විනිශ්චය - xv

මේ දක්වා:                  

ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. ඒ මැක්ග්‍රාත්ගේ හිතවතුන්ට ඔහු මරණීය දණ්ඩනයෙන් ගලවාගැනීමටත් මරණයට පත්වූ අයගේ හිතවතුන්ට මැක්ග්‍රාත් එල්ලා මරණවා දකින්නටත් අවශ්‍ය නිසා ය.  මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවෙයි. 

අද එතැන් සිට කියවමු.

                                              

                                             පරිච්ඡේදය 10 - පළමු කොටස

(Google imagefx වෙතින්)



    සිරකුටිවලින් එන දුර්ඝන්ධය දරා ගැනීමට අසීරු වුවද නිශ්චලව ඉඳගෙන සිටීමෙන් සහනයක් දැනින. නිදිමත ගතියක් දැනුන බක් හිස සොලවා එය පලවා හරින්නට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ අර්ධ වශයෙනි. ඊයේ රාත්‍රියේ ද ඔහුට නිසි පරිදි නින්දක් නොලැබිණ. අද රාත්‍රියේ ද හරිහැටි නින්දක් ලබන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. අද සන්ධ්‍යා කාලයේ කෙසේ හෝ නිදාගන්නට වේලාවක් සොයාගත යුතු බව ඔහු දැන සිටියේය. සමහර විට සිරගෙදර මුර කරන්නට ඩියැක් ෆොස්ටර්ට පවරන්නට පුළුවන. ඩියැක්ගේ පක්ෂපාතිත්වය තිබුනේ ගවහිමියන් කෙරෙහි ය.  එනිසා ඔහුට මෙන්ම මැක්ග්‍රාත් සිරගෙදරම සිටින බවට වගබලා ගන්නට උවමනාවක් ඔහුට ද ඇත.  
    මැක්ග්‍රාත් වේදනාවක් දැනුන ද නොනැවතී වැඩ කළේය. ඉඳහිට යමක් තමාටම කොඳුරා ගත්තේය. බක්ට එය පැහැදිළිව ඇසුනේ නැත. මැක්ග්‍රාත් තමන්ට ශාප කළේද පොදුවේ හැමදෙයටම ශාප කළේ ද යන්න බක් දැන සිටියේ නැත. බක්ගේ සිතුවිළි එලන් ඩ්රූ වෙත ඇදී ගියේය. මේ පසුබිමේ හිඳ සිතින් ඇය මවා ගැනීමත් ඉදිරියට ඇති සතිය හෝ මාසය ගැන සිහින දැකීමත් පහසු දෙයක් නොවුන ද ඔහු සම්පූර්ණයෙන්ම අසාර්ථක උනේ ද නැත. හිස ඔසවා බක් දෙස බැලූ මැක්ග්‍රාත්  මුහුණ රළු කරගත්තේය. 
"මොන මගුලක් ගැන ද කල්පනා කරන්නේ?"
"ඇයි අහන්නේ?"   
"හරියට මෝඩයෙක් වගේ විරිත්තන්නේ." 
"මරණීය දණ්ඩනය ගැන නෙමෙයි මම කල්පනා කළේ. හිත කරදර කරගන්න අවශ්‍ය නෑ."                          
මැක්ග්‍රාත් කෝපයෙන් එරවීය. "තමුසෙට මගේ අත කඩන්න හේතුවක් තිබ්බෙ නෑනෙ." 
"තමුසෙට මගේ කකුලට වෙඩි තියන්න හේතුවක් තිබ්බෙත් නෑනෙ."
 බක් අනුකම්පා රහිත නෙතින් මැක්ග්‍රාත් දෙස බැලීය. එදින උදෑසන ඔහු තීරණය කර තිබුනේ හොඳින් හෝ නරකින් පසුදින මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම වැළැක්වීමට ය. එහෙත් දැන් මැක්ග්‍රාත් දෙස බලද්දී කුමක් කළ යුතුදැයි සිතාගැනීමට ඔහුට නොහැකි විය. 
