සිකුරු තරුව පායන කං....

 


වසර ගණනාවකට වරක් පායා චමත්කාරය දනවා නැවතත් නොපෙනී යන වල්ගා තාරුකා මෙන් අප සමාජයෙන්ම මතුවී බැබලී නැවත එහිම ගිලී යන චරිත වරින් වර අපට හමුවෙයි. මේ දිනවල කිසිදු භේදයකින් තොරව සමාජයේ සියළුම දෙනාට චමත්කාරය බෙදා දෙන චරිතයක් මතුව තිබෙයි.

මේ චමත්කාරය වැඩියෙන් දැනීමට හේතු වී ඇත්තේ රටේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් බැබලෙන තරුවක් වීමයි. ඔබ මේ වන විටත් නිවැරදිව අනුමාන කරන්නට ඇති පරිදි ඒ නව යොවුන් ශිෂ්‍යාවක වන සුක්රා මුනව්වර්ය. ඇයගේ ජනප්‍රියත්වයට පෞද්ගලික දක්ෂතාව හැරෙන්නට තවත් කරුණු දෙකක් හේතු වන්නට ඇතැයි සිතේ. එකක් නම් ඇය තම ප්‍රජාවගේ නියෝජනයක් සේ සලකන මුස්ලිම් ජනතාව අතර ඇයගේ ජනප්‍රියත්වයයි. එහෙත් ඇය වඩාත් ආදරයට හා ගෞරවයට පාත්‍ර වූයේ සිංහල ප්‍රජාව අතරය. ඊට හේතුව මුස්ලිම් ප්‍රජාව සිංහල ජනතාව අතර සිටිය යුතු යයි සිංහල බහුතරය විසින් ඇතිකර ගෙන ඇති ප්‍රතිරූපයට ඇය නිසැකවම ගැලපීමයි. කෝවිඩ් ආදාහනය නිසා බෙදී සිටි සිංහල, මුස්ලිම් ප්‍රජාවන් මොහොතකට හෝ එකතු කිරීමට මේ සිදුවීමට හැකිවිය.

මුස්ලිම් ජනතාවට මෙය සුවිශේෂී වන්නේ පීඩනයට ලක්වීමේ මානසිකත්වයෙන් මිදීමට කවුලුවක් විවර වූ නිසාය. එහෙත් සැමදා සැමට මේ අවස්ථාව විවර වන්නේ නැත. එවිට සිදුවන්නේ කුමක්ද? සුක්රාගේ සිදුවීම අරමුණ ලෙස ගත්තේ මෙතැනට එන්නටය. මේ ප්‍රශ්නයට පිළිතුරක් සේ ගතහැකි ලිපියක් මා විසින් ලියන ලදුව 2019-07-14 දින රාවය පුවත්පතේ පළවිය. ශ්‍රී ලාංකික සමාජය සුක්රාට ලබාදුන් පිළිගැනීම පසුබිමෙහි තබාගෙන එම ලිපිය යළි කියවීම සුදුසු යයි සිතෙන බැවින් එය මෙහි යළි ඉදිරිපත් කරමි.

                                          යෝකර් පන්දුවෙන් දවාලූ ද්වේශයේ කඩුල්ල

ෆුනෙකෝ පුහුණු කරුවෙකු ලෙස
(ඡායාරූපය - IOL Sports වෙතින්)


පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී මාස දෙකකට වැඩි කලක් ගතවී ඇත. ආරක්ෂක අංශ විසින් සිදු කරන අත් අඩංගුවට ගැනීමේ වේගය අඩුවී ඇති අතර සිංහල බෞද්ධ සමාජය විසින් මුස්ලිම් සමාජය වෙත නියම කර ඇති දඬුවම් ගල් උහා තියන මට්ටම දක්වාම තීව්ර වී ඇත. සැබැවින්ම විසඳුම එයද? මේ විසඳුම මුස්ලිම් සමාජයට, විශේෂයෙන්, මුස්ලිම් සමාජයේ තරුණ පෙළට දැනෙන්නේ කෙසේද? මෙම කරුණ පිලිබඳව ආලෝකය දැල්විය හැකි ලිපියක් පසුගිය දිනක ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙබ් අඩවියක් වන www.thecricketmonthly.com හි පළවී තිබිණි. සිද්ධාර්ත් මොන්ගා විසින් ලියන ලද එම ලිපියෙන් අවධානය යොමුකර තිබුනේ වර්ණභේදවාදය අත්විඳි කලු ජාතික තරුණයෙකු දකුණු ප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම දක්වා පැමිණි ගමනයි. කලු ජාතිකයන් දකුණු අප්‍රිකාවේ මහ ජාතිය වුවත් වර්ණභේදවාදය නිසා සුලු ජාතික සැලකුම් ලද ජාතියකි. “මහ ජාතිකසුද්දන්ගේ වර්ණභේදවාදී පීඩනය කලු ජාතික තරුණ මනසට දැනුන අයුරු හා ක්‍රීඩාව තුළින් තරුණ මනසක ඇතිවූ පෙරළිය දැක්වෙන එම ලිපිය ඇසුරෙන් අප ඇතිකරගත යුතු ආකල්පමය වෙනස පිලිබඳව සාකච්ඡා කිරීම වැදගත් යයි සිතමි.

