විනිශ්චය xxii

 මේ දක්වා:                  

ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයා ය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත්. නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. ඒ මැක්ග්‍රාත්ගේ හිතවතුන්ට ඔහු මරණීය දණ්ඩනයෙන් ගලවාගැනීමටත් මරණයට පත්වූ අයගේ හිතවතුන්ට මැක්ග්‍රාත් එල්ලා මරණවා දකින්නටත් අවශ්‍ය නිසා ය. මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වී තුවාල ලබයි. ඒ අතර ෂෙරිෆ් තනතුර බලෙන් අත්කර ගැනීමට උත්සාහ කළ තම සහය නිලධාරියා ඉවත් කරන බක් අළුතින් සහායකයින් දෙදෙනෙකු පත්කර ගනී. බක් හා විවාහ ගිවිසගැනීමට සිටින එලන් ඩ්රූ ද ඔහු වෙනුවෙන් ගැටුමට මැදිවෙයි. පලාතේ සාමය රැකගැනීමට මැක්ග්‍රාත් වෙනත් සිරගෙයකට මාරුකිරීමට නඩුකාරයා කැමති කරගන්නා අතරතුර සහය නිලධරයා ප්‍රාන්ත කොමසාරිස්වරුන් ද සමග පැමිණ තනතුරෙන් ඉවත්වන ලෙස බක්ට බලකරයි. ඔහු එය ප්‍රතික්ෂේප කරයි.
 
අද එතැන් සිට:

                                                 පරිච්ඡේදය 15 

                                                  දෙවන කොටස



 

ස්මිත්ගේ හැසිරීමෙහි දක්නට ලැබුන සියුම් වෙනස්කම බක්ට තේරුම්ගත නොහැකි කරුණක් විය. ස්මිත් තවදුරටත් කතාකරනු ඇතැයි බක් බලාපොරොත්තු වුවද ඔහු නිහඬවම සිටියේය. අවසානයේ බක් කතාකළේය.  "හරි, ඔබේ හිතේ මොකක් හරි කරදරයක් තියනවනේ. මොකක්ද ඒක?"

ස්මිත් ආපසු හැරී තීරණයකට එළඹි අයුරින් බක්ගේ දෑස දෙස කෙලින් බැලීය. "මං හිතුවේ අද රෑට නතර වෙලා ඔබට උදව් කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් දැන් ඒක එහෙම කරන්න බැරි වෙයි වගේ පේන්නේ."

ඇයි බැරි?     

ස්මිත් දැඩි අපහසුතාවකට ලක් වූ බවක් පෙනෙන්නට විය. "මම හැමතිස්සෙම හිතුවේ මට බලපෑම් කරන්න කාටවත් බැ කියලයි. මම ස්වාධීන මිනිහෙක්. මට කරන්න රස්සාවක් තියනවා. මම ඒක හොඳින් කරගෙන ඉන්නවා. මගෙම ආයුධ හදන වැඩපලක් තියනවා."

"ඒත් කවුරුහරි බලපෑමක් කලා?"

"නෝත්කොට්. එයා මට කිව්වා අයින් වෙලා ඔබට තනියම කරන්න ඉඩ අරින්න කියලා. ඔබේ තැනට ඩියැක් ෆොස්ටර් එනවා දකින්නයි මිනිහට ඕනෑ කියලා. මම උදව් කළොත් ඔබ අයින් නොවී අල්ලගෙන ඉඳියි කියලා මිනිහා හිතන්නේ."

"ඔබ ප්‍රතික්ෂේප කළොත් මොනවද කරනවා කිව්වේ?"

"එයා මට මතක්කරලා දුන්නා මගේ බිස්නස් එක රැඳිලා තියෙන්නේ එයයි, අනිත් ගවපට්ටි හිමියොයි, ඒ ගොල්ල යටතේ වැඩකරන අයයි මත කියලා.  මිනිහා කියන එක හරි. ඔය අනවසරයෙන් පදිංචි වෙලා ඉන්න අයයි නගර වැසියොයි කිසිම වැඩක් කරගන්න මා ළඟට එන්නෙ නෑ. මට හැම වැඩක්ම හම්බවෙන්නේ ගවපට්ටිකාරයින්ගෙන් තමයි. ඒගොල්ල එන්නෙ නැත්නම් මම මේ නගරය අත්ඇරලා යන එක හොඳයි." ඔහු අපහසුවෙන් මෙන් සිය දෙපා මත එහා මෙහා ඇඹරුනේය. "මට සමාවෙන්න ෂෙරිෆ් බක්."

