වීරයෝ සහ දුෂ්ටයෝ

 ස්පාඤ්ඤ ලේඛක EM Arisa විසින් රචිත Good Guys and Bad Guys නම් වූ මෙම ලිපියෙන් වත්මන් සමාජයේ විචාරශීලී බව සැහැල්ලු හා උපහාසාත්මක ස්වරයකින් ප්‍රශ්න කරනු ලබයි. ඉතා සරල කරුණු මත හොඳ නරක නිශ්චය කරන අපගේ නිගමන කොතරම් දුරට නිවැරදි ද යන ප්‍රශ්නය අප සිත් තුළට ඇතුළු කරයි.



දැං මගෙන් අහන්න එපා ඇයි කියලා ඒත් හැමදාමත් මගේ හිතේ සැඟවිලා තිබුන හීනය තමයි චිත්‍රපටයක දුෂ්ටයා වෙන්න. මං දන්නවා මේක විකාරයක් වගේ දැනෙයි කියලා. ඒත් මොනවා කියන්නද? ඇත්තටම මේක කොහෙත්ම ලේසි වැඩක් නෙමෙයි කරන්න. 

හොඳ මිනිසා හා නරක මිනිසා පිළිබඳ සංකල්පය මතුපිටින් පෙනෙනෙවාට වඩා සංකීර්ණයි. මා කියන දෙය වැරදියි කියලා හිතෙනවා නම් මේ ගැන හිතන්න. 

කවද හරි දැකලා තියනවද බොන්ඩ් ඉන්න චිත්‍රපටයක්?... ජේම්ස් බොන්ඩ්? මට හොඳටම විශ්වාසයි ඔබ දැකලා තියනවා කියලා. ඇත්තටම මං අදහස් කරන්නේ මිනිසුන් මැරීමට බලපත්‍රයක් තියන, ඔහුගේ යහළුවන් 007 නමින් හඳුන්වන මහා රාජිණියගේ රහස් ඔත්තු සේවයේ වැඩ කරන සුපිරි ඔත්තුකරුවා ගැනයි. 

කොහොම උනත් ඔබට හිතෙන්නෙ නැද්ද මෙයා ලෝකය බේරාගන්නවට වඩා ( ඒක තමයි එයාට බාරවෙලා තියන රාජකාරිය) එයාගෙන් බේරෙන්නයි ලෝකයට වෙලා තියෙන්නෙ කියලා? මොකද කියනවනං ඔහු වළක්වනවට වැඩි මරණ හා විනාශකාරී ක්‍රියා සංඛ්‍යාවක් ඔහු අතින් සිදුවෙන නිසා.

ඔහු පුළුවන් හැම ක්‍රමයක්ම යොදාගන්නවා මිනී මරන්න. වෙඩි තැබීමෙන් (වඩාත්ම තිරශ්චින ක්‍රමය) නැත්නම් දැවැන්ත කිඹුලන්ට හා මෝරුන්ට කන්නට දැමීමෙන් වගේම මකුලුවන් හා සර්පයින් ලවා දෂ්ට කරවීමෙනුත්. හැබැයි මීට වඩා සියුම් ක්‍රම භාවිත කිරීමට උනත් ඔහු කිසිසේත්ම පසුබට වෙන්නේ නෑ. ලස්සන ගෑනුළමයෙකුගේ ඇඟ පුරාම රත්තරන් පාට තීන්ත ගාලා සමට වාතාශ්‍රය ලැබීම අවහිර කිරීමෙන්, ලේසර් කිරණ භාවිතයෙන්, නාන ටැංකියට විදුලි පංකාවක් දමා විදුලි සැර වැද්දවීමෙන්, දුම්රියෙන්, ගුවන්යානයෙන්, නැවෙන් එළියට විසිකිරීමෙන් විතරක් නෙමෙයි අභ්‍යාවකාශ යානයකින් මිනිසුන්  අභ්‍යාවකාශයට විසිකිරීමෙන් පවා ඔහු මේ දෙය කරලා තියනවා. කෙටියෙන් කියනවා නම් මිනිසුන් නැති කිරීමේ ක්‍රමවල  දිගු ලැයිස්තුවක්. ඒ විතරක් නෙවෙයි, තව තියනවා. ගොඩනැගිලි ගිනිතැබීම්, මුළු පලාතම විනාශ වෙන විදියට මෝටර් රථ හා බෝට්ටු පුපුරුවා හැරීම්....... මේ හාදයා නම් රක්ෂණ සමාගම් වලට පරම හතුරෙක් වෙන්නැති!

