කැඩපත ඉදිරිපිට සිට . . .

 

(cartoon movement වෙතින්)

1. දරුවෙකු මැරූ මිනිසා

එක්තරා ඈත පලාතක මෝඩ මනුෂ්‍යෙයක් හිටියා. ඔහුට දරුවන් හත්දෙනෙක් හිටියා. එක දවසක් බලාපොරොත්තු නොවුන ලෙස මේ දරුවන් අතරින් බාල දරුවෙක් මියගියා. දරුවා මියගිය බව දැනගත් පසුව මෝඩයාට අවශ්‍ය උනේ සිරුර වලලන්නේ නැතිව ගෙදර තියාගන්නයි. මෙය දැනගත් ඔහුගේ මිතුරෙක් ඔහුට අවවාද කලා. 

"ජීවිතය කියන මාර්ගයත් මරණය කියන මාර්ගයත් එකිනෙකට වෙනස්. වහාම අවසන් චාරිත්‍ර ඉටුකරලා සිරුර දුර තැනකට ගෙනිහිල්ලා වළදමන එක තමයි හොඳ. මියගිය දරුවා නිවසේ තියාගන්න බෑ. හැකිතාක් ඉක්මනින් නිවසින් ඉවත්කරන එකයි කරන්න ඕනෑ." 

මේක අහපු මෝඩයා මෙහෙම කල්පනා කළා. "මට මගේ දරුවා ගෙදර තියාගන්න බැරි නම් වළදැමීමට සිදුවෙනවා නම් තවත් දරුවෙක් මරණ එක තමයි සුදුසු. එතකොට ලීයේ දෙපැත්තේ බැඳගත්තම සමබරව ගෙනියන්න ලේසියි එක්කෙනෙක් ගෙනියනවට වැඩිය." 

ඉතින් මේ මෝඩයා තමන්ගේ තවත් දරුවෙකු මරලා දෙන්නම ඈත කැලේට ගෙනිහින් වැළලුවා. මේක දැනගත්තු මිනිස්සු විශ්මයෙන් තුෂ්ණිම්භූත උනා. ඔවුන් මෝඩයා කළ දේ සිනහවට ලක්කලා. 

මේ මෝඩ මිනිසා හරියට ශික්ෂාපදයක් කඩකළ පූජකයෙක් වාගෙයි. ඔහු කරන ලද එකම වරදක්වත් හෙලිකරන්නට අකමැති නිසා කළ වරද සඟවාගෙන සිය පාරිශුද්ධත්වය ප්‍රකාශ කරනවා. එහෙත් කරුණු වටහාගත් ඥානවන්තයෙක් ඔහුට මෙසේ කියනවා. 

"නිවස හැර ආ තැනැත්තා ශික්ෂාපද ආරක්ෂා කළයුත්තේ වටිනා මැණික් රැසක් රකිනවා වාගෙයි. ඔබ ලබාගත් දෙය කඩකළේ ඇයි? ඇයි ඔබ කළ දෙය පාපෝච්චාරණය කරන්නෙ නැත්තේ?" 

නුවණැත්තා කියූ දෙය අසා සිටි පූජකයා මෙහෙම හිතනවා. "මා පාපෝච්චාරණය කළයුතු නම් හැකිතරම් ශික්ෂාපද කඩන එකයි හොඳ. එහෙම කරලා ඉවර උනාම ඔක්කොම එකසැරේ පාපෝච්චාරණය කරන්න පුළුවන්." මෙහෙම හිතන ඔහු සියළුම ශික්ෂාපද කඩකරමින් මහත් විනාශයක් කරනවා. අවසානයේ ඔහු සියල්ල එකවර පාපෝච්චාරණය කරනවා. මෝඩකම කොයිතරම්ද? ඔහුත් හරියට එක් දරුවෙකු මැරුණ පසු නොදැනුවත්කම නිසා තවත් දරුවෙකු මැරුව මිනිසා වගෙයි. 

2. ගුණ වැනීම

වරෙක එක් මිනිසෙක් සෙනග රැස්වී  සිය දෙමව්පියන් ගැන කතාකරන තැනක සිට තම පියාගේ ගුණවත්කම වර්ණනා කළා. "මගේ පියා හරිම කරුණාවන්ත කෙනෙක්. ඔහු කාටවත් හිරිහැර කළේ නෑ. කාගෙන්වත් හොරකම් කළෙත් නෑ. ඔහු හැමතිස්සෙම ඇත්ත කතා කළා. හැකි සෑමවිටම අනෙකුත් අයට දීම පුරුද්දක් කරගෙන සිටියා."  

