස්මක් හෝ දැනෙන්නේදැයි බැලුවේය. මැණික්කටුවට අත තබා නාඩි වැටේදැයි බැලුවේය. ඔහු මරණයට පත්ව ඇති බවට කිසිම සැකයක් නොවීය.

ජීවිතයේ වෙන කිසිම දාක නොදැනුන තරම් වෙහෙසට පත්ව සිටි ඔහු එතැනම නැවතී බලා සිටියේය. ඔහුගේ කමිසය ලේ වලින් පිටට ඇලී තිබුණි. පාදයේ තුවාලය යළි පෑරී ලේ ගලන්නට පටන්ගෙන ඇත.

පළමුවෙන්ම ඔහු සිටි තැනට ලඟාවූයේ ආර්ච් නෝත්කොට් ය. 

"හැම දෙයක්ම ඉවරයි. මැක්ග්‍රාත් මැරිලා. ඩියැක් ෆොස්ටර් මිනිහව මැරුවා."

අශ්වයාගේ තෝන් ලණුව නෝත්කොට් වෙත බාරදුන් බක් ඔහුම අශ්ව කරත්තයේ අසුනට නැග දැන් නිහඬව සන්සුන් ලෙස ඇදෙන ගවහිමියන් හා ඔවුන්ගේ මිනිසුන් පසුපස අශ්ව කරත්තය දැක්කුවේය. 

ගින්න නිවා දමා තිබිණ. ගිනි නිවන රථය හඬ නගමින් වීදිය දිගේ ඇදී ආවේය. එහි බැඳ සිටි අසුන් රංචුව කලබල රහිත එකාකාරී වේගයකින් සන්සුන් ලෙස රථය ඇදගෙන ආහ. 

සිරගෙදර ඉදිරිපිටදී වේදනාව මැඩගනිමින් රථයෙන් බැසගත් බක් ලඟම සිටි අයෙකුට කෝන් ලණුව බාර දුන්නේය. "මැක්ග්‍රාත්ගෙ මිනිය ෆ්‍රැන්ක්ලීන්ගේ මිනීපෙට්ටි සාප්පුවට ගෙනියන්න. අශ්ව කරත්තය රථගාලට ගෙනිහින් බාරදෙන්න."

මිනිසා මැක්ග්‍රාත්ගේ සිරුර ද තිබූ අසුනට නැග රථය ඉවතට දක්කාගෙන ගියේය. ෂෙරිෆ්ගේ කාර්යාලයේ ආලෝකයක් දැල්වෙමින් තිබූ අතර එලන් ඔහු එනතෙක් බලා සිටියාය. 

බක් රැස්ව සිටි පිරිස දෙස බැල්මක් හෙලීය. "කාට හරි පුළුවන්ද දොස්තරට පණිවුඩයක් දෙන්න?"

එක් අයෙක් ඉක්මන් ගමනින් එතැනින් බැහැර විය. "ඩියැක්ට මොකද උනේ? මිනිහගේ යාළුවෝ දෙන්නා?" බක් විමසීය. 

"ඩියැක් මැරිලා. ජේක් මෙස්මර්ගේ කකුලකට වෙඩිල්ලක් වැදිලා."

ආපසු හැරුන බක් කාර්යාලයට ඇතුළු විය. එලන්ගේ දකුණු කම්මුලෙහි සීරුම් තුවාලයක් විය. ඇගේ මුහුණ මෙන්ම ඇඳ සිටි ඇඳුම ද දුහුවිල්ලෙන් වැසී තිබිණ. 

"ජෙනී හොඳින් ඉන්නවද?" බක් ඇසීය. 

එලන් හිස සැලුවාය. 

"ඔයා හොඳින් ඉන්නවද?" ඔහු නැවතත් ඇසීය. 

ඔහුගේ දෑස දෙස එක එල්ලේ බලමින් ඇය හිස සැලුවාය. 

ඇගේ සීරුම් තුවාලය තිබූ කම්මුල සිපගත් ඔහු කැරකෙන පුටුව මතට ඇදවැටුනේය. 

දැන් නම් ඔහුට කෙසේවත් ඉවත්ව යන්නට බැරිබව බක් දැන සිටියේය. ඇරඹුන කරදරවල තවමත් අවසානයක් නැත. එහෙත් බක්ට සිතෙන්නේ සමහරවිට දෙපාර්ශවයම තමන්ගේ මුරණ්ඩු සිතුවිළි අතහරින්නට සිතෙන තරම් සැහැසි ක්‍රියා මේ වනවිට දැකගන්නට ඇති බවයි. ඔහු එලන් දෙස බලා සිනාසුනේය. එලන් ද සිනාවකින් ප්‍රතිචාර දැක්වූයේ දෑසින් කියවුන ප්‍රතිඥාවක සේයාවක් ද සමගිනි. බක්ට සිතුනේ ඉදිරියේදී කුමක් සිදුවුවත් තවදුරටත් ඔහු සිටින්නේ තනිව  නොවන බව ය. 


