යුද පෙරමුණට ගිය කවියා

 සිග්ෆ්‍රීඩ් සසූන් (Siegfried Sassoon) පළමු ලෝක යුද්ධයේ දී යුුද පෙරමුණෙහි සටන් කළ බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. සටන් පෙරමුණෙහි ඔහු දැක්වූ එඩිතරබව හා දක්ෂතාව නිසා ඔහුට කපිතාන් තනතුර දක්වා උසස් වීමට හැකි විය. අද ඔහුු ලොව ප්‍රකට වී ඇත්තේ ශ්‍රේෂ්ඨ කවියෙකු වශයෙනි. ඔහුගේ බොහෝ කවි යුද පෙරමුණෙහි සෙබලුන් අත්විඳි කෘෘරත්වය විස්තර කරන අතර යුද්ධයට වගකිවයුත්තන්ගේ ව්‍යාජ දේශප්‍රේමිත්වය උපහාසයට ලක් කරයි.

සිය හමුදා ජීවිතයේ අවසාන භාගයේ දී යුද පෙරමුණට යාම ප්‍රතික්ෂේප කිරීම නිසා යුද නීතියට අනුව දඬුවමකට ලක්කර හැකි වුවද ඒ වෙනුවට මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු රෝහලකට යොමු කරන ලදී. මිතුරු සොල්දාදුවෙකුගේ වෙඩි පහරකට අහම්බෙන් ලක්ව තුවාල ලබන ඔහු පසුව වෛද්‍ය හේතු දක්වා හමුදා සේවයෙන් ඉවත් විය. යුද පෙරමුණේ සිටියදී ඔහු ලියන ලද දින සටහන් පසුව Siegfried Sassoon - Diaries 1915 - 1918 නමින් කෘතියක් ලෙසින් පළවිය. මේ එයින් උපුටාගත් සටහනකි.


1916 මාර්තු 19 දින

ඊයේ සැඳෑවේ 6.30ට යුද අගල් වෙත අසු පිටින් යද්දී හිරු බැස යන අහස රත්පැහැ දුමාරයකින් සිය කෝපාවිෂ්ටබව පෙන්වමින් තිබිණ. එම දීප්තියට පසුබිම්ව ගම නොපැහැදිළි ඡායාවක් සේ දිස්විය. එය අනතුරින් පිරුන ඌෂ්ණාධික සැඳෑවක් විය. එසේ වුවද රාත්‍රී 10.00ට මා ආපසු එද්දී අත්‍යලංකාර වූ සඳඑළියෙන් පළාතම නැහැවී  මාලන්කෝට්වලට ඉහලිිින් ලා නිල් පැහැයෙන් දිලුන අහසෙහි දීප්තිමත් තාරකාවක් පායා තිබුනි. 

උදෑසන උදාවූයේ යුද අගල්වලින් ලැබුන නරක ආරංචිද සමගය. පළමුව, ඊයේ රාත්‍රියේ යුද අගල් ඉදිරිපිටදී  ෂෙල් වෙඩිල්ලක් වැදීමෙන් ලත් තුවාලවලින් මාර්ගය පෙන්වන රිචඩ්සන් මියගොස් තිබිණ.මෙය ශෝකජනක ආරංචියකි. එසේ වුවද ඔවුහු ආපසු පැමිණි පසු කොහේදෝ සිට පැමිණි උණ්ඩයකින් මගේ පුංචි ටොමීමියගිය බව දන්වා සිටියහ. රාත්‍රී දෙකකට පෙර අවසන්වරට මා දකින විට ඔහු සිය සටහන් පොත අතැතිව මා විසින් අවසානයට ලියූ කවිය කියවමින් සිටියේය. සඳඑළිය වැටී තිබූ යුද අගලෙහි සිට මම ඔහුට සුබ රාත්‍රියක් පැතුවෙමි.  කවදත් මිනිසාගේ දුර්වල තැනක් වූ හැඬීම මා දැන සිටියා නම්! දැන් ඔහු මගේ මතකයෙහි සැරිසරන්නේ ආලෝකමත් වූ කහ පැහැති හිසකෙසින් යුතු වූ සුරදූතයෙකු මෙනි. පසුගිය අගෝස්තුවෙහි සති හතරක් අපි පෙම්බ්‍රෛාක් විද්‍යාලයෙහි කාමරයක කාලය ගතකල හැටි මතක් වෙයි. එම කාමරයෙහි දොරට ඉහලින් එහි පෙර සිටි අයගේ නම 'පැරඩයිස්' යනුවෙන් කොටා තිබුණි. 

