අහලා පුරුදු නැති කතාවක්!
බොහොම ඉස්සර කාලේ ඈත පළාතක තැනින් තැනට, රටින් රටට ගිහින් ඇඳුම් මහලා දෙන ජංගම ඇඳුම් මහන්නෙක් හිටියා. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට යන ඇඳුම් මහන්නෝ ප්‍රවේසම් වෙනවා ඒ පළාතේ චාරිත්‍ර වාරිත්‍රවලට පිටින් යන්නෙ නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න. ඒත් මේ ඇඳුම් මහන්නා ඕනවටත් වඩා මිනිස්සු එක්ක රංචු ගැහෙන්නත්, කිසි හැදියාවක් ශීලාචාරකමක් නැතිව ගැවසෙන්නත්, මත්පැන් පානය කරමින් තැබෑරුම් ගානේ ඇවිදින්නත්, ඒ තැන්වල සේවය කරමින් සිටි කාන්තාවන් අපහාස, අතවර වෙන විදිහට හැසිරෙන්නත් පටන්ගත්තා. ඒ විතරක් නෙමෙයි කම්මල්කාරයෝ, කසල පිරිසිදුකරන්නෝ වාගේ වෙනත් වෘත්තීන්වල යෙදිලා ඉන්න අය ගැන පහත්කරලා කතාකරන්නත් පටන්ගත්තා.
තැබෑරුමේ හිමිකරුවා පොලීසියට පැමිණිළි කළා. පොලීසියෙන් ඇවිල්ලා ඇඳුම් මහන්නා ඇදගෙන ගිහිල්ලා අධිරාජයා ඉදිරියට පැමිනෙව්වා. හිතාගන්න පුළුවන්නේ. උරුමයෙන් ලැබුන රාජ්‍යත්වයේ නීත්‍යනුකූලබව ගැනත් පිරිමින්ගේ උසස්බව ගැන තිබුන විශ්වාසයත් අධිරාජයා උද්දච්ච, බුද්ධි හීන නපුරු පාලකයෙක් බවට පත්කරලා තිබුණා. මේක තේරුම්ගත්ත ඇඳුම් මහන්නා රජාගේ ගතිගුණ තමන්ගේ වාසියට හරවගන්න හිතාගත්තා.
"සදහටම මගේ රටෙන් පිටුවහල් කරන්න පෙර නුඹට කියන්න යමක් තියනවද?" අධිරාජයා ඇහුවා.
"ඔබතුමා වෙනුවෙන් නව රාජකීය ඇඳුමක් නිර්මාණය කරන්න අවසර දෙන්න කියලා ඉල්ලනවා. මම ගෙනල්ලා තියනවා විශේෂ සළුවක්. ඒක කොයිතරම් සියුම් ද කියනව නම් මේක පේන්නේ සුවිශේෂ පුද්ගලයන් කොටසකට විතරයි. ඒ කියන්නේ රාජ්‍ය පාලනය කරන විට ඔබ වටේ තබාගැනීමට ඔබ කැමති වර්ගයේ අයට; නිවැරදි දේශපාලන අදහස් තියන, සදාචාරාත්මකව යහපත් ලෙස හැසිරෙන, දුම්බීම, මත්පැන් පානය, වනචර කතන්දර කියලා සිනා නැගීම, අධික ලෙස රූපවාහිනිය නැරඹීම, බටහිර සිංදු ඇහීම, මස් පුච්චා කෑම කරන්නැති මිනිසුන්."
මොහොතක් කල්පනා කරපු අධිරාජයා ඒ ඉල්ලීමට ඉඩ දෙන්න කැමති උනා. අධිරාජ්‍යයත් එහි වැසියනුත් ඉන්නේ තමන්ට යහපතක් සලසන්න කියන ෆැසිස්ට්, මාන්නාධික අදහසින් ඔහු මත්වෙලයි හිටියේ. ජයග්‍රහණයකින් රැජිණක් අත්පත් කරගත්තහම ඇතිවන හැඟීම ලක්ෂවාරයකින් වැඩිකරාම ඇතිවන මානසික මට්ටමකිනුයි ඔහු හිටියේ.
ඇත්තටම එහෙම දුර්ලභ ගනයේ සළු වර්ගයක් තිබුනේ නෑ. අවුරුදු ගණනාවක්ම සාමාන්‍ය සමාජයේ සිරිත් විරිත්වලට පිටින් ඉඳලා තමන්ටම ආවේනික උන සාරධර්ම මාලාවක් හදාගෙන හිටපු ඇඳුම් මහන්නාට අවශ්‍ය උනේ රජ්ජුරුවො රවටලා රට වටා හිටපු ස්වාධීන කලාශිල්පීන්ගේ නාමයෙන් ඔහුව ලැජ්ජාවට පත්කරන්න. ඇත්තටම භෞතික ලෝකයේ නොපැවතුන සළුවක් කාර්යශූර විදියට දැඩි මහන්සියකින් කපලා මහන බව රජ්ජුරුවන්ට පෙන්වලා ඒත්තුගන්වන්න ඔහුට පුළුවන් උනා.
