අන්තිමේදී අපි දරුවන් කෑවෙමු

                         

 කැනේඩියානු ලේඛක යාන් මාර්ටල් ලෝ ප්‍රකට වූ‍යේ ඔහු විසින් රචිත Life of Pi කෘතිය නිසා ය. මේ සඳහා 2002දී ඔහුට බුකර් සම්මානය හිමි වු අතර එය ඇසුරින්  සිනමා නිර්මාණයක් මෙන්ම වේදිකා නිර්මාණයක් ද බිහි විය. (හිරාන් අබේසේකරට හොඳම නළුවා සඳහා වූ ලෝරන්ස් ඔලිවියර් සම්මානය හිමිකර දුන්නේ ද එම වේදිකා නාට්‍යයයි.) We ate the children last නමින් ඔහු ලියූ කෙටිකතාවේ පරිවර්තනයයි මේ. විද්‍යා ප්‍රබන්ධයක ස්වරූපයෙන් ලියවී ඇති මෙය වත්මන් සමාජයේ හැසිරීම හා එය පාලනය කරන බල අධිකාරිය තියුණු විවේචනයකට ලක්කරයි. අප රටේ  මෑත භාගයේ ඇති වූ දේශපාලන චලනය ද මේ උපහාසාත්මක රචනය හරහා තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙහි වරදක් නැතැයි සිතමි.

     

                          

මිනිසෙකු සඳහා වන පළමු අත්හදාබැලීම කෙරුනේ බඩවැලේ පිලිකා රෝගයකින් පෙළෙමින් සිටි පුරුෂයෙකු වූ  අවිවාහක, දරුවන් නැති වයස 56 ක් වූ D නම් රෝගියා සඳහා ය. ඔහු ඇටසැකිල්ලක් මෙන් කෙසඟ සිරුරක් ඇති, ලේ හිඟකමින් සුදුමැලි වූ පෙනුමින් යුත්, දියර වර්ගයක් පවා දිරවා ගැනීමට ශක්තියක් නොතිබූ මිනිසෙකු විය. තමා මරණාසන්න තත්ත්වයට පත්ව ඇති බව දැනසිටි ඔහු ප්‍රතිකර්මය වැරදී ගියහොත් නීතිමය පිළිසරණ පැතීමට ඇති අයිතිය ද අතහැර දැමීමට එකඟව සිටියේය. ඔහුගේ සුවය ලැබීම විශ්මයජනක විය. ශල්‍යකර්මයෙන් දින දෙකකට පසුව ඔහු දිවා ආහාරයට කෑම වේල් හයක් එකවර ගිලදැමීය. සති දෙකක් තුළ බර කිලෝ විසිහතරකින්  වැඩි විය. ඔහුගේ අග්න්‍යාශය, අක්මාව හා සිරුරේ වඩාත්ම අවදානමට ලක්ව තිබූ ඉන්ද්‍රීයය වූ පිත්තාශය ද පැහැදිළිවම ඉන්ද්‍රීය බද්ධයට හැඩගැසී තිබුණේය. අවධානයට යොමු වූ එකම අතුරු ආබාධය මතුව තිබුනේ ඔහුගේ ආහාරය පිළිබඳව ය. රෝගියා පළමුව පැණිරස කෑම වර්ග ද ඉන්පසු කුළුබඩු මිශ්‍ර ආහාර ද පසුව පිසූ ආහාර මුළුමනින්ම ද පිළිකුල් කරන්නට පෙළඹුනේය. ඔහු කෙසෙල් හා දොඩම් ලෙලි පිටින්ම ආහාරයට ගන්නට පටන්ගත්තේය.  හෙදියක් වාර්තා කර තිබුනේ එක් උදෑසනක ඔහු කාමරයේ තබා තිබූ මල් ආහාරයට ගනිමින් සිටිනු දුටු බවයි.

