විනිශ්චය xix

 

  මේ දක්වා:                  

ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. ඒ මැක්ග්‍රාත්ගේ හිතවතුන්ට ඔහු මරණීය දණ්ඩනයෙන් ගලවාගැනීමටත් මරණයට පත්වූ අයගේ හිතවතුන්ට මැක්ග්‍රාත් එල්ලා මරණවා දකින්නටත් අවශ්‍ය නිසා ය.  මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වී තුවාල ලබයි. ඒ අතර ෂෙරිෆ් තනතුර බලෙන් අත්කර ගැනීමට උත්සාහ කළ තම සහය නිලධාරියා ඉවත් කරන බක් අළුතින් සහායකයින් දෙදෙනෙකු පත්කර ගනී. 


                                                        

                                       පරිච්ඡේදය 13

විනාඩි විස්සකට පමණ පසුව විලී ස්මිත් පැමිණියේය. ඔහු අත සරත් සෘතුවේදී තාරාවන් දඩයම් කරන්නට පාවිච්චි කළ කානු දෙකේ තුවක්කුව ද විය. "මම කෑම කාලා ටිකක් නිදාගන්න හදද්දී තමයි වෙඩි ශබ්දය ඇසුනේ. මම හිතුවා ඔබට උදව් ඕනෑ ඇති කියලා."

බක් ඔහු දෙස බලා සිනාවක් නැගීය. "වෙඩිල්ල පත්තු වෙලා විනාඩි විස්සකට පස්සේ?"

විලී ද ප්‍රති සිනාවක් පෑවේය. "මම ඒ වෙලාවෙම ආවා. ඒත් ඒ වෙලාවේ වෙන කාටවත් හොට දාන්න උවමනාවක් පෙනුනෙ නෑ. ඔබ සියල්ල හොඳින් පාලනය කරගෙන හිටියා."

"එහෙනම් මෙච්චර වෙලා ගියේ මොකද?"

"මම හෝටලයටයි තැබෑරුම් දෙකටයි ගිහිල්ලා මිනිස්සු කරන කතාවලට ඇහුම්කං දුන්නා."

 "මොනවද අහන්න ලැබුනේ?" 

"අළුත් දෙයක් නෑ. ඒගොල්ල කියන්නේ මැක්ග්‍රාත්ට එල්ලුම්ගහට යන එකෙන් බේරෙන්න දෙන්නෙ නෑ කියලා."

"කලබල කරන්න සූදානමක් නෑ?" 

"නෑ. ඔබ විවේක ගන්නකං මම මෙතන බලාගන්න ඕනැද?"

"ඉස්සරලා ගිහිල්ලා ෆ්‍රැන්සිස්කෝ එක්කගෙන එන්න. දෙන්නම මෙතැන ඉන්නවනං මට හොඳට නින්ද යයි. ඩියැක් ෆොස්ටර් ආවොත් දොරෙන් මෙහාට එන්න දෙන්න එපා. එන්න දුන්නොත් මේක අල්ලගන්න බලයි."
හිස සලා එය පිළිගත් විලී තුවක්කුව ඉබේ නොගැස්සෙන ලෙසට සකසා බිත්තියට හේත්තු කොට බැහැරව ගියේය. 

බක් දෑස පියාගත්තේය. රාත්‍රියෙහි ආරක්ෂාව සලසාගැනීමට නම් දැන් නින්දක් අවශ්‍ය බව ඔහු දැන සිටියේය. දොර ඇරී විලී ස්මිත් ද කැටුව ෆ්‍රැන්සිස්කෝ ඇතුළුවන්නට මොහොතක්වත් ගත නොවූ ලෙසය ඔහුට දැනුනේ. දෙගිඩියාවකින් මෙන් සිටි ෆ්‍රැන්සිස්කෝ බක් පිටව යාම සඳහා දොර දෙසට යද්දී කතා කළේය. "ෂෙරීෆ් බක්, මේ වෙලාවේ මට පුළුවන් ඔබට උදව් කරන්න. හැබැයි, රෑට නම් බැරි වෙයි. මගේ බිරිඳ කැමති නෑ මම රෑට එනවට."

