විනිශ්චය xviii

 මේ දක්වා:                  

ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. ඒ මැක්ග්‍රාත්ගේ හිතවතුන්ට ඔහු මරණීය දණ්ඩනයෙන් ගලවාගැනීමටත් මරණයට පත්වූ අයගේ හිතවතුන්ට මැක්ග්‍රාත් එල්ලා මරණවා දකින්නටත් අවශ්‍ය නිසා ය.  මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වී තුවාල ලබයි. 


                                                       පරිච්ඡේදය 12

බක්ගේ කකුල ගින්නෙන් දැවෙන්නාක් මෙන් වේදනා දෙන්නට පටන් ගත්තේය. අත ද දරාගෙන සිටිය නොහැකි තරමට කකියන්නට විය. කොරගසමින් මේසය අසලට ඇවිද ගිය ඔහු ඉඳගත්තේය. තුවාල වී තිබූ කකුල ප්‍රවේශමෙන් ඔසවා මේසය මත තැබූ ඔහු ඊලඟට අනෙත් කකුල ද ඔසවා තැබී ය. අත මෙතරම් වේදනා දෙන්නේ රුධිරය ගලා ඒම නිසා යයි සිතූ ඔහු වැලමිට පුටුවේ ඇන්ද මත තබා අත ඉහලට ඔසවා ගත්තේය. එහෙත් එයින් පලක් ලැබුනේ නැත.

ඔහු දෑස් පියාගත්තේය. කරන ලද සටන ද සිදුව තිබූ තුවාල දෙක ද ශරීර ශක්තිය බින්දුවටම පිරිහෙලා තිබුණි. මෙතැනින් නැගිට ගෙදර ගොස් ඇඳට වැටී සතියක් එක දිගට නිදාගන්නට ඇත්නම් යන සිතුවිල්ල සිතට පහල වුවද ඒ වෙනුවට ඔහුට කරන්නට සිදුව තිබුණේ මුළු රාත්‍රියම මෙතැනට වී සිටින්නටත් පෙනෙන්නට තිබෙන විදියට ඉන් වැඩි හරියක් නිදි මරන්නටත් ය.  

දොර ඇරෙන ශබ්දය ඇසුන ඔහු දෑස් විවර කර හිස හරවා බැලීය. ඉක්මන් ගමනින් පැමිණි එලන් ඩ්රූ ඇතුළු වී දොර වසා දැමුවාය. නැගී සිට පාද බිම තබන්නට උත්සාහ කළ ඔහුට "එපා, ඔහොම ම ඉන්න. මම දැනුයි ඔයාට උන දේ දැනගත්තේ." යි පැවසුවාය. කාමරය හරහා  පැමිණි ඇය නැමී ඔහු සිප ගත්තේ ශෝකී හැඟුම් පිරි මුහුණින් යුතුව ය. "ඔයාගෙ ජීවිතේ නැතිවෙන්න ඉඩ තිබුණා!" ඇගේ ආදර සැලකුමෙන් නව ජීවයක් ලැබුනාක් මෙන් හැඟීමකින් පිරී ගිය ඔහුට වේදනාව අඩු වූවාක් මෙන් දැනුනි. 

"දොස්තර මොකද කිව්වේ?" ඇය ඇසුවාය.  

"බය වෙන්න දෙයක් නෑ කියලා. කකුලට ඇතුළු උන උණ්ඩය අනිත් පැත්තෙන් පිටවෙලා තියනවා අස්ථියකටවත් ධමනියකටවත් හානියක් නොකර. අතේ නම් ටිකක් හිරිවැටෙන ගතියක් තියෙයි. ඒත් ඒකට කරන්න දෙයක් නෑ."

"මම හිතුවේ නෑ ජොනී මැක්ග්‍රාත් ඔය වගේ මිනිහෙක් කියලා." 

