කැඩපත ඉදිරිපිට





කීර්තිමත් ඉන්දීය ලේඛකයෙකු මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ද වූ කුෂ්වන්ත් සිං ගේ Big Fat Joke Book නම් කෘතියෙන් උපුටාගත් හාස්‍යෝත්පාදක කතා කිහිපයකි මේ. මෙම කතා ඉන්දියාව පසුබිම් කරගෙන රචනා වී තිබුන ද සමහර කතා විවිධ ස්වරූපයෙන් අප අසා ඇති ඒවාය. එසේ වුවද අප රටට පවා ඒවා ගැලපෙන බව නම් නිසැක ය.

  

 1. ඉන්දියාවේ සංචාරයක් සඳහා ආව අමෙරිකන් දූත පිරිසක් අග නගරයේ සංචාරයක් සඳහා එක්ක ගියා. ඔවුන්ට මග පෙන්වීම සඳහා පරිවාර ඇමති කෙනෙකුත් පත් කරලා තිබුනා. සවස් වරුවේදී මේ නියෝජිත කණ්ඩායම මහලේකම් කාර්යාලයට කැඳවාගෙන ගියේ විජේචවුක් චතුරශ්‍රයත් රාජ්පාත් නම් වූ මාවතත් හාත්පස පැහැදිළි හොඳ දර්ශණයක් පෙන්වන්නයි. කාර්යාල කටයුතු අවසන් වන වෙලාවට දහස් ගණනින් ලිපිකරු සේවයේ යෙදෙන මිනිස්සු කාර්යාල වලින් එළියට ගලාගෙන ආවා. පයින් යන අයගෙනුත් බයිසිකල්කරුවන්ගෙනුත් මුළු පලාතම පිරිලා ඉතිරිලා ගියා.

"කව්ද මේ මිනිස්සු?" අමෙරිකන් නියෝජිත කණ්ඩායමේ නායකයා ඇහැව්වා. 

"මේ ඉන්දියාවේ සාමාන්‍ය ජනතාව, රටේ සැබෑ පාලකයෝ." නියෝජිත පිරිසට මග පෙන්වන්න පත්කරලා හිටිය ඇමතිවරයා ආඩම්බරයෙන් කියා හිටියා. 

විනාඩි කිහිපයයි ගතඋනේ. මෝටර් සයිකල් පේළියකින් හා ආයුධ සන්නද්ධ පොලිස් භටයින්ගෙන් පිරුන ජීප්රථ පෙළකින් වටකරගත්, ඉදිරියෙන් කොඩි සවිකර  ගත්  ලිමුසීන් රථ පේළියක් ආවා. 

"එතකොට මේ කවුද?" අමෙරිකන් නියෝජිත පිරිස යළිත් ඇසුවා. 

"ඒ අපි, ජනතාවගේ සේවකයෝ." ඇමතිවරයා නැවතත් ආඩම්බරයෙන් උත්තර දුන්නා. 


2, එක්තරා කුකුල් ගොවිපල හිමියෙකුගේ මස් හා බිත්තර තමයි වෙළඳපොලේ තිබුන හොඳම නිෂ්පාදන උනේ. "ඔබ මෙතරම් හොඳ නිෂ්පාදන ලබාගන්න කුකුලන්ට මොනවද කන්න දෙන්නේ?" ගොවිපල හිමියාගේ නිෂ්පාදන අගය කළ එක් පුද්ගලයෙක් විමසා සිටියා. 

"හොඳම කෑම; ආමන්ඩ්, පිස්ටාෂියෝ, පිරිසිදු ගිතෙල් මිශ්‍ර කරපු කුකුල් කෑම." ගොවිපොල හිමියා ආඩම්බරෙන් පිළිතුරු දුන්නා.

"හිතලා බලන්න වටින වැඩක්." අමුත්තා කිව්වා. "මම ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන්. මෙච්චර වියදම් අධික කෑම කුකුලන්ට දෙන්න මුදල් කොහෙන්ද කියල දැනගන්න කැමතියි." ඔහු තවදුරටත් කියා සිටියා. 

