විනිශ්චය xx

 මේ දක්වා:                  

ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයා ය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. ඒ මැක්ග්‍රාත්ගේ හිතවතුන්ට ඔහු මරණීය දණ්ඩනයෙන් ගලවාගැනීමටත් මරණයට පත්වූ අයගේ හිතවතුන්ට මැක්ග්‍රාත් එල්ලා මරණවා දකින්නටත් අවශ්‍ය නිසා ය. මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වී තුවාල ලබයි. ඒ අතර ෂෙරිෆ් තනතුර බලෙන් අත්කර ගැනීමට උත්සාහ කළ තම සහය නිලධාරියා ඉවත් කරන බක් අළුතින් සහායකයින් දෙදෙනෙකු පත්කර ගනී. බක් හා විවාහ ගිවිසගැනීමට සිටින එලන් ඩ්රූ ද ඔහු වෙනුවෙන් ගැටුමට මැදිවෙයි.

අද එතැන් සිට

                                          පරිච්ඡේදය 14 



බක් අවදි වන විට හිරු බටහිර අහසේ පහලට ගමන් කර තිබුණි. හිරු එළිය නිදන කාමරයේ බටහිර පැත්තේ ජනේලයෙන් ඇතුලට ගලා විත් තැඹිලි පැහැයෙන් යුත් දීප්තියක් බිත්තිය පුරා විහිදුවා තිබුණි. නැගී සිටි ඔහු හිසකෙස් අතරින් ඇඟිලි යවමින් දෑසින් නිදිමත පලවා හරින්නට තැත්කරමින් විසිත්ත කාමරයට ඇතුළු විය. 

එලන් ඩ්රූ පුටුවක් මත වාඩි වී පරණ පුවත්පතක් කියවමින් සිටියාය. ඔහු දෙස බැලූ ඇය, "කොහොමද, දැන් අඩුවක් දැනෙනවද?" යි විමසා සිටියාය. 

ඔහු උරහිස් හකුලුවා ලීය. ප්‍රානවත් ගතියක් දැනිය යුතු වුවත් ඔහුට එවන් දෙයක් නොදැනින. පාදය අපායේ දැවෙන්නාක් මෙන් වේදනා දුන් අතර අත ද වරින් වර වේදනාවෙන් පුපුරු ගසන්නට විය. උදයේ ගැටුම නිසා ඇති වූ තුවාල පසුව සිදුවූ වඩාත් බරපතල තුවාල හමුවේ නොසලකා හැරිය යුතු තරම් විය. 

ඔහු රිවෝල්වරය සහිත බඳ පටිය එය එල්ලා තිබුණු පුටු ඇන්දෙන් අතට ගෙන ඉන වටා පැළඳ ගත්තේය. ඒ අතර ඔහුගේ සිතට නැගුන සිතුවිල්ල වූයේ මේ සියල්ල අවසානයක් කරා එළඹුන විට ඔහු රැකියාවක් නැත්තෙකු බවට පත්ව සිටින්නට ඉඩ ඇති බවයි. ප්‍රාන්ත කොමසාරිස්වරුන්ට බලපෑම් කොට ඔහු රාජකාරියෙන් නෙරපා හරින්නට තරම් බලයක් නෝර්ත්කොට් ප්‍රමුඛ ගවහිමියන්ට තිබේ. එය අසාර්ථක වුවහොත් නැවත ඡන්දයක් කැඳවීමට ඔවුන් පොළඹවාගැනීමට ද ඉඩ තිබේ. හෙට වනවිට ඔහුගේ ජනප්‍රියත්වය බිංදුවටම අඩු වී තිබෙන්නට ඉඩ ඇති බවට වූ අප්‍රසන්න වූ හැඟීමක් ද සිතට නැගුනි. සිදුවිය හැකි ආකාරයට ගවහිමියන් හා කඳවුරු වැසියන් යන දෙපාර්ශවයම ඔහු තනතුරින් ඉවත්කරන්නට ඡන්දය පාවිච්චි කරන්නට පුළුවන. 