ප්‍රංශ වෛද්‍ය කණ්ඩායමට හැඟී ගියේ තමන් නිවැරදි බව තහවුරු වූ බවයි. ඒ වන තෙක් වෙනස් වූ සත්ව වර්ග අතර පූර්ණ ඉන්ද්‍රීය බද්ධ කිරීම්වල සාර්ථකත්වය පැවතියේ බින්දුවේ ය. හෘදය, අක්මාව, බැබුන්ගෙන් ලබාගත් ඇටමිදුළු, චිම්පන්සි වකුගඩු වැනි  සත්ව ඉන්ද්‍රීය මනුෂ්‍යයන්ට බද්ධ කිරීම් සියල්ලම අසාර්ථකව පැවතිණ. ලබාගෙන තිබූ එකම සැබෑ ජයග්‍රහණය නම් ඌරන්ගේ හෘදය කපාට මිනිසුන්ගේ හදවත් සුවපත් කිරීම සඳහා බද්ධ කිරීම ය. ඊට අමතරව පිලිස්සුම් තුවාළ ලත් රෝගීන් සඳහා ඌරන්ගේ සම යොදාගන්නා ලදී. වෛද්‍ය කණ්ඩායම මෙම සත්වයින් වඩාත් සූක්ෂමව අධ්‍යයනය කිරීමට තීරණය කළහ. එහෙත් ඌරන්ගේ ඉන්ද්‍රිය ප්‍රතිශක්තිය අතින් දුර්වල කිරීමේ ක්‍රියාවලිය දුෂ්කර කාර්යයක් බව පෙනීගිය අතර සුදුසු තත්ත්වයට පත්වූයේ ඉන්ද්‍රිය ස්වල්පයකි. ජෛව විද්‍යාත්මකව නම්‍යශීලී බවක් තිබුන ද ඌරාගේ ආහාර ජීර්ණ පද්ධතියෙහි ශක්තිය කෙරෙහි විද්‍යාඥ ප්‍රජාව, විශේෂයෙන් අමෙරිකානු විද්‍යාඥයින් කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත. ඌරාගේ ඉන්ද්‍රියය වීශාලත්වයෙන් වැඩි බව ද එහි ඇති අධික කැලරි උත්පාදන හැකියාව මිනිසා තුළ ස්ථූලතාව ඇති කිරීමට හේතුවනු ඇතැයි ද උපකල්පනය කරන ලදී. ප්‍රංශ කණ්ඩායමේ දැඩි විශ්වාසය වූයේ මේ ප්‍රශ්න දෙකටම ඔවුන් සොයාගත් සරල විසඳුම වූ විශාල බඩක් සහිත කුඩා ප්‍රමාණයේ ඌරු වර්ගයක ආහාර ජීර්ණ පද්ධතිය යොදාගැනීම නිව්ටන්ගේ ඇපල් ගෙඩිය මෙන් වීද්‍යාවේ පුරාවෘත්තයක් වනු ඇතැයි කියා ය. "අපි මේ පුද්ගලයට ඇතුල් කරල තියෙන්නේ සිරුරටම ගැලපෙන  බලවත් ශක්ති ප්‍රභවයක්, හරියට ෆෙරාරි එන්ජිම වගේ!" වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා උදම් ඇනීය. 
D නම් වූ මෙම රෝගියා ඉතා සියුම් ලෙස අධීක්ෂණයට භාජනය කරන ලදී. ගන්නා ලද ආහාර ගැන විමසූ විට ඔහු  නිශ්චිත පිළිතුරක් නොදී මග හැරියේය. ශල්‍යකර්මයෙන් මාස තුනකට පසුව පරීක්ෂාවක් සඳහා ඔහු පදිංචි නිවසට ගිය අයට පෙනුනේ ඔහුගේ කුස්සිය හිස්ව පාළුවට ගොස් තිබූ බවයි. ශීතකරණය හා ගිනිඋඳුන ඇතුළු සියළුම දේ ඔහු විසින් විකුණා දමා තිබිණ. රාක්ක හිස් ය. අවසානයේදී ඔහු රාත්‍රී කාලයට කුණුබක්කි කරා යන බව පිළිගත්තේය. කුණු වී දුගඳ හමන සොසේජස්, කුණු වූ පළතුරු, පුස් බැඳුන චීස්, කොළපැහැ ගැන්වුන පාන්, සම් කැබළි හා මළකුණු, නරක් වී ඉවත දමන අනෙකුත් ආහාර කොටස් හා කුස්සිවලින් ඉවත දමන අපද්‍රව්‍ය ගිලදමන තරම් සතුටක් තවත් නොවූ බව ඔහු කියා සිටියේය. නින්දේ දැඩි අවශ්‍යතාවක් තවදුරටත් නොදැනුන නිසාත් ගන්නා ආහාර පිළිබඳව ලජ්ජාවක් දැනුන නිසාත් රාත්‍රී කාලයේ වැඩි කොටසක් ඔහු ගතකළේ මේ සඳහා බව ද පිළිගත්තේය. මේ පිළිබඳව වෛද්‍ය කණඩායම සැලකිල්ලක් දැක්වීමට ඉඩ තිබුණද රෝගියාගේ හිමොග්ලොබින් මට්ටම ඉතා සතුටුදායක වූ නිසාත් රුධිර පීඩනය හොඳ මට්ටමක තිබුණ නිසාත් තව දුරටත් කෙරුන පරීක්ෂණ වලින් බැලූ බැල්මට ඇහැට පෙනෙන්නට තිබූ ලෙසම ඔහු විශිෂ්ඨ නිරෝගී සුවයකින් සිටින බව තහවුරු වූ නිසාත්  එවන් අවශ්‍යතාවක් මතු උනේ නැත. 
