ලෝකය කියවමු

 යැස්කා මවුන්ක් (Yascha Mounk) ජර්මන් සම්භවයක් ඇති අමෙරිකානු දේශපාලන විද්‍යාඥයෙකි. ඔහු ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සහය මහාචාර්වරයෙකු ලෙස සේවය කරයි. මේ ඔහු විසින් 2018 දී රචිත THE PEOPLE VS. DEMOCRACY කෘතියේ "අයිතිවාසිකම් අහිමි ප්‍රජාතන්ත්‍රවාදය" නම් වූ පළමු පරිච්ඡේදයේ මුල් පිටු කිහිපයෙහි පරිවර්තනයකි.  

(cartoon movement වෙතින්)

1989 ග්‍රීෂ්ම සෘතුව අවසානයේ නැගෙනහිර ජර්මනියේ "කම්කරු පාරාදීසයේ" පුරවැසියන් සෑම සඳුදාවකම රාත්‍රියේ  ලීප්සිග් හා ඩ්‍රෙස්ඩන් නගරවල වීදිවලට රොක් වූයේ කොමියුනිස්ට් පාලනයට විරෝධය දැක්වීමටයි. ඔවුන් නැගූ ප්‍රධාන සටන් පාඨයෙහි බලාපොරොත්තු සහගත උදාරම් බවක් ගැබ් විය. “Wir sind das Volk,” - "ජනතාව අපියි, රහස් පොලිසිය නොවේ, පක්ෂයේ ලොක්කන් නොවේ."  ජනයා හඬ නැගූහ. 

පසුගිය වසර තුන තුළ ලිප්සිග් හා ඩ්‍රෙස්ඩන් නගරවල ජනයා නැවතත් වීදි බැස සිටිති. 2015 වසරේදී දස දහස් ගණනින් ජර්මනිය වෙත ගලා ආ සරණාගතයින් කෙරෙහි එල්ල වූ කෝපය උච්චස්ථානයකට ලඟා වෙද්දී "අපරදිග ඉස්ලාමීයකරණයට එරෙහි දේශප්‍රේමී යුරෝපීයයෝ" (PEGIDA) යන සාඩම්බර නාමයෙන් තමන් හඳුන්වාගත් ව්‍යාපාරයක් ඇන්ජලා මර්කල්ට හා ඇගේ රජයේ ප්‍රතිපත්ති වලට විරුද්ධව විරෝධය දක්වන්නට වූහ.

සෑම  සඳුදා රාත්‍රියකම පෙර කාලයකදී විරෝධතා දැක්වූ නගර මධ්‍යයේම එක්රැස් වීමෙන් ඉතා සූක්ෂම ලෙස PEGIDA ජනප්‍රිය විරෝධතාවයේ උරුමය තමන් වෙතම පවරා ගනිමින් සිටියහ. ඔවුන් කියන්නට උත්සාහ කළේ අද මර්කල්ට විරුද්ධව විරෝධතා දක්වන්නේ ශතවර්ෂ කාලකට එහා කොමියුනිස්ට් පාලනයට විරුද්ධ වූ අයගේ නිත්‍යානුකූල උරුමකරුවන් බවයි. එනිසාම ඩ්‍රෙස්ඩන් නගර මධ්‍යයෙහි විරෝධතා දක්වමින් සිටි කෝපාවිෂ්ට වූ පුරවැසියන් දැකගන්නට මා ගිය විට පැහැදිළිවම එහි පැවති  ප්‍රතිවිප්ලවවාදී වටපිටාවෙන් මා කමිපනයට පත් නොවිය යුතුව තිබුනත් එය මා කම්පනයට පත් කළේය. 

'පච මාධ්‍ය' කෙරෙහි පැවති වෛරය ව්‍යාපාරයේ මතවාදය කෙරෙහි මූලික බලපෑමක් කර තිබූ අතර බොහෝ විරෝධතාකරුවෝ මා සමග කතා කිරීම ප්‍රතික්ෂේප කළහ. මා ඡායාරූප කිහිපයක් ගැනීමට උත්සාහ කළ විට වචනයකුදු නොකියාම මා පසෙකට තල්ලු කර දමන ලදී. "මම මෙතැන ඉන්නෙ මට පවුලක් නැති නිසා." තම කැමරාව ජනකාය සිටින තැනට ඈතින් පිහිටුවාගෙන සිටි ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක නිෂ්පාදකවරයෙක් පැවසීය. "මාත් එක්ක වැඩ කරන, දරුවන් ඉන්න අය විරෝධතා වාර්තා කිරීම ප්‍රතික්ෂෙප කරනවා. පහරදීමකට ලක්වීමට තිබෙන ඉඩකඩ හරි වැඩියි." 