එවිට ඔහු කරන්නේ කුමක්ද? තවදුරටත් ජීවත්වීමට ඇත්තේ ඔහු පමණක් නොවේ, බිරිඳකුත් සිටින්නේය. කොහේ හෝ තැනක ඉඩම් කැබැල්ලක් සොයාගත හැකි වෙතැයි ඔහුට සිතින. ඉතිරිකරගත් ඩොලර් දෙතුන් සියයක් ඔහු සතුව තිබේ. මූලික ගෙවීමක් කිරීමට හා ගවයින් කිහිපදෙනෙකු මිලදී ගැනීමට එය ප්‍රමාණවත් වනු ඇත. 

එලන් ඩ්රූ පුටුවෙන් නැගී සිටියාය. "මොනවද කල්පනා කරන්නේ? හැතැප්ම දාස්ගානක් ඈත ගිහිල්ලා වගේ පේන්නේ."

ඔහු කණගාටුව ප්‍රකාශ කරන ආකාරයේ සිනාවක් මුවට නගාගත්තේය. "මං කල්පනා කළේ හෙට දවස ගැන. මේක ඉවරවෙන කොට මිනිස්සුන්ට මාව උරුලෑවෙක් ලඟ ඉන්නවා වාගෙ දැනෙයි. මට ආපසු කිසිම තනතුරකට පත්වෙන්න ලැබෙන්නෙ නෑ. සමහර විට මාව ෂෙරිෆ් තනතුරින් අයින් කරන්නත් උත්සාහ කරයි." 

"ඒ ගැන වදවෙන්න ඒක සිද්ද වෙනකොට. මේ වෙලාවේ ඔයාට කල්පනා කරන්න වෙනත් දේවල් තියනවා."

"මටත් එහෙම හිතෙනවා." ඔහු හිස සලමින් පැවසීය. 

"මම දැං යන්න ඕනෑ." 

"මම එන්නම් ඇරලවන්න." 

ඇය හිස දෙපසට වනා එය ප්‍රතික්ෂේප කළාය. "ඔයාට පුළුවන් හිරගෙදර ලඟට යනකල් මාත් එක්ක එන්න. එතනින් එහාට එන්න එපා." 

"හොඳයි." සාක්කුවෙන් ඔරලෝසුව අතට ගත් ඔහු වෙලාව බැලීය. සවස හයයි තිහ වී තිබුණි. සිරකරුවන් සඳහා ආහාර ගෙනයාමට ද තිබේ. ෆ්‍රැන්සිස්කෝ රාත්‍රියට ගෙදර යාමට පෙර ඔහු ලවා එය කරවාගැනීමට පුළුවන. 

ඔහු එලන් පසුපසින් දොරෙන් එළියට බැස අඩිපාර දිගේ ගොස් මාවතට පිවිස සිරගෙදර දෙසට ඇවිද ගියේය. දෙදෙනාගෙන් කිසිවෙකුත් කතාකිරීමට උත්සාහ නොකළහ. වරෙක ඔහු ඇගේ මුහුණ දෙස බැල්මක් හෙලීය. බෙහෙවින් පිඩාවටත් බියටත් පත් පෙනුමක් එහි දක්නට ලැබිණ. ඇය දිරිමත් කරන ලෙසින් ඔහු ඇයගේ අතින් අල්ලා "බයවෙන්න දෙයක් නෑ. ඔක්කොම හරි යයි." යනුවෙන් පැවසීය. එයට හිස සලා ප්‍රතිචාර දැක්වුවද ඇය එය විශ්වාස කළ බවක් නොපෙනිණ. සිරගෙදරට ලඟා වූ පසු කෙටි සමුගැනීමකින් පසුව ඇය දිගටම ඇවිද ගිය අතර ඔහු සිරගෙදරට ඇතුළු විය. 

ස්මිත් ෂෙරිෆ්ගේ පුටුවෙහි වාඩි වී සිටි අතර ෆ්‍රැන්සිස්කෝ සෘජු ඇන්දක් තිබූ පුටුවෙහි වාඩි වී සිටියේය. "මොකක්වත් කරදරයක් උනේ නෑනේ?"  දෙදෙනාම හිස සලා කිසිත් සිදු නොවූ බව ඇඟවූහ. 

"කවුරුවත් ආවද?" 

