වෙනසක් කළා!

 


අපාචේ හංදියේ ඕවන් බක්ට මෙන් මට ද උභතෝකෝටියකට මුහුණ දෙන්නට සිදුවිය. මහ දිග කතාව පළකරද්දී ඒ අතර සුපුරුදු සාමාන්‍ය පෝස්ට් දැමීමෙන් කතාවේ කොටස් යට යන අතර ඊට අවධානය ද අඩුවෙයි. ප්‍රතිකර්මය නම් දිග කතාව සඳහාම මා සකසා තිබූ අළුත් බ්ලොග් එකකට එය මාරු කිරීමයි. එහෙත් පසුව මා තීරණය කළේ කතාවට එලෙසම තිබෙන්නට හැර අමතරව පෝස්ට් එකක් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහා අළුතෙන් සැකසූ බ්ලොග් අඩවිය භාවිත කිරීමයි. එය තවමත් සින්ඩිවලට එකතු වී නැති නිසා එයට මෙතැනින් පිවිසිය හැකිය. මෙහි එන සහෘදයින් සියළුම දෙනාට වෘත්තාන්ත නම් වූ මගේ නව බ්ලොග් අඩවියට ද ගොඩවෙන ලෙස කෙරෙන ආරාධනයයි මේ. 

ප්‍රඥාවෙන් අවසන් නොවූ ආනන්දය





පසුගිය සතියේ ප්‍රවීණ සංගීතඥයෙකු හා මධුර ගී තනු නිර්මාපකයෙකු වූ ආනන්ද ගමගේ මහතා අප අතරින් නිහඬවම වෙන්වී ගොස් තිබිණ. ඒ පිළිබඳව කිසිම පුවතක් කිසිම ජනමාධ්‍යයක පළවී තිබෙන බවක් නුදුටිමි. මා ද ඒ පුවත දැකගත්තේ මා මිත්‍ර, ප්‍රවීණ ලේඛක සිඩ්නි මාකස් ඩයස් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනකිනි. ඒ සටහන කිසිදු වෙනසකින් තොරව එලෙසම මෙහි උපුටා දක්වන්නේ එම පුවතින් ඔහුට දැනුන හැඟීම මට ද එලෙසම දැනුන බැවිණි.