පහත දැක්වෙන්නේ ඉරානයේ ඉපිද, දකුණු රොඩේෂියාවේ (දැන් සිමිබාබ්වේ) හැදීවැඩී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ලෙස සාහිත්‍යය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ඩෝරිස් ලෙසිං(1919-2013) ලේඛිකාවගේ The Prisons We Choose to Live Inside නම් කෘතියේ පළමු පරිචිඡේදයේ පරිවර්තනයකි. මෙහිදී ඇය අවධානය යොමුකරන්නේ නොදියුණු අතීතයේ සිට වර්තමානයේ දියුණු යැයි සැළකෙන අවධිය දක්වා ආ ගමනේදී මිනිසා තවමත් කොතරම් ම්ලේච්ඡ ගති සිරිත්විරිත් උරුමකරගෙන සිටින්නේද යන වගයි.
එක්තරා කාලයක සැමගේ ගෞරවය දිනාගත් ඉසුරුමත් ගොවිපළ හිමිකරුවකු විය. රටේ හොඳම කිරි ගව පට්ටිවලින් එකක් ඔහු සතු වූ අතර මහද්වීපයේ මුලු දකුණු අර්ධය පුරාම සිටි අනෙකුත් ගොවීන් උපදෙස් පතා ආවේ ඔහු වෙත ය. මේ මා හැදී වැඩුන, දැන් සිම්බාබ්වේ ලෙසින් හඳුන්වන, අතීතයේ දකුණු රොඩේෂියාවයි. කාලය නම් දෙවන ලෝක යුද්ධය අවසන් වූ වහාම ය.
මෙම ගොවියා සහ ඔහුගේ පවුල මම හොඳින් දැන සිටියෙමි. උපතින් ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ ගොවියා ස්කොට්ලන්තයෙන් විශේෂ වර්ගයේ ගවයෙකු ආනයනය කිරීමට තීරණය කළේය. මේ, ගව පැටවුන් බවට පත්කළ හැකි පුංචි ඇසුරුමක් එක් මහාද්වීපයක සිට තවත් මහද්වීපයකට ගුවන් තැපෑලෙන් යැවිය හැකි බව විද්‍යාව විසින් සොයාගැනීමට ටික කලකට පෙර ය. මෙම සත්ත්වයා නිසි කලට, වියයුතු පරිදිම, ගුවනින් ගෙනෙනු ලැබ, ගොවියන්, මිතුරන් හා විශේෂඥයින්ගෙන් සමන්විත පිළිගැනීමේ කමිටුවක පිළිගැනීමට ලක්විය. ඌ සඳහා කරන ලද වියදම පවුම් 10,000 කි. අද වටිනාකමට අනුව කොපමණ වේ දැයි මා නොදන්නා නමුදු ගොවියාට එය විශාල මුදලක් විය. ඌ වෙනුවෙන් විශේෂ ගෘහයක් සාදන ලදී. දැවැන්ත, සිත් ඇදගන්නා සුලු සතෙකු වූ ගවයා බැටළු පැටවකු මෙන් සෞම්‍ය බවට විශ්වාසයක් පැවති අතර උගේ කොටුවේ පොලුවලට පිටතින්, ආරක්ෂා සහිත දුරකින් සිට කෝටුවකින් උගේ හිස පිටුපස කරන කිතිකැවීමට ඌ ඇලුම් කළේය. ඌ වෙනුවෙන්ම වෙන් වූ අවුරුදු දොළහක පමණ කලු ජාතික පිරිමි ළමයෙකු ඌ බලාගැනීම සඳහා සිටියේය. සියල්ල හොඳින් සිදු වූ අතර වැඩිකල් යන්නට පෙර ගවයා සෑහෙන තරම් පැටවුන් සංඛ්‍යාවකගේ පියා වන බවට සැකයක් නොවීය. ඉරිදාවක සවස පැමිණ කොටුව වටා සිටගෙන, ශක්ති සම්පන්න වුවත් කීකරු බවක් පෙන්වූ මේ අපූර්ව සත්ත්වයා අගය කරන්නට කැමති අමුත්තන් ඌට ආකර්ෂණය විය. එහෙත්, එක්වරම, හිතාගත නොහැකි ලෙස ඌ තමා බලාගැනීමට සිටි කලු පිරිමි ළමයා මරා දැමීය.