ලිපියේ මාතෘකාව සිංහලට පෙරළූවිට මෙසේය.

පන්දුව අතට ලැබුනහම මට ඕන උනේ කාවහරි මරන්න.”

මෙසේ කියන්නේ 2000-2001 වසරවල දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට වේග පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කල ෆුනෙකො එන්ගම් (Mfuneko Ngam) .

මේ ආවේගය ඔහුට ලැබුනේ කොහොමද? අපි ඔහුට සවන් දෙමු.

කලු ජාතිකයෙක්, කලු තරුණයෙක් උනහම හරිම අමාරුයි. නිකං පාරෙ ඇවිදගෙන යන එකත් ලේසි නෑ. පාස් එකක් අරන් යන්න ඕනැ. දවස් මට තාම මතකයි. පාරෙ ඇවිදගෙන ගියත් පොලිස්කාරයො පස්සෙන් එනවා, කිසිම හේතුවක් නැතිව අත්අඩංගුවට ගන්නවා.”

මෙලෙස එල්ලවන පීඩනයට දැක්වෙන ප්‍රතික්‍රියාව කෙසේ වී දැයි බලන්න.

ළමයින් විනෝදයක් ලැබුවේ, කලු මිනිසුන් පොලවේ අඩි හප්පමින්, සටන්පාඨ කියමින් පොලීසියට තර්ජනාත්මකව කරන විරෝධාකල්ප ගීත හා නැටුම් සම්ප්‍රදායක් වූටොයි-ටොයිවලට සහභාගි වෙමිනි. ඔවුන්ට මිනිසුන් ලෙස නොසැලකූ යුගයක ටික වෙලාවකට හෝ යම් මානුෂික නිදහසක් දිනාගැනීම සඳහා එක්ව සිටීම අවශ්‍ය විය.”

ළමයි හැටියට අපට ඒක විනෝදයට කාරණයක් විතරයි. වාහන හරවල යවන එක වගේ වැඩ බලා ඉඳීමෙන් සතුටක් ලැබුවා, ද්‍යෝගයක් ලැබුවා. මිනිස්සුටොයි-ටොයිකරද්දී අපිත් ගිහින් එකතු උනා.”

ඉතාමත් අමානුෂික වූ වර්ණභේදවාදයට එරෙහි අරගලයට ක්‍රියාකාරීව සහභාගිවීම බලාපොරොත්තු වියයුතු දෙයක් නමුදු මෙහිදී වැදගත් වන්නේ ගැටවර වියට එළඹෙන අය ඊට එකතුවීමට පෙළඹුන කරුණයි. එනම් මොහොතේ ඇතිවන ත්‍රාසය තුළින් මතුවන විනෝදයට දක්වන ලැදියාවයි. ක්ෂණිකව ලැබෙන තෘප්තිය වෙනුවෙන් අනවබෝධයෙන් කරන අනුකරණයයි. අන්තවාදී ව්‍යාපාරයකට හෝ සමාජ විරෝධී ව්‍යාපාරයකට හෝ වුවද මෙම කරුණ පොදු වේ. දකුණු ප්‍රිකාවේ කලු ජනතාව පෙලූ දරිද්‍රතාව දෙස බැලීමේදී කලු ජාතික තරුණයන් එවැනි ඉරණමකට ගොදුරුවීමට තිබූ ඉඩකඩ බොහෝය. එහෙත් එන්ගම් නම් ක්‍රීඩකයාගේ ඉරණම ඊට වඩා වෙනස් මගකට යොමුවිය. එසේ වූයේ කෙසේද? අපි නැවතත් ඔහුගේ කතාවට සවන් දෙමු.

