දවසින් වරුවක්

 

නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අරාබි ලේඛකයා වන ඊජිප්තු ලේඛක Naguib Mahfouz ගේ Half a Day කතාවේ පරිවර්තනයකි. 

     (cartoon movement වෙතින්)

 තාත්තාගේ අතේ එල්ලීගෙන ඔහු තබන දිගු පියවර හා පෑහෙන්නට දුවමින් තාත්තාත් සමග ඉදිරියට ගමන් කළෙමි. කලු සපත්තු, කොළ පැහැති පාසැල් නිල ඇඳුම හා රතුපාට කුර්දි තොප්පිය ආදී මාගේ සියළුම ඇඳුම් අළුත්ම ඒවා විය. කෙසේ වුවද අළුත් ඇඳුම් පිළිබඳ දැනුන සතුට සපුරා විඳගන්නට නොහැකි වු කරුණ වූයේ එය උත්සව දිනයක් නොවී මා පළමුවෙන්ම පාසැල් යන දිනය වීම ය. 

මගේ අම්මා අප යන දෙස ජනේලය අසල සිටගෙන බලා සිටි අතර මා වරින් වර ඈ දෙස හැරී බැලූයේ උදව් ඉල්ලා ආයාචනා කරන්නාක් මෙනි. අප ගමන් කරමින් සිටියේ වගා කරන ලද ‍බිම්වලට මායිම් වූ පාරක් දිගේ ය. පාර දෙපසම හාත්පස පැතිර තිබුනේ ප්‍රික්ලි පෙයාර්ස්, හෙනා ගස් හා අතරින් පතර රටඉඳි ගස් සිටවූ වගා බිම් ය. 

"ඇයි මාව ඉස්කෝලෙ යවන්නෙ?" මම නිර්භයව තාත්තාගෙන් ඇසුවෙමි. "මං ඔයාට කරදර වෙන මොකවත් කරන්නැතිව ඉන්නං." 

"මම ඔයාට දඬුවම් කරනවා නෙමෙයි." ඔහු කිව්වේ සිනාසෙමිනි. "පාසැල කියන්නෙ දඩුවමක් නොවෙයි. ඒක තමයි පිරිමි ළමයි ප්‍රයෝජනවත් මිනිසුන් බවට පත්කරන කම්හල. ඔයා කැමති නැද්ද ඔයාගේ තාත්තා වගේ නැත්නම් අයියලා වගේ වෙන්න?"

මට නම් එය පිළිගත හැකි දෙයක් නොවීය. නිවසේ සුවපහසු බව මට නැති කර දමා මාර්ගය කෙළවර පිහිටි උස් තාප්ප වලින් වටවූ දැවැන්ත, බියකරු බලකොටුවක් මෙන් වූ ගොඩනැගිල්ලට මා රිංගවීමෙන් කිසිදු හොඳක් වේ යයි මට නම් විශ්වාස කළ නොහැකි විය. 

අප ගේට්ටුව වෙත ගිය විට පිරිමි ළමුන්ගෙන් හා ගැහැණු ළමුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබූ විශාල මිදුල දැකගත හැකි විය. "ඔයා තනියම යන්න. ගිහිල්ලා ඒගොල්ලන්ට එකතු වෙන්න. පොඩ්ඩක් හිනාවෙලා  අනිත් අයටත් හොඳ ආදර්ශයක් වෙන විදියට ඉන්න." 

පැකිළීමට පත් මා ඔහුගේ අත තදින් ග්‍රහණය කරගත්ත ද ඔහු මා සෙමින් ඉවතට තල්ලු කළේය. "මිනිහෙක් වෙන්න. ඔයා ජීවිතය ඇත්තටම පටන් ගන්නේ අදයි. ආපහු යන්න වෙලාව එනකොට මං මෙතන ඔයා එනකං ඉන්නවා."