"ඉඩලීන් හන්ටර්, ජෙනී කාල්සන් දෙන්නා හිතුවෙත් නෑ." බක් කිව්වේ නොරිස්සුම් සහගතව ය.

"ඒගොල්ල ද එයාට තුවක්කුවයි පිහියයි ගෙනත් දුන්නේ?" 

බක් හිස සැලීය. 

"දවස තිස්සෙම ගං ඉවුරෙ ඉන්න අයගෙ කතාවයි කෑගැහිල්ලයි. මං වීදිය දිගේ එනකොට ගව හිමියොයි ඒ ගොල්ලන්ගෙ ගවපල්ලොයි ඒ විදියටම කෑගහනවා තැබෑරුම්වල." එලන් පැවසුවාය. 

"ඔය පුටුව අරන් වාඩිවෙන්න." බක්ගේ මුවින් පිටවිය.

සෘජු ඇන්දක් තිබූ පුටුව මේසය වෙත ඇදගත් ඇය ඔහුට හැකිතාක් සමීපව ඉඳගත්තාය. ඇය කොතරම් අපූරු ගැහැනියක්දැයි ඔහුට සිතින. ඇය එතරම් උස හෝ ශක්තිමත්ව වැඩුන සිරුරකින් හෙබි ගැහැනියක හෝ නොවූවත් ඇයගෙන් ශක්තිමත් පෙනුමක් දිස්විය. උස්ව නෙරා පිහිටි කම්මුල් ඇට ද ශක්තිමත් බවක් පෙන්වූ, එනිසාම මුහුණට දැඩි බවක් එක්කල නිකටක් ද ඇය සතු විය. එහෙත් නිතර සිනාසෙන මුව ඒ දැඩි බව මකාදැමීමට සමත් වී තිබුණි. 

සිහින් සිරුරකින් හෙබියද ඇය කාන්තාවකට තිබිය යුතු ලාලිත්‍යයෙන් යුතු වූවාය. මද ආදරණීය බවක් එක්වූ මුහුණින් දෑස් එසවූ ඔහු යළිත් ඇයගේ මුහුණ දෙස බැලීය. ඇගේ මුවගට නැගුන සරදම් සිනාව ඔහු පුදුමයට පත් කළේය. "මං දිහා ඔය විදිහට බලන්න පුළුවන් කියන්නේ තුවාල එච්චර බරපතල වෙන්න බෑ." 

කුමක් කිවයුතුදැයි ඔහුට සිතාගැනීමට නොහැකි විය. කිසිවක් කීමට අවශ්‍ය උනේ ද නැත.  වීදිය දෙසින් වෙඩි හඬක් ද ඒ සමගම නැගුන කෝපාන්විත සමූහයකගේ හඬ නැගීම් ද ඇසින. තම දෙපා නැවත පොලව මත තබද්දී බක්ගේ මුහුණෙහි වේදනාවේ රැලි ඇඳී ගියේය. ඔහු සෙමින් දෙපා තබා සිට ගත්තේය. ඒ වන විටත් නැගිට සිටි එලන් ඔහුගේ බාහුවෙන් අල්ලාගත්තේ දොර දෙසට යන්නට උදව් කරන්නට මෙනි. ඇයගේ අත ගසා දමා පසෙකට වූ බක්, "ඔයා මෙහෙ ඉන්න. වීදියට එන්න එපා." යයි තිර හඬින් පැවසීය. ඇයගේ පිළිතුරකට ඉඩක් නොතබා දොර ඇරගෙන එළියට පැමිණි බක්ගේ විමසුම් ඇසට පිටත දක්නට තිබූ දර්ශණය හසුවිය. 