මහ රැජිණියගෙන් මා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ 007 නම් ඔත්තුකරුවා ගැන ඔත්තු බැලීමට තවත් සුපිරි ඔත්තුකරුවකු යෙදවීම ගැන සලකා බැලිය යුතු බවයි. ඔහුගේ අරමුණ විය යුත්තේ 007 විසින් කරමින් යනු ලබන විනාශකාරී ක්‍රියා වැලැක්වීමට කටයුතු කිරීමයි.  ඔහු හරියට ඇටිලා වගෙයි. ගිය තැනක ආයෙ තණකොළ වැවෙන්නෙ නෑ. 

ඉතින් මා ඔබෙන් අහන්නේ 007 කියන්නේ හොඳ කෙනෙක් ද?  අපි හැමෝම එකපාරටම කියනවා වගේ ඔබේ පිළිතුරත් ඔව් කියන එක නම් මම හරිම කැමතියි දැනගන්න නරක කෙනෙක් වෙන්න මම මොනවද කරන්න ඕනැ කියලා. දෙන්නා වෙන්කරන ඉර ඔහු ලකුණු කරගෙන තියෙන්නේ හරි ඉහලින්. 

හොඳ හා නපුර කියන කාරනා දෙක හරි සංකීර්ණයි කියන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ. මොකද කියනවනං හිට්ලර්, ස්ටාලින්, මාවෝ වගේ අපකීර්තිමත් නම් වගේම  මෑත කාලය ගත්තොත් උතුරු කොරියාවේ පිළිකුල් සහගත ජනාධිපති (මිනිහගේ නම මම දන්නෙත් නෑ දැනගන්න උවමනාවකුත් නෑ.) වගේ අය හැරෙන්නට සාමාන්‍යයෙන් කවුද හොඳ, කවුද නරක කියල පැහැදිළිව කියන්න පුළුවන් කමක් නෑ.

මේකට තවත් උදාහරණයක් හැටියට ගන්න පුළුවන් කෙනඩි හා කෘෂෙව්.

මේ මහත්වරුන් දෙදෙනා (007 පිළිබඳ තොරතුරු මගේම වුවත් මෙහිදී මා මිත්‍ර සොයිලෝගේ පෘථුල දැනුම මා හට පිහිට වෙයි.) හැටේ දශකයේ සිදුවූ මේ මිහි මත ඇති සියළුම ආකාරයේ ජීවය විනාශයේ මුවවිට අද්දරට ගෙනා  කියුබානු මිසයිල අර්බුදයේ කතානායකයින් ය. 

සිදුවූයේ කුමක් දැයි ඔබගේ මතකය අවදිකරන්නට මා හට අවසර දෙන්න. අමෙරිකාව සෝවියට් දේශ සීමාවට ආසන්නව තුර්කියෙහි පිහිටවූවාක් මෙන් රුසියානු නායකයා න්‍යෂ්ඨික මිසයිල විශාල සංඛ්‍යාවක් කියුබාවෙහි සවිකළේය. ( මෙහි සිට ෆ්ලොරිඩාවට දුර සැතපුම් 100 පමණය.)  