මම හැදුනෙ තාත්තා අම්මට නොනිසි විදියට සලකපු පවුලක. සමහරවිට, මම උදේම නැගිටලා දුවන්න ගියේ, ජොගිං කරන්න ගියේ නිසා වෙන්න ඇති. ගෙදර තිබුන පීඩනයෙන් මිදිල හිත හදා ගන්න. මම වැඩුණේ තරහත් එක්කමයි. ඒත් අනිත් මිනිස්සුන්ට ඒක තේරුණේ නෑ. මට හිතෙන්නෙ මට පුළුවන් උනා මගේ කෝපය ධනාත්මක දෙයකට යොමු කරන්න: වේගයෙන් පන්දු යැවීමට. පන්දුව මගෙ අතේ තිබුන හැම වෙලාවෙම මට ඕන උනේ කාවහරි මරන්න. මට ඕන උනා හැකිතාක් වේගයෙන් පන්දු යවන්න. මම කෝපය පිටකරගත්තෙ එහෙමයි. මට දැනුනා තරහ නැතිවෙලා යනවා.”

එන්ගම්ට පන්දු යැවීම පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලැබීමත් සමග එය පිතිකරුවන්ට පන්දුව ප්‍රහාරාත්මක එල්ල කිරීම දක්වා වෙනස් විය. එහෙත්, පිතිකරුවන්ට අනතුරක් කිරීමට නොව එමගින් ඔවුන්ගේ පාද චලනය වළක්වා ඉන්පසු දවා ගැනීමටය.”

ක්‍රිකට් පන්දුවෙන් මිනීමරන්නට සිතූ තරුණයෙක් උපායශීලී පන්දු යවන්නෙකු දක්වා වන ගමනක් පැමිණියේ එසේය. ක්‍රෝධයත් වෛරයත් සමග වැඩිහිටියකු බවට වැඩෙමින් සිටි යෞවනයකුට එම ආවේග මුදා හැරීමට සාධනීය අවකාශයක් ලැබීමෙන් වැඩදායක වූ තරුණයෙකු සමාජයට එක්විය. ක්‍රීඩාව යනු සාමූහික ක්‍රියාකාරකමකි. ජය පරාජය විඳීමට පමණක් නොව අනෙකාගේ මතයට ගරු කිරීමට මෙන්ම එක්ව ගන්නා තීරණ එකට ක්‍රියාත්මක කිරීමට එහිදී අවස්ථාව උදා වේ. මේ සියල්ල එන්ගම්ට හිමිවූයේ සුද්දන් රජ කරගෙන සිටි ක්‍රිකට් ක්‍රීඩාව නම් සමාජයේ ඉඩක් ඔහු වෙනුවෙන් වෙන්කෙරුනු නිසයි. එම ඉඩ නොලැබුනි නම් වන්නට තිබුණේ කුමක්ද?

බෞද්ධ සාහිත්‍යයේ අප කියවූ ගිරා පැටවුන්ගේ කතාව සිහියට නැගෙන්නේ මෙහිදීය. තාපසයන් අතට පත්වූ ගිරා පැටවා යහපත් වචන කතා කරන්නටත් සොරුන් අතට පත්වූ ගිරවා නරක වචන කතා කරන්නටත් හුරු විය. ඉතින් අප කළ යුත්තේ කුමක්ද? අප සමාජයේම සහෝදර ජන කොටසක් සමාජයෙන් ඉවත් කර, පීඩාවට පත්වීමට සලස්වා, “ඇද්ද උඹලට?” යි උදම් අනා කැමති අතක අයාලේ යන්නට හැරීම නැත්නම් සමාජයේ හිමි තැන ඔවුනට ලබාදී සාමූහික ගමනකට මාවත විවර කර ගැනීමද?

එන්ගම්ට හිමිවීමට තිබූ අනෙක් මාවත කුමක්ද? අපි ඔහුගේම වචනවලට සවන් දෙමු.