ගවහිමියෝ හා ඔවුන්ගේ කුලීකරුවෝ තැබෑරුම් දෙකින් හා හෝටලයේ බීමහලින් එළියට ගලා එමින් සිටියහ. සිරගෙදරට පහළින් පිහිටි වීදිය කඳවුරු වැසියන්ගෙන් හා අනවසර පදිංච්කරුවන්ගෙන් අවහිරව පැවතිණ. හෝටලය ඉදිරිපිට මිනිසුන් දෙදෙනෙක් සටනක නිරතව සිටියහ. වෙඩිල්ල තැබුවේ කවුරුන්දැයි බක් දැන සිටියේ නැත. සටනෙහි නිරතව සිටි දෙදෙනාගෙන් එක් අයෙක්වත් වෙඩිල්ල තබන්නට ඇතැයි සිතිය නොහැකි ය.  පෙනෙන්නට තිබූ විදියට තුවක්කුව පත්තු කරන්නට ඇත්තේ තැබෑරුම් හා හෝටලය තුළ සිටි තම සඟයන්ගේ අවධානය ගන්නට උවමනා වූ ගවහිමියෙකු වන්නට ඇත. 

යම් පියවරක් නොගතහොත් දෙපාර්ශවය අතර කෙරෙන සටනක් දක්වා තත්ත්වය දුර දිග යනවා නිසැක ය. බක්ගේ අත ඉනෙහි පසෙක වූ රිවෝල්වරය වෙත ගිය ද එසැනින් ඔහු අත ඉවතට ගත්තේය. රිවෝල්වරයකින් කිසිවෙකුත් බිය ගැන්විය නොහැකි ය. බොහෝ ගව හිමියෝ රිවෝල්වර පැළඳ සිටියහ. සමහරක් කඳවුරු වැසියෝ රයිෆල් අතැතිව සිටියහ. 

සැනෙකින් ආපසු හැරී කාර්යාලයට කඩාවැදුන බක් එලන්ගේ ඇඟෙහි හැපුනෙන් ඇය නොවැටී බේරුනේ අනූනමයෙනි. කොර ගසමින්, කකුල අද්දමින් කාමරය හරහා ඇදුන ඔහු ගිනිඅවි රඳවා තිබූ රාක්කයෙන් කානු දෙකේ තුවක්කුවක් අතට ගෙන දොර දෙසට නැවත ගියේ ලාච්චුවක් ඇද පතරොම් අහුරක් ද අතට ගනිමිනි.

එලන්ගේ මුහුණ සුදුමැලි පැහැයට හැරුණි. "මොකක්ද ඔයා කරන්න යන්නේ?"

"අර කාලකන්නි රණ්ඩුව වැඩිවෙන්න ඉස්සර නවත්වන්න." තුවාල වූ කකුලට බර වැටී වැටෙන්නට ගියද ඔහු යළිත් වරක් දොර දෙසට පැනගත්තේය. දොර පසෙකට තල්ලුකර දැමූ වේගයට දොරෙහි වූ වීදුරුව කැබලිවලට කැඩී විසිර යද්දී ඔහු එළියට බැස තුවක්කුව කඩා පතරොම් දෙකක් රිංගවා 'ක්ලික්' හඬින් වසා කොකා ඇද එය උඩට හරවා එක්වරක් වෙඩිල්ලක් පත්තු කළේය. 

සියළුම දෙනාගේ හිස් තුවක්කුවේ හඬ නැගුන දෙසට හැරුණි. සටන් කරමින් සිටි දෙදෙනාගේ ගුටිබැට හුවමාරුව මොහොතකට නැවතිණ. "හැමෝම, ඔය ඉන්න තැන්වලම ඉන්නවා! හෙල්ලෙන්න එපා." කිසිවෙකුත් එහා මෙහා උනේ නැත. බක් විදිය දිගේ මොහොතකට පෙර ගුටිබැට හුවමාරු කරගනිමින් සිටි දෙදෙනා දෙසට ඇවිද ගියේය. "උඹලා දෙන්නා, ඔහොම ම හිටපල්ලා!" යි මොරදුන්නේය. 