                                           සමාප්තිය

                                       * * *  


සමාප්ති සටහන:

මාස දහයක් පුරා පළවූ විනිශ්චය නවකතාව මෙසේ නිමාව දකින්නේය. මෙම නවකතාව කියවා හමාර කළ පසු එය පරිවර්තනය කර ඉදිරිපත් කිරීමට සුදුසු නිර්මාණයක් ලෙස සිත් ගත්තත් මුලින්ම මතු වූ සැකය වූයේ එය අවසානයක් කරා පරිවර්තනය කිරීමට තරම් ඉවසීමක් මා සතුව තිබේ ද යන්නයි. පරිච්ඡේද විස්සකින් සමන්විත වූ මේ නවකතාව අවසානය තෙක් පරිවර්තනය කරන්නට ලැබීම සතුටකි. එමෙන්ම පරිවර්තනය සඳහා මෙම කතාව තෝරාගැනීමට හේතු වූ කරුණු කිහිපයක් සැකෙවින් ඉදිරිපත් කිරීම මේ සටහනේ අරමුණයි. 

කතාව කියවූ ඔබ දන්නා පරිදි මෙහි සිද්ධි දාමය ගෙතෙන්නේ ඕවන් බක් නම් ෂෙරිෆ්වරයා කේන්ද්‍ර කරගනිමිනි. කතාව දිගහැරෙන්නේ ද බක්ගේ දෘෂ්ටිකෝණයෙනි. ගැටුම මතුවන්නේ මැක්ග්‍රාත් නම් පුද්ගලයා එල්ලා මැරීම සඳහා පළාතේ විනිසුරුවරයා දෙනු ලබන තීන්දුවත් සමග ය. විනිශ්චයකාර හන්ටර්ට එම නඩුව ඇසීමට ඇති සදාචාරාත්මක අයිතිය ප්‍රශ්න කරන බක් මැක්ග්‍රාත්ට නිවැරදි නඩු ඇසීමක්  ලබාදිම සඳහාත් අපක්ෂපාතී තීන්දුවක් ලබාදීම සඳහාත් කරන හුදෙකලා අරගලය වටා නවකතාවේ තේමාව ගොඩනැගෙයි. 

බක් නම් ෂෙරිෆ්වරයාගේ උත්සාහය හුදෙකලා වන්නේ ඔහුට මේ ගැටුමට අදාළ කිසිදු පාර්ශවයකගේ සහය නොලැබෙන නිසා ය. ගව පට්ටි හිමියන් බක් දෙස සැකයෙන් බලන්නේ අනවසර පදිංචිකරුවන්ගේ පැත්ත ගෙන මැක්ග්‍රාත් නිදහස් කිරීමට කටයුතු කරන්නේය යන අදහසිනි. ඔවුන්ට අවශ්‍ය වන්නේ මැක්ග්‍රාත් එල්ලා මරනු දැකීම ය. අනෙක් පසින් අනවසර පදිංචිකරුවන් චෝදනා කරන්නේ ෂෙරිෆ්වරයා ගව හිමියන්ට පක්ෂපාතීව කටයුතු කරන බව ය. නගර වැසියන් මේ සිදුවීමට මැදිහත් නොවී නිහඬව සිටින්නේ එය ඔවුන්ගේ ජීවිතවලට බලනොපාන නිසා ය. ඔවුන් ගන්නා පියවර නගරයේ වෙළඳ කටයුතු ආරක්ෂා කරගැනීමට සීමා වෙයි. ෂෙරිෆ් විසින් පත්කරගනු ලබන  ගව පට්ටි හිමියන් ඔහුගේ වෙළඳසැල වර්ජනය කිරීමට කරන තර්ජනයෙන් පසුව එක් සහය නිලධාරියෙකු ඉල්ලා අස්වෙයි. පළාතේ ආණ්ඩුකාරවරයා මගහරින්නේ එයට මැදිහත් වීමෙන් ඔහුට අහිමි වියහැකි ඡන්ද ප්‍රමාණය වඩා වැදගත් නිසා ය.  ඒ අවට පදිංචි ප්‍රදේශවාසීන් එල්ලා මැරීම නැරඹීම සඳහා  පවුල් පිටින් උත්සව අවස්ථාවකට මෙන් නගරයට රැස්වෙයි. 