හිස වනා එය ඇසුන බව ඇඟවූ බක් විලී ස්මිත්ගේ දෑසෙහි එවැනි පසුබෑමක් නොමැති බව දැක සතුටට පත්විය. "මම පැය දෙකකින් ආපසු එනවා. කාටවත් හිරකාරයෝ බලන්න ඉඩදෙන්න එපා. දොර අගුළු දාන එකෙන් නම් වැඩක් නෑ වීදුරුව බිඳිලා නිසා. ඒත් කාටවත් ඇතුළට එන්න දෙන්න එපා." විලී ස්මිත් හිස සලා එය පිළිගනිද්දී බක් වීදියට පය තැබීය. කිසිවෙකුටත් ඔහු දෙස බලන්නට හෝ ඔහු හා කතාකරන්නට හෝ උවමනාවක් තිබූ බවක් නොපෙනින. ඔහු එය පයේ මහපටැඟිල්ලට තරම්වත් ගනන්ගත්තේ ද නැත. ඔහු තම නිවස දෙසට කොරගසමින් ගමන් කළේය. 

බක්ගේ නිවස යනු නගරයේ උඩහ කෙළවර, සේජ් පඳුරුවලින් වැසීගත් කඳුගැටයකට මායිම් කොට ඉදිකෙරුන කාමර තුනකින් යුත් කුඩා ගෙයකි. නගරය ව්‍යාප්තව තිබුනේ ගංගාව සහ රේල්පාර දිගේ බැවින් එය පළලට වඩා දිගින් වැඩි වූ අතර එනිසාම සිරගෙදර සිට බක්ගේ නිවසට තිබුනේ ගොඩනැගිලි දෙකහමාරක පමණ කෙටි දුරකි. ගෙය ඉදිරිපස මිදුල වටා බාගෙට ගැලවී, ආලේප කර තිබූ තින්ත මැකී ගොස් පැත්තකට ඇලවූ ඉනි වැටක් විය. එහි ගේට්ටුවක් නොතිබුනේ අවට සිටි කොලුගැටවුන් විසින් හපන්කමක් ලෙස සලකා එක් හැලොවීන් උත්සවය පැවති රාත්‍රියක එය ගලවාගෙන ගොස් තිබූ බැවිණි. අඩිපාර දිගේ කොරගසමින් පැමිණි බක් අගුළු දමා නොතිබුන දොර ඇරගෙන ඇතුළු විය. 

ඔහුගේ සිතෙහි තිබූ එකම සිතුවිල්ල ඇඳ  පමණි.  නොන්ඩි ගසමින්, විසිවෙමින් නිදන කාමරයට ඇතුළු වූ ඔහු මුනින්තලාව ඇඳ මත පතිත වී එසැනින්ම නින්දට වැටින. 

දොරට තට්ටු කරන හඬකින් අවදි වූ ඔහුට දැනුනේ නින්දට වැටුන සැනින් ඔහු අවදි කරන ලද බවයි. සිහිඑළවා ගැනීමට ඔහුට ටික වේලාවක් ගතවිය. අමාරුවෙන් ඇඳ මතින් නැගිටින්නට වෙර දැරූ ඔහුට පාදයෙහි හා අතෙහි දැනුන වේදනාව සියල්ල සිහියට නංවාදුන්නේය. මද සැකයක් සහිතව ඔහු ඉදිරි දොර විවෘත කළේය. එළියේ සිටගෙන සිටියේ එලන් ඩ්රූ ය. ඇයට ඇතුළු වීමට ඉඩදීම සඳහා ඔහු පසෙකට විය. 

නිදිමත පිරුනු ඔහුගේ මුහුණ හා අවුල් වූ හිසකෙස් දෙස ඇය  පසුතැවිල්ලෙන් බැලූවාය.  "කණගාටුයි ඇහැරවන්න සිදු උනාට. මං දන්නවා විවේක ගන්න එක කොච්චර අවශ්‍ය ද කියලා ඒත් මේක පරක්කු කරන්න බෑ කියලායි හිතුනේ." 

ඇය ඇතුළු වූ පසු බක් දොර වසා දැමීය. මීට පෙර ඇය ඔහුගේ නිවසට පැමිණ නැත. ඔහුට මද අපහසුතාවක් දැනුන ද ෆ්ලෝරා ගැල්ලිගෝස් සතියකට වරක් පැමිණ පිරිසිදු කරන නිසා නිවසෙහි අවුල්, අපිරිසිදු ගතියක් දක්නට නොවී ය. අවිවාහකයෙකු වෙසෙන නිවෙසක දක්නට ලැබෙන සරල බව මෙහි ද එලෙසම දැකිය හැකි විය. සමින් නිමවුන කබල් කවිච්චියක් පෙන්වූ බක් "වාඩිවෙන්න." යි කීය. 

ඇය කවිච්චියේ ගැට්ටෙහි වාඩි වූවාය. බක් සෘජු ඇන්දක් සහික පුටුවක් ගෙන එහි ආපස්සට වාඩි වී දෙඅත් එහි ඇන්ද මත තබාගත්තේය. "මොකක්ද කියන්න ආවේ?"

