අප ආ මඟ මඟ සලකුණු

 

(cartoon movement වෙතින්)


රට යහමගට ගැනීම සඳහා අරගලයක් දියත්ව ඇති මේ මොහොතේ වසර 74ක ශාපයක් ගැන ද අනේක වූ ලියවිළි හා සටන් පාඨ දැකගත හැකි ය. එය එසේම දැයි සිතා බැලීමට පහත දැක්වෙන උපුටන උපකාරී වෙතැයි සිතමි.

උපුටාගත්තේ අජිත් කනකසුන්ද්‍රම්ගේ දෙරටක කතාන්දරය නම් කෘතියෙනි. 83 ජාතිවාදී කෝලාහාල විසින් මෙරටින් එලවනු ලැබූ තවත් දෙමළෙකු වූ ඔහු සිය ශ්‍රමය සිංගප්පූරුව ගොඩනැගීම සඳහා වැය කළේ ය. ඔහුගේ පියා ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සභාපති වූ අතර ද්‍රවිඩ ජාතිකයෙකු වූ වරදට පිලිප් ගුණවර්ධනගේ බලකිරීමට බණ්ඩාරනායක මහතා විසින් එම තනතුරින් ඉවත් කරන ලදී.  

1. "ඊට අතිරේක ව, ගල්ඔය ව්‍යාපෘතිය ප්‍රශස්ත තත්වයන් යටතේ දේවල් කළ යුතු ව තිබෙන්නේ කෙසේ ද යන්නට ආදර්ශයක් ලෙස පවතී - ව්‍යාපෘතිය නිම කරන ලද්දේත් එයට අරමුදල් සපයන ලද්දේත් අපගේ ම සම්පත් උපයෝගී කර ගැනීමෙනි. දේශීය පරිපාලකයන් විසින් කළමනාකරණය කරන ලද ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ සම්පූර්ණ කෙරිණි. වනාන්තරය එළි පෙහෙළි කිරීම, ජානපදිකයන් පදිංචි කරවීම හා ඉඩම්වලට වාරිමාර්ග සැපයීම සාක්ෂාත් කෙරිණි. සියල්ලට ම වඩා අසාමාන්‍ය වූයේ උපකරණවලට මිලියන ගණන් වැය කරන ලද නමුදු, ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ සම්පූර්ණ කාලය තුළ අපචාරයක් පිළිබඳව ඉඟියක් වත් නො තිබීම ය. මගේ පියා ගල්ඔය මණ්ඩලයේ සභාපතිවරයා ව සිටිය දී ඔහු කොළඹ සිය නිවෙස ඉදිකරවමින් තිබිණ. සැපයුම්කරුවන්ගෙන් තමන් නො ඉල්වූ වට්ටම් ලැබෙතැයි බියෙන් ඔහු තමන්ගේ නමින් ඊට අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ඇණවුම් නො කළේ ය." (77වන පිටුව)

2. "කඩිනම් මහවැලි ව්‍යාපෘතිය තුළ, ජේ. ආර්. කාර්මික පරිමාණයෙන් දූෂණයේ වාන් දොරටු විවෘත කළේ ය. මෙය ඉතිහාසය විසින් ගාමිණී නිෂේධනීය ලෙස විනිශ්චය කරනු ඇත. ...................... මහවැලි ට්‍රින්කෝ සිට ෆින්කො දක්වා හරවන ලදැයි යන විහිළුව තුළ බොහෝ සත්‍ය කරුණු අන්තර්ගතව තිබිණි. ගාමිණීගේ මස්සිනාවරුන්ට - වීරසූරියලාට - අයත් ව තිබූ ෆින්කො සමාගම වාසිදායක කොන්ත්‍රාත්වලින් ද ටෙන්ඩර්වලිින් හා ‘උපදේශක‘ ව්‍යාපෘතීන්ගෙන් ද ප්‍රතිලාභ ලැබී ය. මහරාජා සංවිධානය ද ඒ සමාන ව ම ප්‍රතිලාභ ලැබී ය. ............ එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධකම් තිබුණු එක් මුදලාලි කෙනෙකුට ටෙන්ඩර් ක්‍රියාදාමයෙන් බැහැර ව්‍යාපෘතියට කොන්ක්‍රීට් සිමෙන්ති සැපයීමට ඒකාධිකාරී කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කරන ලදී. ට්‍රක්රථ 30කින් සැදුම් ලත් ඔහුගේ රථ සමූහය සිමෙන්ති තොගයක් ප්‍රවාහනය කිරීමට එක් ට්‍රක් රථයකට රුපියල් 6000/- බැගින් ලබා ගැනීමට ඔහුට වාසනාව පෑදිණි. ඊට අතිරේක ව, සිමෙන්ති මිශ්‍ර කරන ට්‍රක් රථ මිල දී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් ඇපයකින් තොර ව ණයක් ද ලැබිණි. අද ඔහුගේ නම කවුරුත් දන්නා අතර දැන් ඔහු ආරෝග්‍යශාලා වැනි වෙනත් ව්‍යාපාර කරා යොමු වී ඇත. මහවැලි ව්‍යාපෘතියට ආධාර සැපයූ රටවල් මේ පිළිබඳ ව දැනුවත් ව සිටි නමුත් එම තත්වය වෙනස් කිරීමෙහි ලා බල රහිත විය. ගාමිණී ආසියාව තුළ මාකෝස් හා සුහර්තෝ ගණයට වැටෙන ධනවත් ම දේශපාලනඥයන් අතරින් එක් අයෙකු වූ බවට පුළුල් ලෙස දූසමාන ආරංචි පැතිර තිබිණ." (108වන පිටුව)

සැමට බලාපොරොත්තු සපිරෙන, යහපත් වූ වසරක් උදා වේවා! 

1 comment:

  1. ඔබටත් යහපත් පිරි සුබ වසරක්වේවා Litseeker !

    ReplyDelete