මනෝලෝක රූපවාහිනියෙන් ලෝකය පෙන්නීම

 




ක්‍රීඩා පිටියක සෙල්ලම් කරන ලමුන් පිරිසක් දෙස බලා සිටින අප්‍රිකානු කොලු ගැටවුන් දෙදෙනෙකි. ඔවුන් පසෙකින් රූපවාහිනියකි. එහි ඇති විශේෂත්වය නම් ඇත්තේ එහි රාමුව පමණක් වීමයි. මදය නැත. එහි කුහරය තුලින් ද ළමුන් සෙල්ලම් කරනු දැකගත හැකිය. ළමයින් අතරින් කිහිපදෙනෙකු තෝරාගන්නා කොලුවන් දෙදෙනා රූපවාහිනී යන්ත්‍රයේ පොත්ත ද කර තබාගෙන් පෙරහැරින් යන්නේ කාට හෝ එය විකුණා ගැනීමටය.  රූපවාහිනී රාමුව කරතබාගෙන තැනින් තැනට යන ඔවුන් අවසානයේ නතර වන්නේ හමුදා මුරපොළක ය.

එහි සිටින හමුදා නිලධාරියෙකුට නායක කොලුගැටයා පවසන්නේ එය "මනෝලෝක" රූපවාහිනියක් (imaginative tv) බවයි.  එය තහවුරු කිරීමට කොලුවා කරන්නේ තම සහචර කොලු රෑන රූපවාහිනී පෙට්ටිය පිටුපස සිට නටවා හමුදා නිලධාරියාට ඉදිරිපස සිට නරඹන්නට සැලැස්විමයි. රංගනය අවසානයේ රූපවාහිනිය හමුදා නිලධාරියා විසින් මිලදී ගනු ලබන්නේ  ගෙවන මිල ලෙස කොලු රෑනට කෑම පැකට්ටුව බැගින් දීමෙනි. 

මේ විස්තර කළේ Beasts of No Nation නම් සිනමා පටයේ ආරම්භක දර්ශන කිහිපයයි. මේ දර්ශන පෙළ දකින විට අපත් කෙතරම් මනෝලෝක රූපවාහිනී දසුන් නරඹන්නේ දැයි ඔබට සිතුන හොත් පුදුමයක් නොවේ. වසර දෙකකට පමණ පෙර දැඩි විනයක් හා නීති පද්ධතියක් අකුරටම පනවා තමන් ද එය පිළිපදිමින් ආදර්ශමත් පාලනයක් තුළින් රට සෞභාග්‍යය කරා ගෙනයන අවංක නායකයෙකු අපි දැක ඇත්තේ මනෝලෝක රූපවාහිනියෙන් බව තේරුම් ගන්නා විට කෑම පැකට්ටුවක් දී අප මනෝලෝක රූපවාහිනිය ගෙදර ගෙනත් හමාර ය.

ඒ බව මුලින් නොතේරුනේ ඊට පෙර කලෙක රට කරවූ සොරු රැළක් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් දී පිරිසිදු දේශපාලන සංස්කෘතියක් රටෙහි ස්ථපිත කරන, බලයට, මුදලට ගිජු නොවූ, එකමුතු කමින් බැඳුන (යහ)පාලන තන්ත්‍රයක් දුටුවේ මනෝලෝක රූපවාහිනියකින් බව තේරුම් යාමේ ලැජ්ජාව නිසා ය. 

         


හැබැයි මේක අපූරු යන්තරයකි. අපි දකින්නට කැමති ලෝකය අපිට පේනවාය. විදුලිය නැතිව කරුවලේ සිටින්නට අප කැමති නැත. මේ මනෝලෝක රූපවාහිනිය ඒ අපේ ලෝකය අපට ලබාදෙයි. ඊට අනුව විදුලිය කපන්නේ නැත. එහෙම තීරණයක් හෝ ගෙන නැත. එහෙම වෙනවා නම් එය බිඳ වැටීමකි, එසේත් නැතිනම් කඩාකප්පල්කාරී ක්‍රියාවකි. 