පියවර කිහිපයක් ඉදිරියට තැබූ මා නැවතී වටපිට බැලුවද කිසිවක් නොපෙනුනි. ටිකකින් පිරිමි ළමුන්ගේ හා ගැහැණු ළමුන්ගේ මුහුණු මා ඉදිරියේ දිස්වන්නට විය. මා  ඔවුන්ගෙන් එකකු හෝ දැන සිටියේ නැත. ඔවුන් ද මා හඳුනන්නේ නැත. මට දැනුනේ යන එන මං නොදැන අතරමං වූ පිටස්තරයෙකු මෙනි. එහෙත් කුතුහළයෙන් පිරුනු නෙත් මා වෙත එල්ල විය. මා වෙත සමීප වූ එක් පිරිමි ළමයෙකු "කවුද ඔයාව එක්ක ආවෙ?" යි විමසීය. 

"මගේ තාත්තා", මම කෙඳුරුවෙමි. 

"මගේ තාත්තා මැරිලා.", ඔහු එක්වරම පැවසීය.

කුමක් කියන්නදැයි මට සිතාගත නොහැති විය. කණ කීරිගැහෙන හඬක් නංවමින් ගේට්ටුව වසා දමන ලදී.  ළමයින්ගෙන් සමහරෙක් හඬාවැටෙන්නට පටන් ගත්හ. සීනුව නාද කරන ලදී. පිරිමින් කණ්ඩායමක් ද කැටුව කාන්තාවක් පැමිණියාය. පිරිමින් අප පංතිවලට වෙන් කරන්නට පටන් ගත්හ. අප සිටි විශාල මිදුල අපට ඉහලින් පිහිටා තිබූ ලී වහලින් සැදුම් ලත් දිගු බැල්කනි වලින්  යුත් තට්ටු කිහිපයකින් සමන්විත වූ උස් ගොඩනැගිලි වලින් තුන්පැත්තකින් වටවී තිබූ අතර තේරුම් ගත නොහැකි රටාවකට අප එහි පෙළ ගස්වන ලදහ. 

"මේ ඔබේ අළුත් ගෙදර." කාන්තාව කීවාය. "මෙහෙත් අම්මලා තාත්තලා ඉන්නවා. සතුටු වෙන්න පුළුවන් හැම දෙයක්මත් දැනුමටත් ආගමටත් වැඩදායක දේවලුත්  මෙහෙ තියනවා. කඳුළු පිහදාගෙන සතුටින් ජීවිතයට මුහුණ දෙන්න."

අපි පැවති තත්ත්වයට යටත් වුනෙමු. මේ යටත්වීම සිතට ගෙනදුන්නේ එක්තරා ආකාරයක සහනයකි. ජීවය සහිත වූවෝ අනෙකුත් ජීවීන්ට ආකර්ෂණය වූහ. පළමු මොහොතේ සිටම මගේ සිත මගේ මිතුරන් වීමට නියමිතව සිටි පිරිමි ළමුන් සමග මිතුරුකමින් බැඳුන හෙයින් ද මා හා ආදරයෙන් බැඳීමට ඉරණම් ලැබ සිටි ගැහැණු ළමුන් හා ආදරයෙන් බැඳුන නිසා ද මගේ සිතේ මතු වූ සැක සංකාවලට පදනමක් නොමැති බව පෙනී ගියේය. පාසැල මෙතරම් අපූරු දේවලින් පිරි තැනකැයි මට කෙසේවත් සිතී තිබුනේ නැත. අපි ඔන්චිල්ලාව, පැද්දෙන අශ්වයා, බෝල ගැසීම වැනි විවිධාකාර වූ සෙල්ලම් කළෙමු. සංගීත කාමරයේදී  පළමුවරට ගීත ගායනා කළෙමු. පළමුවරට අපි භාෂාව හඳුනා ගත්තෙමු. කරකැවෙමින් මහාද්වීප හා රටවල් පෙන්වන ලෝක ගෝලයක් දැක ගත්තෙමු. ගණිතය ඉගෙනීමට පටන් ගත්තෙමු. විශ්වයේ මැවුම්කරුවාණන් ගැන අපට කියාදෙන ලදී. එතුමන්ගේ වත්මන් ලෝකය, මරණින් මතු දිවිය පිළිබඳව හා එතුමන්ගේ දේශනාවල කොටස් අපි අසා සිටියෙමු. රසවත් ආහාර ගත් අප කෙටි නින්දක සුවයෙන් අවදිව මිත්‍රත්වය හා ආදරයත් ක්‍රීඩාව හා ඉගෙනුමත් සමග කාලය ගතකළෙමු. 

