විනිශ්චය - xvi

                                        පරිච්ඡේදය 10 - දෙවන කොටස


ඩියැක් ෆොස්ටර් ඔහුගේ කැරකෙන පුටුවේ වාඩිවි බූට් සපත්තු  පැළඳි දෙපා මේසය මත තබාගෙන සිටියේය. "මේච්චර කලින් ආවේ?" බක් විමසීය. "මට අහන්න ලැබුනා ඔබ මැක්ග්‍රාත් එක්ක ගැටුමක් වෙලා වෙඩි වැදිලා පිහි ඇනුමකටත් ලක්වෙලා කියලා. මට හිතුනා ඇවිත් රාජකාරි බාරගත්තොත් හොඳයි කියලා." 

ඩියැක්ගේ අහංකාර පරවශ බව බක්ට නොදැනෙන්නට හේතුවක් නොවී ය. පළමුව, පුටුවෙහි වාඩිවී මේසය මත දෙපා තබාගෙන සිටිනවා දකින්නට බක් කැමති නැති බව සහය ෂෙරිෆ්වරයා දැන සිටියේය. දෙවනුව, ඔහු කාර්යාලයට ඇතුල්වන විට ඩියැක් නැගී සිටිනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. ඩියැක් ඔහු විසින් බඳවාගත්තෙකු වූ අතර ඔහු අස්කිරීමේ බලය ද බක් සතුව තිබිණ. 

එහෙත් වඩාත්ම ඔහු කෝප ගැන්වූ දෙය නම් ඔහුට රාජකාරිය හරිහැටි ඉටුකළ නොහැකි යයි ඩික් විසින් එලිපිටම කරන ලද ඇඟවීමයි. පහර කෑමට, වෙඩි තැබීමට හා පිහි ඇනුමකට ද ලක් වූ බව සැබෑ වුවත් තවමත් දෙපයින් නැගී සිටින්නටත් ගිනි අවිියකින් හරඹ කරන්නටත් ඔහුට බැරි කමක් නැත.  ඒ සියල්ලටමත් වඩා මිනිසෙකුට කළහැකි උපරිම අයුරින් අපක්ෂපාතව තම රාජකාරිය කිරීම  ඔහුගේ අදිටනයි. එය ඩියැක් අතින් ඉටුවන දෙයක් නොවේ. ඩියැක් හැම අතින්ම ගව හිමියන්ට පක්ෂපාතිත්වය දැක්වූ අතර ඇතිවන ප්‍රතිඵල ගැන නොසිතාම ඔවුන් කියන ආකාරයට වැඩ කිරීමට සැදීපැහැදී සිටියෙකු විය. 

"ඔය පුටුවෙ ඔබාගෙන ඉන්න පස්ස පැත්ත අහකට අරගෙන මේ කෑම එක මැක්ග්‍රාත්ට ගිහින් දෙනවා. ඊට පස්සෙ අර අනවසර පදිංචිකාරයින්ගේ වාඩියට ගිහිල්ලා කින්කේඩ් හම්බවෙලා මැක්ග්‍රාත්ට අඳින්න පිරිසිදු ඇඳුම් ටිකක් අරන් එනවා." බක් නොරිස්සුම් සහගත ස්වරයකින් පැවසීය. ඩියැක් කිසිදු ගරුසරු බවක් නොදක්වන ලීලාවෙන් බක් දෙස නෙත් යොමා බලා සිටියේය. "ඔය පුටුවෙන් නැගිටලා මං කියපු දේ කරනවා." බක් ගුගුලේය. බක්ගේ හඬෙහි වූ කෝපාන්විත බව නොසලකා සිටින්නට ඩියැක්ට නොහැකි විය. එල්ලාගත් මුහුණින් යුතුව ඔහු කැරකෙන පුටුවෙන් නැගී සිට බක් අත වූ ආහාර බන්දේසිය අතට ගත්තේය. සිරකුටි පෙළට ඇතුළුවන දොරටුව විවෘත කළ බක් ඩියැක් ඇතුලට යනතෙක් සිට යලි දොර වසා දැමීය. අනවසර පදිංචිකරුවන්ගේ වාඩියට ගොස් මැක්ග්‍රාත්ට  පිරිසිදු ඇඳුමක් ගෙන එන්නට ඩියැක් කිසිසේත් එකඟ නොවන බව බක් දැන සිටියේය. එසේ ප්‍රතික්ෂේප කළොත් ඔහු නියෝගයකට අවනත වීම ප්‍රතික්ෂේප කළා වෙයි.
 
