එතෙර ගතකළ කාලය මෙතෙර හැඩ කළ ලීලය

                  

      ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ සේවයෙහි යෙදුන විද්වතුන් ගණනාවකි. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා ඒ අතරින් ප්‍රමුඛ ය. මේ ඒ මහතා තම විදේශ සේවය අලලා 1966 නොවැම්බර් 26 දින නවයුගය සඟරාවට සැපයූ ලිපියකින් උපුටා ගැනුන කොටස් කිහිපයකි. 

                      


මම රුසියාවේ තානාපති ලෙස පත්ව ගියෙමි. ලෝකයේ මෙතෙක් ජීවත් වූ ඉතාමත් විශ්මය ජනක පාලකයින් කීපදෙනාගෙන් එක් අයෙකු ලෙස බොහෝ දෙනා පිළිගන්නා කෘෂප් මහතා එවකට රුසියාවේ අග්‍රාමාත්‍ය ධූරය දරමින් සිටියේ ය. කලින් ද ඔහු ගැන විවිධ තොරතුරු අසා දැන සිටි මට එහි ගිය පසු ඒ කතාවල නිරවද්‍යතාවය මැනවින් පැහැදිලි විය. ඇත්ත වශයෙන් කෘෂප් නැතිනම් කෘෂව් පුදුම මාදිලියේ පුද්ගලයෙකි. ලෝකයේ ප්‍රබලතම කඳවුරු දෙකින් එකක අධිපති ධූරය දැරීම සඳහා පාසලේ 4 වැනි පංතිය පමණක් සාමාර්ථය ලත් අයෙකු තෝරා ගැනීම මවිතයට කරුණක් වුව ද රුසියානු පාලක මණ්ඩලයට එය නොකර බැරි වූයේ ඔහුගේ දක්ෂතාවය අවිවාදයෙන් පිළිගන්නට සිදු වූ බැවින් ය. කෘෂප්ගේ දක්ෂතාවය මා මැන ගත්තේ විවිධ කරුණු අළලා ඔහු විසින් දේශන පැවැත් වූ සමහර අවස්ථාවන්හිදියි. එක ද ලිපි ගොනුවක් අසළකටවත් කිට්ටු නො කර ඔහු පැය දෙක තුන එක දිගට කතා කළේ කිසිම ඇණහිටීමක් නැතිව ය. එකම කරුණ දෙවරක් සඳහන් නොකර ය. මෙහි රහස මම සෙව්වෙමි. ඔහු යම්කිසි සාකච්ඡාවකට හෝ දෙසුමකට යන්නට කලින් එයට අදාළ සියලුම කරුණු ගැන පැය ගණනක් සූදානම් වීම පුරුද්දක් කරගෙන සිටියේ ය. ලෝකය දසතින් තම අවශ්‍යතාවයට ගැලපෙන කරුණු ගැන සොයා විමසා බැලීම ඔහුගේ සිරිත ය. පුදුමය, මේ තරම් කරුණු කිසි සටහනක් නොමැතිව මතකයට රැස්කර ගැනීමයි. 

රූසියාවේ තානාපති වශයෙන් මට මුහුණ පාන්නට සිදු වූ මුල් ම ගැටළුව ප්‍රතිපත්තියක් වශයෙන් මගේ කිසිම උත්සවයකට මත්පැන් ගාවා නොගැනීමයි. මා හා සම තත්වයේ සිටි වෙනත් විදේශීය තානාපතිවරුන්ට මේ පිළිබඳ ව තත්වය අවබෝධ කර දිය හැකි වුව ද අග්‍රාමාත්‍ය කෘෂප්ට මේ ගැන දැනගන්නට ලැබුණොත් ඔහු මගේ නිල උත්සවය වර්ජනය කරනු ඇද්දැයි යන සැකයක් මා තුළ තිබුණි. කෘෂප් සාමාන්‍යයෙන් එවැනි උත්සව අවස්ථාවන්හිදී හොඳට "ඔඩ්කා" ගන්නා බව ද මම දැන සිටියෙමි. මේ වෙනුවෙන් ම මම දිනක් කෘෂප් හමුවූයෙමි. ඔහුට මම මෙසේ කීවෙමි. මගේ රට බෞද්ධ රටක්, බෞද්ධාගම අනුව මත්පැන් පානය වැරදියි. ප්‍රතිපත්තියක් හැටියට මගේ උත්සවවලට මත්පැන් නො ගැනීමටයි මා තීරණය කරගෙන ඉන්නේ. මා අදහස් කරන්නේ කුමක් දැයි ඔහු එකවර ම වටහා ගත්තේ ය. "හා ඒ ගැන සැක හිතන්නට එපා, මම ඔබේ උත්සවවලට එනවා. අපේ විනිස්සු බොනවා වැඩියි. ඔබ මත්පැන් දෙන්නට එපා. ඔබ මගේ උත්සවවලට එන්නට ඕනෑ. නොබිව්වාට කමක් නෑ." මම ඔහුගේ පිළිතුරෙන් සතුටට පත්වීමි. ඉන්පසු ද ඔහු මගේ උත්සවවලට පැමිණියේ ය. මගේ මත්පැන් නැති උත්සවවලට කෘෂප් එන විට රජයේ වෙනත් නිලධාරීන්ටත් වෙනත් විදේශ තානාපතිවරුන්ටත් ඒවා වර්ජනය කිරීම අපහසු විය. 