විශ්මය සියළුදෙනාම මොහොතකට නිහඬ කර තිබුණි. එහෙත් එය දිගටම නොපවතින බව බක් දැන සිටියේය. මේ කලබැගෑනියේ මුල සටන් කරමින් සිටි මිනිසුන් දෙදෙනා ය. බක් කෙලින්ම ඔවුන් වෙත ගියේය. ඔහු තුවක්කුව ලිහිල් ලෙස අල්ලාගෙන සිටියද එය කෙලින්ම ඉලක්ක වී තිබුනේ මිනිසුන් දෙදෙනා වෙත ය. "දෙන්නා දෙපැත්තට වෙලා හිටගන්නවා. උඹලා දෙන්නාම අත්අඩංගුවට ගන්නවා." 

"මොකටද? ගහගත්තටද? හෙන ගහන්ඩ! මේ නගරෙ හැම රෑකම ගෝරි තියනවා." දෙදෙනාගෙන් එක් මිනිසෙක් කෝපයෙන් හඬ නැගීය. 

"හිමීට, කලබල නොකර ඇවිදගෙන යනවා හිරගෙදර පැත්තට." 

"නැත්තං මොනව කරන්නද? ඔය තුවක්කුවෙ කොකා ගස්සන්නද? ඒකත් පත්තු කරලා තුවක්කුව හිස් උනාට පස්සෙ මොකද කරන්නෙ?"

බක් තුවක්කුව මදක් හරවා කතා කළ මිනිසාගේ පපුවට ඉලක්කය ගත්තේය. "ඒක දැනගන්න එකෙන් ඔබට කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ. ඒ වෙනකොට ඔබ මැරිලා ඉවරයි." ඔහු කතා කළේ උස් නොවූ හඬකින් සාමාන්‍ය කතාබහකදී කරන පරිදි ය. ප්‍රතිඵලය කුමක් වුවත් ඔහු කියූ ලෙසම කරන්නට අදිටන් කරගෙන සිටියේය. තුවක්කුවට යළි උණ්ඩ පුරවාගන්නට වේලාව ලැබෙන්නටත්  පුළුවන, නොලැබෙන්නටත් පුළුවන. එසේ වුවද මේ රණ්ඩුව නවත්වා මොවුන් අත්අඩංගුවට නොගතහොත් අපාචේ ජනක්ෂන් හි පාලනය ඔහුගෙන් ගිලිහෙන බව ඔහු දැන සිටියේය. 

ඔහුට එරෙහිව ආ මිනිසා ආර්ච් නෝත්කොට් යටතේ සේවය කරන රසල් ඩීන් ලෙස හඳුනාගන්නට ඔහුට හැකි විය. අනෙකාගේ නම ඔහුගේ මතකයෙහි නොවී ය. දැන සිටියේ කඳුකරයේ කුඩා බිම් කැබැල්ලක් අල්ලාගෙන සිටි ඔහු වඩා හොඳ ඉඩම් කැබැල්ලක් පිළිබඳ අපේක්ෂාවෙන් කඳවුරු වැසියන් හා එක්ව සිටි බව පමණකි. ධෛර්යය පළමුවෙන් බිඳී ගියේ කඳුකරයෙන් ආ මිනිසාගේ ය. ඔහු අත්ල ඉදිරියට සිටින සේ අත් දිගුකොට සාමකාමී ඉරියව්වක් දැක්විය. බක් ඩීන් වෙතින් දෑස් ඉවතට ගත්තේ නැත. 