"ඩියැක් ඇවිත් ඇතුල්වෙන්න හැදුවා. රාජකාරි බාරගන්නවා කිව්වා ඔබ සුදුසු තත්ත්වයක නැති නිසා. මට සිද්ද උනා තුවක්කුව එළියට ගන්න." 

"වෙන කවුද ආවේ?" 

"නඩුකාරයාගේ බිරිඳ. ඇයත් ආවා. මැක්ග්‍රාත් බලන්න ඕනෑ කියලා යාප්පු උනා. ඇඬුවත් එක්ක. ඒත් අපි ඉඩදුන්නෙ නෑ." 

"ඒක හොඳයි." බක් ෆ්‍රැන්සිස්කෝ දෙස බැලුවේය. "හෝටලේට ගිහිල්ලා  සිරකාරයන්ට රෑ කෑම ගේන්න පුළුවන්ද? අපිට කෑම තුනක් ඕනැ වෙනවා ඔයගොල්ල රෑ කෑමට ගෙදර යන්නෙ නැත්නම්. මම කෑම කාලා ආවේ." 

"මම රෑ කෑමට ගෙදර යනවා. මම කලින් කිව්වෙ ෂෙරිෆ් බක්. මම ආපහු රෑට එන්නෙ නෑ."  බක් ස්මිත් දෙස බැලීය. "ඔබ මොකද කියන්නේ?" 

"මම හෝටලේදිම කාලා එන්නම්. සමහර විට මිනිස්සු මොනවද කතාවෙන්නෙ කියලා අහගන්නත් පුළුවන් වෙයි." 

බක් හිස සලා එය පිළිගත්තේය. ෆ්‍රැන්සිස්කෝ පිටව ගිය අතර බිම විසිර තිබූ වීදුරු කටු අතුගා දමා දොරෙහි රැඳී තිබූ තියුණු වීදුරු කැබලි ප්‍රවේශමෙන් ඉවත් කර තිබූ අයුරු ඔහුට පෙනින. "ඇතුලෙ ගඳ කොහොමද? තාම තියනවද?" ඔහු ඇසීය. 

ස්මිත්ට සිනා පහළ විය. "බාල කලු සුරුට්ටුවක් වගේ. මැක්ග්‍රාත්ට ඉඩලින් හන්ටර්ගේ කටහඬ ඇහෙන්න ඇති. මොකද මිනිහා ඔබ දීලා තිබුන බාල සුරුට්ටුව පත්තු කරගත්තා. කොහෙන්ද ඕක හොයාගත්තේ?"

"බේබි සුරුට්ටුවක්, ඒව කොහොමත් හොඳ නෑ." 

ස්මිත් නැගිට සිටගත් අතරේ බක් කැරකෙන පුටුව මතට ඇද වැටුනේය. පසුපසට හේත්තු වූ ඔහු ප්‍රවේශමෙන් තුවාල වූ කකුල ඔසවා මේසට මත තබාගත්තේය. ලේ ගමනාගමනය අඩු වන නිසාදෝ පාදය ඔසවා තබාගත් විට ඔහුට යම් සහනයක් දැනින. 

විනාඩි විස්සකට පමණ පසුව ෆ්‍රැන්සිස්කෝ  කෑම බඳුන් තුනක් ද රැගෙන ආපසු පැමිණියේය. හිරු සම්පූර්ණයෙන්ම බැස ගොස්  ගොම්මන් අඳුර වීදි පුරා පැතිර ගොස් තිබිණ. ලාම්පු තුනක් දැල්වූ ස්මිත් ඉන් එකක් සිරකුටි අතර වූ කොරිඩෝවේ එල්ලා තැබුවේ සිරකරුවන්ට ආහාර ගැනීම සඳහා ආලෝකය සැපයීමට ය. ආහාර බඳුන් තුන රැගෙන ගිය ෆ්‍රැන්සිස්කෝ එක් බඳුන බැගින් සිරකරුවන් තිදෙනාට ලබාදුන්නේය. එම එක් කෑම පිඟානකවත් ආයුධ සඟවා ඇතැයි බක්ට නොසිතුනේ කෑම බඳුන් සකස් කල අයට කුමන කෑම බඳුන කුමන සිරකරුවාට ලැබෙන්නේදැයි දැනගැනීමට කවර හෝ  ඉඩක් නොලැබෙන නිසා ය. 