 ගොවිපොල හිමියා හිතාගත්තා මීට පස්සෙ නම් කට පරිස්සම් කරගන්නවා කියලා. ආයෙත් දවසක අමුත්තෙක් ඇවිත් ගොවිපල වර්ණනා කරලා සතුන්ට මොනවද කන්න දෙන්නෙ කියලා ඇහුවම  ගොවිපොල හිමියා කිව්වෙ "මොකවත් දෙන්නෙ නෑ. මං උන්ව බඩගින්නෙ ඉන්න අරිනවා" කියලයි. 

,ඒ ගැන නං පියවර ගන්න වෙනවා." අමුත්තා කියා සිටියා. 'මම සත්ව ආරක්ෂක සංවිධානයේ නියෝජිතයෙක්. කුකුලන්ට කන්න නොදී කුසගින්නේ තැබීම ගැන ඔබට විරුද්ධව නඩු පවරනවා." 

ටික කාලෙකට පස්සෙ ආයෙත් අමුත්තෙක් ඇවිත් අර වගේම විමසීම් කරන්න පටන් ගත්තා. මේ පාර නම් කුකුල් හිමියා හරිම පරිස්සමට තමයි උත්තර දුන්නෙ.

 "මම දිනපතාම හැම කුකුලටම පයිසා පණහ ගානෙ දෙනවා. උන් ගිහිල්ලා තමන්ට කැමති දෙයක් අරගෙන කාලා එනවා."


3. ඉස්ලාමාබාද් නුවර පදිංචි වෙලා හිටිය නගරවැසියෙකුට දත් කැක්කුමක් හැදිලා ඉවසගෙන ඉන්න බැරිම තැන දත ගලවගන්න දත් දොස්තර කෙනෙක් ලඟට යන්න තීරණය කළා. හැබැයි ගියේ කරච්චි නගරයේ හිටපු දත් දොස්තර කෙනෙක් ලගට. තමන් වෙතට ආ රෝගියා ඉස්ලාමාබාද් වල ඉඳලා ආවා කියලා දැනගත්තු දන්ත වෛද්‍යවරයා පුදුම උනා. "මෙච්චර දුර ගෙවාගෙන කරච්චි වලට එන්න ඕනද? ඉස්ලාමාබාද් වල කොච්චර දන්ත වෛද්‍යවරු ඉන්නවද?" වෛද්‍යවරයා ඇහුවා. 

"ඒත් වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ, ඩොක්ටර්. අපිට ඉස්ලාමාබාද් වලදි කට අරින්න තහනම් කරලා තියෙන්නේ." රෝගියා කිව්වා. 


4. ඉන්දියාව කියන්නේ ඉහල පෙළේ දේශපාලකයන්ට දැඩි ත්‍රස්තවාදී තර්ජන තියන රටක්. ඉහල මට්ටමේ දේශපාලකයින් හුඟදෙනෙක් විවධ ත්‍රස්තවාදී කල්ලිවල ඝාතන ලැයිසතුවල ඉන්නවා. මේ නිසාම ඒ හැම කෙනෙකුටම තමන්ගේ පසුපසින් එළවන ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළයුතු හා නොකළ යුතු දේවල් ගැන උපදෙස් මාලාවක් නිකුත් කරලයි තිබුනේ. මේ උපදෙස් වලින් වැදගත්ම එක තමයි තමන් කරන වැඩ එකම වෙලාවට එකම රටාවට කරන්න එපා, හැකි හැම වෙලාවෙම වෙනස් කරන්න කියන එක. උදාහරණයක් විදියට උදේට හරි හවසට හරි ඇවිදින්න යනවනං එකම වෙලාවට එකම පාර්ක් එකට යන්න එපා, එකම හෝටලයට, රෙස්ටුරන්ට් එකට හැමදාම යන්න එපා වගේ දේවල්. ඉතින් මේ දේශපාලනඥයන්ගේ හැටි දන්න කෙනෙක් මේ ආරක්ෂක උපදෙස් මාලාව අගට තවත් එකක් එකතු කරලා තිබුනා. 

