අහස නිල් පාටයි

 

    "මා සිටින්නේ බිර්සීට් සිට රමල්ලා වෙත යන අතරමග සුර්දා ඊශ්රායල් හමුදා මුරපොලෙහි ය. බස්රථය කොතරම් වේලාවක් මෙතැන රඳවාගෙන සිටීදැයි කවුරුත් දන්නේ නැත. හමුදා ජීප්රථයක් පාර හරස් වන ලෙස නවතා ඇත. තවත් ජීප්රථයක සිටින හමුදා භටයින් පිරිසක් තුවක්කු අතැතිව බලා සිටිති. ඔවුන් සිටින්නේ වෙඩි තැබීමට සුදානමිනි. වාහන නැවැත්වීමට අණකරන සංඥා පුවරුව අසල ටයර් සිදුරු කළ හැකි බාධකයක් දමා තිබේ. බස් රථයේ ඉදිරි අසුනේ වාඩිවීමට මා ගත් තීරණය දැන් මට දැනෙන්නේ මෝඩකමක් ලෙස ය. 

 බස්රථයේ කවුළුව තුළින් මාර්ග බාධකය පෙනෙන්නේ  දුර සිටින මගේ පෑනේ මිතුරන්ට යවන්නට සුදුසු පින්තූර තැපැල්පතක ස්වරූපයෙනි. ඔවුහු මගේ ජීවිතයේ දවසක් විස්තර කරන ලෙස ඉල්ලා සිටිති. එහෙත් එසේ තිරීමට තරම් ධෛර්යයක් මට නැත. බිම් බෝම්බයක් මෙන් මගේ පා යට සැඟව තිබෙන භීතිය ගැන මා ඔවුන්ට කිව්වොත්  ඔවුන් ආපසු මා වෙත පිළිතුරු එවනු ඇත්ද? 

එක් සොල්දාදුවෙක් බස් රථයට ගොඩවැදෙයි. ඔහු ඉහලම පඩිය මත සිටගනියි. අව්කණ්ණාඩියකින් වැසී ඇති ඔහුගේ දෑස් මැදියම් රැයෙහි අන්ධකාරය මෙනි. "කොහාටද?" ඔහු ප්‍රශ්නය ගලක් මෙන් දමා ගසයි. ඉබ්බෙකු මෙන් මම මගේ හිස සිරුර වෙත හකුළුවා ගමි. මට ඔහු නොපෙනේ නම් ඔහුට ද මා නොපෙනෙනු ඇත. 

ඔහු නැවතත් අසයි. මා නිහඬව සිටිමි. රයිෆලයක්, පිස්තෝලයක්, මුගුරක්, හෙල්මටයක් හා උස් බූට් සපත්තු යුගලයක් සමග පෙනී සිටින සොල්දාදුවෙකුට මා වැනි උසස් පාඨශාලාවක ඉගෙනගන්නා දැරියකගේ පෙනෙන්නට තරම් දෙයක්, අවධානය යොමුවෙන්නට තරම් දෙයක් ඇතැයි මට නොසිතෙයි. ඔහු කතාකරනවා ඇත්තේ මා පිටුපසින් සිටින පුද්ගලයා සමග විය හැකි ය. එහෙත් ඔහු ඉදිරියට නැඹුරු වී වඩාත් සමීප වෙයි. ඔහුගේ කාකි නිල ඇඳුම හා රයිෆලයේ පිටපැත්ත මගේ දණහිසෙහි වදියි. මගේ මාංශ පේශි ගල්ගැසෙයි. 

"කොහාටද?" ඔහු මගේ මුහුණ වෙතම නැඹුරු වෙයි. බසයේ සිටින සියළුම දෙනා නොසන්සුන් නිහඬබවින් මට අනින්නාක් මෙන් මට දැනෙයි. 

"රමල්ලා." මම ගොතගසමි.

"රමල්ලා?" ඔහු විශ්මයට පත් වූවාක් මෙන් යළිත් එයම කියවයි. "කලාස්, මේ ෆීෂ් රමල්ලා. කුල්හා රහාට්." ඔහු කැඩුණු අරාබි බසින් කියයි. වචන උච්චාරණය කෙරෙන්නේ ඒවා තැලී, පොඩිවී නිල්වන තුරු පහරකෑමට ලක්වූවාක් මෙන් තේරුම්ගැනීමට අපහසු ආකාරයට ය. එහෙත් මම තේරුම උකහා ගනිමි. "රමල්ලා කියලා එකක් දැන් නෑ. මෙලහටත් ඒක ඉවරවෙලා තියෙන්න ඕනෑ." 