"ඒකෙ වරදක් නෑ,ඒකට කමක් නෑ" යයි කියන්නට බක්ට අවශ්‍ය නොවීය. මන්ද එය නිවැරදි දෙයක් නොවන නිසා ය. එහෙත්, "ඒකට කමක් නෑ, මං හිතන්නෑ වෙන කරන්න දෙයක් ඔබට තියනවා කියලා. ඔහුගේ මුවින් පිටවිය."

"මම ලොකු වරදක් කරන්නේ, ෆ්‍රැන්සිස්කෝ දාලා ගියාට පස්සේ මම ඔබට පොරොන්දු. . ."

බක්ට අවශ්‍ය උනේ ඔහු වහාම පිටව යනවා දැකීමට ය. "අමතක කරලා දාන්න ඒක. මම කිව්වනෙ ඒකෙ වරදක් නෑ කියලා." බක් ඔහුට හරස්කපමින් පිළිතුරු දුන්නේය. 

ස්මිත් සහය නිලධාරියාට හිමි ලාංඡනය ගලවා මේසය උඩින් තැබීය. "එහෙමනං මම යනවා. තව මොකවත් මගෙන්. . . ?"

"නෑ." බක් පිළිතුරු දුන්නේය. ස්මිත් ඉක්මන් ගමනින් දොරෙන් එළියට බැස්සේය. දොරෙන් පිට වූ සැනින් ඔහු කා සමග හෝ කතා කරනු බක්ට ඇසුණි. ඉන් මොහොතකට පසු ෆ්‍රෑන්ක් හැන්සන් තම ආවුද කට්ටලය ද රැගෙන ඇතුළු විය. ඒවා බිම තැබූ ඔහු නැවත එළියට ගොස් ආපසු ආවේ දොරක් ද උසුලාගෙන ය. තුන්වෙනිවර ද එළියට ගිය ඔහු තැනින් තැන ගෙනයා හැකි සැහැල්ලු ඉරුම් පට්ටල දෙකක් ඔසවාගෙන යළි පැමිණියේය. 

ඔහු බක් දෙසට හැරුනේය. "මොකද උනේ? ඕනැවට වඩා හයියෙන් වැහුවද?"

බක් හිස වනා පිළිතුරු දුන්නේය. 

"මම දැනගෙන හිටියා කොයි වෙලාවෙ හරි මේක කැඩෙයි කියලා. මිනිස්සු මොන හේතුවකට දොරවල්වලට වීදුරු දානවද කියලා මට නං තේරෙන්නේ නෑ." හැන්සන් පැවසීය. 

දොර ඉරුම් පට්ටල දෙක මත තැබූ ඔහු මිනුම් පටිය ගෙන මනින්නට පටන්ගත්තේය. වැඩ කරන අතරතුර ද ඔහු දිගින් දිගටම කතා කළේය. එසේ වුවද ඔහු බක්ගෙන් පිළිතුරු දීමක් බලාපොරොත්තු නොවීය. 

සිත සන්සුන් කරගැනීමට වෙහෙසෙමින් සිටි බක්ට වැටහුනේ හැන්සන්ගේ කතාවට ඇහුම්කන් දීම හා ඔහු වැඩ කරන අයුරු බලා සිටීම ද එයට රුකුලක් වන බවයි. පිටත නවතා තිබූ කුඩා අශ්ව කරත්තයෙන් ගෙනා දිගු සෘජු පටියක් තබා ඉරි සළකුණු කරගත් හැන්සන් ඒ දිගේ කියතෙන් කපන්නට පටන් ගත්තේය. එය අවසන් වූ පසු දොරෙහි දාර දිගේ ප්‍රවේශමෙන් යතු ගෑවේය. 