හැම රාත්‍රියකම එකම ඇඳේ එකම එක්කෙනා එක්ක නිදාගන්න එපා.


5. කාලෙකට පෙර පකිස්ථානයේ ජනාධිපති වෙලා හිටියේ සියා උල් හක්. පකිස්ථානයේ නිතරම සිද්ධ උන විදියට මෙයත් කලින් තිබුන ආණ්ඩුව හමුදා බලයෙන් පෙරලලා දාලා බලය අල්ලගත්ත හමුදා නායකයෙක්. මෙයාගේ කොණ්ඩය කපන්න පත්කරගෙන තිබුනේ හොඳ විශ්වාසවන්ත බාබර් කෙනෙක්. හැබැයි මේ බාබර්ටත් ඒ කාලේ පකිස්ථානයේ ජනප්‍රිය වෙලා තිබුන සටන් පාඨයක් උන ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවා ඡන්දය තියන්න කියන එක ඔළුවට වැටිලයි තිබුන විදිහයි පේන්න තිබුනෙ.  

එක දවසක් උදේ ජනාධිපතිගේ කොණ්ඩය කපන ගමන් බාබර් ඇහැව්වා, "උතුමාණනි, ඔබතුමා කවද්ද ඡන්දයක් තියන්න බලාපොරොත්තු වෙන්නෙ?" කියලා. සෑම එකාධිපති හමුදා නායකයෙක්ම කරන විදියට මෙයත් ඒ ප්‍රශ්නය පිළිකුලෙන් බැහැර කරලා නිශ්ශබ්දව හිටියා. 

ටික දවසක් ගතවෙලා ආයෙත් ජනාධිපතිගෙ කොණ්ඩය කපන දවස ආවා. කොණ්ඩය කපන ගමන් බාබර් සියා උල් හක්ට කතා කළා. "මගේ දෙයියෝ, අර ඡන්දයක් තියනවා කියලා දීපු පොරොන්දුව ඉෂ්ට කරන්න කාලේ හරි නේද?"  කියලා ඇහැව්වා. 

ජනාධිපතිට හොඳටම කේන්ති ආවත් තරහ පාලනය කරගෙන නිශ්ශබ්දවම  හිටියේ මේ මෝඩ බාබර් එක්ක මොකට තරහ ගන්නවද කියල හිතිලයි. 

හැබැයි බාබරුත් වැඩේ අතාරින්න සූදානම් බවක් පෙනුනෙ නෑ. කාලයක් ගතවෙලා කොණ්ඩෙ ආයෙමත් වැවලා කපන්න සුදුසු කාලෙ ආවා. ඉතින් කොණ්ඩෙ කපන ගමන් බාබර් ආයෙමත් කට ඇරියා. "අපේ ගැලවුම් කරුවාණනි, රටේ මිනිස්සු නං ඡන්දයක් තියනකං බලාගෙන ඉන්නෙ. කවද විතරද තියන්න හිතාගෙන ඉන්නෙ?" 

ඒ පාර නං සියාගේ ඉවසීමේ සීමාව ඉක්මවලා ගියා. "ද්‍රෝහියා!' ඔහු කේන්තියෙන් ගිගුරුවා. "මම උඹට ජීවිතේට අමතක වෙන්නෙ නැති පාඩමක් උගන්නනවා." තමන්ගේ ආරක්ෂාවට හිටිය හමුදා භටයන් දෙසට හැරුන ඔහු "භටයිනි, මූව අරගෙන ගිහිල්ලා මුගේ පස්ස පැත්තට කස පහර දහයක් ගහපල්ලා." කියලා කෑ ගැසුවා.

