සෞභාග්‍යයේ දිනපොත

(cartoon movement වෙතින්)


 1. අද මල්ලි කතා කළා. අඳේට දීල තියන කුඹුරෙන් මේ සැරේ අපේ කොටස කිලෝ හයසීයලු. අපි පස්දෙනාට බෙදුනම එක්කෙනෙකුට කිලෝ එකසිය විස්සයි. කාපංකො අවුරුද්දක්! වෙනදා කන්න දෙකම වැඩ කලාම පස්දෙනාටම අවුරුද්දම කන්න ඇති. පහුගිය කාලේ එකදිගට ලොක්ඩවුන් කරලා කනබොන දේවලුත් හිඟ උන වෙලාවේ අපි විහිලුවට වගේ කිව්වේ වී තියනවා, පොල්ගස් ටිකක් තියනවා, පොලුයි බතුයි කාලා හරි කාලා ඉන්නවා කියලා. දැං පේන විදියට පොල් විතරක් කාලා ඉන්න වෙයි වගේ. පොඩි කාලේ හොරෙන් පොල් කනකොට අම්මා බනිනවා, පොල් කාලා කිරිපණුගාය හදාගනිං කියලා. ඒ උනාට මේවට වග කියන්න ඕන අයට නං කිරිපණුගායක් තරම්වත් දැනෙන බවක් පේන්නෙ නෑ.

 කතා කරලා අන්තිමට තව කතාවක් කිව්වා. "අයියේ අපි නං ලෙවකාලා හරි ඉන්නවා, සත්තුංට මොනවද දෙන්නෙ?" කියලා. එයාගෙ ගෙදර බල්ලො අටදෙනෙක්! ආසාවට හදලා නෙවෙයි. කන්ඩ නැතිව දඩාවතේ යන උංට කන්ඩ දීලා පුරුදු කරගෙන. අපේ ගෙදරත් දෙන්නෙක්. (තුන්දෙනෙක් හිටියා. අල්ලපු ගෙදර බලාගන්න එකා එකෙකුට ගහලා මැරුවා බිත්තියට චූ කරනවා කියලා. ඒ ගැන මං ලියපු පෝස්ට් එක මේ තියෙන්නෙ.) උංට කියන්න බෑනෙ පොලුයි බතුයි කමු කියලා. පුලුටු ජාතියක් දෙන්නම වෙනවා. 

2. අද වි...... ආවා. බෙහෙත් ගන්න සල්ලි ටිකක් ඉල්ලගන්න ආවේ. කෑගල්ල ඉස්පිරිතාලේ ක්ලිනික් යනවා දනිස් වල අමාරුවකට. ලියලා දෙනවා පාමසියෙන් ගන්න කියලා. ඉන්ජෙක්ෂන් ටිකත් පිටින් අරන් ගිහින් දුන්නම ගහලා දෙනවා. පහුගිය දවස්වල නං දෙතුන්දාහක් දුන්නම මාසෙකට ඇති. දැංනං හයහත් දාහක් වත් යනවා. සතියක බෙහෙත් වලට 1300 ක් ගියා කිව්වා. "මහත්තයගෙනුත් හැමදාම ඉල්ලන්න බෑනෙ, මම බෙහෙත් අඩු කරලා බොනවා, එතකොට වැඩි දවස් ගාණක් බොන්න පුළුවන්" කියලත් කිව්වා. කොහොම උත්තර දෙන්නද? අහක බලන්න බෑ, අවුරුදු ගාණක් අපි ලඟ වැඩ කරපු මනුස්සයා. පෙන්ෂන් එක ලෙවකන්නවත් මදි එකයි වැඩේ.

3, අපේ කොල්ලා පහුගිය දවසක ඒ කිව්වෙ මාස කීපයකට ඉස්සරලා ධීවර සංස්ථාවේ ප්‍රසම්පාදන කළමනාකාර (procument officer) තනතුරට අයදුම්පත් කැඳවලා තියනවා දැකලා ඉල්ලුම් පත්‍රයක් දාලා ඉන්ටර්විව් ගිහිල්ලා තෝරාගත්තා කියලා දැනුම් දීමකුත් කරලා තිබුනා. ඊට පස්සෙ දවසක පත්වීම් ලියුම ගන්න එන්න කියලා Email පණිවුඩයකුත් ලැබිලා තිබුනා. ඒත් මං පුදුම උනා කිසිම උදව්වක් නැතිව තේරුනේ කොහොමද කියලා තනතුරු නාමයේ හැටියට. ගිහාම කියලා තිබුනා චෙයාමන්ට අත්සනට දාලා තියෙන්නේ තාම අත්සන් කරලා නෑ කියලා. ඊලඟට කිව්වා රජය අළුතින් පත්වීම්  දීම නවත්වලා කියලා. ගිය සතියේ බලද්දි අළුතින් චෙයාමන් කෙනෙක් පත්කරලලු,  ධීවර සංස්ථාවේ වෙබ් සයිට් එකේ විතරක් අළුත් දැන්වීමක් දාලා (කාටවත් පේන්නෙ නැති වෙන්න) වෙන කෙනෙක් ගන්න යනවලු. 