සිරකුටි වෙතට විවෘත වූ දොර ඇරී සහය ෂෙරීෆ්වරයා එළියට එන විට බක් ජනේලය අසල සිටගෙන සිටියේය. "මම තීරණයක් අරන් ඉවරයි. තුවාල වෙලා ඉන්න ඔබට ෂෙරීෆ්ගේ රාජකාරි ඉටුකරන්න අමාරුයි. මේ දැන් ඉඳලා මම රාජකාරි බාරගන්නවා." ඩියැක් දැඩි ස්වරයකින් ප්‍රකාශ කළේය. ඇසුනු දෙය විශ්වාසයට ගත නොහැකිව මෙන් බක් ඇස් ලොකු කර ඔහු දෙස බලා සිටියේය. 
"මොකද්ද කිව්වේ?" 
"මම ෂෙරිෆ් තනතුරේ වැඩ බාරගන්නවා. ඔබට දැන් හැකියාවක් නෑ රාජකාරි ඉටුකරන්න." ඩියැක්ගේ මුහුණ සුදුමැලි වී කටහඬ වෙව්ලන ස්වරයක් ගත්තද පෙරට තැබූ පය ඔහු ආපසු ගත්තේ නැත. 
"මම කියන්නම් තමුසෙ කරන්න ඕනැ මොකද්ද කියලා. ඉස්සරලම ඔය කබායේ එල්ලගෙන ඉන්න නිල ලාංචනය ගලවලා මේසෙ උඩින් තියනවා. ඊට පස්සෙ මෙතැනින් මකබෑවෙලා යනවා යන්න. මේ දැන් ඉඳලා තමුසේ තනතුරින් අයින් කලා." බක්ගේ මුවින් පිටවිය. 

මීට පෙර මෙතරම් කෝප වූ අවස්ථාවක් බක්ට මතකයට නගාගත නොහැකි විය. මේ තරම්ම කුපිත වී නොසිටියේ නම් ඔහු කෝපයෙන් වෙව්ලන්නට වුවද ඉඩ තිබුණි. එහෙත් මේ දැනෙන තරහව ඊටත් වඩා බෙහෙවින් වැඩි ය. ඩියැක්ගේ දණිස් වෙව්ලන්නට පටන්ගෙන තිබුණ ද ඔහු පසුනොබා සිටියේය. 

"නෑ, ඔබට කිසිම සාධාරණ හේතුවක් නෑ ෂෙරිෆ් තනතුරේ එල්ලිලා ඉන්න. මම ඒ තනතුරේ රාජකාරි බාරගන්නවා. තමුන්ගේ නිල ලාංචනය ගලවලා මේසය උඩ තියලා එළියට බහිනවා."                      
ඩියැක් ඉවත් කරන්නට නම් ඔහුගේ නිල ලාංචනය ගලවාගෙන බෙල්ලෙන් අල්ලා කාර්යාලයෙන් එළියට දැමිය යුතු බව බක් දැන සිටියේය. ගැටළුව වූයේ දැන් සිටින තත්ත්වය අනුව ඔහුට ඩියැක් හා අතින් පයින් හරඹ කිරීමට නොහැකි වීමයි. එසේ ඩියැක් එළියට දමන්නට උත්සාහ කළහොත් එළියට වැටෙනු ඇත්තේ තමාම ය. 
ඩියැක් තර්ජනාත්මකව පියවරක් ඉදිරියට තැබීය. "කලබල නොකර යනවද, මම අල්ලලා එළියට විසිකරන්නද?"   ඒ ක්ෂණයෙහි බක්ට තමා තුවාල ලබා සිටින බව ද මොහොතකට අමතක වූවාක් මෙන් විය. ඔහුගේ මුළු සිරුරම ගල්ගැසිණ. එය සහකාර ෂෙරිෆවරයාගේ සතුටට හේතු වූවාක් මෙන් පෙනිණ. සියුම් සිනාවක් ඔහුගේ මුවෙහි ඇඳී ගියේය. ඔහුට අවශ්‍ය වූයේ ද එයයි. බක් හා අතින් පයින් හැප්පෙන්නට ඔහුගේ සිතෙහි බියක් නොවීය. විශේෂයෙන් තුවාල ලබා අඩපනව සිටින බක්ට බිය වියයුතු නැත. 