ඒ වෙනුවෙන් අධිකරණයතට සමාන වූ කමිටුවක් පිහිටුවන ලද අතර ළමයාගේ නෑදෑයින් ඉල්ලා සිටි පරිදි වන්දියක් ගෙවන ලදී. එහෙත් එය අවසානය නොවීය. ගවයා මරාදැමියයුතු බවට ගොවි මහතා තීරණය කළේය. මෙය දැනගත් පසු බොහෝ මිනිස්සු ඔහු හමුවීමට ගොස්, ප්‍රතාපවත් පෙනුමකින් යුත් මෙම ගවයාගේ ජීවිතය බේරන ලෙස ආයාචනා කළහ. සෑමදෙනම දන්නා පරිදි හදිසියෙන්, බලාපොරොත්තු රහිත ලෙස කුලප්පුවීම හරකුන්ගේ ස්වභාවයයි. ගොපලු කොළුවාට අනතුරු අඟවා තිබුණ අතර ඔහු නොසැලකිලිමත්වන්නට ඇත. පැහැදිලිවම නැවත එවන් දෙයක් සිදුවීමට ඉඩක් නැත. මේ තරම් ජවයක් හා හැකියාවක් නාස්ති වන්නට ඉඩදෙන්නේ ඇයි? ඵපමණක්ද, ඵ් වෙනුවෙන් වැය කළ මුදල?
“හරකා මිනිහෙක් මරලා තියනවා, ඌ මිනීමරුවෙක්, ඌට දඬුවම් කළ යුතුයි. ඇහැට ඇහැක්, දතට දතක්.” අනුකම්පා විරහිතව ගොවියා කියා සිටියේය. ගවයා නියමිත පරිදි “භට කණ්ඩායමක්” විසින් වෙඩිතබා මරණීය දණ්ඩනයට පමුණුවා වළලා දමනු ලැබී ය.
මා කලින් ද කියා ඇති පරිදි මෙම ගොවි මහතා මෝඩයෙකු හෝ අනුවණයෙකු හෝ නොවේ. එමෙන්ම, ඔහු ද, ඔහු අයත් පාලක සුදු සුළුතරයේ අනෙක් හැමදෙනාම මෙන් තමා අවට ජීවත්වන කලු මිනිසුන් ආදිකල්පික, පසුගාමී, මිථ්‍යාදෘෂ්ඨිකයින් ලෙස හෙලාදැකීමට වැඩි කාලයක් ගතකළ අයෙක් විය.
එහෙත් ඔහු කළ දෙය - කළ වරදක් සඳහා සත්ත්වයෙකුට මරණීය දණ්ඩනය නියම කිරීම නම් වූ ක්‍රියාව මනුෂ්‍ය වර්ගයාගේ ඈත අතීතය කරා - කෙතරම් ඈතට ද කිවහොත්, කොතැනක ඇරඹුනා දැයි කිව නොහැකි තරම් ඈත අතීතයට දිවයයි. එහෙත් සත්‍ය වශයෙන්ම එය මිනිසාට මානවයා සත්ත්වයාගෙන් වෙන්කොට හඳුනාගන්නට නොහැකි වූ කාලය තරම් ඈතකදී වියයුතු ය.
මිතුරන්ගෙන් හෝ අනෙකුත් ගොවි මහතුන්ගෙන් හෝ මීට සමාන සිතුවිලි ඔස්සේ ලැබුණ බුද්ධිමත් යෝජනා සැලකිල්ලට නොගෙනම ඉවත දැමුණේ, “මම දන්නවා හරි මොකක්ද, වැරදි මොකක්ද කියල, බොහොම ස්තූතියි.” යන වදන් සමගිනි.