සෙනග මැද සිටි මෝඩයෙකුත් මේ කතාව අහගෙන ඉඳලා ඒකට බාදාකළා. "ඕක මොකද්ද! මගේ පියාගේ ගතිගුණ ඔයිට වැඩිය හුගක් වැඩියි." කියලා කිව්වා. රැස්වෙලා සිටි පිරිසට ඒ ගැන දැනගන්න ඕනැ උනා. "මොනවද ඒ හොඳ ගතිගුණ? ඒවා ඔබ විතරක් දැනගෙන මදි. අපටත් දැනගන්න කියන්න."ඔවුන් කියා සිටියා. මෝඩයා පිළිතුරු දුන්නා. "තරුණ කාලේ ඉඳලම මගේ පියා රාගික හැඟීම් පිටුදැකලයි තිබුනේ. ඇත්තටම ඒ කාලේ ඉඳලා අද වෙනකල්ම ඔහු බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරගෙනයි ඉන්නේ." රැස්ව සිටි පිරිස විශ්මයට පත්උනා. "ඔබේ පියා රාගික සිතුවිලි සම්පූර්ණයෙන්ම පාලනය කරලා නම් හිටියේ ඔබ ඉපදුනේ කොහොමද?" ඔවුන් ඇසුවා. "මෙහෙමත් මෝඩයෝ තවත් ඉන්න පුළුවන් ද?" ඔවුන් කල්පනා කළා.

3. හදිසි කෝපය 

මිතුරන් කිහිපදෙනෙකු එක්ව ඔවුන් දැනසිටි තවත් අයෙකු ගැන කතාකරමින් සිටියා. "ඔහු ලඟ හොඳ ගතිගුණ ගොඩක් තියනවා. ඒත් ඔහුගේ දුර්වලකම් ද ඒ වගේමයි." ඔවුන් කතාඋනා. "ඇත්තම කියනවා නම් එයාට හරි ඉක්මනට තරහ එනවා. පුංචි දෙයකින් උනත් කලබල වෙලා දෙපාරක් නොහිතාම හදිසි තීරණ ගන්නවා." එක් අයෙක් කිව්වා.  

අහම්බෙන් වාගේ ඔවුන්ගේ කතාබහට ලක්උන පුද්ගලයා ඒ වෙලාවේ මෙතැන පසුකරගෙන යන්න ආවා. කියපු හැමදෙයක්ම ඔහුට ඇසුනා. ඇතුලට කඩාවැදුන ඔහු වචනයක්වත් නොකියා කතාකරමින් සිටි මිනිසා අල්ලාගෙන ඔහුට පහරදෙන්නට පටන්ගත්තා. එතැන සිටි තවත් මිනිසෙක් ඉදිරියට ආවා. "ඇයි ඔබ ඔහුට පහරදෙන්නේ? ඕක නවත්වන්න." ඔහු කිව්වා. 

"මගේ ජීවිතේටම මම කවදාවත් ඉවසීම නැතිව ගිහිල්ලා හදිසි තීරණ අරගෙන නෑ. ඒත් මේ මෝඩයා මට චෝදනා කරනවා මම එහෙම කරා කියලා. එයාට දෙන්න වටින දේ තමයි මම මේ දෙන්නේ." කෝපයෙන් සිටි මිනිසා කෑගැසුවා. 

මේ වෙනකොට සෑහෙන පිරිසක් මෙතැනට රැස්වෙලා බලාගෙන ඉන්නවා. මුල ඉඳලම සිද්ධිය බලාගෙන සිටි කෙනෙක් කෝපයෙන් සිටි මිනිසාට කතාකළා. "ඒත් බලන්න ඔබ කරන දේ. ඔබ දැන් ඔප්පුකරලා ඉවරයි ඔබට ඉක්මනින් තරහා එනවා, ඉක්මන් වෙලා හදිසි තීරණ ගන්නවා කියලා. දැන් ඒක ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද? "

බලාගෙන සිටි අනෙක් අයත් කතාවට සම්බන්ධ උනා. "ඒක හරි, කවුරුහරි ඔබව විවේචනය කලා විතරයි බලන්න ඔබ කළ දේ." 

මේ මිනිසාගේ මෝඩකම හා දුරදිග නොපෙනෙන හැටි අනෙක් අයට විශ්වාස කරන්න බැරිතරම් උනා. 

මේ මිනිසා හරියට තමාට විරුද්ධව වචනයක් හෝ කියනවා ඇසෙන විට කෝපයෙන් වියරුවෙන බේබද්දෙක් වාගෙයි. ඔහු ඇතිකරන කරදර ඔහුගේ අවගුණයට සාක්ෂි දරනවා. එහෙත් ඔහුට ඒ කිසිවක් පෙනෙන්නේ නෑ. කවුරුහරි එය පෙන්වාදෙන විට ඔහුගේ සිතට නැගෙන්නේ පහරදීමට පමණයි. 

Kazuaki Tanahashi විසින් රචිත A Flock of Fools: Ancient Buddhist Tales of Wisdom and Laughter from The One Hundred Parable Sutra නම් කෘතිය ඇසුරෙනි.  

1 comment:

  1. මෝඩකම හා හදිසි කෝපය!

    දෙවැනි කතාව වෙනත් විදිහකින් අහලා තියෙනව.

    ReplyDelete