රුසියාවේ ක්‍රියාමාර්ගයට ප්‍රතිචාරයක් ලෙස කෙනඩි දිවයින වටලා යුධ නැව් ජාත්‍යන්තර මුහුදෙහි රඳවා රුසියානු නැව් මගින් යුධෝපකරණ ගෙන ඒම වලකා කියුබාවේ ඒ වන විටත් සවිකර තිබූ මිසයිල ඉවත්කර ගන්නා ලෙස සෝවියට් රුසියාවෙන් ඉල්ලා සිටියේය. යථාර්තය නම් මේ බාධක පැනවීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වූ අතර එය යුධ ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වා දීමට හැකිවන්නේ ඔවුන් ජාත්‍යන්තර මුහුදේදී වෙනත් රටකට අයත් නැව් අවි බලයෙන් නැවැත්වීම නිසාය. 

ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වී අවසානයේ සෝවියට් නායකයා  අවනත වී (අපගේ වාසනාවට ඔහු එසේ නොකළා නම් මේ කතාව ලිවීමට අද අප ඉතිරි නොවන නිසා ය.)  මිසයිල ඉවත්කර ගැනීමට අණ දුන්නේය. සුපිරි බලවතුන් දෙදෙනා අතර ඇතිවන න්‍යෂ්ඨික ගැටුමකින් ඇතිවිය හැකිව තිබූ  මහා සමූලඝාතනයක් ඉන් වැළකී ගියේය.

ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා පැවති රහස් සාකච්ඡා වලදී කරුණු දෙකක් සඳහා එකඟවීමට කෙනඩිට බල කෙරිණ. එනම් තුර්කියේ ස්ථාපිත කර තිබූ එක්සත් ජනපද මිසයිල ඉවත් කර ගැනීම හා කියුබාව ආක්‍රමණය නොකරන බවට පොරොන්දු වීමයි. 

එහෙත් මේ කපටියා තමාගේ ප්‍රතිරූපය විනාශවීම වළක්වා ගැනීම පිණිස මෙම ගිවිසුම ජනතාව අතරට නොයන තැනට වගබලා ගත්තේය. මැතිවරණය අත ලඟ තිබියදී තම ප්‍රතිවාදියාට ඔහු විසින්  ප්‍රධානය කරන ලද සහන ගැන කතා නොකිරීම වඩා හොඳ යයි ඔහු සිතුවේය. එලෙසින් ඉතිහාසයේ විශිෂ්ඨතම නායකයා ලෙස ජනතාව ඉදිරියේ තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට ඔහුට හැකිවිය.

ඔබ එය විශ්වාස නොකරන්නේ නම් මේ මාතෘකාව පිළිබඳව හොලිවුඩය නිපැයූ සිනමාපටය නැරඹීම ප්‍රමාණවත්ය. එහි රඟපාන කෙවින් කොස්ට්නර් අවසානයේ  කෙනඩි අගයමින් වශීකෘත වූ ලෙස කියන්නේ "තවත් වරක් කෙනඩි ලෝකය බේරාගත්තා." යනුවෙනි. 

මිසයිල ඉවත් කරගැනීමට පියවර ගනිමින් ඔවුන්ගේ ගිවිසුමෙහි ඇතුළත් වූ කොන්දේසි පවා රහසක් ලෙස තබාගැනීමට තරම් නිර්භීත බවක් පෙන්වූයේ කෘෂෙව් වුවද මෙම සිනමාපටයේ කතාවෙහි පෙන්නුම් කරන්නේ කෙනඩි හොඳ පුද්ගලයා ලෙසත් කෘෂෙව් නරක පුද්ගලයා ලෙසත් ය. මෙම අර්බුදයේදී පරාජිතයා ලෙස ප්‍රසිද්ධියේ පෙනීසිටීමට සිදුවීමෙන් ඔහුට විශාල වන්දියක් ගෙවන්නට ද සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ටික කලකට පසුව ඔහුගේම සහෝදරවරුන් විසින් ඔහු සිය තනතුරෙන් පහකරන ලදී. ඔහුට එම කැපකිරීම කිරීමට සිදුවුවද ඔහු න්‍යෂ්ටික යුද්ධයක් වැළැක්වීය.