    ප්‍රාන්තය අනිත් පැත්ත හරවා හෝ එල්ලා මැරීම වැලැක්වීමට තරම්  මැක්ග්‍රාත්ගේ ගතයුත්තක් නැත. මීට සුලු වේලාවකට පෙර පයේ ඇඟිල්ලකින් මකුණෙකු චප්ප කරන්නාක් මෙන් පහසුවෙන් ඔහු මරාදැමීමට මැක්ග්‍රාත්ට  ඉඩ තිබුණි. ඔහු ගැලොවේ මරාදැමුවේ ඔහු කියන පරිදි ඉඩමෙන් නෙරපා හැරීමට තැත්කිරීම නිසා නොව නඩුකාරයාගේ බිරිඳ සමග ඔහු සිටිනු ගැලොවේ දුටු නිසා බවට කිසිම සැකයක් නැතිව කිව හැකිය. මැක්ග්‍රාත් එල්ලා මරණයට  පත්කළ යුතු යයි උසාවිය කර ඇති තීරණය වෙනස් කළ හැකි දෙයක් නොවන බව බක් කල්පනා කළේය. ඔහුට ඇත්තේ නියම කර ඇති පරිදි මැක්ග්‍රාත් පෝරකය වෙත කැඳවාගෙන යාම පමණි. අළුගෝසුවා එතැන් සිට ඔහුට නියමිත රාජකාරිය සම්පූර්ණ කළ පසු සියල්ල අවසන් වනු ඇත. 
එහෙත් මේ තීරණයේ එක් ගැටළුවක් ඇත. එය නම් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම බාධාවකින් තොරව සිදු වීමට ඇති අඩු ඉඩකඩ යටතේ වුව එය නිසි  පරිදි සිදු කෙරුන ද කලහකාරී ක්‍රියා වලකාලන්නට ඔහුට කළහැකි දෙයක් නැති බවයි. කින්කේඩ් පැවසුවේ ඔහු හෝ ඔහුගේ අනෙකුත් අසල්වැසියන් මැක්ග්‍රාත් එල්ලා මැරීමට ඉඩ නොදෙන බවයි. ආච් නෝත්කොට් කියාසිටියේ ඔහු හෝ ඔහුගේ සඟයින් මරණීය දණ්ඩනය අවලංගු කිරීමට හෝ කල්දැමීමට ඉඩ නොදෙන බවයි. 
    මැක්ග්‍රාත් පිරිසිදු කිරීමේ කටයුත්ත මේ වනවිට අවසන් කලෙන් බක්, "හරි, ආසහු කාමරේට" යනුවෙන් පැවසීය. බාල්දිය අතින් ගෙන නැගී සිටි මැක්ග්‍රාත් කල්පනාකාරී ලෙස බක් දෙස බැලීය. බක්ට ඔහුගේ සිතුවිළි කියවාගත හැකි විය. 
"ඒ වැඩේ කරන්න හිතන්න එපා. මගේ අතයි කකුලයි මැරෙන්න එන තරම් කැක්කුමයි. කොකා ගස්සලා තමුසෙව උණ්ඩවලින් පුරවන්න එච්චර මහන්සි වෙන්න ඕනැ නෑ." 
    බාල්දිය බිමින් තැබූ මැක්ග්‍රාත් ආපසු සිරකුටියට ඇතුල් විය.
 "ඔය ඇඳ ඇතිරිලි ටික එළියට විසිකරනවා." බක් පැවසීය. මැක්ග්‍රාත් එයට කීකරු විය.  
"දැන් කාමරේ දොර වහනවා." බක් නැවතත් අණ දුන්නේය. 
මැක්ග්‍රාත් එය ඉටුකළ පසු, "පස්සට යනවා." බක් යළිත් නියෝගයක් දුන්නේය. 
මැක්ග්‍රාත් නොරිස්සුම් සහගත මුහුණින් එයට යටත් විය. සිරකුටියේ දොර අගුළු දැමූ බක්  තෙමී තිබූ ඇඳ රෙදි හා ඉවත දමා තිබූ ඔහුගේ ඇඳුම් ද මෙට්ටයෙහි ඔතා කාර්යාල කාමරයෙන් පිටතට ගෙනගොස් සිරගෙදර අසල හිස බිමෙහි දැමීය. ආපසු පැමිණි ඔහු බාල්දි දෙක රැගෙන ගොස් එකක තවමත් තිබූ වතුර ඇඳ ඇතිරිලි හා රෙදි දමා තිබූ තැනම හිස් කොට කාර්යාලයට ඇතුල් වී කල්පනා කළේ තම නැහැයෙහි රැඳී ඇති දුගඳ කවදා කෙසේ නැති කර දැමිය හැකිද යන්නයි. කාර්යාලයෙන් පිටවන දොර ඇර දැමූ ඔහු කාර්යාලය හා සිරකුටි අතර වූ දොර ද ඇර දමා ඇතුළට ගොස් හිස්ව පැවති සිරකුටි තුනෙහි ඇඳන් මතට නැග ඒවායේ ජනෙල් ද ඇර දැමිය. එම ජනේලවල යකඩ කූරු හා වීදුරුවලට අමතරව සිරකරුවන්ට අනවසරයෙන් නීතිවිරෝධී ලෙස යම් යම් දේවල් ලබාදීම වැළැක්වීමට ගැසූ ඝන දැල් ආවරණ ද විය.   
