ණය ප්‍රතිව්‍යුහගත කළ හැටි!

 



අවුරුදු සිය ගණනකට පෙර එක්තරා නගරයක වාසය කළ මිනිසෙකුට කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න සිතුනා. ඔහු එම නගරයේම සිටි මසුරු මුදල් ණය දෙන්නෙකුගෙන් මුදලක් ණයට ගත්තා. ඒත් ඔහුගේ ව්‍යාපාරය එතරම් සාර්ථක වුනේ නැති නිසා පාඩු ලබන්නට සිදුඋනා. ගත්ත ණය මුදල ආපසු ගෙවා ගන්න විදියකුත් නැතිව ගියා.
ණය හිමියා මුදල් ආපසු ඉල්ලා කරදර කරන්න පටන් ගත්තා. ඒත් දෙන්න විදිහක් තිබුනෙ නෑ. මේ පුද්ගලයට ලස්සන දුවක් හිටියා. අර ණය හිමියාගේ හිත මේ දුවට බැඳිලයි තිබුනෙ. ඒත් මිනිහා වයසක, අප්‍රසන්න පෙණුමක් තිබුන කෙනෙක්. ඉතින් ඔහු අපූරු යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ තමයි දුව තමන්ට විවාහ කරල දෙන එක ණයට හිලව් වෙන්න. ඔහු පොරොන්දු උනා මුළු ණයම අමතක කරල දාන්න. හැබැයි මිනිහ මේ යෝජනාව ගෙනාවෙ අමුතුම විදිහකට, ඒ කියන්නෙ ප්‍රතික්ෂේප කරන්න බැරිවෙන ක්‍රමයකට. මොකද මිනිහ දැනගෙන හිටියා තමන් වගේ නාකි මහල්ලෙක් එක්ක අර වගේ ලස්සන තරුණියක් එන්න කැමති වෙන්නෙ නෑ කියල. ණය හිමියා යෝජනා කළා ඒ ගෙවත්තෙ තිබුන ගල් වලින් සුදු ගලකුත් කලු ගලකුත් පුංචි පසුම්බියකට දාන්න. ව්‍යාපාරිකයගෙ දුවට තිබුනෙ අර පසුම්බියට අත දාලා එක ගලක් තෝරල අරගන්න. එහෙම ගන්න ගල කලු උනොත් ගත්ත ණය අහෝසි වෙනවා, හැබැයි දුව ඔහු සමග විවාහ වෙන්න ඕනෑ. සුදු ගල අතට ගත්තොත් ඒත් ණය අහෝසි වෙනවා. ඒ වගේම දුව ණයකාරයා සමග විවාහ වෙන්න ඕනැත් නෑ.
මෙහෙම යෝජනා කරලා ණය හිමියා මිදුලෙ අතුරල තිබ්බ ගල් වලින් දෙකක් අරගෙන පසුම්බියට දැම්මා. හැබැයි ඒ දිහා හොඳට බලා හිටිය තරුණිය දැක්කා පසුම්බියට දාගත්තෙ කලු පාටම ගල් දෙකක් කියල. දැං මොකද කරන්නෙ? කොයි ගල ගත්තත් අර නාකි ණය හිමියා සමග යන්න වෙනවා. ඇයට පුළුවන්කම තිබුනා පසුම්බියෙන් ගලක් ගන්න එක ප්‍රතික්ෂේප කරන්න. එහෙමත් නැත්නම් ගල් දෙකම අතට අරන් ණය හිමියාගේ වංචාව එළිකරන්න. හැබැයි ඔය දෙකින් කොයි එක කරත් ණය ගෙවාගන්න බැරිවෙලා පියාට සිරගෙදරට යන්න වෙනවා. ඊලඟට ඇයට කරන්න තිබුනේ කොයි ගල ගත්තත් අතට එන්නෙ කලුපාට ගලක් කියල දැන දැනම ඒත් නොදන්නවා වගේ එක ගලක් අතට අරන් පියාගේ නිදහස වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන්න.
ඇය ටිකක් කල්පනා කරල පසුම්බියට අත දාල ගලක් අතට අරගෙන එළියට ගන්න ගමන් එක්වරම වැරදීමකින් උනා වගේ ගල බිමට අතෑරියා. අනිත් දෙන්නගෙන් කාටවත් ගල මොන පාටද කියල බලාගන්න බැරිඋනා. මිදුල පුරා ගල් අතුරල තිබ්බ නිසා වැටුන ගල කෝකද කියල හිතාගන්නත් බෑ. “අයියෝ! මං කරපු වැඩේ. දැං කොහොමද මං ගත්ත කොයි ගලද කියල හොයා ගන්නෙ?” තරුණිය පසුතැවිලි වෙන බවක් පෙන්නුවා. ඒත් ඒ එක්කම ඇය මෙහෙම කිව්වා. “කමක් නෑ, දැං පසුම්බියේ ඉතිරිවෙලා තියන ගලේ පාට බලන්නකෝ. එතකොට හිතාගන්න පුළුවන් මං ගත්ත ගල මොන පාටද කියල!”
කපටි ණයහිමියට කියාගන්න දෙයක් නැතිඋනා. ඇත්ත කියල ණය ගත්ත අයගේ දුව කරපු වැඩේ එළි කරොත් තමනුත් කපටි වැඩක් කළ බවත්, වංචාවෙන් දිනන්න හැදූ බවත් පිළිගන්න වෙනවා. ඔහු හිතුවා වඩා හොඳ දෙය තරුණිය කළ දෙය හරි ලෙස පිළිගෙන ඒ අනුව වැඩ කරන එක කියලා. ඒත් ඔහුට තරුණියත් ණය මුදලත් දෙකම අහිමි උනා.

3 comments:

  1. අහල තිවන කතාවක්... ආයේ වෙනස් විදිහකට කියෙව්වා.
    ප්‍රශ්න එනවා. ඒවාට නොසැලී බුද්ධිමත්ව උත්තර හොයන්න ඕන. එක ගැන මේ කතාවෙන් හොඳට පැහැදිළි කරනවා

    ReplyDelete
  2. මාත් අහල තියෙනවා , නය ප්‍රති ව්‍යුහගත කිරීම නම් ඔය වගේ වෙන්නෙම නැහැ හේ හේ

    ReplyDelete
  3. නියම කතාව. හොඳ මොලයක් තිබිලා තියෙනවා. මට නම් ඔහොම එකක් මතක් වෙන්නෙවත් නැති වෙයි ඔය වගේ වෙලාවක😕

    ReplyDelete