රිය අනතුරු නවත්වන්න නස්රුද්දින් ලංකාවට ඇවිත්!

 




(moralstories26.com වෙතින්)


අතීත කතාව:

නස්රුද්දින් වෙත නඩුවක් ඇසීම පිණිස මිනිසුන් දෙදෙනෙකු පමුණුවනු ලැබුවා. මොකක්ද, ප්‍රශ්නය? නස්රුද්දින් ඇසුවා.

මේ මිනිහා මට ගහලා මගෙ කන හපා කෑවා. එක් මිනිසෙක් කිව්වා.

ඔය මිනිහා කියන්නේ බොරු, කන හපාගත්තේ එයාමයි. අනෙක් මිනිසා උත්තර බැන්දා.

කවුද ඒ වෙලාවෙ එතන හිටියෙ, කවුද මේ දෙන්නා ගහගන්නවා දැක්කෙ? නස්රුද්දින් නැවතත් ඇසුවා.

වටවෙලා හිටිය කවුරුවත් උත්තර දුන්නෙ නෑ. නිශ්ශබ්දව හිටියා.

ඒ කියන්නෙ කවුරුවත් දැකල නෑ, දැන් කොහොමද මේක විසඳන්නෙ? ඔහු කල්පනා කළා.

උසාවිය විනාඩි දහයකට කල් තබනවා. විනාඩි දහයකට පසු නැවත රැස්වෙනු. නස්රුද්දින් නිවේදනය කළා.

තමන්ගෙ කාමරයට ගිය නස්රුද්දින් විසඳුමක් ගැන කල්පනා කළා. ඔහුට හොඳ අදහසක් ආවා. පුටුවක වාඩි උන නස්රුද්දීන් ඔලුව හරවලා තමන්ගෙම කන හපාගන්න උත්සාහ කළා. කැරකිලා ගිහිල්ලා පුටුවෙන් බිමට වැටිලා ඔලුව ගෙඩිගැහුන එක විතරයි උනේ.

ඔහු ආපහු විනිශ්චය ශාලාවට ගියා. නැවතත් සියළුම දෙනා කැඳෙව්වා. උසාවියේ රාජපුරුෂයින්ට මෙහෙම නියෝගයක් කළා.

ඔය කනේ තුවාලය තියන මිනිහගේ ඔලුව ගෙඩිගැහිලද කියල පරීක්ෂා කරල බලනවා. ගෙඩිගැහිල නම් එයාමයි කන හපාගෙන තියෙන්නේ. ගෙඩිගැහිල නැත්නම් අනෙක් මිනිහා වැරදිකාරයා.

වර්තමාන කතාව:

නස්රුද්දින් ඉස්සරහට මිනිහෙක් ගෙනාවා. මේ මිනිහා එළවපු රථය පෙරළිලා රථයේ ගමන්ගත් මිනිස්සු මැරිලා. රාජපුරුෂයෙක් නඩුව කිව්වා.

මොහු වහාම සිරගෙට දමනු. තීන්දුව ලැබුනා.

රියදුරා කතාකළා. අනෙක් පැත්තෙන් ආපු රිය ඉඩ දුන්නෙ නෑ. ඒකයි පෙරළුනේ. එයයි වැරදිකාරයා.

වහාම එම රියදුරා මා ඉදිරියට පමුණුවනු. නියෝගය ලැබුනා. ඒ රියදුරාත් ගෙනාවා.

මං ආපු පැත්තේ ගලක් පෙරලිලා තිබුනා දෙන්න ඉඩක් තිබුනෙ නෑ. මිනිහ කිව්වා.

රාජපුරුෂයිනි, වහාම ඒ ගැන සොයා මා වෙත වාර්තාවක් දෙනු. නස්රුද්දින්ගෙන් තවත් අණක්.

ගල පෙරළිල තියෙන්නෙ මාස තුනකට ඉස්සරල. ඊට පස්සෙ මෙතනින් වාහන ගිහින් තියනවා. මොකවත් වෙලා නෑ. හැබැයි පෙරලිච්ච වාහනේ රෝදවල කට්ට ගෙවිලා. කට්ට තිබුනා නම් පෙරළෙන්නෙ නෑ. රාජපුරුෂයෝ වාර්තා කළා.

කට්ට නැති රෝද තියන සියළුම වාහන අත්අඩංගුවට ගෙන දඩ ගසනු. නස්රුද්දින් තීන්දුව දුන්නා.

සෙනග අතර සිටි කෙනෙක් ඉදිරියට ආවා. ඔය වාහනේ මගෙ. කට්ට තියන රෝද දාන්නෙ කොහොමද? රජතුමා රෝද පිටරටින් ගේන එක නවතලා තියෙන්නෙ. මට තව වාහන තියනවා. එහෙමනං කට්ට තියන රෝද ගේනකල් මං වාහන දුවන එක නවතනවා.මිනිහ කිව්වා.

නස්රුද්දින් යළිත් කතා කළා. කට්ට නැති රෝද තියන වාහන අත්අඩංගුවට ගැනීම හා දඩගැසීම වහා නවතනු. උසාවිය විසිර යනු.  රාජපුරුෂයින්ට අවසාන නියෝගය දීලා නස්රුද්දින් නැගිට්ටා.   

 

 

 

1 comment: