යුද්ධය නිමාවන තැන

 


හෝමර්ගේ ඔඩිසි වීර කාව්‍යය සිනමා කෘතියක් ලෙස තිරය මත දිගහැරෙන්නට යනවිට අප බලාපොරොත්තු වන්නේ එකැස් යෝධයින්, ඔළු හයක් ඇති යක්ෂයින් යක්ෂණියන් හා තම අපරිමිත බලයෙන් ස්වභාව ධර්මය මෙන්ම මිනිසුන්ගේ ඉරණම ද පාලනය කරන බලවත් දෙවි දේවතාවන් හා මේ සියළු දේ මැඩගෙන ජයගන්නා වීරවරයින්ගේ වික්‍රමාන්විත ක්‍රියා රැගත් ක්‍රියාදාම චිත්‍රපටයකි. මා ද මේ වීර කාව්‍යය තිරය මත මැවූ නවතම චිත්‍රපටය බලන්නට වාඩිවෙන විට බලාපොරොත්තු වූයේ ද එවැනි සිනමා නිර්මාණයකි. එහෙත් Uberto Pasoliniගේ The Return නම් වූ නිර්මාණය මේ සියල්ල බැහැර කරමින් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හා ඒ නිසා ඔවුන් මුහුණ දෙන ප්‍රතිවිපාක තම නිර්මාණයට පාදක කරගනී. එක් වෙබ් අඩවියක් සඳහන් කරන ආකාරයට මෙය මේ වීර කාව්‍යය පදනම් කරගෙන නිපදවුනු තිස්තුන්වන නිර්මාණයයි.  

ට්‍රෝයි පුරයේ සිට ඉතාකාව දක්වා ආපසු එන ගමන සඳහා ගතවන වසර දහයක කාලය හා ඒ කාලය තුළ සිදුවන සිදුවීම් බැහැර කරන මෙම චිත්‍රපටය ඇරඹෙන්නේ ඔඩිසියස් නිරුවතින් මුහුදු වෙරළට ගොඩගසා සිටින දර්ශණයකිනි. එතැන් සිට ඔඩිසියස් මාලිගය තුළ තම බලය තහවුරු කරගන්නා අවස්ථාව තෙක් සිදුවන සිදුවීම් මාලාව මෙම චිත්‍රපටයට පාදක වෙයි.  ඔහු රැගෙන ගොස් ප්‍රතිකාර කොට නිරෝගී තත්වයට පත්කරන්නෙ මාලිගයට ඌරන් සපයන ඌරු කොටුව බලාගන්නා ය. ඔහුගේ මාර්ගයෙන් මාලිගයේ සිඟන්නෙකු ලෙස සැරිසරන්නට අවසරය හිමිකරගන්නා ඔහු අවසානයේ සිය පුත් තෙලිමාකුස්ගේ සහය ද ඇතිව සියළු විවාහ අපේක්ෂකයින් ඝාතනය කොට පෙනිලොපී ද තම රටෙහි පාලනය ද යළි සියතට ගනියි. 