පැරණි දොර ගලවා ඉවත් කළ ඔහු අළුත් දොර සවි කොට බැලීය. යළිත් එය ඉවතට ගත් ඔහු තවත් වරක් යතු ගා නැවත දොර උලුවස්සට සවිකර බලා ආපසු ගෙන තුන්වන වරට ද යතු ගෑවේය. මෙවර දොර හරියටම හේත්තු වන බවට ඔහු සෑහීමට පත්විය. එදෙස බලා සිටි බක්ට නිදිබර ගතියක් දැනින. ඔහුගේ පාදය මෙතරම් වේදනා ගෙන නොදෙන්නේ නම් කොතරම් හොඳදැයි ඔහුට සිතිණ. මැක්ග්‍රාත් සමග කැනන් සිටි වෙත අසුපිටින් නම් යන්නට හැකියාවක් නොමැති බව ඔහුට කල්පනා විය. එය කෙසේවත් කළ නොහැකි ය. මැක්ග්‍රාත් රැගෙන යාමට සිදුවන්නේ කුඩා අශ්ව කරත්තයකිනි. 

හැන්සන් සරනේරු හා දොර අගුල සවිකොට දොර ද අල්ලා නිම  කොට වසා බැලීය. එය ඔහු සෑහීමකට පත්වන අයුරින් සවි වී තිබුණි. ආවුද මල්ලෙන් සොයිබය අතට ගත් ඔහු එය ද සවි කළේය. එක්වරම බක් දෙසට හැරුන ඔහු, "දැන් ඔබ මොකද කරන්න යන්නේ?" යි බලාපොරොත්තු නොවුන ලෙස ප්‍රශ්න කළේය. "නෝත්කොට් මිනිහගේ යාළුවෝ රංචුවත් එක්ක සහතික කරනවා මැක්ග්‍රාත් එල්ලලා මරණ තැනට වගබලා ගන්නවා කියලා. කින්කේඩ් එයාගේ සහචරයොත් එක්ක කියනවා ඒක කරන්න ඉඩ දෙන්නේ නෑ කියලා."

"මම හිතන්නේ ඒ ගොල්ල ඒක නඩුකාරයත් එක්ක බලාගන්න ඕනැ කියලා. නීතියට අනුව මට තියෙන්නේ මැක්ග්‍රාත් පෝරකයට එක්ක යන එක. අළුගෝසුවා දැනටමත් ඇවිල්ලා ඉන්නේ. එතැනින් මගේ රාජකාරිය ඉවරයි. ඊට පස්සේ එයාගේ රාජකාරිය." බක් පවසා සිටියේය. 

"එහෙම කියලා ඔබට කොහොමත් ගැලවෙන්න බෑ. ඔබ තමයි ෂෙරිෆ්. ෂෙරිෆ්ගේ රාජකාරිය තමයි සාමය ආරක්ෂා කරන එක. හෙට උදේ පාන්දර නම් එහෙම වෙයි කියලා හිතන්න බෑ."

බක්ට හැන්සන්ගේ කතාවට සවන් දීම එපාවිය. "ඔබට ඉඩ තියන වෙලාවක ආපහු ඇවිල්ලා දොරේ තින්ත ගාලා දෙන්න. රෑම ඇවිල්ලා මේ වැඩේ කරලා දුන්නට බොහොම ස්තූතියි."

"ඒක ස්තූති කරන්න තරම් දෙයක් නෙමෙයි." ආවුද එකතු කරගත් ඔහු ඒවා ඉරුම් පට්ටල දෙක ද සමග අශ්ව කරත්තය වෙත ගෙනගියේය. ඔහු ආපසු ආවේ කොස්සක් හා කසල දමන බඳුනක් ද රැගෙන ය. පළමුව කැපී ගිය ලී කැබලි ඉවතට ගෙනගිය ඔහු ඊලඟට දොර ඉරද්දී ඉහිරුන ලී කුඩු සියල්ල ප්‍රවේශමෙන් එකතු කර අතුගා දැමීය. 