මගේ දෙමව්පියන් සතුටු උනා මම පුහුණුවීම් වලට යනව දැකල. මොකද, මම අපරාධවලට සම්බන්ධවෙලා ඒගොල්ලන්ට කරදරයක් උනේ නැති හින්දා. ඉස්කෝලෙ ඉඳල ආපු ගමන් ගියේ පුහුණුවීම් වලට. මම ඉන්නෙ කොහෙද කියල ඒගොල්ල දැනගෙන හිටියා. කොහෙ හිටියත් මට ආරක්ෂාව තියනව කියලත් දැනගෙන හිටියා.”

දෙමව්පියන්ට තම දරුවන් ගැන වදවීමට සිදුවූ හේතුව පැහැදිළිය. සුදු පාලනයෙන් මර්ධනයටත්, රිද්‍රතාවටත් පත්ව කලු තරුණයෝ බොහෝවිට අපරාධවලට නැතිනම් අපරාධ කල්ලිවලට සම්බන්ධ වූහ. කොන්කිරීමටත්, පීඩනයටත් ලක්වන ජනකොටස් නතරවන තැන පැහැදිළි කරගැනීමට මෙම උදාහරණය පමණක් වුව ප්‍රමාණවත්ය. ඔවුන්ගේ ක්ෂේමභූමිය වන්නේ අන්තවාදී කණ්ඩායමක් හෝ අපරාධ කල්ලියකි.

අද අන්තවාදය යන වචනය ඇසෙනවිට අපගේ සිතට නැගෙන්නේ මුස්ලිම් ප්‍රජාව හා ඉස්ලාම් දහමයි. එහෙත් අප සමාජයේ සෑම ස්ථරයකම අන්තවාදයේ මූලයන් රැඳී ඇති බව හඳුනාගෙන ඇත්තේ කීදෙනාද? විශ්වවිද්‍යා ශිෂ්‍ය ප්‍රජාව ප්‍රමුඛ උසස් ධ්‍යාපනයේ නියුතු තරුණ පෙළෙහි සිට මුහුණු පොතෙහි සංවිධානාත්මකවසිංහල බෞද්ධරට ආරක්ෂා කරගැනීමේ වශ්‍යතාව අවධාරණය කරමින් සිටින පරපුර දක්වාම බොහෝදෙනා තම අරමුණු ඉටුකර ගැනීමෙහිලා අනුගමනය කරමින් සිටින්නේ අන්තවාදී උපක්‍රම බව ඔවුන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ. දකුණු ප්‍රිකාව මෙවැනි මූලයන්ට සරු තෝතැන්නක්ව පැවතිණි. එහෙත් ෆුනෙකෝ එන්ගම්ට මෙවන් අන්තවාද වලින් මිදී සිටීමට ක්‍රීඩා පිටිය මග පෑදුවේ කෙසේද?

ක්‍රීඩා පිටිය එන්ගම්ට ලබාදුන්නේ අපරාධවලින් බේරීම හා ආරක්ෂාව පමණක් නොවේ. ඔහුට ඇතුළුවීමට ඉඩ විවර කරදුන් සමාජය තවත් බොහෝ දේ ඔහුට හිමිකර දුන්නේය.

මම ගැලවුනේ ක්‍රිකට් නිසා. පුහුණු වෙන්න අවස්ථාවයි ආරක්ෂාවයි විතරක් නෙමෙයි ක්‍රීඩාංගණයේදී ලැබුණේ. මට හුඟක් පාඩම් ඉගෙන ගන්න ලැබුනා. විනය ගැන, හරි දේ, වැරදි දේ ගැන. ක්‍රීඩා සමාජයෙදි මාත් එක්ක ක්‍රීඩා කරපු වයසින් වැඩි අය පුහුණුවෙන් පස්සෙ ලඟට ඇවිල්ලා හරි මොකද්ද, වැරදි මොකද්ද, අය අද ඉන්න තැනට ආවෙ කොහොමද, මට කොහොමද එතැනට යන්න පුලුවන් කියල කතා කරා. මා වටා සිටියේ බුද්ධිමත් මිනිසුන්. කලු ජාතිකයින්. මට ලැබුන හොඳම දේ ඒකයි.”