මම හමුදා භටයාගේ ඇස්දෙකට එබෙන්නට උත්සාහ කරමි. එහෙත් ඔහුගේ අව්කණ්ණාඩි මගේ බැල්මට හරස්කපන පවුරකි. රමල්ලා ගැන ඔහු කියූ වචනවලට වඩා වැඩි යමක් ඔහුගේ මුහුණින් කියවාගන්නට මම උත්සාහ කරමි. ඔහු අදහස් කරන්නේ කුමක්ද? සියළුම ගෙවල් බුල්ඩෝසර් කර ඇත්ද? එහි සිටි මිනිසුන්? මගේ පියා හා පවුලේ උදවිය, මට ඔවුන් සොයාගත හැකි වේවිද? ඔවුහු මා එනතෙක් බලාසිටිනු ඇත්ද? බය මගේ සිත තුළ කුණාටුවක් අවුලුවයි. දහසකුත් ප්‍රශ්න මගේ සිත තුළ හඬ නගයි. රමල්ලා සිට බිර්සීට් බලායන්නට මා බසයට නැග පැයක්වත් ගතවී නැත. මම දැන් ආපසු එමින් සිටිමි. පැයකටත් අඩු කාලයක් තුළදී සියල්ල අතුරුදන් වන්නේ කෙසේද? මට කුමක් හෝ දෙයක් වැරදී ඇතුවා විය යුතුය. සමහරවිට මට නිවැරදිව සිතන්නට, මගේ ලෝකය තේරුම්ගන්නට ඇති නොහැකියාව වන්නට පුළුවන. පසුපස අසුනක සැඟව සිටිය යුතුව තිබියදී ඉදිරියේම අසුනක ඉඳගන්නට තෝරාගතිමි. ඉදිරිපස අසුන කෙනෙකුට වඩාත් හොඳින් ඉදිරියෙහි සිදුවන දේ පෙන්වන බව මා දැනගතයුතුව තිබුණි. 

මට මගේ මුව විවර කොට මගේ හැඟීම් ඈත පෙදෙස් වෙත නැවත නොඑන්නටම ඉගිල යන කුරුල්ලන් සේ නිදහස් කරන්නට අවශ්‍ය ය. සොල්දාදුවා බසයෙන් බැස යනතෙක් මම බලා සිටිමි. එහෙත් ඔහු එසේ නොකරයි. 

අප ගණන් කරන ඔහු රේඩියෝවක් එළියට ගෙන කතා තරයි. මට එය නොතේරෙයි. ඒ ගැන මම සතුටට පත්වෙමි. මා ගැන නැත්නම් බස්රථය ගැන ඔහු කියන දේ හෝ ඔහු කරන්නට සැරසෙන දෙය ගැන හෝ මට දැනගන්නට අවශ්‍ය නැත. 

ඔහු යළිත් අරාබි බසින් කතාකරමින් රියදුරුගේ හැඳුනුම්පත රැගෙන අප සියළු දෙන එනම් මහලු අය, තරුණ අය, මව්වරු, ශිෂ්‍යයන් යන සැමදෙනම හමුදා පාලන මධ්‍යස්ථානයට ප්‍රවාහනය කරන ලෙස කියා සිටියි. ඔහු අදහස් කරන්නේ රමල්ලා යන අතරමග ඇති බන්ධනාගාර-උසාවි හමුදා සංකීර්ණයයි. එය තිබෙන තැන මම දනිමි.  ගුප්තබවින් වෙලුනු දරුණු ශාපයක් මෙන් දැවැන්ත ලෙස එය එතැන ලැග සිටියි. විනාඩි දහයකින් අපගේ බස්රථය එතැනට ලඟාවනු ඇත.

සංකීර්ණයට ඇතුළුවන දොරටුව අසල වෙනත්  හමුදාභට පිරිසක් අප එනතුරු බලා සිටිති. ඉන් එක්  අයෙක්  රියැදුරුගේ කවුළුව අසලට ගොස් මගීන් බස්වා බස්රථය ආපසු හරවාගෙන යන ලෙස කියා සිටියි. රියැදුරා අපගෙන් සමාව අයදියි. ඔහුට දෙන ලද නියෝගය නොවුනේ නම් කොපමණ වේලාවක්  බලාසිටීමට සිදුඋනත් ඔහු අප එනතෙක් නැවතී සිටින බව කියා සිටියි. රමල්ලාවලට ගොස් එය සැබැවින්ම විනාශ වී ඇත්දැයි දැනගන්නා විට තනිව සිටීමට සිදුවීම ගැන ඔහුගේ සිත තුළ බයක් වේදැයි මගේ සිතෙහි කුහුලක් පැනනගියි.

"ටිකක් ඉන්න, මම බස් ගාස්තුව ආපසු දෙන්නම්." ඔහු කියයි. 