කෙසේ වුවද අප යා යුතු මග අපට හෙලිපෙහෙළි වූ පසුව එය අප සිතූ තරම් සතුට දනවන හෝ පැහැදිළි එකක් හෝ නොවීය. දුහුවිල්ලෙන් පිරුනු සුළං හා  බලාපොරොත්තු නොවූ අනතුරු හදිසියෙන්ම පැමිණි හෙයින් අපට පරීක්ෂාකාරීව, සූදානමින් හා ඉවසීමෙන් සිටීමට සිදුවිය. සෙල්ලම් කරමින් කෙළිදෙළෙන් කාලය ගත කිරීමක් ද නොවීය. එකිනෙකා කෙරෙහි ඇතිවන විරුද්ධවාදීකම් වේදනාව, වෛරය මෙන්ම කළහ කිරීම් ද ඇති කරන්නේය. කාන්තාව වරෙක සිනාමුසු මුහුණින් සිටිය ද බොහෝ විට කළේ ඔරවා බැලීම හා බැණ වැදීම ය. ඇය වැඩියෙන්ම කළේ ශාරීරික දඬුවම් කිරීමට පෙළඹීම ය. 

එසේ වුවද සිත වෙනස් කරගැනීමට තිබූ කාලය ඉක්ම ගොස් තිබූ හෙයින් ගෙදර නම් වූ පාරාදීසයට ආපසු යාම කොහෙත්ම කළහැක්කක් නොවී ය. වෙහෙසවීම, සටන් කිරීම හා දැඩි උත්සාහයෙන් කටයුතු කිරීම හැරෙන්නට අපට කළහැකි වෙනත් යමක් නොවීය. හැකියාව ඇති අය වේදනාකාරී සිදුවීම් මධ්‍යයේ වුවද සාර්ථකත්වය හා සතුට ලඟාකර ගැනීමට ලැබුන අවස්ථාවලින් ප්‍රයෝජන ගත්හ. දවස හමාර වීම හා වැඩ කටයුතු වල නිමාව හඟවන සීනුව නාද විය. යළිත් විවෘතව තිබූ ගේට්ටුව දෙසට ළමුන් පොදිකමින් කඩාවැදුණහ. මගේ මිතුරන්ගෙන් හා මිතුරු යෙහෙළියන්ගෙන් සමුගත් මා  ගේට්ටුවෙන් පිටතට පැමිණ හාත්පස සිසාරා බැලුව ද මා ආපසු කැටුව යාම සඳහා පැමිණීමට පොරොන්දු වූ පියාගේ සළකුණකුදු නොවීය. ඔහු එනතුරු රැඳී සිටීමට සිතාගත් මා පසෙකට උනෙමි. බොහෝ වේලාවක් බලා සිටිය ද ප්‍රතිඵලයක් නොලැබුනෙන් තනිවම නිවස කරා යාමට සිතාගෙන පියවර කිහිපයක් ඉදිරියට තැබූ මට ඉදිරියෙන් එන මැදි වයසේ මිනිසෙකු පෙණින. මට එක්වරම හැඟීගියේ මා ඔහු හඳුනන බවයි. සිනාසෙමින් මා දෙසට ආ ඔහු අතට අත දී, කොච්චර කාලෙකට පස්සෙද අපි මුණගැහුනෙ, කොහොමද ඉතින්? යයි පැවසීය.

හිස වනා ඔහුගේ වදන් පිළිගත් මා පෙරලා ඔහුගෙන් "ඉතින්, ඔබට කොහොමද?" යි ඇසීමි. 

"පේනවනේ. කියන්න තරම් හොඳක් නෑ. දෙවියන්ට ස්තෝත්‍ර වේවා!"