4. ආංඩුවේ වගකිව යුතු ඇමතිතුමෙක් කියලා තිබුණා මේ අමාරු වෙලාවේ කැපකිරීම් කරලා රටට සහයෝගය දක්වන්න කියලා. මැති ඇමතිවරු දැනටමත් එහෙම කරණවලු. අපේ රටේ ජනමාධ්‍ය කොතරම් වගකීම් විරහිත ද කියලා පෙනෙන්නේ මේ වෙලාවට තමයි. විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය. මෙච්චර වැදගත් තොරතුරක් ගැන කෙළ බිඳක් හෙලුවේ නෑනෙ, ඇමතිතුමාම කියනකල්. මාධ්‍ය වලට වගකීමක් තියනවා මැති ඇමතිවරු කැපකිරීම් කරන හැටි පෙන්වන්න, විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය වලට. "සිහිිනයකි රෑ", "අටපට්ටම" වගේ ලස්සන නමක් දාලා විශේෂ වැඩසටහනක් විදිහට පෙන්වන්න පුළුවන්නෙ. මේක දන්නැති මිනිස්සු පාරවල් වලට බැහැලා උද්ඝෝෂණය කරනවා.  කොහොම උනත් දැනගත්තට පස්සෙ දන්නෙ නෑ වගේ ඉන්න බෑනෙ. රටේ ඩොලර් ආදායම වර්ධනය කරන්න දෙන සහයෝගයක් හැටියට පහත සඳහන් තීරණ ක්‍රියාත්මක කරන්න තීරණය කලා.(මේ දැන් කියවන්න ලැබුනා රූපවාහිනිය වැඩසටහන් නිෂ්පාදනය නවත්වලා කියලා. මං වාගේම ඩොලර් ඉතිරි කරන්න සහයෝගය දෙනවා ඇති. ඒ හින්දා කමක් නෑ!)  

(i) වහාම ක්‍රියාත්මක වෙන පරිදි පරිප්පු කෑම නවතනවා. මේක සුළුපටු කැපකිරීමක් නෙවෙයි. අවුරුදු හැටක් අවම වශයෙන් දිනකට වේල් දෙකක් පවත්වාගෙන ආපු පුරුද්දක්. ( පලමු අවුරුදු හතර අතෑරියා මතක නැති හින්දා.) මතක තියන එකම දෙය කිරි අම්මා පරිප්පු අනලා බත් කවපු එක. පහු කාලෙක කිව්වා පරිප්පු කියලා ඇනුවේ වට්ටක්කා කියලා. පුදුම තරහක් හිතට ආවේ රැවටිච්ච එක ගැන. මොනවා කරන්නද? ගණන් බලන්න ඕනෑ 460 ඒවා කීයක් ඉතිරි කරගන්න පුළුවන්ද කියලා.  

(ii) හවසට තේ බොනකොට කන්න කියලා ගේන බිස්කට් ගැනීම නවතනවා. එහෙම කියලා ගෙනාවට ඕක දවස තිස්සෙම සැරින් සැරේ කැවෙනවා. ගෙදරින් බැනුම් අහනවත් එක්ක. කොලෙස්ටරෝල්, දියවැඩියා දෙකටම අගුණයි. (ඒ දෙකම මට නැති උනාට) 

(iii) මාසෙට දෙකක් වෙන්න බිබී හිටපු කිරි බීම නවතනවා. ගෙදරින් නං කිව්වා එහෙම නවත්තලාම බෑ කියලා. ඒ උනාට 340 ඒවා දෙකක් ඉතුරු වෙනවනේ. යෝගට් කෑමත් නවත්වනවා. 20කින් ගාණත් වැඩි උනානේ. ගෙදර උන්දැට ගැස්ට්‍රික් වැඩි උනොත් විතරක් එකක් ගෙනත් දෙනවා.

(iv) ගෑස් ලිප පාවිච්චි කිරීම සතියේ වැඩ කරන දවස් පහේ පාන්දරට සීමා කිරීම. ඒ කොල්ලා වැඩට යනකොට කෑම එකක් දෙන්න ඕන නිසා. ඉතිරි සියල්ල දර ලිපේ. පොල් කටු විකිණීමේ අදහස වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කළා. ඒවා දර ලිපට තියාගත්තා. බත් මුට්ටිය ලිප තැබීම මට බාර උනා. බ්ලොග් කියවන්න වෙන් කරපු කාලයෙන් කොටසක් අහිමි උනා.

