විනිශ්චය xxx

                                                  පරිච්ඡේදය 19 

                                                    දෙවන කොටස



සිරගෙයට ඇතුලු වූ ඔහු දොර වසා අගුළු දමා කාමරයෙහි තිබූ ජනේලයක් වෙත ගොස් පහතින් පෙනෙන වීදිය දෙස බලා සිටින්නට විය. ජනේලය අවපැහැ ගැන්වී තිබුන ද ඔහුට අවශ්‍යව තිබූ දේ දැකගන්නට එය බාධාවක් නොවීය.

සිරගෙය දෙස ඇස ගසාගෙන සිටි මිනිසා සමග තවත් දෙදෙනෙකු තැබෑරුමෙන් පිටතට පැමිණ කඩිනමින් ලිහාගත් අසුන් පිට නැගී වේගවත් ගමනින් යන්නට ගියහ. 

බක් සිතාගත්තේ ඔවුන් යන්නට ඇත්තේ ගිනිගන්නා ගොඩනැගිල්ල බලන්නට ගිය තම මිතුරන් සොයාගෙන වියහැකි බවයි. එහෙත් ඒ වන විටත් ගිනිගන්නා තැනට ගිය සැනින් තමන් රැවටීමකට හසුවූ බව දැනගත්  ගවහිමියෝ   ආපසු එමින් සිටියහ. සමහරු වීදිය පැන කින්කේඩ් හා ඔහුගේ මිතුරන් ගිය දිසාවට දිවූහ. අනෙක් අය අසුන් පිට නැගී ඒ දෙසටම වේගයෙන් අසුන් පැන්නවූහ.  

වීදිය සන්සුන් වී නිශ්චල වනතෙක් බලාසිටි බක් ඔහුට ඉතිරිව තිබෙන සුලු කාලය පිළිබඳ අවබෝධයෙන් යුතුව වහ වහා මැක්ග්‍රාත්ගේ සිරකුටිය වෙත ගියේය. දොරෙහි අගුල විවෘත කළ ඔහු මැක්ග්‍රාත්ට අනෙක් පැත්ත හැරෙන ලෙස නියෝග කර ඔහුට මාංචු දැම්මේය. මැක්ග්‍රාත්ට ඔහුට ඉදිරියෙන් ඇවිද යන්නට සැලැස්වූ බක් ඔහුත් සමග ඉදිරිපස දොර දෙසට ගියේය. 

එසේ යන අතරතුර පතරොම් තුවක්කුව අතට ගත් ඔහු එය එක් අතක තබාගෙන අනෙක් අතින් මැක්ග්‍රාත්ගේ මාංචු අතර වූ දම්වැල ග්‍රහණයට ගත්තේය. සිරගෙය ඉදිරිපිට නිසලව නැවතුන ඔහු වීදියේ ඉහල හා පහල දෙපස ද මෙතෙක් වෙලා අතිශයින් ඝෝෂාකාරීව පැවති වීදියේ අනෙක් පස පිහිටි බීමහල දෙස ද නෙත් යොමු කළේය. සියල්ල නිශ්චලව පැවති අතර කින්කේඩ් හා ඔහුගේ මිතුරන් ගියා දිසාවේ ඈතින් ඇසුන කෑගැසීම් හා වෙඩිහඬ කිහිපයක් ඇරෙන්නට වෙනත් කිසිදු ශබ්දයක් ඇසුනේ නැත. 

මැක්ග්‍රාත් අතහැර නිදහස් කළ බක් තුවක්කුවෙන් ඔහු ඉදිරියට තල්ලු කළේය. "යනවා පටු පාර දිහාවට. පැනලා යන්න එහෙම හිතන්න එපා. මේ නොන්ඩි කකුලත් එක්ක මට උඹ අල්ලාගන්න බැරිවෙයි. ඒත් තමුසෙට බේරිලා යන්න දෙන්න මගේ කිසිම අදහසක් නෑ. එහෙම දෙයක් කරන්න හැදුවොත් කුඩුවෙන්න තියනවා මේ තුවක්කුවෙන්."

මැක්ග්‍රාත් හිස් බිම්කඩ හරහා පටුමග දෙසට යන්නට ඉදිරියට ගියේය. ස්මිත්ගේ තුවක්කු කම්හල තිබුනේ වීදියේ සිරගෙයින් උඩහට වන්නට ය. කින්කේඩ් හා පසුපස ලුහුබැඳ යන්නන් ගියේ විරුද්ධ දිසාවට බැවින් ඔවුන්ට කුඩා අශ්ව කරත්තය දකින්නට ඉඩක් නැත.  

පටුමගට පිවිසෙන්නට අඩක් දුර තිබියදී බක් මැක්ග්‍රාත්ගේ ගමන නවතා දැඩි අඳුරේ සිටගෙන හොඳින් සවන් දුන්නේය. ඔහුට තවදුරටත් කින්කේඩ් පසුපස හඹායන්නන්ගේ වෙඩිහඬ හෝ කෑගැසීම් ඇසුනේ නැත. එහි තේරුම නම් කින්කේඩ්ගේ කඳවුරු වැසියන් විසිර ගොස් ඇති බව හා තමන් යළිත් වරක් රැවටීමකට ලක්වූ බව තේරුම්ගත් ගවහිමියන්ගේ ආපසු පැමිණීම බලාපොරොත්තු විය යුතු බවයි. 