එහෙත් කිසිවෙකුටත් නැවතී බලාසිටීමට නොහැක. "යල්ලා! යල්ලා!" හමුදාභටයෙක් මොරදෙයි. "ඉක්මන් කරන්න!"

දෙවන වරටත් කරන ලද ගණන් කිරීමකින් පසුව අප වෙත එල්ල කෙරුනු තුවක්කුවලට ඉදිරියෙන් පේළියක් සැදී රඳවා තබාගන්නා අංගනය වෙත යන අපි ප්‍රධාන ‍දොරටුවට මුහුණ ලා පිහිටි තාප්පයකට පිටදී සිටගෙන සිටිමු. සංකීර්ණය බොහෝ කළකට පෙර මියගිය සත්ත්වයෙකුගේ මළකඳක් මෙන් දැනෙයි. බාහිර පෙනුමින් එය අප්‍රසන්න, ඇට කැබලිවලින් සැදුනාක් මෙන් පීඩාකාරී පෙනුමක් ගෙනදෙයි. 

අපි අපගේ හැඳුනුම්පත් එළියට ගනිමු. හමුදාභටයින් දෙදෙනෙකු ඒවා එකතුකර ගන්නේ මීට පෙර අවස්ථාවලදී අප හමුදාව සමග ගැටුම්වලට මැදිවී ඇත්ද යන්න දැනගැනීම සඳහා ය. අපගේ හැඳුනුම්පත් අප ගැන තොරතුරු සපයයි. අප පලස්තීනුවන් බව හඟවන තැඹිළි පැහැති කවරවලින් යුත් ඒවා දොඩම් ලෙලි මෙන් මේසය මත ගොඩගැසෙයි. 

ඝනකමැති පොත් අතින් ගත් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ඉක්මනින්ම කණ්ඩාය‍මෙන් වෙන්කර ගැනෙති. විශ්වවිද්‍යාලයට යාමේ මගේ සිහිනය බියකරු දෙයක් ලෙස මොහොතකට දැනෙයි. "අත් ඔසවනු", අයෙක් කියනු ඇසෙයි. සොල්දාදුවන් දෙදෙනාගෙන් අයෙකු තමන්ට අවශ්‍ය මිනිසුන් තෝරාගෙන ඔවුන්ගේ බෑග්, සාක්කු හා සිරුරු පරීක්ෂා කිරීමෙහි යෙදෙයි. ඔහු ගැහැණු ළමයින් හා කාන්තාවන් අතහරියි. මා ළඟ සිටගෙන සිටි ගැටවර වියෙහි වන පිරිමි ළමයෙකු පරීක්ෂා කරන්නට ඔහු අත් ඔසවන තුරු සියල්ල සන්සුන් ය. 

හමුදා භටයා ඔහු ස්පර්ශ කරන්නටත් පෙර පිරිමි ළමයාගේ මුවින් සිනහවක් පුපුරා යයි. නොසන්සුන් නිහඬතාව බිඳ දමන ශබ්දය කම්පනයක් ඇතිකරන සුළු ය. මුලින් හීන් හඬින් නැගෙන සිනහව පසුව කෙතරම් ඉහල නැගෙන්නේ ද යත් අංගනයෙන් පිටත සිටින සොල්දාදුවන්ට පවා එය ඇසී බලන්නට එති. ළමයාගේ හැඟීම් විරහිත සිනහව පීඩිත, වෙව්ලුම් ස්වරයක් ගනියි. ඔහු විඳින්නේ කුමක්දැයි මට වැටහේ. ඔහුට අවශ්‍ය හඬන්නට ය. උවමනාව එය වුවත්, හමුදා භටයින් හා තුවක්කු මැද වුවත් ඔහුට කළහැක්කේ සිනහවීම පමණකි. 

 පරීක්ෂා කිරීමට පැමිණි හමුදා භටයා කෝපාවිෂ්ටව පිරිමි ළමයාට පහරක් එල්ල කරයි. එහෙත් වත්කරන දෙය රඳවාගත නොහැකි බිඳුන බඳුනක් මෙන් ඔහු දිගටම සිනහ නගයි. ළමයාගේ සිනහව බේරීයාම සඳහා කොයි අත යායුතුදැයි නොදැන එහා මෙහා දුවන මීයෙකු මෙන් උස්පහත් වෙමින් ඇසෙයි. එහෙත් අවසානයේ හමුදා භටයාගේ බූට් සපත්තුවෙන් දණහිසට වැදුන පා පහර ළමයා හඬවන්නට සමත් වෙයි. වේදනාවෙන් හැකිලී නැමීගිය ඔහු ගොඩනැගිල්ල තුළට ගෙනයනු ලබයි.

