ලොක්කන්ගේ අධ්‍යාපනය

                       
                                          (cartoon movement වෙතින්)

සාමි මන්ත්‍රී මණ්ඩලය, 1920 ජනවාරි 25වන දින - අධ්‍යාපන පනතෙහි පාසැල්වල ජ්‍යාමිතිය ඉගැන්වීමට අදාළ 52000 වැනි වගන්තිය සලකාබැලීම සඳහා සාමි මන්ත්‍රී මණ්ඩලය අද කාරක සභා අවස්ථාවෙහි රැස්විය.

ආණ්ඩු පක්ෂ නායකයා අදාළ වගන්තිය ඉදිරිපත් කරමින් එකඟතාවකට එළඹීමේ අවශ්‍යතාව සාමිවරුන්ට අවධාරණය කර සිටියේය. ඔහු පැවසූ ආකාරයට මෙම පනත සාමිවරුන් ඉදිරියේ තබා මේ වනවිට වසර දහසයක් සම්පූර්ණ වෙයි. දියහැකිව තිබූ සෑම සහනයක්ම රජය විසින් සලසා තිබේ. විරුද්ධ පක්ෂයේ සාමිවරුන් විසින් පනතේ මුල් නියෝග සම්බන්ධයෙන් ගෙන ආ සංශෝධන සියල්ලක්ම රජය විසින් පිළිගෙන තිබේ.  මේ ඉදිරිපත් කර තිබෙන වගන්තියට යූක්ලීඩ්ගේ පස්වන ප්‍රමේය ද ඇතුළත් වන සේ සවිස්තරාත්මක අධ්‍යයන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නට ඔවුන් තවදුරටත් එකඟත්වය පළකර තිබේ. එබැවින් ඔහු සාමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ පහත දැක්වෙන පරිදි කෙටුම්පත් කර ඇති වගන්තිය පිළිගන්නා ලෙසයි. 

"සමද්වීපාද ත්‍රිකෝණයක පාදයේ කෝණ සමාන වන අතර ත්‍රිකෝණයේ සමාන පාද දීර්ඝ කරනු ලැබුවහොත් බාහිර කෝණ ද සමාන වනු ඇත."

එසේම එලෙස පැති දීර්ඝ කිරීමට රජයේ කිසිදු අදහසක් නොමැති බව ද ඔහු නොපමාවම සඳහන් කළේය. එවන් පියවරක් ගැනීමට සිදුවන හදිසි අවස්ථාවක් අහඹු ලෙස පැනනැගිය හැකි අතර එවන් අවස්ථාවකදී සාමිවරුන් වෙත ඒ පිළිබඳව පූර්ව දැනුම්දීමක් කෙරෙනු ඇත. 

කැන්ටබරි හී අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ වගන්තියට විරුද්ධව කතා කළේය. එහි ස්වරූපය වර්තමානයේ තිබෙන ආකාරයට අනුව එයින් ආගම සම්පූර්ණයෙන්ම බැහැර කර ඇති බව ඔහුගේ මතය විය. එය පහත දැක්වෙන පරිදි සංශෝධනය කිරීම ඔහුගේ අභිප්‍රාය විය. 

"සමද්වීපාද ත්‍රිකෝණයක පාදයේ කෝණ සෑම ක්‍රිස්තියානි සමාජයකම සමාන වේ. එහි පාද ක්‍රිස්තියානි සමාජයක සාමාජිකයෙකු විසින් දීර්ඝ කරනු ලැබුවහොත් බාහිර කෝණ ද සමාන වනු ඇත." 

තවදුරටත් කතාකරමින් ඔහු පවසා සිටියේ සමද්වීපාද ත්‍රිකෝණයක පාද අතිශයින්ම සමාන බව ඔහු දන්නා නමුදු මේ පිළිබඳව පල්ලිය වර්ෂ ගණනාවකට පෙර සිටම දැනගෙන සිටිබව රජයට මතක් කිරීමට ඔහු කැමති බව ය. සමාන්තරාශ්‍රයක ප්‍රතිවිරුද්ධ පැති හා අන්තය සමාන බව පිළිගැනීමට ද ඔහු මැලි නොවන නමුත් එවන් පිළිගැනීමක් උත්තරීතර බලධාරියෙකුගේ පැවැත්ම පිළිගැනීමත් සමග සමපාත වියයුතු බව ද ඔහුගේ අදහස විය. 

ආණ්ඩු පක්ෂ නායකයා එතුමන්ගේ සංශෝධනය සතුටින් පිළිගත්තේය. මේ සතිය තුළ එතුමන් විසින් ගෙනඑන ලද විශිෂ්ටම සංශෝධනය මෙය බව ඔහුගේ අදහස විය. 