තවත් සිදුවීමක් නම් අවසාන ලෝක යුද්ධය නිමාවූ පසු, එක්තරා ගසක් මරණීය දණ්ඩනයට නියම කරනු ලැබීම ය. ගස, කලක් ප්‍රංශයේ ගැලවුම්කරුවා ලෙස ද පසුව පාවාදෙන්නා ලෙස ද සැලකුම් ලැබූ ජෙනරාල් පේට්න් වෙනුවෙන් කැපකරනු ලැබූ එකක් විය. පේට්න් අවමානයට ලක්වූ පසු, ගස සතුරා සමග හවුල්වීමේ වරදට විධිමත් ලෙස වරදකරු කරනු ලැබ මරණයට පමුණුවන ලදී.
මම නිතරම මෙම කැළඹීම් පිළිබඳව මෙනෙහි කරමි. ඒවා නියෝජනය කරන්නේ කාලය කෙමෙන් ගතවනවිට විවිධ අරුත් නංවන ආකාරයේ සිදුවීම් ය. පොදුවේ මිනිස් ක්‍රියාකාරකම් ගැන කතාකරන විට, සෑම දෙයක්ම හොඳින් ගලාගෙන යන හැමවිටකම, ක්ෂණයකින්, කිසියම් පිළිකුල් සහගත ම්ලේච්ඡ සිතුවිල්ලක් පැනනගින්නාක් මෙන් මිනිස්සු ප්‍රචණ්ඩ හැසිරීම් රටාවක් කරා ආපසු හැරෙති.
මෙම රචනා පහේදී මට කථාකරන්නට අවශ්‍ය වන්නේ මෙම කරුණ ගැනයි. කොයිතරම් දුරකට, කොයිතරම් ප්‍රමාණයකට, පුද්ගලයින් ලෙසත්, කණ්ඩායම් ලෙසත් අපගේ ම්ලේච්ඡ අතීතයේ පාලනයට අප නතුවී සිටී ද යන්නයි. එහෙත්, වරෙක අප අසරණ වී ඇතිබවක් හැඟීගියත්, අපි ඉතාමත් වේගයෙන්, ග්‍රහණය කරගැනීමටත් බැරිතරම් වේගයෙන් පුද්ගලයින් වශයෙන් පමණක් නොව කණ්ඩායම් වශයෙන් ද, ජාතීන් වශයෙන් ද, සමාජයේ සාමාජිකයන් වශයෙන් ද අප පිළිබඳවම දැනුම එක්රැස් කරමින් සිටිමු.
මෙය ජීවත්ව සිටීම බිය දනවනසුළු දෙයක් වී ඇති , මනුෂ්‍යයා තාර්කික බුද්ධියකින් හෙබි සත්ත්වයෙකැයි සිතීමත් අපහසු වී ඇති යුගයකි. බලන බලන සෑම අතකම කෲරත්වය හා මුග්ධත්වය දකින්නට ඇත්තේ ඒ හැරෙන්නට දකින්නට වෙනත් කිසිම දෙයක් නැතිවාක් මෙනි. අපටම පාලනය කරගැනීමට නොහැකි ම්ලේච්ඡත්වයකට අප ඇදවැටී ඇති සේය. එහෙත් මා සිතන්නේ පොදුවේ පිරිහීමක් පෙනෙන්නට තිබීම සත්‍යයක් වුව ද නිශ්චිතවම සිදුවී ඇත්තේ සිදුවීම්වල ඇති බියකරු බවින් අප අන්ධ වීම නිසා ඊට ප්‍රතිවිරුද්ධව ඇති, එතරම්ම ශක්තිමත් වූ බලවේග - කෙටියෙන් කියන්නේ නම්, තර්කානුකූල, සිහිනුවණ ඇති, ශිෂ්ඨාචාර වූ බලවේග අපට නොපෙනීයාම හෝ පෙනුන ද සුළුකොට සැලකීමයි.