ෆ්‍රැන්සිස්කෝ සිරකුටි වෙතින් ආපසු පැමිණියේය. "මම දැන් ගියාට කමක් නෑනෙ?" 

"කමක් නෑ, යන්න. උදව් කරන්න ආවට බොහොම ස්තූතියි." 

ෆ්‍රැන්සිස්කෝගේ සිතට වරදකාරී හැඟීමක් දැනින. හිස පහතට නමාගත් ඔහු ඉක්මනින් දොරෙන් පිටව ගියේය.

"මම දැන් ගිහිල්ලා කෑම කාලා එන්නද?" ස්මිත් විමසීය. 

"හොඳයි, ගිහිල්ලා එන්න." 

"මම ආපහු ආවට පස්සෙ කෑම භාජන හෝටලයට ගිහින් දෙන්නම්." 

බක් හිස සලා එය පිළිගත් පසු ස්මිත් පිටව ගියේය. පිටවී යන ගමන් ස්මිත් දොර ද වසාගෙන ගියේය. බාගයක් කැඩී තිබූ දොර ඇරීම හා වැසීම විකාරයක් මෙන් පෙනුනද බක්ට පසුව සිතුනේ එය සෑම කෙනෙකු අතින්ම ඉබේම මෙන් සිදුවන ප්‍රතික්‍රියාවක් ලෙස ය.

විදුලි පණිවුඩකරු, රොස් ඈෂ්ෆර්ඩ් ඩිපෝවේ සිට පැමිණ බක් අතට ඔහු අත තිබූ ලියුම් කවරයක් බාරදී බලා සිටියේය. ඒ බක් ඊට දක්වන ප්‍රතික්‍රියාව බලාගැනීමට විය යුතු ය. මක් නිසාද යත් විදුලි පණිවුඩයේ තිබෙන්නේ කුමක්දැයි ඒ වන විටත් ඔහු දැන සිටි නිසා ය. බක්ට ද එය කියවනවාට වඩා ඔහුගෙන් එය අසා දැනගැනීමට තිබුන ද කියවා බැලීම වඩා පහසු දෙය ලෙස ඔහුට ද හැඟී ගියේය.   

විදුලි පණිවුඩය ආණ්ඩුකාරවරයාගෙනි. "ඔබ සඳහන් කර ඇති පරිදි මෙයට මැදිහත් වීමට තරම් හේතුවක් මට නොපෙනේ. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු ය." එහි සඳහන්ව තිබිණ. 

කුහක බැල්ලිගේ පුතෙක්. බක්ගේ සිතට දැනුන සිතුවිල්ලයි.  ඔහු ඈෂ්ෆර්ඩ් දෙස බැලීය. "මම දන්නවා මට මෙහෙම අහන්න අයිතියක් නෑ කියලා. ප්‍රතික්ෂේප කළොත් මම ඔබට දොස් කියන්නේ නෑ. ඒත් නෝර්ත්කොට් හරි වෙනත් ගවහිමියෙක් හරි පහුගිය දවස් දෙක ඇතුළත ආණ්ඩුකාරයාට පණිවුඩ යැව්වද?"

ඈෂ්ෆර්ඩ් අපහසුතාවකට පත්වූ බවක් පෙනි ගියේය. "හරි, එච්චරයි මට දැනගන්න ඕනැ උනේ." බක් පැවසීය. දේශපාලනය නම් පාන් පෙත්තේ බටර් තවරා තිබෙන්නේ කුමන පැත්තේදැයි හොඳින් දැන සිටි ආණ්ඩුකාරයා ගවහිමියන්ගේ පැත්ත ගෙන ඇත. යම්කිසි ප්‍රාතිහාර්යයක් සිදු නොවුනහොත් තීන්දුකර ඇති පරිදි හෙට මැක්ග්‍රාත්ට පෝරකයේ පියගැට පෙළ නගින්නට සිදුවනු ඇත. 