අන්තිම මොහොතේ බක්ට මොලේ පෑදුනේය. හැමදාමත් කරන ලෙස ඩියැක් රිවෝල්වරයක් පැළඳ සිටී. බක් ද එසේම ය. මෙය එකිනෙකාට වෙඩි තබාගන්නා ගිනිඅවි හරඹයක් බවට පත්කර ගන්නට බක්ට අවශ්‍යතාවක් නොවීය. එසේ වුවද ඩියැක් බලාපොරොත්තු වන්නේ අතින් පයින් කරන සටනක් මිස වෙඩි උණ්ඩ හුවමාරු කරගන්නා සටනක් නොවේ. 
අතිශයින්ම වේගවත් හා කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙස බක් සිය රිවෝල්වරය කොපුවෙන් ඇද 'ක්ලික්' හඬින් කොකා මානා එල්ල කළේය. තිගැස්සුන ඩියැක්ගේ අත ඉබේම මෙන් ඔහුගේ පිස්තෝල රඳවන කොපුව වෙත යොමු විය. එවිටම බක්ගේ හඬ තියුණු ලෙස රැව් දුන්නේය. 
"එපා!, ඔලුව කුඩු කරගන්න ඕනැ නැත්නම් නවතිනවා!" තම පිස්තෝල රඳවන කොපුව වෙත යමින් තිබූ ඩියැක්ගේ අත අතරමග නතර විය. 
"ගාංචුව බුරුල් කරලා පටිය බිම දානවා." ඩියැක්ගේ අත ගාංචුව හා ඔට්ටු විය. ගාංචුව ගැලවුන අතර ඔහු එය බිමට වැටෙන්නට සැලැස්වීය. බියෙන් සුදුමැලිව සිටි ඔහුගේ මුවෙහි මෙතෙක් වේලා තිබූ තෘප්තිමත් සිනා රැල්ල අතුරුදන්ව තිබිණ. 
"මේසය ලඟට එනවා." බක් පැවසීය. ඩියැක් කිසිදු ප්‍රතිරෝධයක් නොදක්වා කීකරු විය. 
"ලාංචනය, ගලවලා තියනවා මේසය උඩ." යළිත් බක්ගේ හඬ නික්මින. වෙව්ලන ඇඟිලි තුඩුවලින් ඩියැක් නිල ලාංචනය ගලවා මේසය මත තබනු වෙනුවට එය මේසය මතට විසි කළේය. එය මේසය හරහා රෝල් වී ගොස් අනෙක් පසින් බිමට වැටිණ. 
"අහුලලා තියනවා!" බක් කෑ ගැසීය.
"යනවා නරකාදියට, ගිහිං කියනවා." 
"තමුසෙ දන්නවා මං තමුසෙව මරන්නෙ නෑ කියලා, නැද්ද?" බක් ප්‍රතිචාර දැක්විය. 
"ඔව්, මං දන්නවා. එච්චර දෙයක් කරන්න තමුසෙට කොහෙද හයියක්?"
හරි, එතකොට අතකට හරි කකුලකට හරි උණ්ඩයක් වැදුනොත් කොහොමද? ඒකටත් මං පස්ස ගහයි කියලා හිතනවද?" රිවෝල්වරය ඇස් මට්ටමට එසවූ ඔහු ඩියැක්ගේ දකුණු අතට ඉලක්කය ගත්තේය. 
"හරි, හරි!" එසැනින් පැවසූ ඩියැක් මේසය වටෙන් ගොස් ලාංචනය අහුලාගෙන ප්‍රවේශමෙන් මේසය මත තැබීය. 
"දැං බහිනවා එළියට. ආපහු මේ කාර්යාලයට ආවොත් මම හිතන්නේ මට මොනව හරි කරන්න ආවා කියලයි.  ඉස්සරලා වෙඩි තියලා ඊට පස්සෙ තමයි ප්‍රශ්න කරන්න පටන් ගන්නේ, තේරුනාද?" 
කෝපයෙන් කලු වූ මුහුණින් යුතුව හිස සැලූ ඩියැක් සෙමින් දොර දෙසට ඇදී පිටව ගියේ හැකිතාක් වැර යොදා දොර වසාලමිනි. දොරෙහි වීදුරු නොබිඳීම පුදුමයක්ම විය. 

රිවෝල්වරය යළිත් කොපුවෙහි රුවාගත් බක් කැරකෙන පුටුව මතට ඇදවැටුනේය. "අනූනමයෙන් බේරුනේ, එක කෙස් ගහින්!" ඒ බක්ගේ සිතට නැගුන සිතුවිල්ලයි. 