ඔහුගේ දෑස් දෙස කෙලින් බැලීමට අපහසුව ඇය පැකිළුනාය. "මෙහේ ආපු එක මට දැනෙන්නේ ද්‍රෝහිකමක් කළා වගේ. ඒ උනත්. . .  මං වෙනුවෙන් කොයිතරම් දේවල් කළත් මට ඔයා වටිනවා ඒ ගොල්ලන්ට වැඩිය. ඔයා මම විවාහ කරගන්න ඉන්න කෙනා."

"කාට වැඩියද?" 

"වාඩියේ පදිංචි වෙලා ඉන්න මිනිස්සු. කින්කේඩ් මහත්මයයි අනිත් මිනිස්සුයි."

ඔහු මද වේලාවක් බලා සිටියේය.

"මට ඇහුන දෙයක් කියන්නේ. කින්කේඩ් මහත්මයයි තව කණ්ඩායමකුයි අද රෑට හිරගේ කඩලා ජොනී මැක්ග්‍රාත් නිදහස් කරගන්න යන්නේ. වේගයෙන් යන්න පුළුවන් අශ්වයෙකුයි, කෑමයි, තවත් ඕන කරන දේවලුයි දීලා පැනලා යන්න උදව් කරන්නයි යන්නේ."

ඇය කරන්නේ කෙතරම් අසීරු දෙයක්දැයි ඔහුට තේරුම්  ගියේය. ඇයගේ ස්වාමිපුරුෂයා මියගිය පසුව හැකි සෑම අයුරකින්ම කින්කේඩ් සහ අනෙක් අය ඇයට උදව් කළේ ඔවුන් හා එක්ව ජීවත්වීමට හැකිවන පරිදි ය. "ඒගොල්ල කතා උනාද කොහොමද කොයි වෙලාවෙද කරන්නේ කියලා?"

"කින්කේඩ්ට ඕනෑ නෑ ඔයාට අනතුරක් කරන්න. එයාට ඕනැ නෑ කාටවත් අනතුරක් කරන්න. ඒත් මට ඔයා ගැන බයයි. මම දන්නවා ඒ අය තුවක්කු අරන් ඒවි. ඇවිත් බලහත්කාරයෙන් ඕන දේ කරගන්න බලයි." 

"කොයි වෙලාවෙ කොහොම කරනවා කියලද කතා උනේ?" බක් ඉවසීමෙන් යුතුව ඇසීය. එලන්ගෙන් දක්නට ලැබුනේ අසරණ, දුක්මුසු පෙනීමකි. 

"කරන වෙලාවයි කරන්න හදන විදියයි මට කලින් දැනගන්න පුළුවන් නම් කාටවත් අනතුරක් වෙන්නෙ නැතිව ඒ ගොල්ලන්ව නවත්වන්න මට පුළුවන් වෙයි." බක් පැවසීය.

"පාන්දර දෙකට විතර ඒ අය ඩිපෝවට පහලින් තියන උපකරණ මඩුවක ගින්නක් අවුලුවන්න යන්නේ. ගවහිමියෝ මුරට දාලා ඉන්න අයගේ අවධානය ඒකට ඇදිල යයි කියලා ඒ අය හිතනවා. ඔයත් ඔයාගේ සහයට ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒක බලන්න යයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුනත් අඩු ගණනේ පාරටවත් ආවොත් හැංගිලා ඉඳලා බලාපොරොත්තු නැති විදියට අල්ලාගන්නයි හිතාගෙන ඉන්නේ." 

"ස්තූතියි, දැන් මම දන්න හින්දා කාටවත් කරදරයක් නොවී බේරගන්න පුළුවන් වෙයි."

ඇය සෑහීමට පත්වූ බවක් දක්නට ලැබුණි. වේලාව පහ පසුවී ඇති බව බක්ට පෙනින. මොහොතකට පෙර නින්දට වැටුනාක් මෙන් දැනුනද ඔහු හිතුවාටත් වඩා නිදාගෙන ඇති බව ඔහුට තේරුම් ගියේය. 

"ගෙදර කෑමට ඕන කරන දේවල් තියනවද? මට පුළුවන් මොනව හරි හදලා දෙන්න." 