හැලිෆැක්ස් සාමිවරයා තවත් සංශෝධනයක් ඉදිරිපත් කරන්නට නැගී සිටියේය. වත්මන් අවස්ථාව පහෙන් හතරේ වගන්තිය අදාළ කරගත යුතු තත්ත්වයක් ලෙස ඔහු අදහස් දැක්වීය. යම් පාසැලක දෙමව්පියන් පහෙන් හතරක් හෘදසාක්ෂ්‍යානුගාමීව සමද්වීපාද ත්‍රිකෝණ භාවිතයට විරුද්ධවන්නේ නම් එම පාසැල්වල හැර අනෙක් පාසැල් සඳහා සෑම සතියටම දින දෙකක් පමණක් කෝණ සමාන වන බවට සඳහන් කළයුතු බවට ඔහු යෝජනා කර සිටියේය. 

එම සංශෝධනය අතිශයින්ම මනෝඥ එකක් බව ආණ්ඩු පක්ෂ නායකයාගේ වැටහීම වූ අතර ඔහු එය පිළිගැනීමට තීරණය කළේය. එමෙන්ම සමද්වීපාද ත්‍රිකෝණය යන වචන යොදාගෙන ඇත්තේ කිසිදු අගතිගාමී අර්ථයක්  ඉස්මතු නොකෙරෙන ආකාරයට බව අවබෝධ කරගතයුතු යයි ද පැවසීය.

රෝස්බරි සාමිවරයා දීර්ඝ ලෙස කරුණු දක්වමින් මෙම වගන්තියෙන් ස්කොට්ලන්තයට අසාධාරණයක් වන බව පැවසීය. ස්කොට්ලන්තයෙහි සදාචාර මට්ටම කොතරම් ඉහල තත්ත්වයක පවතින්නේ ද යත් අධ්‍යාපනයක අවශ්‍යතාවක් එහි නොපවතින බව කියා සිටි ඔහු ඊට අදාළව සංශෝධනයක් ගෙන නොඑන්නේ නම් 1707 ඒකාබද්ධ වීමේ පනත යළි සලකා බැලීමට සිදුවන බව ද කියා සිටියේය.

රෝස්බරි සාමිවරයා ගෙන ආ සංශෝධනය මේ දක්වා තමාට අසන්නට ලැබුන හොඳම එක බව ආණ්ඩු පක්ෂයේ නායකයා පැවසීය. රජය එය වහාම පිළිගැනීමට ක්‍රියා කළේය. ඔවුහු දියහැකි සෑම සහනයක්ම දීමට එකඟතාව පළකළහ. අවශ්‍යතාවක් ඇතිවුව හොත් නෝර්මන් විජයග්‍රහණය ද යළි සලකාබැලීමට ඔවුහු කැමැත්තෙන් සිටියහ.   

ඩෙවොන්ෂයර් හී ආදිපාද තුමා වගන්තියේ පැති දිගුකොට නිපදවීමට අදාළ කොටසට විරෝධය පළකළේය. එවන් දෙයකට මුහුණදීමට තරම් තත්ත්වයක රට නොමැති බව ඔහුගේ අදහස වූ අතර එයින් නිෂ්පාදකයාට අසාධාරණයක් සිදුවන හෙයින් වගන්තිය "දේශීය වෙළඳපොලෙහි නිපදවන්නේ නම්" යනුවෙන් කියවෙන ලෙස වෙනස් වියයුතු බව ද කියා සිටියේය. 

ආණ්ඩු පක්ෂ නායකයා එතුමන්ගේ සංශෝධනය සතුටින් පිළිගත් අතර එහි අර්ථවත්බව අගය කළේය. සභාව අවසන් කිරීමේ වේලාව ආසන්න බැවින් වගන්තිය එහි සංශෝධිත ස්වරූපයෙන් කියවීමට ඔහු සූදානම් විය. කෙසේ වුවද සවස් වරුවේ සභාවාරය සඳහා තවත් සිදුවිය යුතු සංශෝධන ගැන අවධානය යොමුකිරීමට සාමිවරුන් කාල වේලාව සම්පාදනය කරගනු ඇතැයි ඔහු බලාපොරොත්තුව පළකළේය. 

ඒ අනුව වගන්තිය කියවන ලදී. 

අනතුරුව කැන්ටබරි හී උතුමාණන් විසින් ඉතා නිහතමානීව රාත්‍රී හෝජනය සඳහා සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන ලදී.   

කැනේඩියානු ලේඛක ස්ටීවන් ලීකොක් (Stephen Leacock) ගේ Aristocratic Education නම් නිර්මාණයේ පරිවර්තනයකි.  

  

2 comments:

  1. හා හා . එංගලන්තයේ සාමි මණ්ඩලය ගැන නිවැරදිම කියවීමක් . හොන්ඩ අණ පනත් කිසි හේතුවක් නැතිව අනුමත කරන එක කල් දානවා . ලංකාවේ අධ්‍යපන ප්‍රතිසංස්කරණ වගේ තමයි

    ReplyDelete
    Replies
    1. 1944ට පෙර ලියැවුනත් අදටත් වලංගුයි.

      Delete