ඇත්තටම මා මෙලෙස කියනවිට “කොහෙද තියෙන්නෙ? මේ ගෑනිට පිස්සු වෙන්නැති මේ අපි ඉන්න කුණුගොඩේ හොඳක් පෙනෙන්නෙ.“ යනුවෙන් කියන මිනිසුන් සිටින්නට පුළුවන.
මා සිතන්නේ නිසැකවම මේ ප්‍රකෘති සිහිය සෙවිය යුත්තේ, සිදුවූ අපරාධයක හිලව්වට සත්ත්වයෙකු ඝාතනය කළ ගොවියා නැතිනම් ගසක් වරදකරු කොට මරාදැමූ මිනිසුන් පරීක්ෂාවට ලක්කරන ආකාරයටම අපගේම චර්යා රටාව ද විනිශ්චයට භාජනය කරන ක්‍රියාවලිය තුළ ය. අතිශය ප්‍රබල වූ මෙම ආදිකල්පික හැඟීම්වලට ප්‍රතිවිරුද්ධ ලෙස වෙනත් දෘෂ්ඨීකෝණවලින් තමන්ම නිරීක්ෂණය කරගැනීමේ හැකියාව ද අප තුළ පවතී. මෙම සමහරක් දෘෂ්ඨීකෝණ බෙහෙවින් පැරණි ය; අප සිතනවාටත් වඩා බොහෝ පැරණි ය. මිනිසාගේ කටයුතු පාලනය විය යුත්තේ තර්කානුකූලව සිතා තීරණ ගැනීමේ හැකියාව මතය යන අදහස අලුත් දෙයක් නොවේ. නිදසුනක් ලෙස, මා යෙදී සිටි අධ්‍යයන කටයුත්තක ප්‍රතිඵලයක් ලෙස, මනා රාජ්‍ය පාලනයට අත්පොතක් වූ වසර දෙදහසකට වඩා පැරණි ඉන්දියානු පොතක් හමු විය. එහි අඩංගු උපදෙස් සෑම අතකින්ම අද අපි කතා කරන අදහස් මෙන්ම පැහැදිළි, ප්‍රඥාගෝචර හා තර්කාණුකූල වනවා මෙන්ම එයින් බලාපොරොත්තුවන සාධාරණත්වය කිසිසේත්ම අද අපි සාධාරණත්වය ලෙස අවබෝධ කරගෙන ඇති දෙයට වඩා අඩු යමක් නොවේ. අවාසනාවකට මෙන් මෙම පොත විශේෂ පුස්තකාලයක හැරෙන්න සොයා ගැනීමට ද අසීරු ය. කෞඨිල්‍ය නම් අයෙකු රචනා කර ඇති, සිතාගැනීමට ද අපහසු තරම් පැරණි බව පෙනෙන ‘අර්ථශාස්ත්‍ර’ නම් වූ මෙම ග්‍රන්ථය ගැන මෙහි සඳහන් කරන්නට එකම හේතුව වන්නේ ඊට සමානව ලියැවුන දිගු පොත් මාලාවක අවසන් පොත මෙය බවට මෙම පොත එය ගැනම කරන සඳහනයි.
මෙය සතුට දනවන කරුණකට වඩා කණගාටු වියයුතු කරුණක් ලෙස පෙනීයන්නට පුළුවන. මක් නිසාද යත්, රටක් පාලනය කළයුත්තේ කෙසේදැයි ඉතාමත් මැනවින් දැනගෙන වසර දහස් ගණනාවකට පසුව වුව ද ඒ තත්ත්වයට ලඟාවීම සඳහා අපට තවමත් බොහෝ දුරක් ගෙවීමට ඇති බැවිනි. ඉතින්, ඇත්තටම මට කියන්නට ඇති සියළුම දෙයෙහි මූලික හරය මෙයයි. අද අප, අප ගැනම දන්නා දේ, එදාට වඩා, පසුගිය වසර දහස් ගණන පුරාම දැනගෙන සිටියාට වඩා, බෙහෙවින් දියුණු හා ගැඹුරු ස්වරූපයක් ගනී.