"නගරයෙන් බාගයක් විතර දකින්න ඇති ඔබ මෙහෙ ආවා කියලා. ඒ උනාට ටික වෙලාවක් ගතවෙනකල්  ආණ්ඩුකාරයා තීන්දුව ලිහිල් කරන්න හරි අත්හිටවන්න හරි ප්‍රතික්ෂේප කළා කියන එක පැතිරිලා යනවට මම කැමති නෑ. මං හිතනවා ඔබට මේ ටෙලිග්‍රෑම් එක ගැන මුකුත් නොකියා කට වහගෙන ඉන්න පුළුවන් වෙයි කියලා?" 

"ඒ ගොල්ල දැනගනී මං ඒක ඔබට ගෙනත් දුන්නා කියලා." 

"මිනිස්සුන්ට කියනවා ඒකෙ තියන දේ එළිකරොත් තමුසෙට රස්සාව නැති වෙනවා කියලා. කියන්න ඇවිල්ලා මගෙන් අහන්න කියලා." 

ඈෂ්ෆර්ඩ් නොසන්සුන් සිතින් යුතුව හිස වැනීය. 

බක් විදුලි පණිවුඩය තම සාක්කුවේ ඔබා ගත්තේය. වීදුරුව නොතිබුන ද ඈෂ්ෆර්ඩ් ප්‍රවේශමෙන් දොර වසා දමමින් පිටව ගියේය.

දොර යළිත් විවෘත වී ව්නිශ්චයකාර හන්ටර් ඇතුළු විය. "මම දැක්කා ඈෂ්ෆර්ඩ් මෙහෙට එනවා. ආණ්ඩුකාරයාගෙන් විදුලි පණිවුඩයක් ගෙනාවද?" 

බක් හිස සලා ප්‍රතිචාර දැක්වීය. 

"ඉතින්, මොනවද ඒකෙ කියලා තියෙන්නේ?" හන්ටර් නොඉවසිල්ලෙන් විමසීය.

මහ හඬින් කෑගසා බැන වැදීමට තරම් ආවේගයක් සිතට නැගුන ද එය යටපත් කරගත් ඔහු, "මට කළින් නෝත්කොට් මිනිහගේ සහචරයොත් එක්ක ආණ්ඩුකාරයාට කතා කරලා තියනවා. මිනිහා කියලා තියෙන්නේ වෙනස් කරන්න බැහැ කියලයි." 

"ඔබ හිතන්නේ ඒකට හේතුව නෝත්කොට් අනිත් අයත් එක්ක කළින්ම ආණ්ඩුකාරයාට කතා කරපු නිසා කියලද?" 

"ඔව්, එහෙම තමයි." 

"සමහර විට අධිකරණය ගැන ඔබට වැඩිය විශ්වාසයක් එයා ලඟ තියනවා වෙන්න පුළුවන්."

බක්ගේ හිස් මුදුනෙහි රතු එළියක් පත්තු උනේය. වහා නැගී සිටගත් ඔහු, "කාලකණ්ණි කුහකයා! තමුසෙට කොහොමද තමන්ට අධිකරණය කියලා කියාගන්න තරම් හයියක් ආවේ? යි කෑගැසීය. 

හන්ටර්ගේ මුහුණ සුදුමැලි වී දෙඅත් වෙව්ලන්නට විය. "ෂෙරිෆ් බක්, මතක තියාගන්නවා හොඳයි තමුන් කතාකරන්නේ කාටද කියලා." ඔහු යටිගිරියෙන් බෙරිහන් දුන්නේය. 

"මම දන්නවා කාටද මම කතාකරන්නේ කියලා. දඬුවම අත්හිටුවන්න කරපු ඉල්ලීම තමයි මට තිබුන අවසාන අවස්ථාව මිනිස්සු මරාගන්න එක නවත්වන්න, මැක්ග්‍රාත් එල්ලුම් ගහට ගියත් නැතත්." 

"ඒක ඒ තරම් බරපතලට ගන්න තරම් දෙයක් නෙවෙයි. මම මැක්ග්‍රාත් එල්ලා මරන්න තීන්දුවක් දීලා තියනවා. ඔබට තියෙන්නේ ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්නයි. ඒක එතනින් ඉවරයි. මිනිස්සු කතාකරනවා, තර්ජනය කරනවා. ඒත් එතනින් එහාට මුකුත් කරන්නෙ නෑ." 