එසේ වුවද  PEGIDA හි මූලික තේමා වන සරණාගතයින් කෙරෙහි වූ වෛරය, එක්සත් ජනපදය දෙස සැකයෙන් බැලීම හා ජර්මන් ජනතාවගේ වාර්ගික පාරිශුද්ධත්වය ගැන ඇති දෘඩ විශ්වාසය පැහැදිලිවම නිරූපණය විය. විරෝධතාකරුවන් සුළු පිරිසක් ප්‍රංශ විප්ලවයේ විශ්වීය සාරධර්ම නිරූපණය කරන  කලු, රතු  හා රන් පැහැයෙන් යුත්  ෆෙඩරල් ජනරජයේ ධජය වනමින් සිටියහ. එහෙත් වැඩි දෙනෙකු කැමැත්තක් දක්වා තිබුනේ දුඹුරු පැහැයට හුරු රතු පැහැති පසුබිමේ කලු කුරුසයක් දැක්වෙන "වර්මර් ධජය" ලෙස හැඳින්වෙන කොඩියටයි. මෙය අන්ත දක්ෂිනාංශික කණ්ඩායම් අතර ජනප්‍රියව තිබුනේ එය ස්කැන්ඩිනේවියානු මූලයන්ගේ හා ක්‍රිස්තියානි සම්ප්‍රදායන්ගේ සංකේතයක් ලෙස පිළිගැනුන නිසාය. 

ප්‍රතිවිරෝධයෙහි නිරූපිත  විචක්ෂණශීලී බවෙහි අඩුව විවිධත්වයෙන් මැකී ගොස් තිබිණ. ජනකාය අතර මට රුසියන් ධජ ( "පුටින් එකට තිබ්බෙ තම ජනතාවයි"), අමෙරිකානු සංයුක්ත ජනපද ධජය ("ඔව්හු සැබෑ කැරලිකරුවන් වූහ.") මෙන්ම එක් ජපන් කොඩියක් ද දැකගන්නට ලැබිණ. 

එම අවසාන කොඩිය මට තේරුම් ගත නොහැකි විය. පුටින්ගේ ඒකාධිපති පාලනය හෝ ඔහු සුළුතර ජාතීන් කෙරෙහි පවත්නාගෙන යන දරුණු පාලනය හෝ මේ ජනකායගේ ඇගයීමට ලක්වීම පුදුමයට කරුණක්  නොවූ සේම අමෙරිකා එක්සත් ජනපදය පිළිකුල් කරන, ජනවාර්ගික විවිධත්වයට බියක් දක්වන විරෝධතාකරුවෝ අමෙරිකාවේ දකුණ සමග තමන් හඳුනාගන්නට කැමැත්තක් දක්වන්නට හේතුව ද තේරුම් ගත හැකිය. එහෙත් ජපානයට මේ සියල්ල සමග ඇති සම්බන්ධය කුමක්ද?

කොඩිය ඔසවාගෙන සිටි පුද්ගලයා වෙත මා ගියේ මදක් චකිතයෙනි. එහෙත් ඔහු ඊට හේතු පහදා දුන්නේ ඉමහත් සතුටිනි. ඔහු කියූ ආකාරයට ජපානයට ද ජර්මනියට තිබෙන ප්‍රශ්නයම, එනම් අඩු වෙමින් පවත්නා ජනගහණය පිළිබඳ ගැටළුවම ඇත්තේය. ජර්මනිය සංක්‍රමණිකයන් විශාල සංඛ්‍යාවකට අවසර ලබා දී ඇත්තේ ඔවුන් රටේ ශ්‍රම බලකායේ අඩුව මකා සමාජ ආරක්ෂක පද්ධතිය  පවත්වාගෙන යාමට දායක වෙතැයි යන අපේක්ෂාවෙනි. එහෙත් එය කිසිදු පලක් නැති නිෂ්ඵල ක්‍රියාවකි. පිටස්තරයන්ට දොරටු විවෘත කිරීම නිරතුරුවම ප්‍රතික්ෂේප කිරීමෙන් ජපානය කර ඇත්තේ වඩා නුවණැති ක්‍රියාවකි. "විදේශිකයන් විශාල සංඛ්‍යාවක් ඇතුළු කරගන්නවාට වඩා රටේ ජනගහණය හැකිලෙන්නට ඉඩදීම වඩා හොඳය."