යළිත් මට අතට අත දුන් ඔහු ඉවත්ව ගියේය. පියවර කිහිපයක් ඉදිරියට ගිය මා තිගැස්සී නතර විය. දෙයියෝ සාක්කි! කෝ මෙතන තිබුන වගා බිම්වලට මායිම් උන පාර? එය අතුරුදන් උනේ කොහොමද? මෙපමණ වාහන සංඛ්‍යාවක් එතැන ආක්‍රමණය කළේ කොයි වෙලාවෙද? මෙතරම් ජනසන්නිපාතයක් මෙතැනට රැස් වුනේ කොයි වෙලාවෙද? මේ කඳු ගැසුන කුණුු ගොඩවල් පාර දෙපස වසාගත්තේ කෙසේද? එයට මායිම් වූ වගාබිම් කොහි ගියේ ද? උස්ව නැගී සිටි ගොඩනැගිලි ඒ තැන් අත්කරගෙන තිබිණ. වීදිය ළමුන්ගෙන් පිරී තිබිණ. අමිහිරි ලෙස නැගුන ශබ්දවලින් පරිසරය පිරී පැවතිණ. විජ්ජාකරුවෝ නොයෙකුත් තැන්වල සිටගෙන ඔවුන්ගේ ඇස්බැන්දුම් ප්‍රදර්ශණය කරමින්, කූඩවලින්  සර්පයින් එළියට එන සැටි මවාපාමින් උන්හ. විකටයින් හා බර උසුලන්නන් පෙරටු කරගත් සංගීත කණ්ඩායමක් පැමිණීමට නියමිත සර්කස් කණ්ඩායමක් පිළිබඳ ප්‍රචාරය කරමින් ගියහ. මධ්‍යම ආරක්ෂක හමුදාවේ ට්‍රක්රථ පේළියක් අභිමානවත් ලෙස සෙමින්, සෙමින් ඉදිරියට ඇදුණි. ගිනි නිවන රථයක නලාව හඬතලනු ඇසුනද එය මේ ජනාකීර්ණ වීදිය අස්සෙන් රිංගා ඇවිලෙමින් තිබූ ගින්නට ලඟා වන්නේ කෙසේදැයි සිතාගත නොහැකි විය. ටැක්සි රියදුරෙකු හා ඔහුගේ මගියා අතර ගැටුමක් හටගෙන තිබිණ. මගියාගේ බිරිඳ උදව් ඉල්ලා කෑගැසුවද කිසිවකුත් එයට පිළිතුරු දුන්නේ නැත. "මගෙ දෙයියනේ!" මා ගල්ගැසිණ. මගේ හිස කරකැවෙන්නට විය. මට පිස්සු නොහැදුනා පමණි. හිමිදිරි උදයේ සිට හිරු බැස යන වෙලාව දක්වා දවසින් බාගයක් තුළ මේ සියල්ල සිදුවුනේ කෙසේද? ගෙදර ගියාම තාත්තාගෙන් අහලා උත්තරේ හොයාගන්න පුළුවන්. ඒත් මගේ ගෙදර කොහේද? මට දකින්නට ලැබුනේ උස්ව නැගුන ගොඩනැගිලි හා  තෙරපෙමින් සිටි මිනිස් සමූහයා පමණි. මම වගාබිම් හා අබු කෝඩා වීදිය අතර වූ හරස් පාර වෙත පය ඉක්මන් කළෙමි. මගේ නිවසට ලඟාවීම සඳහා අබු කෝඩා වීදිය හරහා යා යුතු වුවත් දිගින් දිගටම ඇදී ආ මෝටර් රථ පෙළෙහි ඉවරයක් නොවීය. ගොලුබෙලි ගමනින් ඉදිරියට ඇදුනු ගිනි නිවන රථයේ සයිරන් නලාව උච්ච ස්වරයෙන් හඬතලමින් තිබිණ. "ගින්න එය ගිලගනිමින් සිටින දෙයින් තෘප්තිමත් උනාවේ." මම මටම කියාගත්තෙමි. කුමන වෙලාවක පාර  පනින්නට අවස්ථාවක් ලැබේදැයි නොදැන බෙහෙවින් පීඩාවට පත් මා දිගු වේලාවක් සිටගෙන සිටියෙමි. අවසානයේදී වීදියේ කෙළවර ලොන්ඩරියෙහි වැඩකරන තරුණයා පැමිණ, "සීයේ, එන්න මං සීයව පාර හරහා එක්ක යන්නම්" යයි පැවසීය. 