අප දැන සිටි දේ ක්‍රියාවට නැගුවේ නම්. . . ඒත් ඒක තමයි කාරණය.
මා සිතන ආකාරයට අපේ කාලය දෙස ආපසු බලනවිට වෙනත් කිසිදු කරුණකට වඩා එක් දෙයක් ගැන මිනිසුන් විශ්මයට පත්වනු ඇත. එය නම්, අද අප අතීතයේ සිටි මිනිසුන්ට වඩා අප ගැනම බොහෝ දේ දැන සිටියත් එම දැනුමින් ගෙන ඇති ප්‍රයෝජන කොපමණ අල්ප ද යන්නයි. අප පිළිබඳවම වූ දැවැන්ත තොරතුරු විප්ලවයක් සිදු වී ඇත. අපගේ හැසිරීම් රටා පිළිබඳව වන මෙම තොරතුරු මනුෂ්‍ය වර්ගයා තුළ තවමත් ළදරු මට්ටමින් පවතින තමන් දෙසම විෂය මූලිකව බැලීමට හැකි හැකියාවේ ප්‍රතිඵලයයි. එය අදාළ වන්නේ අපගේ හැසිරීම් රටා වලට ය. මේ හා සම්බන්ධ විද්‍යා, සමහර අවස්ථාවල චර්යාමය විද්‍යා ලෙස හැඳින්වෙන අතර ඒවායින් අධ්‍යයනය කෙරෙන්නේ කණ්ඩායම්ගතව හා පුද්ගලයින් ලෙස අප හැසිරෙන්නේ කෙසේද යන්න මිස, නිතර අතිශයෝක්තියෙන් දැක්වෙන, අප හැසිරෙන්නේ මෙසේ යයි අප සිතන්නට කැමති විදිහ පිළිබඳව නොවේ. අවශ්‍ය වන්නේ අනෙකුත් සත්ත්ව වර්ග නිරීක්ෂණය කරනවිට සිදුවන ආකාරයටම අප හැසිරෙන්නේ කෙසේද යන්න හැකිතාක් අපක්ෂපාතීව, හැඟුම්බර නොවී නිරීක්ෂණය කිරීමයි. මෙම සමාජ හා චර්යාමය විද්‍යා නිසැකවම ස්වයං වර්ණනයෙන් තොරව, වියුක්ත ලෙස අපට අප දෙසම බැලීමට ඇති හැකියාවේ ප්‍රතිඵලයි. විශ්වවිද්‍යාලවලින්, පර්යේෂණ ආයතනවලින් හා සහජ දක්ෂතා ඇති ආධුනිකයින්ගෙන් ගලාඑන අති විශාල තොරතුරු සම්භාරයක් තිබුනත් අප අපවම පාලනය කරගන්නා ශෛලියේ කිසිදු වෙනසක් සිදුවී නැත.
අපගේ වම් අත දකුණු අත කරන්නේ කුමක්දැයි දන්නේ නැත. දැනගන්නට උවමනාවක් දක්වන්නේ ද නැත.
මා සිතන ආකාරයට, ජීවී විශේෂයක් ලෙස අප තුල දක්නට ඇති සුවිශේෂී ලක්ෂණය මෙයයි. අනාගතයේ බිහිවීමට නියමිත මිනිසුන් මේ පිළිබඳව මවිතයට පත්වනු ඇත්තේ අපගේ මුතුන් මිත්තන්ගේ මුග්ධභාවය හා නොනැමෙනසුලු බව පිළිබඳව අප අද විශ්මයට පත්වන ආකාරයටම ය.