"ඔබට හොඳටම විශ්වාස ද ඒක එහෙම වෙයි කියලා? මේ නැගෙනහිර පලාත්වල නගර වැසියෝ නෙමෙයි. තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳාගන්න ජාතියේ මිනිස්සු."  

"කිසි දෙයක් වෙන්නෙ නෑ, ඔබ හරියට කෙලින් ඉඳලා තදින් වැඩ කළොත්." එසේ කිව්වද පළමු වතාවට හන්ටර්ගේ කටහඬෙහි සැකයක සේයාවක් දකින්නට ලැබුණි. 

විනිසුරුවරයාට බැණ අඬගැසීම ගැන බක් පසුතැවිලි විය. ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ අතර ඇති වූයේ සිත් රිදවීම් පමණි. "විනිශ්චයකාරතුමා, මට සමාවෙන්න විනාඩියකට ඉස්සරලා මට කට පාලනය කරගන්න බැරිවීම ගැන. ඒත් මොනවා හරි කරන්න වෙනවා. බැරිද මැක්ග්‍රාත්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට අඩු කරන්න, නැත්නම් අළුතෙන් නඩුව අහන්න අවස්ථාවක් දෙන්න?" 

හන්ටර් මුරණ්ඩු ලෙස හිස සෙලවීය. 

"දැන් අද රෑට මිනිස්සු මරාගත්තොත් මොකද කරන්නේ? ඒක ඔබේ වැරැද්දෙන් නෙමෙයි උනේ කියලා හිත හදාගන්න  පුළුවන් ද?" බක් ප්‍රශ්න කළේය.

යළිත් වරක් අවිනිශ්චිත බවේ සළකුණු විනිසුරුවරයාගේ මුහුනේ ඇඳීගිය ද නැවතත් ඔහු කළේ හිස සෙලවීම ය. 

"මැක්ග්‍රාත්ගෙයි ඔබේ බිරිඳගෙයි සම්බන්ධය නොතිබුනා නම් ඔබ මොන වගේ තීන්දුවක් ද දෙන්න තිබ්බේ?" බක් නැවත විනිසුරුවරයා ප්‍රශ්න කළේය. 

"ඒකමයි. මැක්ග්‍රාත් කියන්නේ මිනීමරුවෙක්." විනිශ්චයකාර හන්ටර් එය පැවසුවේ හැඟීම් විරහිත යාන්ත්‍රික ස්වරූපයකිනි. පසුගිය දිනවල ඔහු තමන්ට ම ද සිය දහස්වරක් එවැනි වෙනසක් වන්නට ඉඩක් නොතිබුණු බව කියාගන්නට ඇත. එහෙත් එය සත්‍යයක් නොවන බව ඔහු මෙන්ම බක් ද දැන සිටියේය.

බක්ට දැනුනේ බලාපොරොත්තු කඩ වූ ස්වභාවයකි. හන්ටර් තැබූ පය ආපස්සට ගන්නට කැමති නැත. ගවහිමියන් මෙන්ම කඳවුරු වැසියන් ද හැසිරෙන්නේ එලෙසින් ම ය. "මට කරන්න තියන එකම දේ ඉල්ලා අස්වෙන එකයි." 

"එහෙම කරන්න පුළුවන්. ඩියැක් ෆොස්ටර් ඉන්නවා ඔබේ තනතුර බාර ගන්න." 

"බාර අරගෙන මැක්ග්‍රාත් එල්ලලා මරණවා. ඊට පස්සේ මොකක් උනත් කමක් නෑ?"

"ඊට පස්සේ කිසිම දෙයක් වෙන්නේ නෑ. නීතියට හැමෝම යටත්වෙන්න ඕනෑ." 

නඩුකාරයා සමග තවදුරටත් වාද කිරීමෙන් පලක් නොමැති බව බක්ට තේරුම් ගියේය. හන්ටර් සිටින්නේ තමන් වැරදි බව අවබෝධ කරගෙනයි. එහෙත් ඔහු තෝරාගත් මාර්ගයක් ඔස්සේ ගමන් කර ඇති අතර අවසානය තෙක් එහිම ගමන් කිරීමට තීරණය කර ඇත.