ව්‍යාජ නිර්භීත බවක් ඩීන්ගේ මුහුණට ආරූඬ වෙනු ඔහුට පෙනිණ. මිනිසා වමටත් දකුණටත් හිස හරවා බැලුවේ ඔහු යටත් වුවොත් මිතුරන් කුමක් සිතනු ඇත්දැයි යන කනස්සල්ලෙනි. ඊලඟට ඔහුගේ බැල්ම බක් වෙතටත් තමන් දෙස මුව අයා සිටින තුවක්කුව වෙතටත් යොමු විය. ඒ මොහොතේ තමන් ජය ගත් බව බක්ට වැටහිණ. තුවක්කුවේ උණ්ඩ තම පපුවට ඇතුළු වුවහොත් වෙන කාගේවත් අදහස්වලින් කිසිදු පලක් නොවන බව මිනිසා තීරණය කර තිබිණ.

ඔහුගේ උරහිස් කඩා වැටිණ. "හරි, හරි, මම ඔබ සමග එන්නම්." 

"දෙන්නම තමන්ගේ අත්දෙක ඔලුව උඩ තියාගන්නවා."  

ඔවුහු ඊට කිකරු වූහ. රොක්වී සිටි මිනිසුන් සංඛ්‍යාව අනුව විය හැකි යයි බක්ට විශ්වාස කළ නොහැකි තරමට විදිය නිශ්ශබ්දතාවෙහි ගිලී තිබිණ. 

"හිමිහිට එක පෙළට වැලමිටි එකට ගෑවෙන තරම් ලං වෙලා කෙලින්ම හිරගෙදර දෙසට ඇවිදගෙන යනවා."

 ඔහු සිරගෙදරත් මිනිසුන් දෙදෙනාත් අතරමැද තැනක සිටගෙන සිටියේය. ඔවුන් ඔහු දෙසට එද්දී පසෙකට වී තමන් පසුකර යන්නට ඉඩ දී ඒ පසුපසින් ගියේ වෙඩි තබන්නට සිදුවුවහොත් මූනිස්සම් දෙදෙනාටම එකවර වැදීමට තරම් පරතරයක් ඔවුන් අතර තබාගනිමිනි.  

එලන්ගේ සුදුමැලි මුහුණ කවුලුවට ඔබ්බෙන් බොඳ වී පෙනුනි. සිරකරුවන් දෙදෙනාට ඇය සිටින බව හෝ වෙඩිල්ලක් තැබුවහොත් ඇය ද එය වදින මානයේ සිටින බව හෝ නොපෙනෙතැයි ඔහු බලාපොරොත්තු විය. දොර විවෘතව පැවතිණ. එය ඉදිරිපිට නතර වූ දෙදෙනා ආපසු හැරී බක් දෙස බැලූහ. ඔහු දකුණු පස වූ මිනිසාට ඉඟි කළේය. 

"තමුසෙ ඉස්සරවෙලා." 

ඔහු ඇතුලට යද්දී ඔහුගේ පයට පෑගුන වීදුරු කැබලි පොඩි වී කිරි, කිරිි හඬ නැගී ය. දෙවැන්නා ද ඒ පසුපසින් ගියේය. බක් ඔහුට පසුපසින් ඇඟිල්ල තුවක්කුවේ කොකා මත තබාගෙන සුපරීක්ෂාකාරීව පා නැගී ය. එලන් සිටි තැනම සිටගෙන සිටියාය. මිනිසුන් දෙදෙන සිරකුටි වෙතට පිවිසෙන දොර අබියස සිටගත්හ. මේසය මතින් සිරකූඩුවල යතුරු අතට ගත් බක්, "දොර ඇරගෙන ඇතුලට ගිහිල්ලා මැක්ග්‍රාත් ඉන්න කාමරේට ඉස්සරහ කාමර දෙකට වෙන වෙනම යනවා." යි අණ කළේය. ඔවුහු යටහත් පහත් ලෙස එයට කිකරු වූහ. බක් සිරකූඩුවල දොරවල් එකින් එක වසා අගුලු දැම්මේය.

 "ඔබ තුවක්කුවේ කොකා ගස්සන්නද හිතාගෙන හිටියේ?" ඩීන් විමසීය. බක් එය අනුමත කරන විලසින් හිස සැලුව ද ඔහු එසේ කරන්නට ඉඩ තිබුනාදැයි ඔහුම දැන සිටියේ නැත. 