ඔහු මැක්ග්‍රාත් ඉදිරියට තල්ලු කළේය. ඩියැක් ෆොස්ටර් කොහේ ඇත්දැයි දැනගැනීමට ඇත්නම් යයි ඔහුට සිතුණි. ගවහිමියන් ද සමග කින්කේඩ් හඹාගියා වන්නටත් පුළුවන. එසේ නොගොසින් නැවතී සිටිනවා වන්නටත් ඉඩ ඇත. බක්ගේ මනස වැඩකරන අයුරු වටහාගන්නට තරම් කාලයක් ෂෙරිෆ්ගේ කාර්යාලයේ වැඩකර ඇති ඔහු කල්පනාකාරී පුද්ගලයෙකි. 

පටු මාවතට පිවිසි පසු මැක්ග්‍රාත්ගේ කමිසයෙන් අල්ලාගත් බක් යළිත් ඔහු නවතාලීය. මැක්ග්‍රාත් කොතරම් කලබලයට පත්ව සිටින්නේදැයි දැනුන ඔහු කෙඳිරිළි හඬින් අනතුරු ඇඟවීය. "එපා! මගෙන් බේරිලා ගියත් හරක් බලන එවුන් හතලිහක් පණහක් තමුසෙගෙ පස්සෙන් එයි."

සිත වෙනස් කරගත් මැක්ග්‍රාත් සන්සුන් වෙනු ඔහුට දැනුණි. තුවක්කු බටයෙන් මැක්ග්‍රාත් ඉදිරියට තල්ලු කළ බක් පටු මාවත දිගේ ඔහු ස්මිත්ගේ තුවක්කු වැඩපොළ දෙසට යොමු කළේය. 

එලන් කඳවුරට හෝ අඩු වශයෙන් හෝටලයට හෝ යන්නට ඇතැයි ඔහු බලාපොරොත්තු වුවද ඇය ඒ එකක්වත් නොකරන්නට ඉඩ තිබෙන බවට වූ සැකයකින් ද ඔහුගේ සිත පිඩාවට පත්විය. බොහෝවිට වෙන්නට ඉඩ ඇති පරිදි ඇය මේ වනවිටත් තුවක්කු වැඩපොළ පිටුපස කරත්තය හා අශ්වයින් ද සමග රැඳී සිටිනවා විය හැකිය. කින්කේඩ් පසුපස ගොස් ආපසු එන ගවපල්ලන් වෙඩි තබන්නට පටන් ගතහොත් ඇය සිටින්නේ හරියටම වෙඩිපහරවල් වැදෙන්නට ඉඩ  ඇති සීමාවේ ය.  

ඉක්මන් කළයුතු නිසාම ඔහු තුවක්කු කටෙන් මැක්ග්‍රාත් තවත් තදින් ඉදිරියට තල්ලු කළේය. "ඉක්මන් කරනවා. මේ මිනිස්සු කොයි වෙලාවෙ හරි එන්න පුළුවන්." මැක්ග්‍රාත්ගේ වේගය වැඩි උනේ බක්ට තුවාල කකුලත් සමග යා හැකි උපරිම වේගයේ ගණනට ය. එහෙත් තුවක්කු කම්හල තිබුනේ එතරම් දුරකින් නොවේ. අඩි සියයකටත් අඩු දුරකිනි. 

අඳුරු වූ පරිසරයේ  යන්තමට මෙන්  අශ්වයින්ගේ හා නවතා තිබෙන අශ්ව කරත්තයක ඡායාවක් කම්හල පිටුපස පටු මාවතේ තිබෙනු බක්ගේ ඇසට ලක්විය. අශ්වයින් දඟලමින් එහා මෙහා අදිද්දී කටකලියාවෙන් නැගෙන ශබ්දය ද යන්තමට මෙන් ඔහුට ඇසුනි. 

තවමත් ඔහුට පිටුපසින් කුමන හෝ ශබ්දයක් ඇසුනේ නැත. අශ්වයින්ගේ කුර ගැටෙන ශබ්ද, මිනිසුන් කෑගසන ශබ්ද හෝ දුවන මිනිසුන්ගේ පා තබන ශබ්ද කිසිවක් නැත. කෙසේ හෝ ඔහුට අවශ්‍ය වී තිබූ දෙය සාර්ථක කරගන්නට හැකි වේය යන විශ්වාසය ඔහු තුළ ඇති විය. 

එවිටම අඳුර මැදින් පටු මාවතේ එක් පසෙකින් ගැහැනියක උමතුවෙන් මෙන් නගන තියුණු හඬක් ඇසිණ. "ජොනී මේ පැත්තට! මම ඔයාට තුවක්කුවකුයි අශ්වයෙකුයි අරන් ආවා." 

ග්‍රහනයෙන් මිදුන මැක්ග්‍රාත් හඬ ඇසුන දිසාවට වේගයෙන් දිව ගියේය. උමතුවෙන් මෙන් නැගූ හඬක් වුවද ඒ ජෙනී කාල්සන් බව බක්ට හඳුනාගත හැකි විය. ඔහු තුවක්කුව හරවා එල්ල කළ ද වෙඩි තැබීමෙන් වැළකුණේ එසේ කළහොත් මැක්ග්‍රාත්ට පමණක් නොව ජෙනීට ද  වදින බව අවබෝධ වූ නිසා ය. 

ඔහු හොඳින් හිතාමතා කරන ලද සැලසුම බිඳ වැටී ඇත. දැන් ඉතින් සිදුවන්නේ කුමක්දැයි දන්නේ දෙවියන් පමණකි.    

3 comments:

  1. කෙලිය නේද තාප්පෙට!

    ReplyDelete
  2. මම කිව්වේ ඒකනේ , කෙළවෙනවා කියල

    ReplyDelete