බාබර් බිම වැටිලා සියා උල් හක්ගේ කකුල් දෙක අල්ලාගෙන කෙඳිරිගාන්න පටන්ගත්තා. "දෙවියන්ගේ සෙවනැල්ල වගේ ඉන්න උතුමාණනි, මම බඩ පුරවාගන්නේ ඔබතුමාට පින්සිද්ද වෙන්න නේද? ඉතින් මම කොහොමද ඔබතුමාට ද්‍රෝහි වෙන්නේ? මම ඡන්ද ගැන කතා කළේ කොණ්ඩෙ කපන එක ලේසියෙන් කරගන්න ඕනැ හින්දයි."  

"මොකද්ද ඒ කතාවේ තේරුම?" සියා ආයෙත් සද්දෙ දාලා ඇහැව්වා. 

"අනේ ජනාධිපති උතුමාණන් වහන්ස, මම ඡන්දය කියන වචනය කියන හැම වෙලාවෙම ඔබතුමාගේ කෙස් ගස් කෙලින් වෙනවා. එතකොට මට හරි ලේසියි කොණ්ඩෙ කපන්න!"

6. ඉන්දියාවේ රට තුළ ප්‍රචණ්ඩකාරී ක්‍රියා වගේම නොයෙකුත් උද්ඝෝෂණත් ක්‍රමයෙන් වැඩිවීමත් එක්ක පොලීසියට පැවරිලා තිබුන සමහර රාජකාරි හමුදාවට පැවරුනා. මේකට පොලීසියේ අය අකමැති උනේ තමන්ගේ තත්ත්වය බාල වීමක් ලෙස සලකලයි. ඒත් ඒකට කරන්න දෙයක් තිබුනෙත් නෑ. එක දවසක් පොලිස් නිලධාරියෙක් රාජකාරි වල යෙදිල ඉන්න අතරතුර ඒ අසලම සේවය කරපු හමුදා භටයෙක් එක්ක කතාවට වැටුනා. තමන්ගේ හිතේ තිබුන තරහ මේ හමුදා භටයා පිටින් යවන්න හිතපු පොලිස් භටයා මෙහෙම කිව්වා. "අයියේ, මං අහල තියනවා ඔයාලට අවුරුදු ගණන් දේශසීමාවල රාජකාරි කරන්න වෙනවා. ඒ උනාට ඔයාලා ගෙදර නැතිවත් ඔයාලගේ නෝනලාට ලමයි ලැබෙනවා කියලා. ඉතින් ඔයාලා ගෙදර ගියාම ඔය අයාලේ හැදුන දරුවන්ට කොහොමද සලකන්නෙ?"

හමුදා භටයා තරහ ගන්නේ නැතිව බොහොම සන්සුන් විදිහට උත්තර දුන්නා. "ඕක මල්ලී කියන තරම් නිතරම වෙන දෙයක් කියලා මං හිතන්නෙ නෑ. ඒත්, එහෙම උනාම ඔයා කියන විදියට අයාලේ හැදුන දරුවන්ට අපි කරන්නේ ඒ ගොල්ල පොලීසියේ සේවය කරන්න යවන එකයි."


                                         * * * 


   


    

  


  

4 comments:

  1. දෙවෙනි කතාව විතරක් අහල තිබුණ ටිකක් වෙනස් විදිහකට. එකේ හිටියෙ බල්ලෙක්.
    හෙහ්..හෙ. මරු කතා ටික !

    ReplyDelete
  2. දෙවෙනි කථාව කලින් අහල තිබුණා ... බාබර්ගේ කථාව පර්සි රාජපස්සගේ කොන්දේ කපන බාබර්ගේ අත්දැකීමක් ලු...

    ReplyDelete
  3. ඉන්දියන් සාහිත්‍ය කියන්නෙ වෙනමම රසයක්! මම කියෙව්වා පොත් හුඟක්! ඒකෙන් විශ්ණුගේ මරණය, පදික වේදිකාවේ දෙවිවරු වගේ පොත් මාර සැහැල්ලුවෙන් ඉන්දියාවේ සමාජය දිගාරිනවා!

    තවද ආශ්‍රමයේ කැඩපත පොතත් මරු!

    ReplyDelete