එහෙත් සාධාරණත්වය සඳහා වන සටන අත්හැරීමට බක්ගේ කැමැත්තක් නැත. සෑම පාර්ශවයකින්ම එල්ල වන තර්ජනය හමුවේ වුව ඔහු පසුබට නොවෙයි. එහෙත් ඔහු ද දුර්වලතා වලින් තොර වූවකු නොවේ. කාන්තාවන් ඉදිරියේ දක්වන දුර්වලතාව නිසා ඔහු මැක්ග්‍රාත් අතින් තුවාල ලබනවා පමණක් නොව දෙවන වරටත් ඉඩලීන්ට මැක්ග්‍රාත් බැලීමට අවසර දීම  නිසා ඇයගේ ජීවිතය ද අහිමි වෙයි. මැක්ග්‍රාත් හා කරන සටනේදී ඔහු පාලනය කිරීම සඳහා අවශ්‍ය නොවූවද ක්ෂණික කෝපයෙන් ඔහුගේ අත කඩා දමයි. අවසානයේ මැක්ග්‍රාත් සිරගෙදරින් බැහැර කිරීමට ගන්නා පියවර ද ප්‍රශ්නකාරී වනවා පමණක් නොව ඒ නිසාම මැක්ග්‍රාත් වෙඩිපහරකට ලක්ව මිය යයි. 

මේ සියල්ලම මැද කැපී පෙනෙන්නේ නීතිය සුරැකීමට බැඳී සිටින නිලධාරියෙකු ලෙස තම ජීවිතය ද පරදුවට තබා තමා නිවැරදි යයි දකින ඉලක්කය කරා යෑමට දක්වන එඩිතරබව හා අධිෂ්ඨානයයි. ඔහු අතින් සිදුවන අතපසුවීම හා දුර්වලතා ගැන ද වචනයක් කිය යුතුය. ගැටුමට සම්බන්ධ සෑම පාර්ශවයකම විරෝධය මැද තනිවම සියළුම තීරණ ගැනීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමට ද ඔහුට සිදුවෙයි. මේ හුදෙකලාබවම ඔහු ගන්නා යම් යම් තීරණ වැරදීයාමට බලපායි. එක් පාර්ශවයක හෝ සහයෝගය ඔහුට ලැබුනේ නම් සාමූහික තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම තුළ වඩාත් සූක්ෂමව කටයුතු කිරීමේ අවස්ථාව ඔහුට හිමි වන්නට ඉඩ තිබුණැයි අනුමාන කිරීම වරදක් නොවේ යයි සිතමි.

එසේ වුවද මේ සංකීර්ණ සිදුවීම් මාලාව මෙම කතා ශෛලියට හුරු කුතුහලය හා ත්‍රාසය මුසුකරමින් ඉදිරිපත් කිරීමට කතුවරයාට අවශ්‍යව තිබුන බවක් අවසාන සිදුවීම් පෙළගස්වා ඇති සැටියෙන් පෙනේ. ඒ නිසාම කතාවේ විශ්වසනීයත්වය බිඳවැටෙන අවස්ථාවක් ද දැකගත හැකි වේ. අවසානයේ සිරමැදිරියෙන් එළියට ගැනීමට පෙර මැක්ග්‍රාත්ට  බක් ලවා දෑත් පිටුපසට කර මාංචු දැමීමට කතුවරයා උත්සුක වුවද ඔහු සිටියේ අතක් බිඳුමකට ලක්ව කරේ එල්ලාගෙන බව කතුවරයාට අමතක වී ඇති බවක් පෙනේ. එසේම ෂෙරිෆ්ගේ ග්‍රහණයෙන් මිදුන පසුව මාංචු දැමූ අත් අතරින් දෙපා රිංගවීමෙන් අත් ඉදිරියට ගැනීම එතරම් අපහසු නැතැයි ඔහු සඳහන් කරන්නේ ද සිරකරු බිඳීගිය අතක් කරේ එල්ලාගෙන සිටිබව අමතක වීමෙන් බව පෙනේ. එසේ වුවත් කතාව රසවිඳීමට හා ඉන් මතුකෙරෙන තේමාව කෙරෙහි අවධානය යොමුකිරීමට එම අඩුපාඩු බාධාවක් වෙතැයි නොසිතමි.   