සටන් පුවරු කියා සිටියේ ද ඊට සමාන කතාවකි. එක් සටන් පුවරුවක් මර්කල් සහ රජයේ අනෙකුත් සාමාජිකයින් ගැන කියා සිටියේ  "අපට එරෙහිට සමූලඝාතනය කිරීමේ සටනක් දියත් තර ඇති ඔවුන් ජර්මන් ජනතාවගේ සතුරන්" බවයි. තවත් එකක් කියා සිටියේ "අඩෝ, යැංකියා උඹලගේ රූකඩත් අරගෙන මෙහෙන් පලයල්ලා!" තුන්වැනියට දක්නට ලැබුන පුවරුව මාස කිහිපයකට පෙර රට පුරා දුම්රිය ස්ථාන වලට ස්වේච්ඡාවෙන් රැස් වූ ජර්මන් ජාතිකයින් අළුතෙන් පැමිණි අවතැන් වූවන් උද්‍යෝගිමත් ලෙස පිළිගත් අවස්ථාවේ සෑම තැනම පාහේ දක්නට ලැබුන "අවතැන් වූවන් පිළිගනිමු" නම් වූ පුවරුවට බෙහෙවින් සමාන විය. එහි පෙනෙන්නට තිබුණේ අශ්වයෙකු පිට නැගුන කුරුස යුධ භටයෙකු තම හෙල්ලයෙන් කලෂ්නිකොෆ් රයිෆල් අත දරා ගත් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු නෙරපා දමන අයුරු ය. එහි සිටි පිරිමියා සාම්ප්‍රදායික ලෝගුවෙන් ද කාන්තාව නිකාබයෙන් ද සැරසී සිටියහ. "ඉස්ලාම්වාදීන් පිළි නොගනිමු." "ආපසු පලයව්! නැතිනම් අපි නුඹලා පයින් ගසා එළවමු." එය ලොකු අකුරින්  නිවේදනය කර සිටියේය. ( ඊට සමාන වූ අනෙක් පුවරුවල "අවතැන් වූවන් පිළි නොගනිමු" නැතිනම් "මොහොමඩ් පිළි නොගනිමු" වැනි පාඨ දක්නට ලැබුණි.)

එහෙත් මෙම  වෛරයේ සැණකෙළිය අප්‍රධාන වූ අතුරු සංදර්ශණයක් පමණි. විරෝධතාවේ භාවාතීෂය කේන්ද්‍රය, මූලික පණිවුඩය හා එහි බියකරු ප්‍රතිරාවය වූයේ ශතවර්ෂයකින් හතරෙන් එකක පමණ කාලයක් නොවෙනස්ව පැවති සටන් පාඨයක රැව් දීමයි. "Wir sind das Volk" ජනයා යළි යළිත් හඬ නැගූහ. එය කියවුන වාරයක් පාසා එහි වූ ස්වරය වඩ වඩාත් ප්‍රචණ්ඩව ඇසිණ. "ජනතාව නම් අපියි. ජර්මනියට ගලා එන විදේශිකයින් හෝ ඔවුන් සමග සබඳතා පවත්වන දේශපාලකයින් හෝ නොවේ."

විරෝධතා වලට පසු මාස කිහිපයේදී යුරෝපය පුරා අධිකාරිවාදී ජනතාවාදීන් අවධානය තමන් වෙතට යොමුකර ගනිද්දී, එක්සත් ජනපදය ඩොනල්ඩ් ට්‍රම්ප් තෝරා පත්කර ගනිද්දී ඒ ශීතලෙන් ගල්ගැහුණු රාත්‍රියේ මා ලැබූ අත්දැකීම් දෙස ආපසු හැරී බැලීමි. මෙම ව්‍යාපාර උසි ගැන්වූ කෝපාන්විත ආවේග කොතරම් දුරට ඩ්‍රෙස්ඩන් වීදි වල ප්‍රදර්ශණය වූවාද යත් එහිදී මා දුටු සංක්‍රමණිකයන් හා සුළුතර ජනවර්ග කෙරෙහි වූ වෛරය, ජනමාධ්‍ය  දෙස සැකයෙන් බැලීම, නිහඬ බහුතරය අවසානයේ තම හඬ අවදි කළ බවට වූ දැඩි විශ්වාසය මෙන්ම ඒ සියල්ලටත් වඩා ජනතාව වෙනුවෙන් නැගී සිට හඬ නගන්නෙකු ගැන තැබූ දෘඩ විශ්වාසය වැනි සිදුවීම්  පසුබිමෙහි තබාගෙන 2016 හා 2017 සිදුවීම් අරුත් ගැන්වීම නොකර බැරි දෙයක් විය.      