අපෙන් පසුව පැමිණෙන මිනිසුන්ට අප කෙසේ පෙනෙනු ඇත්දැයි මෙනෙහි කිරීමට මම බොහෝ කාලයක් ගත කරමි. මෙය හුදෙක් අර්ථ විරහිත උනන්දුවක් නොව අපට අපවම විනිශ්චය කරගැනීම සඳහා යොදාගත හැකි “අනෙක් ඇස” ශක්තිමත් කිරීම සඳහා හිතාමතා උවමනාවෙන් ගන්නා ලද උත්සාහයකි. ඉතිහාසය කියවන ඕනෑම කෙනෙකු දන්නා පරිදි එක් ශතවර්ෂයක දී නිවැරදි සේ දැඩි ලෙස මනසට කාවැදුන විශ්වාස ඊලඟ ශතවර්ෂයට පෙනෙන්නේ අභූත, අස්වාභාවික ඒවා ලෙස ය. යම් යුගයක් එම යුගය තුළ ජීවත් වූ මිනිසුන්ට පෙනෙන්නට ඇති පරිදිම අපට ද දකින්නට හැකිවූ අවධියක් ඉතිහාසයේ කිසිදිනක තිබී නැත. ඕනෑම යුගයකදී අප ජීවත්වන්නේ මිදීමට අපහසු තරමට තදින් අප හා බැඳුන චිත්තවේග සමුදායක හා සමාජ නියමවල බලපෑම මත ය. මේ චිත්තවේග සමුදාය නිරතුරුවම පෙනීයන්නේ උදාරතර, විශිෂ්ඨ හා වඩාත් අලංකාර ඒවා ලෙස ය. එහෙත් එක් වසරක්, වසර පහක්, දශකයක්, දශක පහක් තුළ මිනිසුන්, “කොහොමද ඒ ගොල්ල එහෙම දෙයක් විශ්වාස කළේ?” යනුවෙන් විමසනු ඇත. මක් නිසාද යත්, හුරුපුරුදු විදියකට කියන්නේ නම් එම චිත්තවේග සමුදායම ඉතිහාසයේ කුණුබක්කියට තල්ලු කිරීමට තරම් වූ සිද්ධි සමූහයක් සිදුව තිබෙන්නට ඉඩ ඇති බැවිණි.
මගේ වයසේ ජනයාට මෙවන් බරපතල විපර්යාස ගණනාවක් අත්විඳින්නට අවස්ථාව ලැබිණ. ඉන් එකක් පමණක් මෙහි සඳහන් කරමි. දෙවන ලෝක යුද සමයේ දී, සෝවියට් සංගමය හිට්ලර්ගේ ආක්‍රමණයට ලක්ව ප්‍රජාතන්ත්‍රවාදීන්ට මිත්‍ර පාක්ෂිකයෙකු වූ මොහොතේ සිට මහජනයා අතර ජනාදරයට පාත්‍ර විය. ස්ටාලින් 'අංකල් ජෝ' බවට පරිවර්තනය වී සාමාන්‍ය මිනිසාගේ මිතුරකු වූ අතර රුසියාව නිර්භීත, නිදහස්කාමී වීරවරයන්ගේ දේශයක් විය. කොමියුනිස්ට්වාදය අප විසින් අනුගමනය කළ යුතු, ජනතා කැමැත්තේ අපූර්ව ප්‍රකාශනයක් විය. අවුරුදු හතරක් පුරා මෙලෙස පැවතුන මේ සියළු දේ ක්ෂණයකින් කනපිට හැරිණ. මෙම සියළු ආකල්ප නොමග යවනසුලු, ද්‍රෝහී, සැමට තර්ජනයක් වන දේ බවට පත්විය. අන්කල් ජෝ ගැන කථාකරමින් සිටි මිනිස්සු කිසිදිනෙක එවන් දෙයක් සිදු නොවූවාක් මෙන්, ක්ෂණයකින්, සීතල යුද්ධයේ සටන් පාඨ හසුරුවන්නට වූහ. යුද අවශ්‍යතා මත ගොඩ නැගුනු භාවාතීෂය වූත්, මුග්ධ වූත් එක් අන්තවාදයක තැන අතාර්කික වූත් අමනොඥ වූත් තවත් අන්තවාදයකට හිමිවිය.