මේ තොරතුරු පිළිබඳව මනා අවබෝධයක් ඇති සොයිලෝ පවසන ආකාරයට කෙනඩි යනු කඩවසම්, වගකීම් විරහිත, ප්‍රයෝගකාරී, වංචාකාර ජේත්තුකාරයෙකි, ඕපාදූප ලිපි ලියන්නන්ග‍ේ ආදරය දිනූවෙකි. ඔහු මැතිවරණ දිනීම සඳහා මාෆියා සංවිධානය සමග පවා ගිවිසුම්ගත වූ අතර ඒවා කඩකිරීම හේතුවෙන් ඔවුහු ඔහු මරාදැමූහ. සොයිලෝ තර්ක කරන්නේ ඔහුගේ ඝාතනය පිටුපස වූ සත්‍යය යටපත් කරනු ලැබූයේ විශිෂ්ඨ ජනාධිපතිවරයෙකු, ආදර්ශමත් පියෙකු හා ආදරණීය ස්වාමිපුරුෂයෙකු ‍ලෙස ඔහුගේ ප්‍රතිරූපය කිළිටිවීම වැලැක්වීම සඳහා ය. කෙසේ වුවද ඉහත සඳහන් ගුණාංග ලැයිස්තුවෙන් ඔහුට සැබෑවටම තිබුනේ අවසානයට සඳහන් කර තිබූ එක පමණි. හැබැයි පොඩි අවුලක් ද සමගය. ඔහුගෙන් ආදරය ලැබුනේ තමන්ගේ කෙනාට හැර අනෙකුත් ගැහැණුන්ට වීම ය. 

කෙසේ වුවද මා කලින් කියූ ලෙස කියුබන් මිසයිල අර්බුදය නිරාකරණය වූ පසු ඒ පිළිබඳව ලොවට ඉදිරිපත් කළ පැහැදිළි කිරීමේදී ඔහුට දීමට බල කෙරුණු සහන සඟවමින් ලජ්ජා විරහිත ලෙස බොරු කියූවේ මැතිවරණයකදී වැඩි වැඩියෙන් ඡන්ද ආකර්ශණය කරගත හැකි අනභිභවනීය සුපිරි වීරයෙකුගේ ප්‍රතිරූපය මවා පෙන්වීම සඳහා ය. 

ඒත් ඇත්ත වශයෙන්ම මේ කතාවේ හොඳ පුද්ගලයා කවුද, නරක පුද්ගලයා කවුද?

ඇත්ත! සමහරක් වෙලාවට හොඳ අයගෙන් නරක අය වෙන්කර ගන්න ලේසියි, හරියට කොරියාවල් දෙක වාගේ. උතුර මිසයිලයි බඩගින්නයි නිපදවද්දී දකුණ හ්‍යුන්ඩායි හා ගගනම් නර්තන ශෛලිය අපට දෙනවා. මේකෙදි දෙපැත්ත හරි පැහැදිළියි. 

අපකීර්තිමත් බර්ලින් තාප්පය ගත්තත් ඒ වගේමයි. පළායන මිනිස්සු යන්නේ කොයි පැත්තට ද කියලා බලපුහම  හොඳ කවුද, නරක කවුද කියලා කියන්න හරිම පහසුයි. හැමෝම නැගෙනහිරින් බටහිරට පළාගියා මිසක් ඒකෙ අනිත් පැත්ත සිදුවුනේ නෑ.  මට හිතෙන හැටියට ඒකෙන්ම ප්‍රශ්නෙට පිළිතුර ලැබෙනවා. ඒත් හැම එකක්ම ඒ තරම් පහසු නෑ, හුඟක් වෙලාවට හරි අමාරුයි තෝරාගන්න.

මගේ නියුරෝන ශෛල කොතරම් වෙහෙස කළත් හරියට තවමත් මට මේ පිළිබඳව හරියටම තේරුම් ගත නොහැකි වූ තැන ඊලඟට ගතහැකිව තිබූ වඩාත්ම තාර්කික පියවර ගත්තෙමි. එනම් සොයිලෝගෙන් ඇසීම ය. ඔහු දුන් පිළිතුරු එලෙසම මගේ මතකයේ රැඳුන බැවින් ඔහු කී සැටියෙන්ම මෙහි බහාලන්නේ ඔබටම සුදුසු තීරණයකට එළඹීම පහසු කිරීම පිණිස ය. 