අපි ගස් මෙන් සිටගෙන සිටිමු - කතාවක් නැත, එකිනෙකා දෙස බැලීමක් නැත, ප්‍රශ්න කිරීමක් නැත, වතුර බොන්නට, වැසිකිළියට යන්නට ඉල්ලන්නේ නැත, ඉඳගන්නේ හෝ ඇනතියාගෙන සිටින්නේ නැත. අප බලාසිටින්නේ කුමක් සඳහා ද අප බලාසිටින කරුණ කුමක් ද යන්න අපි නොදනිමු. 

අංගනය හරහා එහා මෙහා යන, ගොඩනැගිල්ලෙන් ඇතුළුවන පිටවන බූට් සපත්තුවල හඬින් මැනෙන කාලය දිගින් දිගට ඇදී ක්ෂණිකව කැඩී සමෙහි වදින රබර් පටි මෙනි. 

මගේ ඇස යොමුවන්නේ දොරටුව අසල ඉඳගෙන සිටින අපගේ ප්‍රධාන රැකවල්කරු වෙත ය. මේ දැන් උරා අවසන් කළ සිගරැට්ටුවේ නිවෙමින් තිබෙන ගිණි පුළිඟුවලින් තවත් සිගරැට්ටුවක් පත්තුකරගන්නා ඔහු ගින්නෙහි රසයෙන් පපුව පුරවාගෙන පිම්ඹුන ගෙම්බෙකු මෙන් කම්මුල් පුම්බා දුර බලන කණ්ණාඩි මෙන් විශාල වෙමින් යන දුම් වළලු පිටකරමින් ඒ දුම් පටල තුළින් අප දෙසට නෙත් යොමයි. ඔහු අප දෙස බලන්නේ ඔහු බාරයේ තබා තිබෙන සූට්කේස් සමූහයක් දෙස බලන්නාක් මෙනි.

පෑනක් හා කොලයක් එළියට ගතහැකි දැයි ඔහුගෙන් අසන්නට මට අවශ්‍ය ය. එසේ ඉඩ ලැබුනහොත් මට දැනෙන හැඟීම් සියල්ල එළියට දැමිය හැකි ය. මට දැනෙමින් තිබෙන කුසගින්න අමතක කළ හැකි ය. මට අද දවසටම කිසිදු ආහාරයක් ගැනීමට ඉඩ ලැබුනේ නැත. ඇත්තටම රමල්ලා විනාශ වී නැත්නම් අම්මාගේ කේන්තියෙන් මිදෙන්නට උවමනා විස්තර ලියාගත හැකි ය. එහෙත් මගේ සිතෙහි කොනක අසන්නට එපා, වැරදි දෙය කරන්න එපා යයි අනතුරු අඟවන ඇඟිල්ලක් දිගු වී වැනෙයි. එය හරියටම ප්‍රමාද නොවී ගෙදර එන්න යයි කියන අම්මාගේ ඇඟිල්ල මෙනි. එහෙත් මා දැනටමත් පැය ගණනක් ප්‍රමාද ය." 

                                                    * * *

උතුරු නැගෙනහිරත් දකුණේත් භීෂණය රජයූ යුගයේ අප හැම මුහුණ දුන් පොදු අත්දැකීමකි, චෙක්පොයින්ටි නමින් හැඳින්වූ හමුදා හා පොලිස් මුරපොලවල්. දකුණේ අප වඩාත් භීතියට පත්කළේ දකුණේ භීෂණය නිසා ඉදිවූ චෙක්පොයින්ට් ය. මේ පරීක්ෂාවෙන් ආරක්ෂාවන්නට ආර්. ප්‍රේමදාස මහතාගේ නවකතා පොතක් බෑගයේ දමාගෙන ගමන් බිමන් ගිය මාගේ ඥාති හිතමිත්‍රාදීන් ගැන මට තවමත් මතක ය. ලෝකයේ කොයි රටේ කොයි ප්‍රදේශයේ සිදුවුවත් මේ අත්දැකීමට මුහුණදෙන්නන්ගේ සිත් තුළ උපදින්නේ එක හා සමාන හැඟීම් බව මේ සටහන කියවන විට හැඟී යයි. මෙහි විස්තර කෙරෙන්නේ ඊශ්රායල් හමුදා මුරපොලකදී පරීක්ෂාවට බඳුන්වන බස්රථයක සිටින පාසැල් යුවතියකගේ අත්දැකීමකි. උපුටාගත්තේ Ibtisam Barakat නම් පලස්තීන ලේඛිකාවගේ Tasting the Sky නම් කෘතියෙනි. මෙහි විස්තර කෙරෙන්නේ වත්මන් යුගයේ සිදුවීමක් නොව එක්දහස් නමසිය හැට ගණන්වල අග භාගයේ මේ ලේඛිකාව මුහුණ දුන් අත්දැකීමක් බව ද සටහන් කළ යුතු ය. 


No comments:

Post a Comment