පසු වදන 

              කුඩා ළමයෙකුගේ පළමු පාසල් ගමන ගැන ලියැවුනු මේ කතාව අවසන් වන්නේ දවසකින් අඩක් වූ පාසැල් කාලය අවසානයේ ළමයා මහල්ලෙකු සේ පාසැලින් පිටවන දර්ශණයකිනි. පුද්ගලයෙකුගේ මුලු ජීවිත කාලයම දවසකින් බාගයකට හකුලුවාලන මේ කතාව අරුත් ගැන්විය හැක්කේ එහි සිදුවීම් හා චරිත සංකේතාත්මකව ගැනීමෙනි. ජීවිතයේ පළමු වතාවට පාසැල් යන දරුවකුගේ දෘෂ්ඨිකෝණයෙන් දිගහැරෙන මෙම කතාව කීම ආරම්භයේදී "මම" යනුවෙන් ඇරඹී පාසැල් බිමට ඇතුල් වූ පසු "අපි" යනුවෙන් වෙනස් වෙයි. සතුටින් පිරුන මිත්‍රත්වය හා ආදරය හමුවන අපූරු තැනක් ලෙස හඳුනාගන්නා පාසැල තුළ කෝපය, ගැටුම් හා වේදනාව ද අභියෝග එල්ල කරන බව පසුව කියැවෙයි. මේ සියල්ල අත්විඳින ඔහු අවසානයේ පාසැල් දොරටුවෙන් පිටවන්නේ මැදිවියේ මිනිසෙකු ලෙසිනි. ඔහුට මුණගැසෙන මැදිවියේ මිතුරා මේ බව අඟවයි. අධික රථවාහන තදබදය නිසා පාර පැනගැනීමට නොහැකිව සිටින විට උදව් කිරීමට තරුණයෙකු පැමිණ "සීයේ" යයි ඇමතීමෙන් මහලු වයසට එළඹ ඇති බව පෙන්වයි. එමෙන්ම නිවසට යාම සඳහා අබු කෝඩා වීදිය වෙත ලඟාවිය යුතුය. අබු කෝඩා යන්න දෙව්පියානන් යන අරුත දෙන බව කියවේ. ඉන් ඇඟවෙන්නේ ඔහු යන්නේ දෙවියන් වෙත බවද? පාසැල පියාට පෙනෙන්නේ කම්හලක් ලෙසය. දරුවාට පෙනෙන්නේ හතරවටින්ම අහුරන ලද බලකොටුවක් ලෙසිනි. එයට දරුවකු ලෙස ඇතුළුවන්නා පිටවන්නේ තවත් අයෙකුගේ උදව් නොමැතිව කිසිත් කරගත නොහැකි මහල්ලෙකු සේය. මෙය අපගේ අධ්‍යාපනය ගැන කෙරුණු ඇඟවීමක් දැයි සිතේ. කෙසේ වුවද අවසාන වශයෙන් කියවන්නා තුළ මැවෙන චිත්‍රය නම් පියාගේ අතේ එල්ලී පාසැලට එන දරුවා අවසානයේ මහල්ලෙකු ලෙස තරුණයෙකුගේ අතේ එල්ලී යන දර්ශණයයි.

මෙම නිර්මාණය පිළිබඳ තව දුරටත් කියවීමට කැමති අයට https://www.encyclopedia.com/education/news-wires-white-papers-and-books/half-day වෙබ් අඩවියට පිවිසීම ප්‍රයෝජනවත් වේ.        


 

          

  


4 comments:

  1. හොඳ කතාවක්. මුළු ජිවිතයම එක දවසක් පාසැල් කාලයට හැකිලුවා වගෙයි. අන්තිමට වයසට යනකොට දැනෙන්නේ එහෙමයි. මගේ පියා දැන් අවුරුදු 25 විතර වෙනවා නැති වෙලා. සමහර වෙලාවට මට පෙනෙව් අඔහු මාව පුංචි කාලේ පාසලෙන් අරන් යන්න එන හැටි. හැබැයි මම දැන් වැඩිහිටි වයසට යන මිනිහෙක්.

    ReplyDelete
  2. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.

    ReplyDelete
  3. පාසල කම්හලක් කියන එක නම් ඇත්ත නෙහ් කොහොමත්..

    පියාගෙ භූමිකාවෙ එක කොටසක් තමයි අපිව පවුලින් වෙන් කරලා සමාජෙට විසි කරලා දාන එක...

    ජීවිතේ ගෙවිලා යනවා ඉතින් අපි නොහිතන විදියට නේද?

    ReplyDelete