එම පිළිතුරින් මිනිසා සෑහීමකට පත් වූ  බවක් පෙනිණ. බක් ආපසු කාර්යාල කාමරයට පැමිණ පතරොම් ඉවත් කර තුවක්කුව නැවත රාක්කයෙහි රැඳවීය. ඔහුගේ දෙඅත් වෙව්ලන්නට වූ අතර ඒ මොහොතේම දණිස් නැවී ඇද වැටෙන්නට යන්නාක් මෙන් හැඟුනෙන් ඔහු පුටුව මතට ඇද වැටී වාඩි විය. 

එලන් කුමක් කියන්නදැයි සිතාගත නොහැකිව මෙන් සිටි අතර ඇගේ මුහුණ පෙරදී දුටුවාටත් වඩා සුදුමැලිව තිබුණි. ඇගේ යටි තොළ සැලෙමින් තිබුණේ හැඬෙන්නට ආසන්න වූවාක් මෙනි. බක් ප්‍රාර්ථනා කළේ ඇය එසේ නොකරනු ඇත කියා ය. සිදුව ඇති සියළු දේ මැද ගැහැනියකගේ කඳුළු ද දකින්නට ඔහුට අවශ්‍ය නොවී ය. එලන් එය තේරුම් ගත් අයුරින්  අධිෂ්ඨානශීලී ලෙස මුව විවර කොට, "මගෙන් කෙරෙන්න දෙයක් තියනවද?" යි විමසුවාය. 

හැඟීම් විරහිත ලෙස හිස සැලූ ඔහු කිසිත් නැති බව ඇඟවීය. තවත් මොහොතක් අවිනිශ්චිතව ඔහු දෙස බලා සිටි ඈ වීදියට පිවිස ඉක්මන් ගමනින් ඉවත්ව ගියාය. ඔහුට නොපෙනෙන මානයට ගිය සැනින් ඇය හඬා වැටෙන බව බක් දැන සිටියේය. ඇය පසුපසින් යන්නට උවමනාවක් තිබුණ ද ඔහුට සෙලවීමට පවා අපහසු විය. මුළු සිරුරම වේදනා දුන් අතර කලාතුරකින් දැනෙන අන්දමේ අධික විඩාබර ගතියකින් සිරුර පීඩා වින්දේය. එළිවන තෙක්  කෙලෙස රාත්‍රිය ගතකරන්නේදැයි ඔහුට සිතාගත නොහැකි විය. 

ඔහු කාර්යාලයෙහි වූ ඔරලෝසුව දෙස බැලුවේය. තවමත් වෙලාව එකයි තිහටවත් නැත. වීදිය දෙස බලා සිටිය හැකි පරිදි ඔහු පුටුව හරවා ගත්තේය. ගවහිමියන් සහ ඔවුන්ගේ කුලීකරුවන් ආපසු තැබෑරුම් කරා ඇදෙමින්  සිටිනු දැකගත හැකි විය. වීදියේ පහළට වන්නට කඳවුරු වැසියන් හා අනවසර පදිංචිකරුවන් තැනින් තැන රංචු ගැසෙමින් සිටියහ. 

අඩු වශයෙන් මේ මොහොතේ පුපුරා ඇවිලී යන්නට ආසන්න වූ ගින්නක් නිෂ්ක්‍රිය කරන්නට හැකි විය. එහෙත් එය බොහෝ වේලාවක් එසේ නොපවතිනු ඇත.                                                                 


                                                   * * *

2 comments:

  1. නියමයි.....
    කුතුහලය උපරිමයි......

    ReplyDelete
  2. නියමයිම තමා. හොඳ කව්බෝයි පිචෑර් එකක් බැලුව වගේ. ඔහොම යං.💐👌🙏

    ReplyDelete