මගේ ගැටළුව පැහැදිළි කළ පසු ඔහු පිළිතුරු දුන්නේ මෙසේ ය. "එක අතකින් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නරක මිනිස්සු නැත්නම් හොඳ මිනිස්සු කියලා කොට්ඨාශයක් පවතින්නෙත් නෑ කියලා, මොකද සංසන්දනය කරලා බලන්න කෙනෙක් නැති නිසා කියලා. නරක අය තමයි හොඳ අය වෙන්කරලා පෙන්නලා දෙන්නේ. අනෙක් අතින් ඔබ තේරුම් ගත යුතුයි මේ වචන සාපේක්ෂයි, අර්ථ ගැන‍්වෙන්නේ   නිරීක්ෂකයාග‍ේ ආකල්ප අනුව කියලා."

හිතලා බලන්න වටින අදහසක්! මට හිතුනා. ඒත් එහෙම හිතන්න ගියොත් අපිට කිසි දෙයක් තේරුම් ගන්න බැරි වෙනවනේ. ඒ හින්දා මම ආයෙත් උත්සාහ කරලා බැලුවා.

"ඒත් එහෙම හැමදේම සම්පූර්ණයෙන්ම සාපේක්ෂයි කියන්න බැහැනේ."  මම පසු බසින්නෙ නැතිව වාද කළා.  "උදාහරණයක් විදියට  ලෝක යුද්ධයේදී සිදු උන දේ ගැන හිතන්නකෝ. කිසිම තර්කයක් නෑ ඒ යුද්ධයේදි දිනුවේ හොඳ අයයි."

"ඇත්ත," ඔහු පිළිතුරු දුන්නා. "ඒත් ඒගොල්ල දිනුවේ ඒ අය හොඳ හින්දා නෙමෙයි. ඔවුන් දිනුවේ අමෙරිකා එක්සත් ජනපදය කියන ලෝකයේ කාර්මික අංශයේ දැවැන්තයා ඔවුන් සමග සිටි නිසයි. ඇත්තටම යුද්ධයේදී නාසින්ට වැඩිය මිත්‍ර පක්ෂයේ අය මැරුණා, යුද ටැංකි, ගුවන්යානා, නැව් වැඩි ප්‍රමාණයක් විනාශ උනා. ඔවුන්ගේ  පරාජය වීම් කොතරම් විශාල වුවත් යුධ පෙරමුණේදී විනාශ වෙනවට වැඩි වේගයකින් ආයුධ නිපදවන්නට අමෙරිකානු කාර්මික ශක්තිය නිසා හැකියාව ලැබුන එකයි උනේ. ඔවුන් දිනුවේ හොඳ අය හින්දවත්, වීරයෝ හින්දවත් නෙමෙයි වැඩියෙන් බෝම්බ නිෂ්පාදනය කළ නිසයි. ඒ වගේම මිත්‍ර පාක්ෂිකයින් අතරත් දුෂ්ට අය සිටියා. ඔවුන්ගෙන් එක්කෙනෙක් උන ස්ටාලින් කාරුණික හදවතක් තිබුන කෙනෙක් විදිහට නම් හඳුන්වන්න අමාරුයි."

මට පිළිගන්න සිද්ධවෙනවා මේක ඇහුනම මගේ ඔලුව අවුල් උනා වගේ කියලා. ඒත් එයා දිගටම කතාකරන්න ගත්තම මම මගේ හිතට ආපු දේවල් අමතක කලා. 

"මම ඔබට සත්‍ය කතාවක් කියන්නම්. ඒ්ක අහගෙන ඉඳලා මට කියන්න ඒකෙ ඉන්න හොඳ මිනිස්සු කවුද, නරක මිනිස්සු කවුද කියලා. ඔබට තේරෙයි ඒක ලේසි නෑ කියලා."