වැළපෙන්නට වටිනාතරම් දෙයක් සිදුවූ විට ශෝකය ද සුන්දර දෙයකි. ආත්මය කඳුළින් සෝදා පිරිසිදු කිරීමෙහි අරුත අද මට වැටහීගියේ මරණයෙහි බර මගේ හදවතින් ඉවත්කරමිනි. හුණු කැබැල්ලකින් බීච් ගසෙහි මුළෙහි ඔහුගේ නම ලියා ඉත්ත වැලකින් මල්දමක් සාදා මගේ සදාදරණීය මිතුරාගේ කහ පැහැති හිසකෙස් හා කාරුණිකබවින් පිරුනු දුඹුරු පැහැගත් ඇස් සිහිවීම පිණිස කහ ප්‍රිම්රෝස් මලක් සමග තැබුවෙමි. අද රාත්‍රියේ සළුවකින් ආවරණය කරන ලද ඔහුගේ සිරුර සහායකයින් දෙදෙනාද සමග (අද සවස තරුණ ප්‍රිට්චාර්ඩ් ද මියගියේය.) පසට යටකරනු බලා සිටියෙමි. වලාකුළු තුලින් පෙරී ආ අඩ සඳඑළියේ දේවගැතිවරයා මිනීවලවල් අද්දර සිටගෙන සිටියේය. ඒවා මත අතුරා තිබූ ඉරි වැටුනු ධජ හැරෙන්නට සෑම  දෙයක්ම අඩ අඳුරෙහි ගිලී තිබිණ. රොබර්ට් ග්‍රේව්ස් ද මා අසල සිටගෙන සිටියේය. ඔහුගේ සැහැල්ලු පෙනුමකින් යුත් මුහුණ වේදනාවෙන් විකෘතව තිබුනේය. වරෙක යුද පෙරමුණෙන් නැගුන මැෂින් තුවක්කු හඬ නිසා සංවේගය පළකරන වචන නෑසී ගිය අතර අවසන් කරයුතු නිමවෙද්දී අප සිටි තැනට යාර සියගණනකට ඔබ්බෙන් කාලතුවක්කු උණ්ඩයක් වැටී පුපුරා ගියේය.ටොමී; කිසිදු වරදක් නැති, මෘදු හැගුමින් පිරි, එඩිතර යුදභටයා අප හැර ගියේය. ඔහු මගේ හදවතේ සදා රැඳෙන්නේ ජවයෙන්, සතුටින් හා එඩිතර බවින් පිරීගිය අයෙකු ලෙස ය.

සතුටින් දයාවෙන් එඩිතරබවින් පිරි ඔබ 
නවයොවුන් උණුසුමින් මා අත තරකොට ගත්තත්
මා දුටුවේ සොල්දාදුවෙකුගේ සොහොනකි
මා දුටුවේ සළුවකින් වසා ලූ ඔබේ සිරුරයි

1 ලෙෆ්ටිනන් ඩේවිඩ් තෝමස් - සිග්ෆ්‍රීඩ් සසූන්ගේ A Subaltern, The Last Meeting හා A Letter Home යන කවි ලියැවුනේ ඔහු පිළිබඳවයි.     

5 comments:

  1. //සෙබලුන් අත්විඳි කෘෘරත්වය... යුද්ධයට වගකිවයුත්තන්ගේ ව්‍යාජ දේශ ප්‍රේමය...//
    කියෙව්වා. සදාතනික සත්‍යයක්.👌

    ReplyDelete
  2. වැළපෙන්නට වටිනාතරම් දෙයක් සිදුවූ විට ශෝකය ද සුන්දර දෙයකි. නෙගටිව් අත්දැකීම පොස්ටිව් වෙන තැනක්. ඒත් සුන්දර ශෝකයක් කියන්නේ හරිම ඩිප්රෙසින් අදහසක්. පරිවර්තනය ලස්සනයි . ඔය පළමුවෙනි ලෝක යුද්ධේ හරිම ඛෙද ජනකයි කියල මම කියවල තියනව . අර ප්‍රංශ සහ ඉංග්‍රීසින් ට මස්ටර්ඩ් ගෑස් ගහල මැරෙන තැන හෙම .

    ReplyDelete
    Replies
    1. දෙවන ලෝක යුද්ධය ගැන තරම් අවධානයක් පළමු ලෝක යුද්ධය ගැන නැති නිසා අවධානය යොමුවෙනවත් අඩුයි.

      Delete
  3. ලියමන අගෙයි. දිගට ලියන්න තිබ්බ.
    අර කියමන කියෙව්වම මට මෙහෙම අදහසක් ආව. මේක ඔබෙ පරිවර්තනයත් එක්ක සම්බන්ධනම් නෑ හොඳේ ☺️​

    "ශෝක වන්නට තරම් දෙයක් සිදුවූ විට හැඬීම ද සුන්දර දෙයකි"

    ReplyDelete
  4. කවියෙකුට වේදනාවෙනුත් රසයක් මතුකර හැකිනේ!

    ReplyDelete