මෙම නවකතාව ආරම්භයේදීම පැහැදිළි කළ පරිදි මේ සිදුවීම්වලට පසුබිම් වන්නේ දහනමවන සියවසේ මැද භාගයේ අමෙරිකා එක්සත් ජනපදයේ West යනුවෙන් හැඳින්වූ බටහිරදිග කලාපයයි. මේ කාලයේ දකින්නට හැකි වූ ප්‍රධාන ලක්ෂණයක් වූයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ලිහිල් බවයි. බොහෝවිට හරි වැරැද්ද තීරණය වූයේ ඉන පටියේ රැඳි ගිනි අවිය මගිනි.  එසේ වුවද අද අප වෙසෙන සමාජය දෙස බලන විට අද පවා නීතිය ඉටුකෙරෙන බවට වගබලා ගැනිමට පිහිටුවා තිබෙන ආයතන හා යුක්තිය හා සාධාරණත්වය බලාපොරොත්තු වෙන සාමාන්‍ය පුරවැසියන් අතර මෙවන් ගැටුම්කාරී තත්ව දුලබ නොවේ. එමෙන්ම බලය හසුරුවන බලධාරීන්ගේ බලපැම් නිසා අසරණ වන නීතිගරුක නිලධාරීන් ගැන පුවත් ද දුලබ නොවේ. මේ නිසාම මෙම කතා පුවත කාලීන වැදගත්කමක් දරන බව එය පරිවර්තනය කළ මගේ අදහසයි. 

අවසාන වශයෙන් මීට එකතු කළ යුතු තවත් කරුණක් වෙයි. එනම් Westerns නම් ජනප්‍රිය නමින් හැඳින්වෙන නවකතා හා චිත්‍රපට කෙරෙහි මගේ ඇති ආශක්ත බවයි. එය ද මේ නවකතාව ඉදිරිපත් කිරීමට මා තුළ දැඩි පෙළඹවීමක් ඇති කළේය. එහෙත් ඉන රැඳි රිවෝල්වරයේ වේගවත් ක්‍රියාකාරිත්වය තුළින් යුක්තිය ඉටුකළ ගොපළු වීරයන්ගේ කතාවලින් මෙය සපුරා වෙනස් වෙයි. මෙහිදී අපට හමුවන්නේ ප්‍රබලතා මෙන්ම දුබලතාවලින් ද පිරි  සාමාන්‍ය, එහෙත් අධිෂ්ඨානශීලී චරිතයකි. 

මාස ගණනාවක් පුරා ඉදිරිපත් කෙරුනු මෙම කතාවට ලැබුන ප්‍රතිචාර ගැන ද යමක් සඳහන් නොකලහොත් එය අඩුවක් යයි සිතමි. මුල් කොටස් කිහිපය සඳහා සියයට මදක් වැඩි රසික සමූහයකගේ අවධානය යොමුවී තිබුණි. (මගේ පුංචි බ්ලොග් අඩවියේ හැටියට එය ලොකු ගණනකි.) එහෙත් අවසන් කොටස් කිහිපය වනවිට එය තිහත් පණහත් අතර විය. මා සිතන්නේ දීර්ඝ කාලයක් කොටස් වශයෙන් ඉදිරිපත් කෙරෙන කතාවක් අඛණ්ඩව කියවීම සඳහා විවේකයක් ඇති අය කාර්යබහුල සමාජය තුළ අඩු බවයි. එමෙන්ම මුල් කොටස් කිහිපය කියවූ පසු තමන් ආශාවෙන් කියවන ශෛලියේ කතාවක් නොවන බව පෙනෙන විට කියවීම අත්හැරියා වන්නට ද ඉඩ ඇත. කොටස් වශයෙන් දීර්ඝ කාලයක් කතාවක් ඉදිරිපත් කිරීමට බ්ලොග් ප්‍රකාශන ශෛලිය නොගැලපෙනවා ද විය හැකිය.  

මා ද මේ කතාව අතරමැදදී  අතහැර දමන්නට ඉඩ තිබුනත් කතාව සමග රැඳී අදහස් දක්වමින් මා දිරිගැන්වූ සහෘද පිරිස ද කතාවෙහි නිමාව තෙක් මා ගෙන එන්නට රුකුලක් වූ බව නොකියාම බැරිය. 