ඔහුගේ මෙම වදන් අපට කියන්නේ කුමක්ද? ආදරය, කරුණාව, දයාව සමග පෙන්වන මගෙහි යාමට බොහෝ දෙනෙකු කැමතිවන බවයි. එහෙත් අප වෙන් වෙන්ව අතුරු මාවත්වල සැරිසරමින් සිටිමු. එසේ සිටිමින් ක්‍රෝධයෙන් වෛරයෙන් අපගේ සතුරන් යයි අප සිතා සිටින අයට පමණක් නොව අප හා එකඟ නොවන අයට දමා ගසමු. ශරියා නීතියට විරුද්ධ අය තම අදහස් වලට ප්‍රතිවිරුද්ධ අදහස් දරණ අයට එරෙහිව ශරියා නීතියම භාවිත කරන්නට පසුබට නොවෙන බව පෙනීයන්නේ හදිසි නීතියට විරුද්ධව උසාවි ගිය ප්‍රකට ලේඛකයෙකු වන සමාජ ක්‍රියාකාරිකයෙකුට දුටුතැන ගල්ගසන්නට ආරාධනා කරන ලියවිල්ලක් මුහුණුපොතෙහි හුවමාරු වනු දක්නට ලැබෙන විටය.

එන්ගම්ගේ ගමන අවසන් උනේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වීමෙනි. ඔහුගේ ආගමනය රටට දැනුන අයුරු විශ්මයජනකය. ප්‍රථම තරගයේදී ජනපති නෙල්සන් මැන්ඩෙලාගෙන් සුබපැතුම් ලැබිණි. “කලු අකුණු පහර(Black Thunder) නැතිනම්චුයින්ගම්(ChewNgam) ලෙස අන්වර්ථ නම් වලින් හඳුන්වන්නට තරම් ඔහුට රටේ ආදරය ලැබිණි. එහෙත් ඔහුගේ ක්‍රීඩා දිවිය බෙහෙවින් කෙටි විය. දිග කතාවක් කෙටිකළ විට කියන්නට සිදුවන්නේ පුහුණුව හා ක්‍රීඩාවේදී සිදුවන ආබාධ කළමනාකරණය කරගන්නට උපදෙස් දීමට තරම් සුදුස්සෙකු ඔහු සමීපයේ නොසිටි නිසාම ඇතිවූ ශාරීරික ආබාධ නිසා ඔහුගේ ක්‍රීඩාවට නැවතුම් තිත තබන්නට සිදුවූ බවය. එහෙත් ඔහුගේ පෞරුෂය හැඩ ගස්වන්නට උදව් කළවුන්ගෙන් ලැබුන ශක්තිය නිසාම ඔහුගේ ක්‍රීඩා දිවිය නවතන්නට තරම් එය ශක්තිමත් නොවීය. මෙතැනින් ඔබ්බට ඔහුගේ ක්‍රීඩා ජීවිතය ගමන් කළේ කුමන මාවතකද?

ඉක්මනින්ම එන්ගම් බලාපොරොත්තු කඩවීමට මුහුණ දෙන්නට හුරුවිය. උපරිම වේගයෙන් පන්දු යැවීමට නොහැකි වන්නේ නම් ඔහුට පුලුවන් ඔහු යොවුන් වියේදී විසඳාගැනීමට නොදැන සිටි ගැටලුවලට මුහුණදීමට අනෙක් කලු දරුවන්ට උදව් කරන්නට,”

ඔහු දකුණු ප්‍රිකානු ක්‍රිකට් ආයතනය, බෝඩර් ක්‍රිකට් හා ෆෝට් හාරෙ විශ්වවිද්‍යාලය යන ආයතන සමග එක්ව ෆෝට් හාරෙ ඇකඩමිය පවත්වාගෙන ගියේය……………වැදගත්ම දෙය වන්නේ, ක්‍රිකට් තුලින් ඉදිරියට යාමට නොහැකි දරුවන්ට ජීවිතය ගොඩනගා ගත හැකි ආකාරයේ පුහුණුවක් මෙයින් ලබාදීමයි.” “එක ළමයෙකුට පමණක් නෙමෙයි, හැකිතාක් ළමයි ප්‍රමාණයකට. මට පුළුවන් තරම් ජීවිත ප්‍රමාණයක් බේරා ගැනීමට. ඒකයි මම කරන දෙයට මම මේ තරම් ආදරය කරන්නෙ.” එන්ගම් කියයි. “ඔහු සිතන්නේ ක්‍රීඩා කරනවාට වඩා වැඩි දෙයක් ඉටුකිරීමට ඔහුගේ දෛවය ඔහුට ඉඩදී ඇති බවයි.”