වත්මන් ජනප්‍රියවාදී ආකල්ප දෙස නිරතුරුවම විවේචනාත්මකව බැලීම සඳහා ඔබ පෙළඹවීමට එවන් විපර්යාසයක් එක් වරක් අත්විඳ තිබීම සෑහේ.
ඉතිරි කොටස ලබන සතියේ. . .
ඔය ස්ටාලින් --> 'අංකල් ජෝ' --> බටහිර පොදු සතුරා කතාවට සමාන කතාවක්, පුටින් ගැනත් තියනවා. සෝවියට් සමාජවාදය කඩාගෙන වැටිලා, රුසියාව කොමියුනිස්ට්වාදය අත්හැරියට පස්සෙ, පුටින් නේටෝ එකට එන්න ඇහැව්වාලු. ඇමැරිකාව ඇතුලු බටහිර එක හෙලාම ඒක ප්‍රතික්ෂේප කලාලු "පිස්සුද, ඒක නං මේ කපේදි වෙන්නෙ නෑ" කියලා. හිට්ලර් ගියත් එයාලට "සතුරෙක්" නැතුව ඉන්න බැහැලු. සමහරු කියනවා ඒක, ඉතාමත් ලාභදායී ව්‍යාපාරයක් වන යුධ අවි කර්මාන්තය, ආරක්ෂක වියදම් සහ ආරක්ෂක කොන්ත්‍රාත් කරුවන්ගේ උවමනාව මත වෙන දෙයක් කියලත්. බොටම් ලයින් එක, ලෝක බලවතුන්ට සාමයක් අවශ්‍ය නෑ, යුද්දෙ තමයි ඕනෙ. ඒක බිස්නස් වලට හොඳයි. සාමකාමී වේගන එක කොට කොහේ හරි ගිණි පත්තු කරන එක තමයි කරන්නෙ.
ReplyDeleteඒක ඇත්ත . මම මගේ බ්ලොග් එකේ රුසියාව ක්රිමියව ආක්‍රමණය කර අල්ලාගත්තේ කලේ ඇයි සහ සිරියාවට සහයෝගය දෙන්නේ ඇයි කියන කතාවට හේතු කියන්න . පූටින් ක්ලින්ටන් ගෙන් ඇහුවම එයා කැමති වුනත් බැහැ කියල තියනවා . අපට සතුරෙක් නැතිවෙනවා කියල ජෙනරාල් ල කිවලු . චිනේ දැනට සතුරෙක් කර ගන්න බැහැ කියලත් කීවලු .
Deleteබටහිර මාධ්‍ය හැම වෙලේම උඩ දමන්නේ ඇමෙරිකාව දෙවන ලෝක යුද්ධය දිනුව විලසට . ඇත්ත කාරණය නම් මොස්කව් සහ ස්ටලින්ගරාඩ් වල හිට්ලර් පැරදුනාට පස්සේ තමා ඇමෙරිකාව හරියට සහයට ආවේ . එතකන් හිට්ලර් ට හොරෙන් ආයුධ දුන්න. ඇමෙරිකන් වාදීන් ඕව පිලි ගන්නේ නැහැ
ReplyDeleteමිනිස්සු ඇයි වැරදි මතවල ඉන්නේ කියන එක විනිශ්චය කරන්න අමාරු දෙයක් . මොකද ඒක සාපේක්ෂ නිසා
ReplyDeleteමෙම ලිපියේ තව කොටසක් ඉදිරියට පළකිරීමට තිබෙන බැවින් වැඩි යමක් කීමට අපහසුයි. සමස්තයම සැලකිල්ලට ගතයුතු නිසා. කෙසේ වුවත් ලේඛිකාවගේ අවධානය යොමුවන බව පෙනෙන්නේ ශිෂ්ටාචාරයේ දියුණුවත් සමග මිනිසාගේ මනස ක්‍රියාකරන ආකාරය පිළිබඳවයි.
ReplyDelete