වැඩය අවසානයේ පිටව යන්නට පෙර ඔහු බක්ට යළි කතා කළේය. "මට නම් ඔබේ රාජකාරිය කීයටවත් ඕන නෑ."

"ගාස්තුව ගන්න බිල ප්‍රාන්ත කාර්යාලයට යවන්න." බක් පැවසීය. 

"හොඳයි."

ඔහු යන්නට ගියේය. දැනෙන වේදනාව දරාගෙනම පුටුවෙන් නැගී සිටි බක් දොර වෙත නොන්ඩි ගසමින් ගොස් පළමුව දොර අගුල ද දෙවනුව සොයිබය ද පරීක්ෂා කර බැලීය. දෙකම හොඳින් වැඩකරන බව පෙනිණ. 

දොර අගුල් දැමූ ඔහු නැවතත් තම අසුන වෙත පැමිණියේය. තවමත් වීදියේ සිටින කෙනෙතුට ජනේලය තුලින් ඔහු දැකගත හැකි නිසා අනතුරකට ඉලක්ක වීමේ ඉඩක් තිබුන ද පෙරට වඩා ආරක්ෂිත බවක් ඔහුට දැනින. අඩු වශයෙන් දැන් කාට හෝ ඇතුලට ඒමට අවශ්‍ය නම් ඔහු දොර ඇරදෙන තෙක් සිටීමට සිදු වේ. නැත්නම් දොර කඩාගෙන ඇතුළු විය යුතුය. 

බලාපොරොත්තු විරහිත අකර්මණ්‍ය හැඟීමක් ඔහු සිත තුළ අරක්ගත්තේය. මේ කමකට නැති රාජකාරිය බාරගන්නට ඩියැක්ට ඉඩ දිය යුතුව තිබිණ. ඔහුට දැනෙන වේදනාව කොතෙක් ද යත්  අශ්ව කරත්තයකින් මැක්ග්‍රාත් කැනන් සිටි වෙත  ගෙන යනවා තබා අද රාත්‍රිය පහන් වන තෙක්වත් ඉවසාගෙන සිටින්නට හැකි වේදැයි සැක සහිත ය.  

මේ රස්සාවේ මෙතරම් එල්ලී සිටින්නට තරම් ඔහු හිතුවක්කාර වූ හේතුව ඔහුටම සිතාගත නොහැකි ය. රැකියාවක් අවශ්‍ය නම් කරන්නට නොයෙකුත් දේවල් තිබේ. එහෙත් අත්හැර දමන්නට මෙතරම් අකමැති හේතුව ඔහු සිත යටින් දැන සිටියේය. ඒ මිනිසෙකු ලෙස සිතේ පවත්නා ගර්වය හා නීතිය කෙරෙහි වන ගෞරවයයි. ප්‍රාන්තයේ වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තබා ඇත. අභියෝගයකට මුහුණ දුන් පළමු අවස්ථාවේම ඒ විශ්වාසය පාවාදීම ඔහුට කළ නොහැකි ය.  

5 comments:

  1. කතාව හොඳයි. විශේෂ යමක් සිදු නූනත්, තාමත් කුතුහලය රැඳිලා තියෙනවා.💐🙏😊

    ReplyDelete
  2. මෙය කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට සැකසුන කතාවක් නොව පොතක් වශයෙන් ප්‍රකාශයට පත්වූ නවකතාවක් කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමකි. එනිසා සෑම කොටසකම කුතුහලය රැඳෙන පරිදි ඉදිරිපත් කිරීම පහසු නොවේ.

    ReplyDelete
  3. ඔබගේ අසනීප තත්වය හොදනම් කතාව ඉක්මනින් ගෙන එන්න... ස්තුතී ....

    ReplyDelete
  4. අසනීප තත්වය නම් සුව අතට හැරිලා. තව කොටස් දෙකක් නිම කරලත් තියනවා. ඒත් කියවන අයට මද ඉස්පාසුවක් දෙන්නයි මදක් ප්‍රමාද කළේ.

    ReplyDelete
  5. අදත් හොඳ කොටසක්.

    ReplyDelete