" ඔහු හිස සලමින්, "මං හිතන්නෙ ඇති. බලමු." යි  පැවසීය. ඇයට අයිස් දියවී ගිය අයිස් පෙට්ටියෙහි තිබී ලුණු දමා වේලාගත් ඌරුමස් හා බිත්තර සොයාගත හැකි විය. එයට තබා තිබූ බේසමෙහි ජලය උතුරා යමින් තිබිණ.  ඇය බේසමෙහි වූ ජලය ද ඉවත් කළාය. ෆ්ලෝරා ගැල්ලිගෝස් ඔහු වෙනුවෙන් තබාගිය පාන්ගෙඩියක් ද ඇයට හමුවිය. එලන් ගිනි උඳුන දල්වද්දී කුස්සියේ තිබූ පුටුවක හැකිතාක් පහසුවෙන් වාඩි වූ බක් එදෙස බලා සිටියේය. 

ඇය දෙස බලාසිටිද්දී  ඔහුගේ සිතට නැගුන සිතුවිල්ල වූයේ ඔහු සමග විවාහ වන්නට ඇය කැමතිවීම විශ්වාස කළ නොහැකි තරම් දෙයක් බවයි. එහෙත් ඔහු ඇයගේ කැමැත්ත විමසා ඇත, ඇය කැමැත්ත දී ඇත. බාධා කිසිත් මතු නොවුන හොත්. . . 

ඇය ආපසු හැරී ඔහු දෙස බැලූයේ මුවෙහි අඩ සිනහවකුත් නාසයෙහි දැලි පැල්ලමකුත් ඇතිව ය. එවැනි බැල්මක් කවදා හෝ ලැබුන බවක් බක්ගේ මතකයෙහි රැඳී තිබුනේ නැත. ඇගේ දෑසින් කියැවුන සිතුවිළි ඔහු අහස උසට ඔසවා තැබීය. අඩු වශයෙන් එක් මොහොතකට හෝ  සියළුම දුක් කරදර හා අපාචේ ජන්ක්ෂන් හී තත්ත්වය  කුමන පැත්තකට හැරේ ද යන අවිනිශ්චිත බව අමතක කළහැකි විය. 

ඇය නැවතත් උඳුනෙහි ඉදෙමින් තිබූ කෑම බඳුන දෙසට හැරුනාය. බක්, හැමදාමත් කළ විදියට, ඇය එහා මෙහා හැරෙන විට පෙනෙන ඇගේ ඉරියව්වලින් වින්දනයක් ලබමින් ඇය දෙස බලා සිටියේය. 

බලාපොරොත්තු නොවූ ලෙස ඔහුටත් නොදැනීම, "කවදද?" යනුවෙන් ඔහුගේ මුවින්  පිටවිය. 

"මොකක්ද කවදද කියන්නේ?" ඇය හිස හරවා බැලුවාය. 

"කවදද අපි විවාහ වෙන්නේ? කොච්චර ඉක්මනට කරන්න පුළුවන්ද?"

"මම ඒ ගැන හිතුවේ නෑ." ඇය මද අපහසුතාවකට පත්වූවාක් මෙන් විය. 

"දැන් හිතලා බලන්න." 

සිනා මුසු මුහුණින් ඔහු දෙස මද වේලාවක් බලා සිටි එලන් "ඔබ තුවාළ ලබලා ඉන්නේ. ඒවා හොඳ වෙන්න ටික කාලයක් ඕනැ වෙයි." යනුවෙන් පිළිතුරු දුන්නාය. 

"මට එහෙමට අමාරුක් නෑ."

"මාසෙකින් විතර?"

"කල් වැඩියි." ඔහු හිස සෙලවීය.

"ගෑනියෙකුට ටික කාලයක් ඕනැ වෙනවා." 

"මාසයක්ම ඕනැ නෑනෙ."

"සතියකින්?" ඇය අවිනිශ්චිත ස්වරයකින් විමසුවාය. 

"දවස් තුනකින් විතර, කොහොමද?"

මොහොතකට වඩා කල් නොගත් ඈ නිහඬවම හිස වැනුවාය. 

බක්ට සිතුනේ එතරම් ඉක්මන් දිනයක් දාගැනීමෙන් කළේ මෝඩ වැඩක් බවයි. තුවාල ලබා සිටින ඔහුට දින තුනකින් කිවයුතු තරම් සුවයක් ලැබෙන්නේ නැත. මිනිසෙකු විවාහ වන්නේ එක් වරක් පමණකි. එනිසාම විවාහ වනවිට ඔහු ශාරීරිකව ශක්තිමත් තත්ත්වයක සිටිය යුතු ය. ගැටලුව නම් එලන් ඔහු විවාහ කරගනී යයි තවමත් ඔහුට විශ්වාස කළ නොහැකි වීම ය. එය වැළකීයාමට කුමක් හෝ සිදුවෙතැයි ඔහු බියට පත්ව සිටියේය. ඒ ගැන තව දුරටත් සිත යොමු කිරීමෙන් වැළකුන ඔහු "දවස් තුනකින් මං හිටිය වගේම හොඳ තත්ත්වයට එන්න ඕනෑ." යයි තිර හඬින් පැවසීය. 