                                                  *  *  *



                                             පරිච්ඡේදය 11
                                             පළමු කොටස


ඩියැක් ෆොස්ටර් පිටවී විනාඩි දහයක් ගතවන්නටත් පෙර දොර යළිත් විවෘත වී මිනිසුන් හය දෙනෙක් ඇතුළු වූහ. ඔවුහු ගව හිමියන්වත් අනවසර පදිංචිකරුවන්වත් නොව නගරවැසියන් ය. මැක්ග්‍රාත් එල්ලා මැරුවත් නැතත් ඉන් ඔවුන්ට ඇති පලක් නොවීය. ඔවුන්ට නායකත්වය දෙමින් ඔවුන් වෙනුවෙන් කතා කරන්නට ඉදිරිපත් වූ බව පෙනුනේ හෝටලයේ හිමිකරු වූ ජේක් හැල්බර්ටන් ය. ඔහු කතාව පටන් ගත්තේ සමාව අයද සිටින ස්වරයකිනි. 
"බක්, මම දන්නවා ඔබ වේදනාවෙන් ඉන්නෙ කියලා. මොකද මට අහන්න ලැබුනා ඔබට සිද්ද උන දේ. මම කොහෙත්ම කැමති නෑ ඔබට තියෙන කරදරවලට තවත් කරදර එකතු කරන්න. ඒත් අපි හරි බයෙන් ඉන්නේ මේ නගරය යුද පිටියක් වෙන්න යන්නෙ කියලා. ගව හිමියොයි ඒ ගොල්ල කුලියට ගත්ත මිනිස්සුයි විස්කි නාන්නෙ හරියට නිකං ලැබෙනවා වාගේ. අනවසර පදිංචිකාරයෝ ගඟ ලඟ ඒ අයගේ වාඩියේ රැස්විමක් තියලා ඇවිස්සිලා ඉන්නේ. ගව පට්ටිකාරයෝ කියනවා මැක්ග්‍රාත්ට ජීවත්වෙන්න දෙන්නෙ නෑ කියලා. අනවසර පදිංචිකාරයෝ කියනවා මැරෙන්න දෙන්නේ නෑ කියලා."
"මොකක් කරමු කියලද කියන්නේ?" බක් උපහාසාත්මකව මුව විලිස්සීය. 
"ආණ්ඩුකාරයා මොකද කියන්නේ?" 
"මුකුත් නෑ. එයාගේ ලේකම් කියන්නේ මිනිහව සම්බන්ධ කරගන්න බෑ කියලා." 
"බැරි වෙන්නම ඇති, එහෙම තමයි මිනිහා ප්‍රශ්නෙන් මගාරින්නේ." 
"ඇයි ඔබ ඔහුට විදුලි පණිවුඩයක් යවන්නෙ නැත්තේ?"
"යවන්න පුළුවන්. ඒකෙන් වැඩක් වෙයි කියලා හිතනවා නම්." 
"ඒකෙන් පාඩුවක් වෙන්නෙ නෑනෙ."
එය අනුමත කරන අයුරින් හිස සැලූ හැල්බර්ට්න් දොර දෙසට යන්නට හැරී නැවතත් ආපසු හැරිණ. 
"තත්ත්වය පාලනය කරන්න බැරි මට්ටමට ආවොත් සැලසුමක් තියනවද ක්‍රියාත්මක කරන්න?"
"කිසිම දෙයක් නෑ. මේ දැන් ඩියැක් ෆොස්ටර් එක්ක ගැටුමක් ඇති උනා මිනිහට ෂෙරිෆ් තනතුර බාරගන්න ඕනැ කිව්ව නිසා. මම මිනිහව අස්කළා." 
හැල්බර්ටන් කැළඹීමට පත් වූ බවක් පෙන්නුම් කළේය. "ඒ කියන්නේ ඔබට දැන් තනිවම වැඩ කරන්න වෙලා තියෙන්නේ?" 
බක් පිරිසෙහි සිටියවුන් එකිනෙකා දෙස වෙන් වෙන්ම බැලීය. "ඔබ අතරින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න කවුරු හරි ඉන්නවා නම් එහෙම වෙන්නේ නෑ." 
දෙදෙනෙක් වහාම ඉදිරියට පැමිණියහ. එක් අයෙක් වූයේ ෆ්රැන්සිස්කෝ මාර්ටිනස් ය. අනෙකා විලී ස්මිත් ය. අඳුරු පැහැ සමකින් හා ඉදිරියට නෙරා ආ බඩකින් යුතු වූ ෆ්රැන්සිස්කෝ අශ්ව ගාලෙහි හිමිකරු විය. අඩි හයක් පමණ උස වූ විලී රාත්තල් එකසිය හතලිහකට වඩා බර නොවීය. තුවක්කු අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහු  රළු පෙනුමකින් යුතු අයෙකු නොවූ අතර අතපය විසිකරගන්නා සටනකදී නම් එතරම් සහයක් දිය හැකි අයෙකු නොවීය. එසේ වුවද නොසැලෙන ස්ථිරසාර බවක් පෙන්වූ දෙඇස් ද පිටතට නෙරා විත් තිබූ හකු පාඩා ද අනවශ්‍ය ලෙස සැහැල්ලුවෙන් නොගත යුතු පුද්ගලයෙකුගේ පෙනුම ඔහුට ලබා දී තිබිණ. 