ඇඳුම් මහන්නා තමා අළුත් ඇඳුම මහලා ඉවර බව කිව්වට පස්සේ රජ්ජුරුවෝ කැඩපත ඉස්සරහට ගිහිල්ලා ඒක ඇඳලා හැඩ බැලුවා. අධිරාජයා ඉපදුන දවසේ වගේ උපන් ඇඳුමෙන් හිටගෙන ඉන්නකොට කාට උනත් පේන්න තිබුනා දුප්පත් ගොවියන්ගෙන් සූරාගත්තු ධනය කොහොමද ඔහුගේ සිරුර තරබාරු, එල්ලා වැටෙන සුදුමැලි මස් ගොඩක් බවට පත්කරලා තිබුනේ කියලා. අධිරාජයාටත් ඒක පේන්න තිබුණත් ඔහු බොරුවට ඇඟෙව්වා මේ නිවැරදි දේශපාලනයක් තියන අයට විතරක් දකින්නට හැකි සළුවකින් මහපු මේ ලස්සන ඇඳුම ඔහුට පෙනෙන බවට. ඔහුට අළුතෙන් ලැබුන මේ තේජමානබව ප්‍රදර්ශණය කිරීම සඳහා පහුවදාම පෙරහැරක් පවත්වන්න ඔහු නියෝග කළා.
පසුදින උදයේ යටත්වැසියො පාර දෙපස රැස්වෙලා හිටියේ මේ මහා පෙරහැර නැරඹීමේ අදහසින්. අධිරාජයාගේ නව ඇඳුම දකින්න පුළුවන් සදාචාරාත්මකව ජීවත්වෙන, බුද්ධිමත් අයට විතරයි කියන පුවත මේ වෙනකොට හැමතැනම පැතිරිලයි තිබුනේ. හැම කෙනෙක්ම තමන් ලඟ හිටගෙන ඉන්න කෙනාට වැඩිය බුද්ධිමත් කෙනෙක් කියලා පෙනීසිටින්න අධිෂ්ඨාන කරගෙනයි හිටියේ.
අතිඋත්කර්ෂවත් විදියට පෙරහැර ඇරඹුනා. අධිරාජයා තම සුදුමැලි වී ඉදිමුණු, පුරුෂ අභිමානයෙන් පිරුන මළකඳක් වන් තම ශරීරය වීදිය දිගේ ප්‍රදර්ශණය කරමින් යනවිට රැස්වෙලා හිටපු හැමෝටම මහ හයියෙන් ඌහ්! ආහ්! ගෑවුනා අධිරාජයාගේ අළුත් ඇඳුමේ ලස්සන දරාගන්න බැරිව. හැමෝම කිව්වට එක පිරිමි ළමයෙක් හැරෙන්නට. මේ ළමයා මහ හයියෙන් කෑගැසුවා.
"රජතුමා අමු හෙළුවෙන්!"
පෙරහැර නැවතුනා. අධිරාජයත් නැවතුනා. මෙච්චර වෙලා වටෙන් පිටෙන් නැගිච්ච සද්ද සේරම නතරවෙලා මුළු පළාතම නිශ්ශබ්දතාවයෙන් පිරුනා. ඒත් එක්කම ඉක්මනින් හිතලා තීරණ ගැනීමේ හැකියාම තිබුන බුද්ධිමත් ගැමියෙක් එක් වරම කෑගැසුවා.
"නෑ. හෙළුවෙන් ඉන්නවා නෙමෙයි. රජතුමා ඇඳුම්වලට විකල්ප ජීවන රටාවක් හඳුන්වලා දීලා තියෙන්නේ."
රැස්වෙලා හිටපු සෙනඟ අතරෙන් මහා ප්‍රීති ඝෝෂාවක් පැනනැගුනා. හැමෝම ඇඳුම් ගලවා විසිකරමින් සොබාදහම දායාද කරපු විදිහටම එළිමහනේ නටන්න පටන්ගත්තා. එදා ඉඳලා මුළු රටම අධිරාජයා හඳුන්වා දුන්න විකල්ප ජීවන රටාවට අනුගත උන නිසා ඇඳුම මහන්නාට ආදායම් මාර්ගයක් නැතිව ගියා. ඇඳුම් මහන්නා තමන්ගේ ඉදිකටු, නූල්, කතුරු වගේ උපකරණ ටිකත් පොදිබැඳගෙන යන්න ගියා. ආයෙ කවදාවත් ඒ ඇඳුම් මහන්නා ගැන කාටවත් ආරංචියක් අහන්න ලැබුනෙ නෑ.
මේ කතාව උපුටාගත්තේ ජේම්ස් ෆින් ගාර්නර්ගේ Politically Correct Bedtime Stories නම් කෘතියෙන්.
හුම්. අහල තිව්න කතාවට වඩා වෙනස් විදිහෙ කතාවක්.
ReplyDeleteකියවෙන අදහස මරු!
හ්ම්...රජා විතරක් නෙමෙයි රටවැසියොත් හෙලුවෙන්. ඒක නං නියමෙට අපට ගැලපෙනවා. හෙහ්,හෙහ්..👌😁
ReplyDelete