නවකතාවෙහි රචක  Lewis B. Patten  තම  නිර්මාණයට දුන් නම වූයේ The Trial at Apache Junction ය. මා එයට දුන් නම වූයේ විනිශ්චය යි. එයට ද හේතුවක් තිබිණ. ගැටුමට සම්බන්ධ සෑම පාර්ශවයක්ම තම තමන්ගේ තීරණ හා ක්‍රියා තුලින් විනිශ්චයට ලක්වෙයි. නගරවැසියන් වැනි සෘජු සම්බන්ධයක් නැති පාර්ශව පවා ඔවුන්ගේ නිහැඬියාවෙන් විනිශ්චයට ලක්වෙයි. කතාව කියවූ ඔබ ද සිදුවීම් හා චරිත කෙරෙහි ඔබ දක්වන ආකල්ප තුළින් විනිශ්චයට ලක්වෙයි. පරිවර්තනය කළ මා ද එසේම විනිශ්චයට ලක්වූවොත් එය ද අරුමයක් නොවේ. .  


9 comments:

  1. කව්බෝයි කතන්දර වලට මගේ විශේෂ කැමැත්තක් නෑ. ඒත් මේ කතාව මගේ ඒ අදහස වෙනස් කලා. විශිෂ්ඨ පරිවර්තනයක්. කතාවටම ගැලපෙන ලස්සන වගේම අර්ථවත් පිංතූර. සමස්තයක් වශයෙන් හොඳහැටි රසවින්ඳා. ස්තූතියි.💐💐💐💐👌😊

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට.

      Delete
  2. පරිවර්තනය හොඳයි . පොතක් වශයෙන් පල කරන්න වෙන කවුරුහරි උස්සන්න කලින් . ලනක්වේ අය එහෙම කරනවා . බක් ගැන මගේ මිශ්‍ර හැඟීමක් තියෙන්නේ . නිලධරයෙක් වශයෙන් අපක්ෂපාති වීමට දරන උත්සාහය තමා කතාවේ හරය හැටියට මට හිතෙන්නේ .

    ReplyDelete
    Replies
    1. මේ කාලෙනම් පොතක් ගහලා විකුණගන්න එකනම් ටිකක් කට්ට කන්න වෙන වැඩක්. ඒත් කරන්ට ඇහැක් නම් නොවටින වැඩකුත් නෙවෙයි. ඒ නැතත් මේ පරිවර්ථනයට අයිතිකාරීත්වයක් වගෙ දෙයක් ගන්න විදිහක් තියෙනවද කියල හරි බලන්න

      Delete
    2. පොතක් කරන්න උත්සාහයක් දරන්න ඕනෑ.

      Delete
  3. මම පොඩි කාලේ වෙස්ටන් වලට හෙන ආසයි . ලෝන් රේන්ජර් හෙම . හැබැයි එංගලන්තයේදී එක සම්පුර්ණයෙන්ම වෙනස් වුනාඅ . නේටිව් ඉන්දියන් වරුන්ගේ ඉරණම ගැන අහරි විස්තර දැන ගත්තේ මෙහෙදී . ඊට පස්සේ මට තේරුනා වෙස්ටර්න් භිත්‍රපට ගොඩක් මහා බොරු කියල . ඔවුන් කලේ සමුලඝාතන කියල . ඊට පස්සේ බලන එක සම්පුර්නයෙන්ම වගේ අත ඇරිය

    ReplyDelete
    Replies
    1. Bury My Heart at Wounded Knee කෘතියට අජිත් කැමති වෙයි කියලා හිතෙනවා, කියවා නැත්නම්. ඉන් නිපැයුන සිනමා පටයකුත් තියනවා. රතු ඉන්දියන්වරු මුහුණ දුන්න ඛේදවාචකය තමයි මෙයට පාදක වෙන්නේ.

      Delete
  4. අපූරැ පරිවර්ථනය. දරපු මහන්සියට මාගේ ප්‍රණාමය... 🙏
    වෙන කතාවලට වඩා මෙය ඔබ කිව් විදිහට යථාර්ථවාදී රීතියකින් කතුවරය ලියා තියෙන බව පෙනෙනවා.
    කතාව කියවීමට පිරිස වැඩිකරගන්න... ලැබෙන ප්‍රතිචාරවලට පිලිතුරැ දැමීම, ලියන අනිත් බ්ලොග් අඩවි හා සම්බන්ධ වීම වගේ දේවල් කරන්නට තිබ්බ. කොහොමින් උනත් මේ බ්ලොග් අවරට යන කාලය නෙ. නැවතත් මේ අපූරැ උත්සහයට තුති පුදකර සිටිනවා

    ReplyDelete
  5. කතාව ඉතාමත් රසවත්... මෙවැනි තවත් පරිවර්තනයක් කියවීමට බලාසිටිනවා. ස්තුති...

    ReplyDelete