"දකුණු අත් ඔසවන්න." බක් පැවසීය. ඔවුහු එසේ කළ පසු ඔහු ඔවුන් දිවුරුම් දුන්නේය. ලාච්චුවෙන් නිල ලාංචන දෙකක් ගත් ඔහු එක බැගින් දෙදෙනාටම දුන්නේය. බක්ට හැඟුන පරිදි තවත් නගරවැසියන් ඉදිරිපත් නොවිම ගැන ෆ්රැන්සිස්කෝ මද අපහසුතාවකින් පසුවන බවක් පෙනුන ද විලී කෙරෙන් එවන්නක් දක්නට නොවීය. ඔවුන් දෙදෙන ලාංචන පැළඳගත් පසු බක් ඔවුන් අමතා, "කරන්න තියන වැඩක් තියනව නම් ඉවර කරලා කෑම කාලා ටිකක් විවේක අරගෙන හතරට විතර ආපහු මෙහෙට එන්න රාත්‍රිය ගතකරන්න බලාගෙන" යි පැවසීය. 
දෙදෙන හිස සලා එය පිළිගත්හ. "තව කවුරුහරි ඉන්නවද?" බක් අනෙක් අය දෙස බැලීය.
අනෙක් සියලු දෙනාටම කාර්යාලයෙන් පිටව යාමට හදිසි වී ඇති බවක් පෙනිණ. හැල්බර්ටන් පමණක් නතර විය. "ඔබට අවශ්‍ය නම් මම උදව්වට එන්නම්. ඒත් මගෙන් කොතරම් ප්‍රයෝජනයක් තියෙයි ද දන්නෑ. මම ජීවිතේටම තුවක්කුවක් අතින් අල්ලලා නෑ." 
"අර දෙන්න ඇති වෙයි. වෙනත් අය ඕන කරන එකක් නෑ. එහෙම අවශ්‍ය උනොත් මම ඔබට කතාකරන්නම්." බක් පිළිතුරු දුන්නේය. ෂෙරිෆ්ගේ සහායක ලෙස රාජකාරි බාරගන්නට හැල්බර්ටන් පසුබට වූ කරුණ බක් දැන සිටියේය. හැල්බර්ටන් ඉපැයූ ආදායමෙන් සැළකිය යුතු කොටසක් ලැබුනේ ගවහිමියන්ගෙනි. ඔවුන් හා ගැටුමකට එළඹෙන්නට සිදුවුවහොත් ඉන් පාඩු ලබන්නේ ඔහුගේ හෝටලයයි. 
හැල්බර්ටන් ඉවත්ව ගියේය. මැක්ග්‍රාත් සිරකුටියෙහි සිට හඬ නගන්නට විය. බක් ආපසු ගොස් ඔහුගේ ආහාර බන්දේසිය අතට ගත්තේය. "කෝ අර පිරිසිදු ඇඳුම්?" මැක්ග්‍රාත් නුරුස්නා හඬින් විමසා සිටියේය.
"මම අරගෙන එන්නම්." බක් හිස සැලීය. 


                                               *   *   *
   




  


    


    

     













6 comments:

  1. සුපිරි....මේ වගේ ගොපලු කතාවක් කියවල තිබුණ ඉස්කෝලේ යන කලේ.. පොතේ නම ෂේන්...

    ReplyDelete
    Replies
    1. ෂේන් අපරාජිත වීර චරිතයක්. බක් වෙලාවකට වැරදි තීරණ ගන්න, ඒ ගැන පසුතැවෙන ඒත් අධිෂ්ඨානශීලීව ඉදිරියට යන පුද්ගලයෙක්.

      Delete
    2. ෂේන් කියන්නේ මමත් ගොඩාක් ආසාවෙන් කීප පාරක්ම කියවපු පොතක්.

      Delete
    3. Believe me it was almost 30 years ago. Still I can remember the story.

      Delete
  2. නියමයි මේක. - කොළඹ ගමයා

    ReplyDelete
  3. කියෙව්වා. කතාව හොඳට ගලාගෙන යනවා.😊
    ++++++++++++++🙏👌💐

    ReplyDelete