මේ බක්ගේ අවසාන තුරුම්පුවයි. "මම මැක්ග්‍රාත්ව වෙනත් තැනකට මාරු කළොත් මොකද වෙන්නේ?" 

"ඔබ කොහොමද ඒක කරන්නේ?"

"මම දන්නෙත් නෑ. ඒත් ඒක විතරයි මිනිස්සු අද රෑට හරි හෙට හරි දෙපැත්ත බෙදිලා මරාගන්න එක වලක්වන්න තියන එකම ක්‍රමය." 

හන්ටර් ඒ ගැන සිතා බැලීමට පෙළඹුන බව පෙනෙන්නට තිබිණ. 

"මට පුළුවන් මිනිහව කැනන් සිටි වලට අරන් යන්න. මෙහෙදි මරණීය දණ්ඩනයට ලක් කරනවා වගේ ඒක එහෙදිත් කරන්න පුළුවන්. මිනිහා මෙහෙන් අරන් ගියොත් මිනිස්සුන්ට ගහමරාගන්න හේතුවක් නැතුව යනවා." 

"මට නම් තේරුම්ගන්න බෑ ඔබ කොහොමද ඒක කරන්නෙ කියලා. මිනිස්සු සිය ගණනක් දැනටමත් මේ හිරගෙදර වටේට බලාගෙන ඇති." 

"මට ඒක කරන්න පුළුවන් නම් ඔබ ඒකට අවසර දෙනවද?" 

නඩුකාරයා යළිත් වරක් පසුබට වන ස්වරූපයක් පෙන්නුම් කළේය. "මරණීය දණ්ඩනය දෙන එක මෙහෙදි කරන්න ගියොත් අර කඳවුරේ ඉන්න එවුන් මහ කලබැගෑනියක් කරනවා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුනේ නැතත්. ඩෙන්වර් වල පත්තර වලට ඒක ආරංච් උනොත්. . ." බක් වාක්‍යය සම්පූර්ණ නොකර අතරමග නතර කළේය. 

හන්ටර් ඔහුගේ මුහුණ දෙස උවමනාවෙන් බැලූයේ තර්ජනයක, සරදමක හෝ උපහාසයක ඉරියව් බක්ගේ මුහුණින් පිළිබිඹු වේද යන සැකයෙන් යුතුව ය. එහෙත් එය එසේ නොවන බවට ඔහු සෑහීමකට පත්වන්නට ඇතැයි සිතිය හැක්කේ "හරි, ඔබට ඒක කරන්න පුළුවන් නම් මට විරුද්ධ වෙන්න තරම් හේතුවක් පේන්නෙ නෑ." යනුවෙන් දුන් පිළිතුර නිසා ය.

"මට ඔබේ නියෝගයක් අවශ්‍ය වෙනවා බන්ධනාගාර බලධාරීන්ට දෙන්න." 

"මම ඒක නිකුත් කරන්නම්." හන්ටර් හිස සලා පැවසීය. 

ඔහු සුලු වේලාවක් පසුබට වෙමින් බලා සිටියේ මේ දැන් ඔහු ගත් තීරණය නිවැරදි එකක් දැයි යළි සිතා බලන්නට මෙනි. ගත් තීරණය ගැන සෑහීමකට පත් වූ බවක් පෙන්වූ ඔහු ආපසු හැරී සිරගෙදරින් පිටවිය. "නියෝගය සූදානම් කරගත් ගමන් මම ආපසු එනවා." 

ඔහු අඳුර මැදින් පිය නගා නොපෙනී යනු බක් බලා සිටියේය. මැක්ග්‍රාත් සිරගෙයින් එළියට ගෙන නගරයෙන් ඉවතට ගෙන යන්නේ කෙසේදැයි සිතාගැනීමටවත් ඔහුට නොහැකි විය. එහෙත් ඔහුට ලැබෙන එකම අවස්ථාව එසේ කිරීම බව ඔහු දැන සිටියේය.  


1 comment:

  1. අද ටිකක් දිගට ලියලා.😊👌
    ස්තූතියි.💐🙏

    ReplyDelete