පෙන්නන දේ හා පෙනෙන දේ!




සමාජයේ වෙසෙන බොහෝ දෙනෙක් ගීතයක් අසන්නට, නාට්‍යයක් හෝ චිත්‍රපටයක් බලන්නට, රස විඳගන්නට කැමතිය. ඒ  අපගේ විවේක කාලය ගෙවා දැමීමේ එක විදියකි. මෙවන් නිර්මාණ අප‍ගේ ජීවිත පෝෂණය කරන ආකාරය ගැන විවිධ මතිමතාන්තර තිබේ. ඒ පිළිබඳ වාද විවාද ද නොයෙක් වේදිකාවල කෙරෙනු දැකගත හැකිය. ඒ කෙසේ වෙතත් තමන් රස විඳි නිර්මාණයක් ගැන කතාකරන්නට, ඒ නිර්මාණය තමන්ට දැනුන අයුරින්ම තවත් කෙනෙකු රස විඳිනවා දකින්නට කැමති අය ද අප අතර වෙති. ඒ අය කරන්නේ ෆේස්බුක්, බ්ලොග් අඩවි තම වේදිකා ලෙස භාවිත කරමින් තමන් රස විඳි නිර්මාණ අනෙකුත් සහෘදයින් වෙත හඳුන්වා දීමය. ලොව පුරා නිපැයෙන සිනමා නිර්මාණ පිළිබඳ කෙරෙන කතාබහ මේ අතරිනුත් වඩාත් ජනප්‍රියත්වයක් උසුලන බව පෙනීයයි. මේ කර්තව්‍යය ඉතා සිත්ගන්නාසුළු දෙයකි. ඒ, මෙම සටහන් අපගේ අවධානයට ලක්නොවූ හොඳ නිර්මාණ ගැන දැනගන්නටත් අප  නරඹා ඇති නිර්මාණයක වුව අප නොදුටු අරුත් දකින්නටත් ඉඩ සැලසෙන කවුළුවක් වන බැවිනි.  

                             


.  සිනමා නිර්මාණ ගැන කතා කිරීමේදී ඉන්දියානු සිනමාව කෙරෙහි රසිකයින්ගේ වැඩි ඇල්මක් තිබෙන බවක් ද පැහැදිළිය. මේ බව රූපවාහිනී නාලිකා ද අවබෝධ කරගෙන ඇති බව ඕනෑම දිනයක දිවා කාලයේ මෙන්ම සති අන්තයේ රාත්‍රී කාලයේ රූපවාහිනී නාලිකා පිරික්සන විට පෙනීයයි. මේ සටහන ‍ලියවෙන්නේ ද මේ රූපවාහිනී නාලිකාවල ප්‍රදර්ශනය වන චිත්‍රපටවල ස්වභාවය ගැන යමක් කියන්නටය‍.  

                                 



මක් නිසාද යත් ඉහතින් අප සඳහන් කළ නිර්මාණ සටහන් කියවන විට ඇතිවන හැඟීම මේ චිත්‍රපට නරඹන විට ඇති නොවීම නිසාය. ඒ වෙනුවට ඇතිවන්නේ ජුගුප්සාජනක හැඟීමකි. ඒ මෙම චිත්‍රපටවල ආරම්භයේ සිට අග වන තෙක්ම වැඩි හරියක් දක්නට ලැබෙන කැති, පොලු, මුගුරු රැගෙන මිනිසුන් පසුපස හඹා යමින් ඔවුන් තලා පොඩිකර දමන දර්ශන, දෙවන ලෝක යුද්ධය ද පරදවන තාලේ වෙඩි තැබීම් කරමින් ඝාතන සිිදුකරන දර්ශන හා මිනිසුන් කෲර වධහිංසා වලට භාජනය කරන දර්ශන නිසාය.
 
 
                                          
                                                                             
                    
නිර්මාණයක් ගැන කෙරෙන විවරණයකදී අපට දැනගන්නට ලැබෙන්නේ අදාළ කලාකෘතිය ගැන පමණක් නොවේ. විවරණය ඉදිරිපත්කරන්නාගේ දැක්ම හා රසවින්දන ශක්තිය පිළිබඳ හැඟීමක් ද අපට ලබාගත හැකිය. ඒ අනුව අපට නිගමන දෙකකට එළඹීමට පුළුවන. එකක් නම් රූපවාහිනී නාලිකා සඳහා සිනමා සිත්තම් තෝරාදෙන්නන්ගේ රසවින්දන මට්ටම ඒවායින් නිරූපණය වන බවයි. එසේත් නොමැතිනම් රූපවාහිනී තිරය ඉදිරිපිට වාඩි වී සිටින ප්‍රේක්ෂකයාගේ රසවින්දන මට්ටම පිළිබඳව රූපවාහිනී නාලිකා බලධාරීන් තුළ පවත්නා (අව)තක්සේරුව නිරූපණය වන බවයි. 
සමීක්ෂණ වාර්තා නොමැති බැවින් මෙම චිත්‍රපට සඳහා වන රූපවාහිනී ප්‍රේක්ෂක ප්‍රතිචාර මට්ටම හා ඒවා ප්‍රේක්ෂක මනසට කරන බලපෑමේ ස්වභාවය ගැන යමක් කිව නොහැකි වුවද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත හැකි  සරල විනෝදාත්මක සිනමා නිර්මාණ ඕනෑතරම් ඉන්දීය සිනමාව තුළ නිපැයෙන බව මේ රූපවාහිනී නාලිකා නොදැන සිටීම කණගාටුවට කරුණකි. දැන් ඉඳහිට කලාතුරකින් ප්‍රදර්ශනය කෙරෙන ‍හොඳ චිත්‍රපටයක් උලුප්පා දක්වා අපි මේවා පෙන්වනවා යයි කිවහැකිය. එහෙත් අසූචි බාල්දියකට සුවඳ විලවුන් කුප්පියක් හලනවාට වඩා වැඩි යමක් ඉන් සිදු නොවන බව ද කිව යුතුය.   



 
 
      

2 comments:

  1. Ship of thesues සුපිරි නෙහ්🤗

    Tv channels පාරිභෝගියන්ටත් වඩා හොඳින් පාරිභෝගියකගෙ ආශාව ගැන දන්නවා වගේ....

    තව මට අහන්න ලැබැනා මලයාලම් film නම් සාමාන්‍යෙන් හොඳයි කියලා

    ReplyDelete