ජනතාවගේ කැමැත්ත මූර්තිමත් කරන්නේ තමන් පමණකැයි කියාගත් බලසම්පන්න නායකයින්ගේ සීඝ්‍ර නැගීම ඓතිහාසික දෘෂ්ඨිකෝණයෙන් බැලූ විට පුදුම සහගතය. සීමෝර් මාර්ටින් ලිප්සෙට් (Seymour Martin Lipset) හා ස්ටයින් රෝකන් (Stein Rokkan) යන දේශපාලන විද්‍යාඥයින් පෙන්වා දී ඇති පරිදි පශ්චාත් යුධ සමයේ වැඩි කාලයක් බොහෝ බටහිර යුරෝපීය හා උතුරු අමෙරිකානු රටවල පක්ෂ ව්‍යුහය වෙනස් නොවී එකතැන  ගල්ගැසුන ස්වභාවයක් පෙන්නුම් කරන ලදී. විසිවන ශතවර්ෂයේ අවසාන දශක වලදී බර්න්, කෝපන්හේගන්, හෙල්සින්කි, ඔටාවා, පැරිස්, ස්ටොක්හෝම් හා වොෂින්ටන් හී පාර්ලිමේන්තු නියෝජනය කළ දේශපාලන ව්‍යාපාර වල වෙනස්කම් සිදු නොවූ තරම් ය. ඔවුන්ගේ ශක්තිය සාපේක්ෂව මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් වී මැදිහත් දක්ෂිනාංශිකයින් යම්කිසි කාලයක් බලයේ සිටි පසුව  මැදිහත් වාමාංශිකයින්ට පාලන බලය හිමිකර දීමත්, කාලයක් ගතවෙද්දී  තත්ත්වය වෙනස් වී අනෙක් පැත්තට ද එය එලෙසම ක්‍රියාත්මක වීමත් සිදු වුවද පක්ෂ ව්‍යුහයේ මූලික ස්වරූපය එලෙසම ස්ථාවරව පැවතිණ. 

එමෙන්ම පසුගිය වර්ෂ විස්ස තුල පක්ෂ ක්‍රමය සීඝ්‍රයෙන් පිරිහීමකට ලක්විය. වසර කිහිපයකට පෙර සුළු පක්ෂ ලෙස පැවතුන හෝ කලින් නොපැවති පක්ෂ  දේශපාලන ක්ෂේත්‍රයෙහි ස්ථාවර වූහ. 

මේ දේශපාලන පරිවර්තනයට ප්‍රථමයෙන්  ලක්වූ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී රට වූයේ ඉතාලියයි. 1990 මුල් භාගයේදී ඇති වූ දැවැන්ත දූෂණ හෙලිදරව්වක් නිසා දේශපාලන පද්ධතියම අර්බුධයට ගියේය. දෙවන ලෝක යුද්ධය අවසානයේ සිට ඉතාලි දේශපාලනයේ ප්‍රධාන තැනක් ගත් පක්ෂ අභාවයට යාම හෝ මැතිවරණ වංගගිරියක අතරමං වීම සිදුවිය. මින් ඇතිවූ රික්තය පුරවන්නට ඉදිරිපත් වූ පළමු පුද්ගලයා වූයේ දේශපාලනයට පිවිසීමෙන් පසු දූෂණ චෝදනා වලට ලක්වීමට සිදු වූ ව්‍යාපාරිකයෙකු වූ සිල්වියෝ බර්ලුස්කෝනිය. පාලන පද්ධතිය පිරිසිදු කර රට සශ්‍රීක කරන බවට පොරොන්දු දුන් ඔහු මැතිවරණයෙන් බලයට පත්විය. ඊලඟ වර්ෂ කිහිපය තුළ රජයේ ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් ගත වූයේ ඔහු විසින් නිරන්තරයෙන් සිදු කරන ලද අවිචාරවත් ක්‍රියාවල ප්‍රතිඵල වලින් ගැලවෙන්නටත් ඔහු සිරගත වීමෙන් වලක්වාලන්නටත් ය. එහෙත් ශතවර්ෂයෙන් හතරෙන් එකක් පමණම රටේ දේශපාලනයෙහි ප්‍රමුඛස්ථානයක් දරන්නට ඔහු සමත් විය. 

   

  

    

3 comments:

  1. //ජනතාවගේ කැමැත්ත මූර්තිමත් කරන්නේ තමන් පමණකැයි කියාගත් බලසම්පන්න නායකයින්ගේ සීඝ්‍ර නැගීම ඓතිහාසික දෘෂ්ඨිකෝණයෙන් බැලූ විට පුදුම සහගතය // කොයි කෝනෙන් බැලුවත්... පුදුමයි, අපුලයි.

    ReplyDelete
  2. කොහෙ බැලුවත් අන්තිමට... පක්ෂ, දේශපාලුවෝ, සංවිධාන තම බල අරගලය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනව. මිනිස්සු එක එක හීන වල හිරවෙලා උන්දැලා දෙන ටොපි ගිලිනව. විසම චක්කරය

    ReplyDelete
  3. ජාත්‍යාලයේ අන්තවාදය වගේම සරණාගත ඉස්ලාම් අන්තවාදයත් එක වගේම නරකයි.

    ReplyDelete