5. ඉවසගෙන ඉඳලා බැරිම තැන මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණ. ඒ අතර අප්‍රේල් 5 ත් උදා වෙලා. අරගල දෙකකින් බලය ගන්න උත්සාහ කරපු ජවිපෙ ජනතාව අරගල මාවතට පිවිසෙන විට එතැන නායකත්වයේ ඉන්න බවක් පේන්න නෑ. 71 මතකයක් සමග මට මතක් වෙන්නේ දියෝනිස් මාමා. අපේ තාත්තා විශාල පොල් වත්තක වතු පාලක වෙලා හිටපු කාලේ. එක කොටසක කංකානම උනේ දියොනිස්. පුංචි අපට දියොනිස් මාමා. දරුවෝ හිටියෙ නැති උනත් පුත්තු දෙන්නෙක් දරුකමට හදාගත්තා. වැඩිමලා සුසන්ත අයියා. අනෙක් අයියාගේ නම මතක නෑ. මේ දෙන්නම හොඳ උස මහත කඩවසම් තරුණයෝ බව නම් මතකයි. කැරැල්ලත් සමග මේ දෙන්නම ආගිය අතක් නැතිව ගියා. කිසිම තොරතුරක් දැනගන්න ලැබුනෙ නෑ. ඒත් පසුව ආරංචියක් ආවා සුසන්ත අයියා මාරවිල මුහුදු වෙරළේ පුච්චලා දාලා හිටියා කියලා. අනෙක් අයියා ගැන නම් කිසිම දෙයක් දැනගන්න ලැබුනෙ නෑ. ඒ දවස්වල වත්තෙ හැමෝටම එන ලියුම් තාත්තගේ කාර්යාලයට ඇවිල්ලා තමයි බෙදලා දෙන්නෙ. සුසන්ත අයියටත් සතියකට දෙකකට වරක් ලියුමක් ආවා. මුල් දවස්වල තාත්තා ඒක දියෝනිස් මාමා අතට දුන්නා. මාමා ඒක ගේ පිටුපස්සට අරන් ගිහින් අතේ තියාගෙන අඬනවා. ඊට පස්සෙ ඒ ලියුම දෙන එක තාත්තා නැවැත්තුවා. ඒ එක ලියුමක් කඩලා බලපු තාත්තා ගෙදර අනෙක් අයටත් බලන්න දුන්නා. ඒක එවලා තිබුනේ සුසන්ත අයියා යාළු වෙලා හිටපු ගෑණු ළමයා. ගාල්ල දිහා ළමයෙක්. සම්බන්ධය නැවතීම ගැන දුකෙන් දොස් කියලා තමයි ලියලා තිබුනේ. පුංචි උනත් අපටත් ඒ දුක දැනුනා. ඒ එක ලියුමකවත් ලිපිනයක් තිබුනේ නෑ. තිබුනා නම් ලිිපියක් යවන්න තිබුනා කියලා තාත්තා කිව්වේ පසුතැවිල්ලෙන්. 

මේ අවුරුදු පණහට මේ රටේ හැම පළාතෙන්ම දියොනිස් මාමලා කීදෙනෙක් බිහිවෙන්න ඇත්ද? මේ අරගලය සුබවාදී විදිහට අවසන් වෙන්න කියලා හිතන ගමන් ප්‍රාර්ථනා කරන්නේ තව දුරටත් දියොනිස් මාමලා කවුරුවත්  බිහි නොවේවා කියලයි. ඒත් ආණ්ඩුව නම් තාමත් උත්සාහ කරන බව පේන්නේ පොල්පිත්තෙන් අස්සයා කපලා නේරංජනා ගඟෙන් පන්නන්ඩයි.


 

   



4 comments:

  1. ජනය මේම කරද්දී පාර්ලිමේන්තු ගොයියො කරපු කැප කිරීමට තමයි අද සම්බුව හම්බුවෙන්නෙ ඒ අයට ඕම.......

    ReplyDelete
  2. මාර සවු බාගයක්නෙ ඒක.

    ReplyDelete
  3. ඉන්ධන මිල වැඩි කළ එක ගැනවත් රටවැසියන්ගෙන් මැසිවිල්ලක් නැහැයි කියලයි ලොක්කෙක් කියන්නේ.
    https://www.lankahotnews.net/2022/03/chairman-of-cipetco.html

    ReplyDelete
  4. ඔන්න දැන් අවුරුද්දට හාලුත් ණයටලු එන්නෙ

    ReplyDelete