ඇමෙරිකාවේ තානාපති ධූරය දරමින් ම කැනඩාවේ ලංකා කොමසාරිස් තනතුර ද දැරීම මට භාර විය. මේ හේතු නිසා ම 1962 ජූලි මාසයේ බ්‍රිතාන්‍යයේ එළිසබත් මව් බිසව කැනඩාවට ගිය අවස්ථාවක ලංකා තානාපති වශයෙන් එතුමිය සමග සාකච්ඡා කරන්නට මට ඉඩ සැලසුණි. එළිසබත් මව් බිසව සාමාන්‍යයෙන් කල්පනාකාරීව කතාබහ කරන්නියකි. ඇය මා ලංකාවේ තානාපති බව දැනගත් වහාම ඇසූ පළමුවැනි ප්‍රශ්නය ඔබ කොළඹ ද? කියායි. කොළඹ නොව කොළඹට නුදුරු පානදුරය නම් පුංචි ගමක බව කීවෙමි. ඒ සමගම පානදුරයේ ඉපදුණු අට දෙනෙක් ම දැනට ලංකාවේ තානාපතිවරු ලෙස සේවය කරන බවත් මම කීවෙමි. එවිට එතුමිය ඇසුවේ පානදුරය මේ තරම් ඉහළ යන්නට හේතුව එහි උසස් විද්‍යාල තිබෙනවා ද යන්නයි. මම ඊට හොඳ පිළිතුරක් දුනිමි. පානදුරයේ මිනිසුන් වැඩිපුර මාළු කන නිසා මොළය වැඩි වී ඇතැයි මා විශ්වාස කරන බව මම කීවෙමි. මා කළ ඉඟිය එතුමියට වැටහී දෝ ඇය සිනාසුනා ය. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයේ වැසියනුත් මාළු කෑමට ප්‍රසිද්ධ ය. 

ඉන් වර්ෂ කීපයකට පසු මම බ්‍රිතාන්‍යයේ ලංකා මහ කොමසාරිස් වශයෙන් පත් වී ආයෙමි. මා බ්‍රිතාන්‍යයේ ලංකා කොමසාරිස් ලෙස පත් වී දින කීපයකට පසු ලන්ඩන් විශ්ව විද්‍යාලයේ විශාල උත්සවයක් පැවැත්වුණි. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ චාන්ස්ලර්වරිය මේ මව් බිසව ය. උත්සවයට එතුමිය ද පැමිණ සිටියා ය. උත්සවයට පැමිණි අමුත්තන් පිළිගැනීමේ කතාවේ දී එම කථිකයා එක් එක් තානාපතිවරයා ගැන කතා කරමින් ගොස් මා ගැන සඳහන් කරමින් මෙසේ කීවේ ය. 

"මලලසේකර මහතාට විශේෂයෙන් සලකන්න හේතු දෙකක් තිබෙනවා. එකක් ඔහු මහා බ්‍රිතාන්‍යෙය් සිටින නවතම විදේශ නියෝජිතයායි. ඊට වඩා වැදගත් තවත් හේතුවක් තිබෙනවා. මලලසේකර මහතා මෙම විශ්ව විද්‍යාලයේ උපාධි හතරක් ම දිනාගත් අයෙක්." 