හෝමර්ගේ ඔඩිසි වීර කාව්‍යයට අනුව ඔඩිසියස්ගේ ඉරණම තීරණය කිරීමෙහි ලා සියුස් ප්‍රමුඛ අනෙකුත් දෙවිදේවතාවෝ තීරණාත්මක කාර්යයක් ඉටුකරති. ඔඩිසියස්ගේ සිරුරට සිඟන්නෙකුට ගැළපෙන වැහැරුණ පෙනුමක් ලබාදෙන්නේත් අවසානයේ තේජස පිරුණ පෙනුමක් ලබාදෙන්නේත් ඔහුට සිතැති ඇතීනා දෙවඟන ය. එහෙත් මෙහිදී එවැනි දේව මැදිහත්වීම්වල සහය ඔඩිසියස්ට නොලැබේ. මාලිගයේ ආහාර සිඟා යෑමට තවත් සිඟන්නෙකු හා කරන සටනේදී ඔහු නොපැරදී බේරෙන්නේ යන්තමිනි. දුන්න නමා දුනුදිය අමුණනන්නට ඔහුට සහය වන්නේ ඇතීනා දෙවඟන නොවේ. දුන්න ගින්නට අල්ලා පදම්කරගැනීමේ ශිල්පීය හැකියාවයි. හෝමර්ට අනුව ඔඩිසියස් විවාහාභිමුඛ කුමාරවරුන් ඝාතනය කරන විට පෙනිලොපී පසුවන්නේ ඇතීනා විසින් පමුණවන ලද නින්දක ය. ඇය අවදිව එනවිට සියළුම මළසිරුරු ඉවත්කොට මාලිගය පිරිසිදු කොට හමාර ය. එහෙත් මේ සිනමාපටයේදී සියල්ල සිදුවන්නේ ඇය ඉදිරිපිටදීම ය. ඇන්ටිනුස්ගේ හිස ගසාදැමීම සඳහා තෙලිමාකුස් කඩුව ඔසවද්දී ඇය දැඩි විරෝධයක් දක්වයි. එලෙසම ඇන්ටිනුස් ද වරෙක ඇය මුණගැසීම සඳහා ඇයගේ කුටියට පිවිසෙන ආකාරය දකින විට ඇය ඔහු හා සබඳතා පවත්වන්නේ ද යන සැකය ප්‍රේක්ෂකයාගේ සිතෙහි පැනනගී. එමෙන්ම සියල්ල අවසානයේ ලේ වැකි ගතින් සිටින ඔඩිසියස් නහවා පිරිසිදු කරන්නේ ද පෙනිලොපී ය.

මේ සියල්ල සිදුවන්නේ ට්‍රෝජන් යුදධය නිම වී වසර දහයකට පසුව ය. අවි ගැටුම් නිම වී වසර දහයකට පසුවත් ඔඩිසියස්ටත් ඉතාකාවටත් යුද්ධය නිම වී නැතිබව බලාසිටින ප්‍රේක්ෂකයාට දැනෙන හැඟීම ය. වරෙක ඔඩිසියස් සියල්ල හැරදමා ආපසු යාමට තීරණය කරයි. ඔහු වළකා සටන් කිරීමට දිරිගන්වන්නේ ඌරු කොටුව බලාගන්නා යුමායුස් නම් වහලා ය. 

"ඔබ පැන යන්නද හදන්නේ? මම දන්නවා ඔබ කවුද කියලා. මම නිදහස් මිනිසෙක් උනා නම් මගේ දේ වෙනුවෙන් මගේ මිනිසුන් වෙනුවෙන් මම සටන් කරනවා. දැන් ඔබේ යුද්ධය තිබෙන්නේ ට්‍රෝයිවල නොවෙයි මෙහේ." ඔහු පවසයි. එයට ඔඩිසියස් දෙන පිළිතුර යුද්ධය පිළිබඳ බොහෝ දේ කියයි. "මා තනිවම  පැමිණීම ගැන ජනතාව මොනවා කියයිද? මා ඔවුන්ගේ මිනිසුන් මරණය කරා රැගෙන ගියා."

මේ සිදුවීම සියල්ල පෙළගස්වන විට අපට දැනෙන්නේ යුද්ධය අවිගැටුම් නතරවන තැනින් අවසන් නොවන බවයි. රටෙහි සිටි රණශූරයින් මරණය කරා කැඳවාගෙන ගිය ඔඩිසියස්ට ආපසු පැමිණි පසු තමාට හිමි තැන ගැනීම සඳහා රටෙහි ඉතිරිව සිටි ප්‍රභූ පිරිසක් ද ඝාතනය කිරීමට සිදු වෙයි. වීර කාව්‍යයකින් ඔබ්බට ගොස් යුද්ධයේ පසුකම්පනය ප්‍රේක්ෂකයාට විඳින්නට සැලැස්වීම අධ්‍යක්ෂවරයාගේ අරමුණ බව පෙනීයයි. ඔහු ගැන තවත් යමක් පවසන්නේ නම් අප රටෙහි ජනප්‍රිය වූ සිංහල චිත්‍රපටයක් වූ මචං අධ්‍යක්ෂණය කළේ ද මේ පැසොලිනී ය.




පෙනිලොපී:      යුද්ධයට යාමට මග සොයාගත හැකි මිනිසුන්ට ආපසු නිවෙස් කරා 
                        ඒමට මග සොයාගත නොහැක්කේ ඇයි? 

ඔඩිසියස්:         සමහරුන්ට යුද්ධයම නිවෙස වන නිසා.                                                                                                  


No comments:

Post a Comment