මම නැවතත් අවධානයෙන් අසා සිටීමේ ඉරියව්වට පිවිසුනා. මොකද මම හරි කැමතියි කතන්දර අහන්න. සොයිලෝ තමයි හොඳම කතන්දර කියන්නා.

"19 වන ශතවර්ෂයේ හවායි දූපත මතක් කරගන්න.' ඔහු කියන්න පටන්ගත්තා.  "කා අහුමන්යු රැජිණ තමයි දූපත් පෙළ පාලනය කළේ ඇයගේ ස්වාමි පුරුෂයා වූ පෙර සිටි රජතුමාගේ මරණින් පස්සෙ. එතෙක් හවායි දූපත් වල තිබුනේ පැසිෆික් සාගරයේ අනෙක් දූපත් වල වගේම සරල, සැහැල්ලු ජීවිතයක් වගේම නිදහස් ලිංගිකත්වයක්. ඒ ගැන අප තුළ තිබෙන සදාචාර  සීමාමායිම් ගැන ඔවුන්ට කිසිදු වැටහීමක් ති‍බුනෙ නෑ. මේ දූපත්වල ස්වදේශිකයන්ට තමන්ගේ ආදරවන්තයින්ගේ දිග ලැයිස්තුවක් ප්‍රදර්ශණය කිරීම ආඩම්බරයට කරුණක් උනා. පිරිමින් නිතරම උත්සාහ කළේ වඩාත්ම ලස්සන කාන්තාව විවාහ කරගැනීමටයි. ඒ තමන්ගේ හැකියාව ගැන මිතුරන් විසින් කරන ප්‍රශංසා අහන්න ලැබෙන නිසයි. ගීතයෙන්, නැටුමෙන් හා මල් වලින් පිරි ලිංගික හැසිරීම් පාපී ක්‍රියාවක් ලෙස සැලකුනේ නෑ. ප්‍රසිද්ධියේ පැවැත්වුන උත්සව නිතරම අවසන් උනේ ක්‍රිස්තියානි සංස්කෘතියේ හඳුන්වන විදියට සාමූහික කාමභෝගී ක්‍රියාවලින්."

මා ඕනෑකමින් සවන්දුන්නා.

"ඒත් මේ රැජිණ බලයට එනවිට ඇය හරිම මහලුයි. එයාගේ ආශාවන් නැතිවෙලා ගිහින් තිබ්බේ." සොයිලෝ කියාගෙන ගියා. "ඇය තීරණය කලා ඇන්ග්ලිකානු මිෂනාරීවරුන් වටකරගෙන ඉන්න. ඔවුන් ඇය නිදහසේ ආදරය කිරීම තහනම් කිරීමට පෙළඹුවා. මේ නීති කොයිතරම් දරදඬුද කියනවා නම් තෙවරක් එම නීති කඩකළ කෙනෙක් මරණීය දණ්ඩනයට යටත් කරන්න පුළුවන් උනා." මොහොතකට නැවතුන ඔහු යළිත් කතාව පටන්ගත්තා. "මේ සදාචාරය ශෝකයේ අඳුරු සළුවකින් හවායි හී ස්‍වදේශිකයින් වසාදැම්මා. ආශ්වාදජනක හැඟීම දූපත්වාසී ජනයාගේ ජීවිතවලින් ඉවත්වීම නිසා දූපත්වල ජනගහණය අඩුවන්නට පටන් ගත්තා."

"රැජිණත් එක්ක තිබුන ගනුදෙනුව මොකද්ද?" මට ඉබේම කියවුනා. ඒත් සොයිලෝට මම කියූ දේ ඇහුන බවක්වත් පෙනුනෙ නෑ. 