මේ සිද්ධිය කිියවෙන විට බොහෝ දෙනා අත්පොළසන් දෙන්නට වූයෙන් මම නැගිට හිස නමා ආචාර කළෙමි. උත්සවයේ කටයුතු අවසාන වී මව් බිසව පිටව යන මොහොත වන විට බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය සිරිත අනුව රාජකීයයන්ට විශේෂයෙන් සැලකීම අවශ්‍ය බැවින් තානාපතිවරු සියළුදෙනාම එතුමිය යනතුරු පෙළ ගැසී සිටියහ. මා අසලින් එතුමිය යනවිට මම හිස නමා ආචාර කළෙමි. එවිට එතුමිය මා අසල මොහොතක් නතර වී ඔබට මේ විශ්ව විද්‍යාලයෙන් උපාධි හතරක් ම දිනා ගන්නට පුළුවන් වෙන්නට ඇත්තේ හුඟක් මාළු කෑම නිසා වෙන්නට ඇති යි මට විහිළුවක් කළා ය. වර්ෂයකට පෙර මා කැනඩාවේ දී කී කතාව එතුමියගේ මතකයේ සටහන් වී තිබුණු අයුරු ගැන මම පුදුම වීමි. 

තානාපතිවරයෙතු ලෙස මා වටහා ගත් වැදගත් කරුණු අතර රටටත් නම්බුවක් හා ප්‍රයෝජනයක් වන සේ විදේශ තානාපති ධූරයත් දරන්නට නමි තිබිය යුතු ගුණාංග ද එකකි. විදේශ තානාපතිවරයෙකු ලෙස හොඳින් ජීවත්වන්නට පෙර පළමුවෙන්ම ඕනෑම දෙයක් කන්නට පුළුවන් අයකු වීය යුතුයි. මා මෙසේ කියන්නේ විදේශ තානාපතිවරයෙකුට නිතර නිතර අනෙක් විදේශ නියෝජිතයන්ගේ සම්භාෂණවලට සහභාගි වන්නට සිදුවන බැවිනි. එක් රටක නියෝජිතයෙකුගේ සම්භාෂණයක දී කන්නට සිදුවන දේ නොවේ වෙනත් තානාපතිවරයෙකුගේ උත්සවයක දී කන්නට සිදු වන්නේ.  හොඳට නිදිමරන්නට හැකිවීම ද තානාපතිවරයෙකු ගේ සුදුසුකම්වලින් එකක් වීම අත්‍යවශ්‍යයි. හේතුව? නිතර නිතර අළුයම වනතුරු නිදිමරන්නට හේතු යෙදෙන බැවිනි. ඔහුගේ අඩුවන නින්ද ඊළඟ දවසේ ද අල්ලා ගන්නට හැකි නොවෙයි. තවත්, තානාපතිවරයෙකු තුළ තිබියයුතු විශේෂ ගුණයක් නම් ඕනෑ ම අමිහිරි දෙයකට උනන්දුවෙන් ඇහුම්කන් දීගෙන ඉන්නට පුළුවන් වීමයි. මෙය හැම දෙනාට ම කළ හැකි දෙයක් නොවන නමුත් මේ ගුණය නොතිබුණොත් ඔහුට විදේශ සේවය හරි හැටි ඉටු කරන්නට හැකි නො වේ. හේතුව නිතර ම වාගේ තානාපතිවරයෙකුට තමන්ට කිසිත් වැඩක් නැති කතා හා සාකච්ඡා ආදියට ඇහුම් කන් දෙන්නට සිදුවන බැවිනි. තානාපතිවරයෙකු තුළ තිබිය යුතු හතරවෙනි විශේෂ ගුණය ඕනෑම කෙනෙකු ගැන හොඳ කියන්නට හැකි විමයි. හිතට එකඟව කරන්නක් නො විය හැකි වුවත් මෙය නැතිවම බැරි සුදුසු කමකි. කවුරුන් දොස් කීවත් සිනාසෙන්නට ද විදේශ තානාපතිවරයෙකුට හැකි විය යුතු ය. අවසාන වශයෙන් තමන් කරන කියන දේ ඉතාමත් පරිස්සමින කිරීමට තානාපතිවරයෙකු උනන්දු නොවුනහොත් ඔහුගෙන් නිතර නිතර තම රටට අවැඩක් මිස වැඩක් නොවන බව සඳහන් කළ හැකි ය.  

   

No comments:

Post a Comment