    යළිත් දොර අසලට ගිය බක් මැක්ග්‍රාත්ට ඇසෙන සේ කතා කළේය.
 "මාස හයකට විතර ඉස්සර සිම් විල්බර්ට දුවෙක් ලැබුන වෙලාවේ දුන්න පරණ සුරුට්ටුවක් තියනවා. කැමති නම් දෙන්න පුළුවන් ගඳ මකාගන්නත් එක්ක උරන්න."
මැක්ග්‍රාත් කතා නොකර හිස පමණක් සලා කැමැත්ත පල කළේය.
    බක් යකඩ කූරු අතරින් සුරුට්ටුව ද එය පත්තු කරගැනීමට ගිනිකූරක් ද මැක්ග්‍රාත් අත තැබීය. සුරුට්ටුව කෙතරම්  පරණ වීද යත් අතට ගත් විට පිටත ආවරණය ගැලවෙන්නට පටන් ගෙන තිබිණ. එහෙත් මැක්ග්‍රාත් එය මුව තුළට දමා තෙත් කොට යළි අලවා එය ජනෙල් පඩිය මත තැබීය. 
 "මට වෙන මෙට්ටයක් දුන්නා නම් ඉඳගෙන ඉන්න පුළුවන්." මැක්ග්‍රාත් රළු හඬින් පැවසීය. 
හිස්ව තිබූ වෙනත් සිරකුටියකට ගිය බක් එහි තිබූ මෙට්ටය හා ඇඳ ඇතිරිලි ගෙනැවිත් යකඩ කූරු අතරින් මැක්ග්‍රාත්ට ලබාදුන්නේය. මෙට්ටය ඇඳ මත දැමූ මැක්ග්‍රාත් ඒ මත ඇඳ ඇතිරිලි එළුවේය. මළ බඳුන ඉහිරීමෙන් පැතිරුන දුඟද අඩු වී ඇතැයි සිතූ බක් කාර්යාලයට පැමිණ දොර වසා දැමීය.  
    ඉන්පසු ජනේලය අසලට ගොස් සිටගත් ඔහු ඉන් පිටතට නෙත් යොමු කළේය. ආපසු හැරී බලන විට ඔහු ක්‍රියාකර ඇත්තේ ඥාණාන්විතව නොවන බව ඔහුටම පිළිගැනීමට සිදුවිය. කෝපයෙන් සිටි අනවසර පදිංචිකරුවන් රංචුවකගෙන් ගුටි කෑමට ලක්විය. මැක්ග්‍රාත් විසින් එල්ල කරන ලද වෙඩි පහරකට හා පිහි ඇනුමකට මුහුණ දීමට සිදුවිය. ඊට හේතු වූයේ මැක්ග්‍රාත් හා සබඳකම් පැවැත්වූ ගැහැණු විශ්වාසයට ගෙන ඔහු බැලීමට ඉඩදීමට තරම් මෝඩ වීම නිසා ය.  
    ඔරලෝසුව දෙස බැලූ බක් විශ්මයට පත් වූයේ මධ්‍යහ්නය ද එළඹ තිබූ බව දැකීමෙනි. වීදියේ වූ ජනාකීර්ණ බවට එය ද හේතුවක් විය හැකි වුවත් වීදියේ ගැවසෙන සියල්ලන්ම එහි සිටින්නේ දිවාකල එළඹ තිබූ නිසාම නොවන බව බක්ට වැටහිණ.  හෝටලය මෙන්ම මත්පැන් ශාලා ‍ දෙක ඉදිරිපිට අශ්වයින් බැඳ තැබීම සඳහා ඉදිකර තිබූ වැටවල් ගමන් යාම සඳහා යොදාගන්නා අශ්වයින්ගෙන් පිරී පැවතිණ. සාමාන්‍ය දිනයක දකිනවාට වඩා විශාල පිරිසක් වීදියේ එහා මෙහා යමින් සිටි අතර පෝරකය අසල රැස්වී එදෙස බලා සිටින මිනිසුන් සමූහයක් ද නැවතත් එය මත නැගී සෙල්ලම් කරමින් සිටි කොල්ලන් රංචුවක් ද දැකගත හැකි විය. 