නියාමන අනුමැතිය වහා ලැබුණ  අතර විකීරණ චිකිස්තාවට යහපත් ප්‍රතිචාර නොදැක්වූ ජීර්ණ පද්ධතියේ සියළුම පිලිකා සඳහා රසායනික චිකිස්තාව වෙනුවට පිළිගත් ප්‍රතිකර්මය ලෙස  මෙම ක්‍රියා පිළිවෙළ යොදා ගැණින. 
දුප්පතුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ බලපෑම් කණ්ඩායමක් වූ 'යහපත් පුරවැසියෝ' සංවිධානය මෙම අපූර්ව වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම සමාජ ගැටළුවක් සඳහා යොදාගැනීමට කල්පනා කළහ. සමාජ සුබසාධන මත යැපෙන පුද්ගලයින්ට මෙම ශල්‍යකර්මය කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඔවුහු යෝජනා කළහ. දුප්පතුන් නිතරම පෝෂ්‍ය ගුණයෙන් හීන ආහාර ගත්තේ ඔවුන්ගේ  ශරීර සෞඛ්‍යයටත් ඔවුන් සඳහා වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් විශාල මුදලක් වැය කළ රජයටත් අහිතකර ප්‍රතිඵල ලඟා කර දෙමිනි. ආහාර සඳහා වන වැය බිංදුවට අඩු කර සෞඛ්‍යසම්පන්න බවට ආදර්ශයක් සේ ඉදිරිපත් කළහැකි තරම් නිරෝගී මිනිසුන් නිර්මාණය කිරී‍මේ නුවණැති දැක්මකින් යුත් ප්‍රතිකර්මයකට වඩා හොඳ ක්‍රියාවළියක් තවත් තිබිය හැකි ද? මනාව සංවිධානය කෙරුනු පෙත්සම් ද "මන්දපෝෂණයට තිත!; අගහිඟකමට තිත!" යනුවෙන් බැනර් එසවුනු  විරෝධතා ව්‍යාපාර ද පහසුවෙන්ම ආණ්ඩුවේ දෙගිඩියාව නැතිකර දැමීමට සමත් විය. 
තරුණ පරපුරේ අය ද  සමාජයේ සම්මත චර්යාවලට අනුගත නොවූවන් ද විලාසිතාවනට ආශක්ත වූවන් ද නිදහස් මතධාරීන් ද යනාදී තම ජීවිතවල වෙනසක් පැතූ සියළුම දෙනා අතර මේ ක්‍රියාවලිය වේගයෙන් පැතිර ගියේය. කුණුකසල ආහාරයට ගැනීම පහත් කොට සැලකීමේ ආකල්පය මු්ළුමනින්ම අතුරුදන් විය. කෙටියෙන් කියනවා නම් අවන්හල ප්‍රතිගාමී ආයතනයක් වූ අතර පිසූ ආහාර ගැනීම හෙලාදැකිය යුතු ලෞකික වටිනාකම් කෙරෙහි ඇතිකරගත් බැඳීමේ සංකේතයක් විය. බඩවැලේ විප්ලවයක් සමාජය කළඹවමින් තිබිණ. 'නිදහස! නිදහස!' යන්න ශල්‍යකර්මයට භාජනය වූවන්ගේ සටන් පාඨය විය. පොහොසත්බව යන්නෙහි අරුත වෙනස්වෙමින් පැවතිණ. සිදුවෙමින් පැවති සියල්ල හිස කරකැවිල්ල ඇතිකරන තරම් විය. ශල්‍යකර්මය කරගත්තවුන්ගේ නිසැක සළකුණ වූයේ ගෙ‍ලෙහි මුල වූ කැළලකි. එය අප ගෞරවයෙන් පැළඳි ලාංඡනයක් විය.
අයාලේ යන බළලුන්ගේ හා බල්ලන්ගේ විශ්මයජනක අඩුවීම පිළිබඳව සත්ව ආරක්ෂාව පිළිබඳ සංගමයේ වාර්තාවකට එතරම් අවධානයක් යොමු නොවීය. කුණුකසල දැඩි ඉල්ලුමක් සහිත භාණ්ඩයක් විය. කූඨ ජාවාරම්කරුවෝ මේවා විකිණීමට පටන් ගත්හ. කුණුකසල බැහැර කරන තැන් අනතුරුදායක ස්ථාන විය. කුණුකසල එකතුකරන්නන් පහරදීම් වලට ලක් වූහ. මේවා ලබාගැනීමට තරම් වාසනාවන්ත නොවූවෝ තණකොල කෑමට පෙළඹුණහ. 
