රජ තෑග්ග

 


                                                                         (cartoon movement වෙතින්)

සමාජ මාධ්‍ය තුළින් ජනගත වන පුවත් අඩවි හා අනෙකුත් තොරතුරු නියාමනය කිරීම සඳහා පනතක් ගෙන ඒමේ සූදානමක් ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වී ඇති බව පෙනේ. එය සිංගප්පූරුව ආදර්ශයට ගෙන සැකසීමේ සූදානමක් ගැන ද බලධාරීන්ගේ ශ්‍රී මුඛවලින් ප්‍රකාශයට පත්ව ඇත. මේ පුවත දුටු මගේ මතකයට නැගුනේ කළකට පෙර මා හට කියවන්නට ලැබුන අපූරු කතාන්දරයකි. 

     මීට ශතවර්ශ ගණනාවකට ඉස්සර යුද්ධ කරලා රටවල් අල්ලාගන්න මහත් ලැදි කමක් දැක්වූ යුධකාමී රජ කෙනෙක් හිටියා. බොහෝ කලක් පසු නොබැස කරන ලද යුද්ධයකින් පසුව විශාල කාන්තාර ප්‍රදේශයක් තම අණසක යටතට ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. "කිසිම සැකයක් නෑ, ලෝකයේ ශ්‍රේෂ්ඨතම අධිරාජයා මමයි." ඔහු තම රාජ්‍ය සභාවේදී පුරසාරම් දෙඩුවා. එතෙකින් නොනැවතී "රටේ පුරවැසියන් මොනවද මං ගැන කියන්නේ?" යි රාජ්‍ය සභාවේ සිටි මැති ඇමති වරුන්ගෙන් අහලා බැලුවා. 

"මහා අධිරාජයාණන්වහන්ස, රටේ හැම කෙනෙක්ම ඔබවහන්සේගේ ගුණමයි වර්ණනා කරන්නේ. ඒත් එක මිනිහෙක් ඇරෙන්න. අලී කියලා ඔටුවෝ දක්කන මිනිහෙක් ඉන්නවා. මිනිහගේ වැඩේ ඔබතුමාට ගරහලා කතා කරන එකමයි." මහ ඇමති නැගිටලා කියා සිටියා. 

"කොහොමද ඌට එහෙම හයියක් ආවේ?" රජතුමා කෝපයෙන් ගුගුරා හැලුනා.

 "වහාම ඕකා මා ඉදිරියට ගේන්න ඕනෑ. මම උගේ දිව කපලා දානවා!" 

අන්තිමේදී අලි මාලිගාවට ගෙනල්ලා රජතුමා ඉදිරියට පැමිණෙව්වා. ඔහු රජතුමාගේ කකුල් දෙක ලඟ වැඳ වැටුනා. 

"අන්තිමේදී මගේ ජීවිතේ තිබුන ලොකුම ආශාව මැරෙන්න ඉස්සර ඉෂ්ඨ කරගන්න පුළුවන් උනා. ඒ තමයි ඔබ වහන්සේ පණපිටින් දැකබලා ගන්න එක. මම ඔබවහන්සේ ගැන නරක වචන තිව්වේ එහෙම කරාම මා ඔබවහන්සේ ඉදිරියට පමුණුවන බව දැනගෙනමයි." 

"මට ඕනෑ උනා මම ඔබවහන්සේ ගැන ලියපු කවියක් ඔබතුමන් ඉදිරියේ ගායනා කරන්න." 

"එහෙම නම් එය ගායනා කරනු." රජතුමා අණ දුන්නා.

අලී පොඩි කාලේ තමන්ගෙ සීයා කියලා දුන්න කවියක් ගායනා කරන්න පටන් ගත්තා. ඒක ලියවිලා තිබුණේ මහා ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවෝ ගැනයි. හැබැයි ඇලෙක්සැන්ඩර් රජතුමාගේ නම තිබුන හැම තැනකම තමන් ඉස්සරහ ඉන්න රජ්ජුරුවන්ගේ නම යොදලා කියන්න අමතක කළේ නෑ. 

රජතුමා සතුටින් ඉපිලී ගියා. "හොඳ කවියක්!" ඔහු කිව්වා. "ඉතාමත් ලස්සනට, නිවැරදිව මා ගැන ලියා තිබෙනවා. අප නුඹට ත්‍යාගයක් ලබාදිය යුතුයි." 

"නුඹට පෙනෙනවා නේද අතන තබා තිබෙන සෑදල ගොඩ? ඒ තමයි අප ලඟ තිබෙන හොඳම සෑදල. නුඹට කැමති එකක් එතැනින් තෝරා ගනු." රජතුමා කිව්වා. අලී වටපිට බැලුවා. ඔහු දැක්කා සතුන්ගේ පිටේ යනවිට දාන සෑදල ගොඩක් තිබෙනවා. ඔහු එතැනට ගිහින් බූරුවන් පිටේ පළඳවන සෑදලයක් තෝරාගෙන රජතුමාට ස්තූති කර ගෞරවාචාර දක්වා රජ මාලිගයෙන් පිටතට ආවා. 

අලීගේ ගමේ මිනිස්සු හොඳින්ම දැන සිටියා රජතුමා අලීගේ හිස ගසා දමන බව. ඔවුන් රාජ මාලිගයේ දොරටුවෙන් පිටත රැඳී සිටියේ ඒ පිළිබඳ තොරතුරු හරියටම දැනගන්නයි. ඒත් අලී පණ පිටින් එළියට එනවා දැකපු ගම්වැසියෝ පුදුමයට පත් උනා. 

රජතුමා නුඹ නිදහස් කළාද? ඔවුන් විශ්මයෙන් ඇසුවා.

ඇයි නැත්තේ? අලී පිළිතුරු දුන්නා. මම රජතුමාගේ ගුණ වර්ණනා කරන කවියක් ගායනා කළා. එතුමා මට එතුමා පළඳින හොඳම සළු වලින් එකක් තැගි කළා.

රජතුමා එතුමා පළඳින සළුව තෑගි කළා? ගම්වැසියන්ගේ ඇස් උඩ ගියා. කෝ ඒක? ඔවුන් එක්වරම විමසුවා.

මේ තියෙන්නේ! අලී මෙච්චර වෙලා කරේ තියාගෙන ආපු බූරු සෑදලය ගම්වැසියන්ට පෙන්නුවා.  



                                                                       

                                                                  * * *
              

 



 

 

3 comments:

  1. හා හා මරු කතාව . මේක අහල තිබුනේ නැති එකක්

    ReplyDelete
  2. කලින් අහලා නෑ. නස්රුදින්ගෙ කතාවලට සමානයි.

    ReplyDelete