    එළියට පැමිණි බක් ඉන් ඉවත්වන ලෙස කොලු රංචුවට කෑගැසීය. ඔවුන් අකමැත්තෙන් මෙන් ඉවත් උනේ ඇසෙන තරම් දුරකින් නොසිටීම ගැන බක් සතුටට පත්කළ වචන සමූහයකින් ප්‍රතිප්‍රහාර එල්ල කරමිනි. රැස්ව සිටි මිනිසුන් ද විසිර ගියත් වැඩි වේලාවක් යන්නට පෙර තවත් මිනිසුන් කිහිපදෙනෙක් නැවතී පෝරකය දෙස බලා සිටියහ. ඔහු කනස්සලුසහගත සිතින් කල්පනා කළේ හෙට දිනය විවිධාකාර වූ අංග එකවර එකතැන රඟ දැක්වෙන සර්කස් මඩුවක් මෙන් අවුල් වියවුල්වලින් පිරී යනු ඇති බවයි. එය වැලැක්වීමට ඔහුට කළහැකි කිසිවක් නැත.
   යළිත් සිරගෙදර වෙත පැමිණි ඔහු දොර පිටින් අගුළු දමා හෝටලය වෙත ගොස් ආහාර ගන්නා කාමරයට ඇතුළු විය. හොඳින් පිරිසිදු වී අළුත් ඇඳුම් ඇඟ ලාගෙන සිටියද තවමත් මළ බඳුනේ ජරාව ඉහිරීමෙන් දැනුන දුගඳ නැහැයෙන් මකා දැමීමට හැකි වූයේ නැත. අවට සිටින අනෙක් අයටත් එය දැනෙනවාදැයි යන සිතුවිල්ල ඔහු පීඩාවට පත්කළේය. කෑම සඳහා රෝස් කළ හරක් මස් ඇනවුම් කළ ඔහු ආහාර ගෙන අවසන් වූ පසු ජොනීට ගෙනයාම සඳහා එයම සූදානම් කර දෙන ලෙස දැන්වීය. රෝස් විජිල් ඔහුට කෝපි රැගෙන විත් මදකට රැඳී සිටියේ ඇයට ජොනී මැක්ග්‍රාත් ගැන කතා කරන්නට අවශ්‍ය වී ඇති නිසා බව අවබෝධ වූවත් ඔහුගෙන් එයට කිසිදු අනුබල දීමක් සිදු නොවීය. හැකිතාක් ඉක්මනින් මැක්ග්‍රාත් අමතක කර දැමීමෙන් ඇයට යහපතක් මිස අයහපතක් සිදු නොවේ. ඉතාමත් රූමත් තරුණියක වූ ඇයට මැක්ග්‍රාත්ට වඩා යහපත් චරිතයකින් හෙබි සහකරුවෙකු සොයාගැනීම අසීරු කරුණක් විය නොහැකි ය. 
    ඔහු කෝපි කෝප්පට තොල ගාන්නට පටන් ගත්තේය. සුළු වේලාවකට පසුව රෝස් ඔහු ඇනවුම් කළ ආහාර බඳුන රැගෙන ආවාය. එය රෝස් කළ හරක් මස්, තැම්බූ අර්තාපල්, හොදි බඳුනකින් හා තැම්බූ ඉරිඟුවලින් සමන්විත විය. සුවඳ වහනය වන උනුසුම් රෝල්ස් කිහිපයක් ද එයට ඇතුළත් විය. සිරුර පෙළන වේදනාව කොතෙක් වුවත් කුසගින්නෙහි අඩුවක් නොමැති බව බක්ට වැටහිණ. ඔහු ආහාර ගෙන අවසානයේ රෝල් කැබැල්ලක් හොදි බඳුනෙහි පොඟවමින් සිටින විට රෝස් මැක්ග්‍රාත් වෙනුවෙන් පිළියෙළ කළ ආහාර බඳුන රැගෙන ආවාය. ඔහුගේ මුවග මද සිනාවක සේයාවක් ඇඳී ගියේ රෝස් එයට එක්කර තිබූ රෝස් කරන ලද හරක් මස් කැබැල්ල දකින විට ය. එය ඔහුගේ ආහාරයට දුන් මස් කැබැල්ල මෙන් දෙගුනයක් පමණ විශාල වූවකි. ඇය ආහාර බඳුන පිටි ගෝනි රෙදි කඩකින් මැසූ අත් පිස්නාවකින් ආවරණය කළ අතර බක් ආහාර බඳුන් දෙකටම මුදල් ගෙවා ආහාර බන්දේසිය ද රැගෙන සිරගෙදර වෙත පැමිණි විට ඔහු පුදුමයට පත් කරමින් සිරගෙදරට ඇතුළුවන දොර විවෘත කර තිබුණි.    
    