වයස්ගතවුවෝ සළකුණකුදු නොමැතිව අතුරුදන් වන්නට පටන් ගත්හ.  ළදරුවන් ගෙනයන රථ තල්ලුකරගෙන ගිය මවුවරු මදකට හෝ ඉවත බැලුවොත් නැවත දකින්නට ලැබුනේ හිස් ළදරු රථයකි. රජය ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීය. දින තුනක් ඇතුළත ආරක්ෂක හමුදා කිසිදු වෙනසක් නැකිව නීතිගරුක පුරවැසියෙකු ද අපරාධකරුවෙකු ද යන්න පවා නොසලකා  ශල්‍යකර්මයට භාජනය වූ සියළුම දෙනා වටලා අත්අඩංගුවට ගත්හ. 'නිදහස් සූකර' පුවත්පත විරෝධය පෑමට උත්සාහ කළ ද පොලීසිය පුවත්පත් කාර්යාලය වැටළු අතර විනාශ නොවී බේරාගැනීමට හැකි වූයේ පිටපත් කිහිපයක් පමණි. වැටලීම් කෙරෙන අතරතුර භීෂණකාරී ‍ක්‍රියා බහුලව සිදුවිය. අසල්වැසියෝ තම අසල්වැසියන් පාවා දුන්හ. දරුවන් සිය පවුලවලින් වෙන් කරන ලදහ. මිනිසුන්, ගැහැණුන් හා ළමයින් ශල්‍යකර්මයට බඳුන් වූ කැළැල් සෙවීම සඳහා ප්‍රසිද්ධිය‍ේ නිරුවත් කරන ලදී. පලායාමට තැත් කළ ජනයා එතැන්හිදීම නඩු අසා  මරණීය දණ්ඩනයට පමුණුවන ලදී. පුනරුත්ථාපන කඳවුරු පිහිටුවනු ලැබූ අතර සෑමවිටම පාහේ මේවා පිහිටුවනු ලද්දේ මයිල්ස්, ගර්ස්, වර්නෙ ඩා'රීජ්, බර්නෙ ලා රොලෝන්, පිතිවියර්ස්, රිසැබඩ්‍යු වැනි දුරින් පිහිටි කුඩා නගරවල ය. 
එකම කඳවුරකට හෝ ආහාර සැපයීම සඳහා පියවර ගෙන නොතිබිණ. ඒ සියල්ලගෙන්ම අසන්නට ලැබුන කතාව එකම විය. පළමුව රැඳවියෝ තමන්ගේ ඇඳුම ආහාරයට ගෙන නිරුවත්ව සිටියහ.  දෙවනුව දුර්වලව සිටි පිරිමින් සහ ගැහැණුන් අතුරුදහන් වූහ. ඊලඟට පැමිණියේ අනෙකුත් කාන්තාවන්ගේ වාරයයි. පසුව තවත් පිරිමින් අතුරුදන් විය. ඊලඟට අපි අපගේ ආදරයට වඩාත්ම ලක්වූ‍වන් කෑමට ගත්තෙමු. අවසානයට ඉතිරි වූයේ ෂෝන් ප්‍රොටී නම් වූ අතිශය ප්‍රචණ්ඩකාරී සිරකරුවෙකි. තමාගේම පා ඇඟිලි හා කන්පෙති හැරෙන්නට වෙනත් ආහාර බිඳක් හෝ නොමැතිව දින 41ක් ගතතළ ඔහු අවසානයේ නොනවත්වා පැය 30ක් මරහඬ දෙමින් සිට මියගියේය.
මට ගැළවීමට හැකි විය. තවමත් හොඳ ආහාර රුචියක් දැනුනත් මේ රටෙහි ඇත්තේ මට පවා දිරවාගත නොහැකි තරමේ සදාචාරාත්මක කුණුවීමකි. කුමක්, කොතැන්හිදී, කෙසේ සිදුවිනි දැයි සෑමදෙනාම දැන සිටියහ. අද පවා සෑමදෙනාම දැන සිටිති. එහෙත් කිසිවෙකුත් ඒ ගැන කතා නොකරන අතර වරදට දඬුවම් විිඳි අයෙකු ද නැත.  මට මේ සියල්ල දරාගෙන සිටිනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නැත.          
       

6 comments:

  1. ඔලුව විකාර උනා හැබැයි🤕

    ReplyDelete
  2. හොරර් ෆිල්ම් එකක් හදන්න පුළුවන් ... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. කෙටි චිත්‍රපටියක් තියනවා.You tube ගිහින් We ate the children කියලා ගහලා බලන්න.

      Delete
    2. Correction: We ate the children last

      Delete
    3. බලන්නම් ... මම හැබැයි හොරර් බලන්න ආස නෑ .. හෙහ් හෙහ්

      Delete
  3. The අපට වෙච්ච දේ show

    ReplyDelete