ඔන්න ඔහොමයි මැරුවේ!



මේක නම් හරිම අබිරහසක්! ඇත්තටම මිනිහෙක් වෙඩි තියලා මරලා දාලා තියනවා. කරපු මිනිහෙක් ගැන හිතා ගන්නත් බෑ. ඉතින් අර ශ්‍රේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක රහස් පරීක්ෂක ගෙන්වනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. 

මිනිහා ආපු ගමන් ඉතාමත් පරීක්ෂාවෙන් මැරිච්ච මිනිහාගේ මිනිය දිහා බලලා සාක්කුවෙන් අන්වීක්ෂයක් ඇදලා ගත්තා. ඒකෙනුත් හොඳට මිනිය පරීක්ෂා කරපු රහස් පරීක්ෂකයා "හරියට හරි!" කියලා ජයග්‍රාහී ශබ්දයක් නගලා මැරිච්ච මිනිහා ඇඳගෙන හිටපු කබායේ කරපටියෙන් කෙස් ගසක් ඇදලා ගත්තා.

"අබිරහස විසඳුනා." මෙහෙම කියපු රහස් පරීක්ෂක කෙස් ගස හැමෝටම පෙනෙන්න ඇඟිලි දෙකෙන් අල්ලලා උස්සා පෙන්නුවා. 

"තේරෙනවද කරන්න ඕනෑ වැඩේ? අපිට තියෙන්නේ මේ කෙස් ගසේ අයිතිකාරයා හොයාගන්න විතරයි, අපරාධකාරයා අපේ අතේ." 

ප්‍රමාද වෙන්නැතිව පරීක්ෂකයා තමාම වැඩේට බැස්සා. දවස් හතරක් තිස්සේ දවල් රෑ නැතිව නගරයේ වීදි පිරමින්, හැම මුහුණක් දිහාම ඕනෑකමින් හොඳට බලමින් කෙස්ගසක් අඩු මිනිසෙක් හෙව්වා. 

පස්වෙනි දවසේ ගුවන් තොටුපලේදී සංචාරකයෙක් වගේ වෙස්වලාගත්තු, කන් දෙකත් වැහෙන තරම් ලොකු තොප්පියක් දාගත්ත මිනිහෙක් ගුවන්යානයකට නගිනවා ඔහුගේ නිරීක්ෂණයට ලක් උනා. 

"අත්අඩංගුවට ගනු!" 

මහ හයියෙන් කෑගහගෙන ඉදිරියට පැන්න පරීක්ෂකයා කෙස්ගස එළියට අරන් හැමෝටම පේන්න උස්සලා ඇල්ලුවා. "මේක මේ මිනිහගේ. වහාම තොප්පිය ගලවනු." කෙනෙක් ඉදිරියට ඇවිල්ලා අර මිනිහගේ තොප්පිය ගැලෙව්වා. 

එක කෙස්ගසක් වත් නෑ! මිනිහා තට්ටයෙක්! 

මදක් තිගැස්සුනත් අපේ ශ්‍රේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක රහස් පරීක්ෂක පසුබැස්සෙ නෑ. 

අන්න බලන්න, පේනවා නේද? මේ මිනිහා එක මිනීමැරුමක් නෙවෙයි, මිනීමැරුම් දසලක්ෂයක් විතර කරලා තියනවා!

(මෙය සත්‍ය සිදුවීමක් නොවන බවත්, මනඃකල්කපිත කතාවක් බවත්, ජීවත් වන හෝ මියගිය හෝ කිසිවෙකුටත් කිසිදු ආකාරයක සමබන්ධයක් නැති බවත්, එසේ තිබෙන බව පෙනේ නම් එය අහම්බයක් බවත් ප්‍රකාශ කර සිටිමි.) 

 :

2 comments:

  1. මැරුවෙ නෑ අපේ හාමුදුරුවනේ.. අවම බලය පාවිච්චි කලා පමණයි.

    ReplyDelete
  2. අප්පේ.... ඒ රහස් පරීක්ෂක😄😄

    ReplyDelete