වර්ණභේදවාදය පැවති දකුණු ප්‍රිකාවේ පවා දක්ෂතා දක්වන කලු ක්‍රීඩකයෙකු හඳුනාගත් විට ඔහුට සුදු ජාතිකයන් සඳහා වෙන්වූමොඩ්ල් C” පාසලක ඉඩක් ලබාදෙන්නට පියවර ගැනිණි. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනිවාර්යයෙන්ම කලු ක්‍රීඩකයන් දෙදෙනෙකු සිටියයුතුය. ශතවර්ෂ ගණනාවක් පුරා එකිනෙකාට වෛර කරමින් රුධිරය හැලූ ජාතීන් දෙකක් එක්කරන්නේ එසේය.

මෙහිදී සමාජ විද්‍යාඥයන් විසින් පුද්ගලයින් අන්තවාදය කරා තල්ලු කිරීමට හේතුවෙතැයි දක්වා ඇති අදහස් කිහිපයක් වෙත අවධානය යොමු කිරීමෙන් එන්ගම්ගේ ගමන්මග මෙන්ම අප ගතයුතු මග තේරුම් ගැනීම අපහසු නොවේ.

  • සමාජයේ අතරමං වූ නැතිනම් මුල් ඇද නොගත් හැඟීම

  • චර්යාමය ගැටලු

  • පවුල් සංස්ථාවෙහි ඇතිවන ගැටලු

  • ආත්ම අභිමානය අහිමිවීම

  • අපරාධවලට ඇති සබඳතා සහ කල්ලි හෝ කණ්ඩායම් වලට සම්බන්ධ වීම

එවන් කරුණු අතර ප්‍රධාන වේ. මෙම කරුණුවලින් එකකට හෝ කිහිපයකට මුහුණ දී ඇති පුද්ගලයෙකුට ඇතිවන අසාධාරණය පිළිබඳ හැඟීමට ආමන්ත්‍රණය කෙරෙන අන්තවාදී දෘෂ්ටියක් සම්මුඛ වූ විට ඔහු එම මතවාදයට ආශක්ත වීම අන්තවාදී මතවලට සමාජයෙහි ඉඩක් හිමිවීමට බලපාන ප්‍රධාන කරුණක් ලෙස ඔව්හු පෙන්වා දෙති. මෙම කරුණුමසිංහල බෞද්ධසමාජයෙහි තරුණ මනසට අදාළව සාකච්ඡා කළහැකි නම් එය අපගේ දෑස් විවර කරන ව්‍යායාමයක් වන්නට පුලුවන. එහෙත් එය වෙනම ලිපියකින් කළයුත්තකි.

ෆුනෙකො එන්ගම්ගේ ජීවිතය දෙස හැරී බැලීමේදී ඉහත දැක්වූ කරුණු වලින් අවම වශයෙන් කරුණු දෙකකටවත් ඔහු මුහුණ දී ඇති බව පැහැදිලි විය යුතුය. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව ඔහුට සමාජය තුළ සාධනීය ලෙස මුල් ඇදගැනීමට ඉඩ සලසා දුන්නේය. එම මුල් කෙතරම් ගැඹුරට විහිද ගියේද යන්න අනපේක්ෂිත ලෙස සිය ක්‍රීඩා දිවිය බිඳී ගිය පසු තමාට මෙන්ම මග පෙන්වීමක් වශ්‍ය වූ කලු දරුවන්ට උදව් කිරීමට යොමුවීමෙන් පෙනේ. පවුල් සංස්ථාවේ ඝට්ටන වලින් සහ කලු, සුදු භේදයෙන් පීඩිත වූ මනසට ක්‍රීඩාවෙන් ලබාදුන් අර්ථවත් බව ඔහුගේ ජීවිතයට දයාන්විත හැඟීම් දායාද කළබව පෙනේ. අප රටට අනාගතයක් හිමිවන්නේ එකිනෙකාට ගරුකරමින්, ඉඩදෙමින්, අවිශ්වාසය දුරු කරමින් යන ගමනකින් මිස එකිනෙකාගෙන් ඈත්ව යන ගමනකින් නොවේ. අප රටේ ෆුනෙකෝ එන්ගම්ලා බිහිකරගත හැක්කේ එසේය.

සිද්ධාර්ත් මොන්ගා විසින්When I had the ball in my hand, I wanted to kill someone” මාතෘකාව යටතේ ලියන ලද සම්පූර්ණ ලිපිය www.thecricketmonthly.com වෙබ් අඩවියට පිවිසීමෙන් කියවිය හැකිය.



No comments:

Post a Comment