ගෑස් නැතිව උයන්නට බැරිය. වැඩට යන්නට බැරිය. ළමයි පාසැල් යවන්නට ද බැරිය. ඒ නිසා කිසිදු හිඟයකින් තොරව ගෑස් රට පුරා බෙදා හැරේ. අවාසනාවකට මෙන් මනෝලෝක රූපවාහිනිය බලන්නට තරම් වාසනාවක් නැති එවුන් ද රටේ සිටිනවාය. උන් රට පුරා ඇවිද ගෑස් අලෙවිහල් වල ඇතිතාක් සිලින්ඩර ගෙදර ගෙනගොස් ගොඩගසා ගන්නවා ය. 

මගේ නිත්‍ය රියැදුරු ( ත්‍රිරෝද) ගේ මනෝලෝක රූපවාහිනිය පෙන්වන ආකාරයට ඕනැ එකයි එපා එකයි හැම එකාම ගෑස්ලිප් පාවිච්චි කරන නිසා අතිවිශාල විදේශ විනිමයක් රටට අහිමි වෙයි. එපා එකාට දරලිපට යළි හුරුවන්නට මෙහෙම වෙච්ච එක හොඳම වැඩේය. රු.2750 හේ ගෑස් සිලින්ඩරය 3300ට ගෙනත් දෙන්නේ ද ඌම බැවින් මගේ රූපවාහිනියේ එහෙම දෙයක් නොපෙනුන බව නොකියා "ඒක තමයි" කියා අනුමත කළෙමි.   ( ඒ ගෙනාපු එක ද දැන් පතුළටම හිඳී ඇති නිසා ඊලඟ එක 4500ට උනත් ගෙනත් දෙන්න ඉන්නේත් ඌම නිසා ඕන්නැති කතා කියා හිත රිදවන එකත් හොඳ මදි ය.) 

             



 තියනවා යයි කියන ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් හිඟය ගැන පෙන්වන දර්ශන ද හරිම වෙනස් ය. ඒ දර්ශණ වලට අනුව පෙරටත් වඩා වැඩි බවුසර් ප්‍රමාණයක් දැන් පාරදිගේ දුවයි. (මහපාරේම රැකියාව කරන මගේ රියැදුරු මහතා මේ බව තහවුරු කළේය.) ඒ බවුසර් වල තියනවාටත් වැඩි තෙල් ප්‍රමාණයක් මිනිස්සුන්ගේ ගෙවල්වල ඇත. එසේ ගොඩගහගෙන බොරුවට පාරදිගේ පෝලිම්වල ඉඳ ආතල් ගනියි. එහෙම බලනකොට පෙට්‍රල්ෂෙඩ් වලට හමුදාවෙන් දාපු එක හොඳටම හොඳ ය. "වන් කන්ට්‍රි වන් පෝලිං" කමිටුවේ සභාපති උන්නාන්සේ කියපු එක හරියට හරි ය. මේවා එක එකාට ඕනෑ හැටියට පෙන්වන්න දෙන්න බැරි ය. මනෝලෝක රූපවාහිනියේ හැටියට වැඩේ දුවන්න ඕනෑ ය. එහෙම වෙන බවට වග බලාගන්නට හමුදාවෙන් නොදාම බැරි ය. ඉතින් අපි මනෝලෝක රූපවාහිනීයෙන් පෙන්නන ලෝකය බලා හිතත් බඩත් පුරවා ගනිමු. මේ අන්තිම රූපරාමු වලින් පෙනෙන්නේ ඉස්සරහට පෙන්නන්න තියන නාට්‍යයකි.

                    

චිත්‍රපටියේ නම යොදාගත් නිසා ඒ ගැනත් යමක් සටහන් කළ යුතු ය. මෙහි කතාව දිවෙන්නේ අහම්බෙන් කැරලිකරුවන් කණ්ඩායමක් අතට පත්වන දඟකාර කුඩා දරුවෙකු ළමා සොල්දාදුවෙක් බවට පරිවර්තනය වීමේ ඛේදවාචකය වටා ය.  



 




 




3 comments:

  1. 'මනෝලෝක රූපවාහිනීය' - නියම කතාව.....👌
    කොමත් අපි අපේ කන්නාඩි වලින් නෙව ලොව දකින්නෙ. ඒක නතරකොරනකං ඉතින් දිගටම මනෝපාර තමා......😄😄

    ReplyDelete
  2. හ්ම්...මනෝලෝක රූපවාහිනීය' හිතන්න යමක්. රාමුව තියනවා, කැමති එකක් ඇතුලට ඔබා ගතෑකි.🤔

    ReplyDelete