"මේ දැඩි ක්‍රිස්තියානි සදාචාරය පැතිරුන කාලයේම සමාජ රෝග, මුදලට ඇති කෑදරකම හා මද්‍යසාරත් දූපත් පුරාම පැතිරුනා. දූපත් සමූහයේම ජනගහණය අඩුවෙන්න පටන් ගත්තා. ඔවුන් තීරණය කළා කායික ශ්‍රමය ආසියාවෙන් ආනයනය කරන්න. ඒකයි සැබෑවටම හවායි වල ස්වදේශිකයින්ගෙන් පැවතෙන්නන් මේ තරම් අඩු ප්‍රමාණයක් ඉතිරිවෙලා තියෙන්නෙත් මෙතරම් ආසියානුවන් සිටින්නෙත්. එකල නිදහස්කාමී ජීවිතයෙන් දැන් ඉතිරිවෙලා තියෙන්නේ මල් හා සංගීතය පමණයි. දැන් මට කියන්න කවුද හොඳ මිනිස්සු, කවුද නරක මිනිස්සු කියලා.'

කොතරම් අපූරු කතාවක්ද! ඒත් මේ හොඳ මිනිස්සු - නරක මිනිස්සු ගැටළුව හින්දා මගේ මොලයත් ගැටගැහිලා ‍වගේ. ඒක ලිහලා දෙන්න සොයිලෝටත් එච්චර උනන්දුවක් තියන පාටක් නෑ. ඒ හින්දා මටම උත්තර හොයන්න මහන්සි වෙන්නයි සිදු උනේ. ඒත්, එකපාරටම මට තේරුනා වැඩේ. මේ ප්‍රශ්නෙ ගැන මේ තරම් උනන්දුවක් ඇතිවෙන්න එකම හේතුව මම අර මුලින්ම කිව්වා වගේ පොඩි කාලේ ඉඳලම මට දරාගන්න බැරි ආශාවක් තිබුනා චිත්‍රපටියක දුෂ්ටයා වෙන්න. මට තේරෙන්නෙ නෑ ඇයි කියලා, ඒත් ඒකෙ ලොකු ආකර්ෂණයක් තියනවා වීරයෙක් වෙනවට වැඩිය. සමහරක් විට ජාන වලින් ආපු දෙයක් ද දන්නෙ නෑ. නැත්තං මං කාපු දෙයක් හරියට දිරවලා නැද්ද දන්නෙත් නෑ. කාට තේරෙනවද? ඒත් අර ඉස්සරලා සඳහන් කරපු  007 සිද්ධියයි  අනෙක් සිදුවීම් දිහයි බලන කොට මට හිතාගන්න බෑ ඒක කොහොම කරන්නද කියලා. ඒ දෙක වෙන් කරන සීමාව හරිම ‍අපැහැදිළියි. මොකද කියනවනං  හුඟක් වෙලාවට වීරයෝ වැඩ කරන්නෙ ඒගොල්ල දුෂ්ටයින්ගෙන් වෙන්කරලා හඳුනගන්න බැරි විදියට.      


         


 

 

   

 

   



2 comments:

  1. ඔක්කොම කියවලා ඉවර උනාට පස්සෙ මගෙත් මොලේ කචල් උනා වාගෙ😂😂😂😂

    හැමදේම සාපේෂයි සහ, හැමෝගෙම හොඳ නරක දෙකම තියෙනවා කියන එක තමයි මගෙ නම් අදහස. 🤔

    ReplyDelete
  2. පෝස්ට් එකේ වගේම උඩහ නවී කියල තියෙනව විදිහට... හැමදේම සාපේක්ෂයි, හැමෝගෙම හොඳ නරක තියෙනව. නරකම මිනිහෙක් පවා තමන්ගෙ දරුවට බොහොම ලෙන්ගතුව කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම හොදයි කියල කියන පුද්ගලයෙක් පවා තම දරුවන්ව හෝ බිරිඳ තකන්නෙ නැතිව ඉන්න පුළුවන්.

    වෙන්න ඕන මිනිස්සු නරකින් ඈත් කරලා හොඳ වෙත ලං කිරීම මිසක් අර කෙනඩිගෙ වගේ පුහු පෞර්ශ ගොඩ නැගීම නෙමේ

    ReplyDelete