     

    

 
  

  





 





5 comments:

  1. නියමයි. එක හුස්මට කියෙව්වා.👌🙏💐
    ආයෙ ලියන්න පටන් ගත් එක ගැන සතුටුයි.

    අහල තියනවා, වයිල්ඩ් වෙස්ට් වල ජීවිතය, හොලිවුඩ් පෙන්නන තරමටම රොමැන්ටික් වුනේ නෑ කියලා. එහෙම තිබිලත්, අද වෙන කොට ඒ දිනවල වඩා ඉදිරියෙන් සිටි එංගලන්තය අභිබවා ගිය එකයි පුදුමෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කතා සුරංගනා කතාවලට වැඩි වෙනසක් නෑ. ඔය කියන තරම් පිස්තෝල හරඹයෙන් වීරයෝ උන අය ඉඳලත් නෑ. ගොපලු ජීවිතය වඩාත්ම යතාර්ථවාදී ලෙස නිරූපනය කළ ලේඛකයා ලෙස සැලකෙන්නේ Andy Adams. ඔබ එවූ ලින්ක් එකට ස්තූතියි. බලන්නම්.
      තාම හරි සුවයක් නෑ. මේක කරන්නෙත් ඇඟට දැනෙන අපහසුතාව අමතක කරන්න.

      Delete
    2. අපහසු නම් වැඩිය වෙහෙසෙන්න එපා. 🙏💐
      මමත් හිතලම සීනි/පිටි/අයිස් කීම්/ කේක් කෑම අඩු කලා. ජීවන වියදම ගුවන් ගතවීම ඒකට සෑහෙන උදව්වකුත් වුනා. වැල යන විදිහට මැස්ස ගහන එක තමයි කරන්න තියෙන්නෙ.

      Delete
  2. අසනීප තත්වයෙන් හිටියත් කතාව දාපු එකට ස්තුති , ඉක්මනින් සුව වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. දැන් ටිකක් සුව අතට හැරිලා තියෙන්නේ.

      Delete