"එහෙම වෙන්නෙ නෑ. ඒත් ඒකට කමක් නෑ. දැන් ඔයාව බලාගන්න කවුරුහරි ඉන්න ඕනෑ." 

ඌරුමස් හා බිත්තර ඉදී තිබිණ, උවමනා ප්‍රමාණයටත් වඩා ටිකක් ඉදී තිබිණ. කෑම පිඟානකට දැමූ ඇය එය ඔහු වෙත රැගෙන ආවාය. මොහොතකට ඔවුන්ගේ දෑස් මුණගැසුන අතර ඇගේ දෑසේ බියෙහි සළකුණු දැකගත හැකි විය. "හිත කරදර කරගන්න එපා. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙයි." ඔහු කීය. 

"මට ඒගැන හිතන්නැතිව ඉන්න බෑ. ඔයා මුරණ්ඩු මිනිස්සු කණ්ඩායම් දෙකකට මැදිවෙලා ඉන්නේ." 

"සමහර විට ආණ්ඩුකාරයා දඬුවම ලිහිල් කරන්න ඉඩ තියනවා." 

"නොකරන්නත් ඉඩ තියනවා." 

"ඔය ඔක්කොම බොරු කරන්නේ. අවස්ථාව ආපුවාම කවුරුවත් පැටලෙන්න එන්නෙ නෑ."

"අර ගංඉවුරේ වාඩියේ ඉන්න මිනිස්සු එක සැරයක් ඔබත් එක්ක පැටලෙන්න ආවනේ."

 කෑම ගැනීම අවසන් කළ ඔහු කෝප්පයේ තිබූ අවසන් කෝපි උගුර ද බී අවසන් කළේය. "ගිහිල්ලා ආපහු ඇලවෙන්න. මම නැවතිලා කාටවත් බාධා කරන්න නොදී ඉන්නම්." හිස වනා නැගී සිටි හෙතෙම මෘදු ලෙස ඇය සිපගෙන නොන්ඩි ගසමින් නිදන කාමරයට පිවිස මුනින්තලා වී ඇඳට වැටුනේය. එලන් ඇඳ ඇතිරිල්ලකින් ඔහු වසා දමනු ඔහුට යන්තමින් මතක තිබුණි. 


                                  * * *

10 comments:

  1. කතාව දැන් හොඳින් ගලාගෙන යනවා. නියමයි.💐👌😊

    පොස්ට් එකේ අගට සෑහෙන බ්ලෑන්ක් ස්පේසස් තොගයක් එකතු වෙලා නිසා කමෙන්ට් කරන්න සෑහෙන පහලට යන්න වුනා.🤔😋

    ReplyDelete
    Replies
    1. ඒ්ක අයින් කරගන්න ක්‍රමයක් තියනවද?

      Delete
    2. තියනවා. ඒ පෝස් එක ආයෙ එඩිට් කරන්න. අග තියෙන බ්ලෑන්ක් ස්පේසස් ඩිලීට් කරලා, පෝස්ට් එක අප්ඩේට් කරන්න.
      https://youtu.be/gFZ0c3Yg5rI?t=141

      2.21 time stamp

      Delete
    3. අහා! ඔය තියෙන්නෙ නියමෙට.👌💐🙏😊
      අල වගේද ගෝවා?😋😁

      Delete
  2. කතාවේ මේ හරිය ලස්සනයි , උඩ සංක්ෂිප්තය ඔයාද ලියන්නේ. ඒකත් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඔව්, කතාව දිග නිසා මැදින් අතහැරුනු අයටත් අළුතින් එකතුවෙන අයටත් උදව්වක් විදියට.

      Delete
  3. කොටස් කීපයක් මග හැරුනා. මේ කොටසත් අපූරුයි .. තව ටිකක් කෙටි වුනානම් කියලත් හිතෙනවා ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. පරිච්ඡේදය සම්පූර්ණයෙන් ඉදිරිපත් කරන්නයි හිතුවේ. ඒකයි ටිකක් දික් උනේ.

      Delete
  4. අදනේ මට මේ පැත්තේ එන්න ලැබුණේ.. කියවන්න ඕනෑ මුල ඉඳලා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඒ වචන ටිකට.

      Delete